අද (2020 ඔක්තෝබර් 14 වැනි දා බදාදා) “අරුණ” පුවත්පතේ පළ වී තිබෙන සාකච්ඡාවක්
ඉතිහාසය විකෘති කරන්නේ සමාජය අස්ථාවර කිරීමේ අරමුණෙන්
ආචාර්ය අරුණ කීර්ති ගමගේ
ඉතාමත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන අපි ඒ ගැන ආඩම්බර වන්නෙමු. ඒ ඉතිහාස ආදර්ශ මත පදනම් වී අපගේ වර්තමානය සහ අනාගතය සකසා ගැනීමට අපි උනන්දු වෙමු. එනමුදු මෑතක සිට මෙරට ක්‍රියාත්මක වන ඉතිහාසය විකෘති කිරීමේ ව්‍යාපාර නිසා ඇතැමෙක් මංමුළා වී සිටිති. මේ හා සම්බන්ධ කරුණු විමසීමට අප මුණ ගැසුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහතායි. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය දිනාගත් ඒ මහතා නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතුවල යෙදී තිබේ. ත්‍රිපිටකය, පාලි අටුවා සහ අනෙකුත් මූල ග්‍රන්ථ පිළිබඳ මෙ රට සිටින ප්‍රාමාණිකයන් අතර ආචාර්ය ගමගේ මහතාට ද මූලික තැනක් හිමිව ඇත.
මහාවංසය ගැන ඔබේ ඇගැයීම මොකක්ද?
මහාවංසය කියන්නේ භාෂා, ආගම්, දර්ශනය සහ සාහිත්‍යයේ ඉතා ඉහළ ශික්‍ෂණයක් ලබපු කතුවරයකුගේ කෘතියක්. මේ වංසකතාව පස්සේ කාලෙක දිගට ම ලියැවුණා තමයි. ඒත් මූලික කොටස (ඒ කියන්නේ මහාවංසයේ 37 වැනි පරිච්ඡේදයේ 51 වැනි ගාථාව දක්වා තියෙන කොටස) ලිව්වේ දික්සඳ සෙනෙවි පිරිවෙනේ වැඩ වාසය කරපු මහානාම හාමුදුරුවෝ. පස්සේ මේක සම්ප්‍රදායක් විදිහට ඉස්සරහට ආවා. නමුත් මුල් ඉතිහාසය තියෙන්නේ මහානාම හාමුදුරුවෝ ලියපු කොටසේ. මහාවංසය කියන්නේ ථෙරීය වංසය සහ මහා විහාරයේ ඉතිහාසය වාර්තා කරන්න ලියැවිච්ච පොතක්. එහෙම නැතුව රටේ පොදු සමාජ – ආර්ථික, දේශපාලන ඉතිහාසය වාර්තා කරලා තියන්න ලියපු පොතක් නෙවෙයි.
ඒත් මහාවංසයේ සමාජ දේශපාලනික කරුණු තියෙනවා නේ ද?
ඔව්. ඒක අමතර වැඩක්. මහාවංසය ලියලා තියෙන්නේ මහා විහාරය පිහිටුවීම, ඒ සම්ප්‍රදායේ ව්‍යාප්තිය, ඉහළ නැගීම්, පහළ බැසීම් ගැන කියන්න. ඒ කියන අතර වෙනත් අදාළ සමාජ දේශපාලන කරුණුත් වාර්තා කරලා තියෙනවා. ඒ හින්දා ඉතාමත් අගනා ඉතිහාස වාර්තාවක් විදිහටත් මහාවංසය පාවිච්චි කරන්න අපිට පුළුවන්. ඒත් මේක ලියලා තියෙන මූලික අරමුණ අපි අමතක කරන්න හොඳ නෑ.
ඒ හින්දා ඉතිහාස කරුණු මග ඇරිලා තියෙන්න පුළුවන් නේ ද?
අපි මේ දිහා බලන්න ඕන ඒ විදිහට නෙවෙයි. මේ වංසකතාව ලිව්වේ අරමුණක් වෙනුවෙන්. එහෙම ලියද්දි තවත් කරුණු ඒකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒ කරලා තියෙන අමතර වැඩේ සම්බන්ධයෙන් අපි වංසකතා රචකයාට අපේ ප්‍රණාමය පළ කරන්න ඕන. ඒ රචකයා තමන්ගේ මූලික අරමුණට විතරක් සීමා වුනා නම් අපිට කතා කරන්න මේ විදිහෙ ඉතිහාසයක් ඉතිරි වෙන්නේ නෑ. ඉතින් මහාවංසයේ අඩුපාඩු හොයන්න හේතුවක් අපිට නෑ.
ඒත් දැන් සෑහෙන දෙනෙක් මහාවංසයේ අඩුපාඩු කතා කරනවානේ?
මෙහෙම කතා කියන්න හේතු වෙච්ච කරුණු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි මේ සම්බන්ධයෙන් ඒ අයට තියෙන අනවබෝධය. මහාවංසය ලියලා තියෙන්නේ මොන අරමුණක් වෙනුවෙන් ද කියලා ඒ අය දන්නේ නෑ. ඒ ගැන දන්නවා නම් අපි කරන්න ඕන මහාවංස කතුවරයාව අගය කරන එක. ඒ පොතේ තියෙන්නේ අඩුපාඩු නෙවෙයි. අරමුණ ඉක්මවා ලියපු වැඩි විස්තර. ඒ වගේ ම, මේ වගේ විශිෂ්ට කෘතියක් පරිහරණය කරන කලාව ඒ අය දන්නෙත් නෑ. මේ පොතේ පරිවර්තනයක් එහෙන් මෙහෙන් බලලා මේකට අවලාද කියන එක තමයි ඒ අය කරන්නේ.
අනිත් මුලාශ්‍රයවලිනුත් මහාවංසයේ තොරතුරු සනාථ වෙනවා ද?
ඔව්. මෙහෙම ඉතිහාස වාර්තාවක් ඉන්දියාවෙත් හොයා ගන්න බෑ. ඒ රටේ අයට මෙහෙම සම්පතක් නෑ. මහාවංසයේ තියෙන කරුණු වෙනත් මූලාශ්‍රයවලිනුත් තහවුරු වෙලා තියෙනවා. විසුද්ධිමග්ගය ගැන හිතන්න. මහාවංසයේ සඳහන් හුඟක් කරුණු විසුද්ධිමග්ගයෙනුත් තහවුරු වෙනවා. විනය පිටකයට ලියපු අටුවාව හඳුන්වන්නේ සමන්තපාසාදිකාව කියලා. ඒක මුද්‍රිත පිටු දාහක් විතර තියෙන ලොකු පොතක්. මහාවංසයෙන් කියන හුඟක් තොරතුරු මේ සමන්තපාසාදිකා අටුවාවෙන් සනාථ වෙනවා. ඒ වගේ ම, විභංග අටුවාවෙනුත් මහාවංසයේ තියෙන කරුණු තවදුරටත් සනාථ වෙනවා. අනිත් අටුවා පොත්වලත් මේ කරුණු තියෙනවා.
මහාවංසය විවේචනය කරන අය ගැන ඔබේ අදහස මොකක්ද?
රාවණාවාදීන් සහ බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉපැදුණා කියන අය තමයි මේ වැඩේ මූලිකව ම කරන්නේ. ඒ අයට උල්පන්දම් දෙන අයත් ඉන්නවා. මේ අයගේ පොදු ලක්‍ෂණ කීපයක් මම දකිනවා. ඒ අයට මූලාශ්‍ර කියවන්න බෑ. ඒ සඳහා අවශ්‍ය භාෂා ශාස්ත්‍ර දැනුම ඒ අයට නෑ. මහාවංසය, ත්‍රිපිටකය, අට්ඨකථා ලියැවිලා තියෙන්නේ පාලි භාෂාවෙන්. ඉතින් ඒවා කියවා ගන්න ඒ අයට බෑ. මූලග්‍රන්ථයක් කියවන කලාවක් සහ විද්‍යාවක් තියෙනවා. මේ ගැන ලයිඩන් විශ්වවිද්‍යාලයේ දී මම ලබපු අත්දැකීමක් තියෙනවා. සෙනරත් පරණවිතාන මහත්තයාත් ඉගෙන ගත්තේ ඒ විශ්වවිද්‍යායේ. මූලග්‍රන්ථ ඒවායේ මුල් භාෂාවෙන් හැදෑරීම තමයි ඒ අයගේ ප්‍රධාන ම කාර්යයක් වෙලා තියෙන්නේ. ඒ දේවල් දන්නේ නැති අය තමයි මේ විදිහෙ ප්‍රලාප කියවන්නේ.
ඒ අය මෙහෙම කරන්නේ ඇයි?
ඒ අය තමන් කැමැති කතාවක් මුලින් ම හදාගෙන ඉන්නේ. ඊට පස්සේ ඒ කතාව සනාථ කරන්න කරුණු හොයන එක තමයි ඒ කට්ටිය කරන්නේ. ඒ සඳහා ඕන කරන භාෂා ඥානයත් නැතුව සපත්තුවේ තරමට කකුල කපනවා වගේ වැඩ තමයි මේ අය කරන්නේ. බුද්ධෝත්පාදය, බුදුවීම වගේ කාරණාවලට අදාළ විස්තර වෙනත් මූලාශ්‍රවලිනුත් සනාථ වෙලා තියෙනවා. ඉතින් මේ කතා හදන අය මහාවංසයට දොස් කියනවා. මහාවංසයේ තියෙන්නේ බොරු කියලා ඒ අය කියනවා.
පරිවර්තන කියවන එක වැරැද්දක් ද?
වැරැද්දක් නෑ. සාමාන්‍ය ජනතාවට, පොඩි ළමයින්ට පරිවර්තනවලින් දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒත් පර්යේෂණ කරන අයට, අලුත් මතවාද ඉදිරිපත් කරන අයට එහෙම කරන්න බෑ. ඒක ප්‍රමාණාත්වත් නෑ. පරිවර්තනයකින් යමක් දැන ගන්න එක “වේල් එකට පිටින් මනමාලිව සිප ගන්නවා වගේ වැඩක්” කියලා ග්‍රන්ථ විචාරකයෝ කියනවා. වීදුරු භාජනයක් ඇතුළට මලක් දාලා පිටින් ඒක ඉම්බාට මලේ සුවඳ දැනෙන්නේ නෑ. පරිවර්තනවලින් මූල ග්‍රන්ථ කියවන එකත් එහෙම වැඩක්. එහෙම කරලා නියම අර්ථය, රසය ලබන්න බෑ. මූලග්‍රන්ථ සේවනය කරලා රාමායණය විධිමත් විදිහට හදාරපු අය රාවණාවාදීන් වගේ බොළඳ කතා කියන්නේ නෑ. රාමායණ කාව්‍යයේ අර්ථය ඒ පඬිවරු දන්නවා.
සමහර පුරාවිද්‍යාඥයොත් මහාවංසය විවේචනය කරනවා නේ ද?
සෙනරත් පරණවිතාන මහාචාර්යතුමාට තිබුණු එක වැදගත් හැකියාවක් අද ඉන්න සමහර පුරාවිද්‍යාඥයින්ට නෑ. පරණවිතාන මහත්තයාට පාලි සංස්කෘත භාෂා ගැන දැනුමක් තිබුණා. මූල ග්‍රන්ථ කියවන්න පුළුවන්කම තිබුණා. බටහිර ඉන්න ආලෝ ග්‍රිෆිත්, වෙන්සොන් තුර්නියේ වගේ පඬිවරු ගැන හිතන්න. ඒ අය ඉන්දියානුවේදය ගැන මහා පඬිවරු. පාලි, සංස්කෘත, ප්‍රාකෘත විතරක් නෙවෙයි ඉන්දු – ආර්ය භාෂා ගැන විශාල පරිචයක් එතුමන්ලාට තියෙනවා. මෙහෙම භාෂා දැනුමක් නැතුව සෙල්ලිපි කියවන්න පුළුවන් ද කියන එක තමයි ප්‍රශ්නය. ඉතින් භාෂා, ශාස්ත්‍ර සහ ඉතිහාසය ගැන ප්‍රාමාණික දැනුමක් නැති සමහර අය පුරාවිද්‍යාවට මුවා වෙලා බොරු ප්‍රලාප කියවන හැටි දැන් අපිට දකින්න පුළුවන්.
සෝමදේව මහාචාර්යතුමාත් මේ අතර ඉන්නවානේ?
එතුමාගේ ඉන්දු – ආර්ය භාෂා හැකියාව පිළිබඳ විශාල ගැටලුවක් තියෙනවා. පුරාවිද්‍යාඥයන් සාමාන්‍යයෙන් හදාරන මාගධි, අර්ධමාගධි, පෛශාචි, මහාරාෂ්ඨ්‍රි, ගාන්ධාරි ප්‍රාකෘත භාෂා තියා අපි සෑහෙන දෙනෙක් දන්න පාලි භාෂාවවත් එතුමා දන්නේ නැති බව පැහැදිලියි. එතුමා මහාවංසයේ මුල් ම පරිච්ඡේදයේ මුල් ම ගාථාව කියන්නෙත් වරද්දලා. එහෙම කියද්දි ඇති වෙන්නේ වෙන අර්ථයක්. ඉතින් ඒ වගේ වැරැදි අර්ථ පදනම් කරගෙන විකෘති මතවාද ඉදිරිපත් කරන එක තමයි එතුමා කරන්නේ.
මහින්දාගමනයට කලින් අපේ රටේ බුද්ධ ශාසනය තිබුණු බව එතුමා කියනවා නේ ද?
වැරැදි විදිහට මූලග්‍රන්ථ කියවන හින්දා තමයි මේ වගේ කතා කියන්නේ. එතුමා කියන විදිහට බුදුහාමුදුරුවෝ බුදු වෙලා නව වැනි මාසයේ දී මුල් ම වතාවට ලංකාවට වැඩම කරද්දිත් මහියංගණයේ සුභාංගනා කියලා චෛත්‍යයක් තිබිලා තියෙනවා. ඇත්තෙන්ම දීපවංසයේ කියන්නේ අනාගතයේ දී මහියංගණ චෛත්‍යය පිහිටුවන සුන්දර වූ අංගණය ගැන. අනාගතයේ දී ලෝවාමහාපාය හැදෙන තැන, රුවන්වැලි මහා සෑය හැදෙන තැන ගැනත් මේ විදිහට වංසකතාවේ කියලා තියෙනවා. මීට වඩා විහිළු කතා ගොඩක් සෝමදේව මහාචාර්යතුමා කියනවා.
ඒ මොනවා ද?
මම එකක් කියන්නම්. සමන්තපාසාදිකාවේ තියෙනවා කියලා එතුමා තම්බපණ්ණි විනයපිටකයක් ගැන කියනවා. මේ කතාව කියන්න එතුමා සේවනය කරන කාරණය පරිවාර පාළියෙත් තියෙනවා. ඇත්තටම ඒ කොටසින් කියන්නේ උපාලි මහරහතන්වහන්සේගෙන් පටන් ඇරගෙන විනය ආචාර්ය පරම්පරාව ලංකාවේ පැතිරිච්ච විදිහ. උපාලි, දාසක, සෝණක, සිග්ගව, මොග්ගලීපුත්තතිස්ස කියන මහා ස්ථවිරවරුන්වහන්සේලාගේ මූලිකත්වයෙන් පැවතගෙන ආපු ඉගැන්වීම් මහින්ද මහ රහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් තම්බපණ්ණියට ගෙනැල්ලා මෙහි දී අරිට්ඨ ස්ථවිරයන්ට උගන්වපු බවත් ඊට පස්සේ ඇතිවෙච්ච ආචාර්ය පරම්පරාව තිස්සදත්ත, කාළසුමන, දීඝනාම, දීඝසුමන කියන විදිහට පැවතුන බවත් ඒ විස්තරයේ තියෙනවා. මේ විදිහට විනය ආචාර්ය පරම්පරාවේ පස්සේ කාලයක වැඩ හිටිය මේ ස්වාමීන්වහන්සේලා මහින්ද මහ රහතන්වහන්සේට විනය පිටකය උගන්නපු බවක් සෝමදේව මහාචාර්යතුමා කියනවා. උන්වහන්සේලා වැඩ හිටියේ මහින්දාගමනයට අවුරුදු තුන්සීයකට විතර පස්සේ.
සංවාදයක යෙදිලා මේ වැරැදි මත දුරු කරන්න පුළුවන් නේ ද?
මේ ගැන සංවාදයකට එන්න කියලා අපි සෝමදේව මහාචාර්යතුමාට ආරාධනා කළා. එතුමාත් කැලණිය විශ්වවිද්‍යාලයේ කෙනෙක්. ඉතින් පහුගිය සැප්තැම්බර් 22 වැනි දා කැලණියේ දී පවත්වපු සංවාදයට එතුමාත් එයි කියලා අපි බලාගෙන හිටියා. ඒත් එතුමා ආවේ නෑ. හැබැයි මම එතුමාගේ වැරැදි පෙන්නලා දේශනයක් කළා.
ශාසනික ඉතිහාසය මේ විදිහට විකෘති කරන එක වළක්වන්න කරන්න පුළුවන් වෙනත් වැඩ තියෙනවා ද?
අපි මේ සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා දැනුවත් කරලා තියෙන්නේ. අපි ලිඛිතව ම උන්වහන්සේලාට මේ ගැන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ ම, විශ්වවිද්‍යාලය මට්ටමින් කරන්න පුළුවන් හැම දෙයක් ම අපි කරනවා. තවත් ශාස්ත්‍රීය සංවාද සංවිධානය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පර්යේෂණ වැඩමුළු තියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සංවාදවලට ඉදිරිපත් වෙන්න, පර්යේෂණ වැඩමුළුවලට පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්න සෝමදේව මහාචාර්යතුමා වගේ අයට පුළුවන්.
නිවැරැදි අදහස් පිළිගන්න ශිෂ්‍ය පිරිසකුත් හැදෙන්න ඕන නේ ද?
ඔව්. අපි මේ වෙද්දි අපේ අධ්‍යාපන කටයුතුවල වැඩි බරක් ඒ වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඒ සඳහා අපි අපේ ශිෂ්‍යයන් (විශේෂයෙන් ම ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා) පුරුදු පුහුණු කරනවා. අපේ පීඨාධිපතිතුමාත් මේ සඳහා ඉතා හොඳ සහයෝගයක් අපිට ලබා දෙනවා. ඇත්තෙන් ම, මේ විෂයය ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන සැලකිය යුතු පිරිසක් අපි අතර දැනටමත් ඉන්නවා. ඒ අය ඉස්සරහට ගෙනැල්ලා මේ වැරැදි මත දුරු කරන වැඩේ ශක්තිමත් විදිහට මෙහෙයවන්න අපි බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා ඔබතුමන්ලා අපේක්‍ෂා කරන්නේ මොනවා ද?
පුද්ගලිකව කිසිම වරදානයක්, වරප්‍රසාදයක් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. පටු අරමුණු වෙනුවෙන් වැරැදි අදහස් ප්‍රචාරය කරන්න එපා කියලා අපි මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍ය පාවිච්ච කරන අයගෙන් ඉල්ලනවා. ඉතිහාසය විකෘති කිරීමෙන් සමාජ මනස අවුල් වෙන්න පුළුවන්. ඉතිහාසය ගැන පැහැදිලි අදහසක් නැති වුණාම අද ගැන, හෙට ගැන නිරවුල් අදහසක් ඇති කරගන්න අපිට බැරි වෙනවා. එහෙම වුනොත් මහා සමාජ අවුලක්, අස්ථාවරභාවයක් ඇති වෙන්නත් පුළුවන්. සමහර අය හිතා මතා ම මේ විදිහට ඉතිහාසය විකෘති කරන්නේ සමාජ අස්ථාවරභාවයක් ඇති කිරීමේ අරමුණ ඇතිව කියන එකත් අපි තේරුම් ගන්න ඕන.
සාකච්ඡා කළේ: චමින්ද ඒකනායක