නැහැසුම් නසා පැණිය බෙදා හැරිය යුතුයි. – මහඇදුරු නලින් ද සිල්වා මහතා

නැහැසුම් නසා පැණිය බෙදා හැරිය යුතුයි

බටහිර දැනුම් ආධිපත්‍යයේ රඟ දැන් සමහර අයට වැටහෙනවා. අඩු තරමෙන් දැනුම් පද්ධති රාශියක් ලෝකයේ තිබෙන බවත් ඉන් කිහිපයක් හරි ලංකාවට ආවේණික බවත් දැන් ඇතැමුන් පිළිගන්නවා. බටහිර දැනුම් පද්ධතිය එක ම දැනුම් පද්ධතිය නොවන බව රූපවාහිනී සාකච්ඡාවල නිතර ප්‍රකාශ වෙනවා. දැනුම් පද්ධති කියන වචන ටිකවත් කලකට පෙර අහන්න තිබුණේ නැහැ.

එහෙත් මෙයින් කියැවෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය පරාජය වී ඇති බව නො වෙයි. එය තාමත් මෙරටත් වෙනත් රටවලත් ආධිපත්‍යය දරණවා. එය යටත්විජිතවාදයක්. ඒ යටත්විජිතවාදය බිඳ දැමීම පහසු කටයුත්තක් නො වෙයි. අද ධම්මික වෙද මහතාගේ පැණියට සිදු වී ඇත්තේ කුමක් ද? ඒ ගැන රාජ්‍ය ඇමතිවරුන් වූ චන්න ජයසුමන හා සිසිර ජයකොඩි ප්‍රකාශයක් කරනවා ද? එහෙමත් නැත්තන් ඇමතිනි පවිත්‍රා දේවී වන්නිආරච්චි ප්‍රකාශයක් කරනවා ද?

අප දන්නේ පැණිය සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවලින් එය සමත් වූ බවයි. එහි වසක් විසක් නැති බව බටහිර විද්‍යාව අනුව කරන ලද පරීක්‍ෂාවලින් තහවුරු වී තියෙනවා. මා එයින් අදහස් කරන්නේ ඒ බටහිර විද්‍යා පරීක්‍ෂා පිළිගන්න බවක් නො වෙයි. අවාසනාවකට බටහිර වෙදකමේ ආධිපත්‍යය නිසා ධම්මික වෙද මහතාගේ පැණිය බටහිර විද්‍යාවේ හා බටහිර වෛද්‍ය විද්‍යාවේ පරීක්‍ෂාවලට යටත් කරන්න සිදු වුණා. එය කිසිසේත්ම කළ යුතුව තිබුණු දෙයක් නො වෙයි.

බුදුදහම ක්‍රිස්තියානි දහම අනුව පරීක්‍ෂා කළ යුතු යැයි යමකු කීවොත් බෞද්ධයන් එය පිළිගන්නවා ද? ඔවුන් ඒ නොපිළිගත්තත් බුදුදහම විද්‍යාත්මක යැයි කීමට නම් බොහෝ දෙනා පෙරට ඒවි. බටහිර විද්‍යාවේ අද කියන දේ බුදුුහාමුදුරුවන් අවුරුදු දෙදහස් හයසීයකට පමණ පෙර දේශනා කර ඇතැයි කීමට ඔවුන් ඉදිරිපත් වේවි. ඒ කතා පැත්තකින් තියල අඳුරු ද්‍රව්‍ය හරි අඳුරු ශක්තිය හරි ගැන බුදුදහමේ කියා ඇත්තේ කුමක් ද කියා බුදුදහම හා විශ්වවේදය සංසන්දනය කරන පඬි පෝතිකාවන් කියනවා ද?

අඳුරු ශක්තිය හා අඳුරු ද්‍රව්‍යය ගැන බටහිර විද්‍යාවට කියන්න කිසිවක් නැහැ. එවැන්නක් තියෙන බවක් කියනවා. තියෙනවා ද කියන එකත් හරිහැටි පැහැදිලි නැහැ. මා කියන්නේ බටහිර විද්‍යාව, විශ්වවේදය ඒ ගැන කිසිවක් කීමට පෙර බුදුදහම බටහිර විද්‍යාව සමග සංසන්දනය කරන පඬි පෝතිකාවන් අඳුරු ද්‍රව්‍යය හා අඳුරු ශක්තිය ගැන බුදුදහමේ ඇති දේ ප්‍රකාශ කළ යුතු බවයි. අඳුරු ද්‍රව්‍යය හා අඳුරු ශක්තිය කියා දේ නැත්නම් අඩු තරමෙන් ඒ බවවත් කියනවා ද? බටහිර විද්‍යාව ඒ ගැන යමක් කී පසු බුදුදහමේත් මෙහෙම තියෙනවා කියා කීම බටහිර විද්‍යා ආධිපත්‍යයට බුදුදහම යට කිරීමක් පමණයි.

බුදුදහමේ ඇති බටහිර විද්‍යාවක් නැහැ. බටහිර විද්‍යාව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූවක්. බුදුදහමත් පදනම් වී ඇත්තේ ඒ චින්තනයේ ද? සමහරු හිතන්නේ මා මේ කරුණු කියන්නේ දැන් කියායිි. එසේ කියන්නන්ට කිසිම අලුත් අදහසක් ඇති වෙලා නැහැ. ඔවුන් අනුන්ගේ අදහස් වමාරන්නන් පමණයි. මේ කරුණු විදුසර ලිපිවල පමණක් නොව මගේ ලෝකයෙහිත් කියැවෙනවා. බුදුදහමේ ඊනියා විද්‍යාත්මක බව ගැන මා ලිපි රාශියක් ලියා ඇති. විශේෂයෙන් ම කාලෝ ෆොන්සේකා සමග ඇති වූ සංවාදවල මේ ගැන ප්‍රකාශ කර ඇති.

ධම්මික වෙද මහතාගේ පැණිය බටහිර වෛද්‍ය විද්‍යාවේ පරීක්‍ෂාවලට ලක් කිරීමත් සම්පූර්ණයෙන් ම වැරදියි. එහෙත් බටහිර විද්‍යාවේ ආධිපත්‍යය නිසා එසේ කරන්න සිදු වුණා. එහි දී මා කලින් සඳහන් කළ පරිදි එහි වසක් විසක් නැති බවට ද ඊනියා පරීක්‍ෂාවකින් තහවුරු වුණා. එපමණක් නො වෙයි. එයට අර බටහිර වෛද්‍ය විද්‍යාවේ කියැවෙන ආචාරධාර්මී අවසරය ද ලැබුණා. ඉන් පසු බටහිර වෙදකමේ රෝහලක පැණිය රෝගීන්ට දී ඊනියා සායනික නැහැසුම් (පරීක්‍ෂා) කිරීමද පටන් ගත්තා. අපේ ප්‍රශ්නය මේ නැහැසුම්වලට සිදු වුණේ කුමක් ද කියන එකයි.

ඒ පරීක්‍ෂා දවසකින් දෙකකින් කරන්න බැරි බව කියාවි. රෝගීන් දහසකටවත් නැහැසුම් පවත්වන්න ඕන කියාවි. දැනට රෝගීන් කී දෙනකු සම්බන්ධයෙන් නැහැසුම් කෙරි ඇත් දැයි පවිත්‍රා දේවී ඇමතිවරිය අපට කියනවා ද? ඒ පිළිතුරෙන් ඔය නැහැසුම්වලට තව කොපමණ කලක් ගත වේවි දැයි අපට හිතාගන්න පුළුවන් වේවි.

ඊනියා නැහැසුම්වලට කලක් ගත වෙනව නම් කළ යුත්තේ ඇමතිනි පවිත්‍රා දේවිට බැරි නම් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි පැණිය බෙදා හැරීමට වැඩ පිළිවෙළක් සකස් කිරීමයි. පැණිය ඖෂධයක් ලෙස නිෂ්පාදනය කළ හැකි බවට ආයුර්වේද සූත්‍ර කමිටුව තීරණය කර තියෙනවා. ධම්මික වෙද මහතාගේ ඖෂධාගාරයේ එය නිෂ්පාදනය කළ හැකි බවට ආයුර්වේද කොමසාරිස් සහතිකයක් දී තිබෙනවා. පැණිය නිෂ්පාදනය කිරීමේ ප්‍රශ්නයක් නැහැ. එමෙන් ම එය ආහාර පරිපූූකයක් ලෙසත් අනුමත වෙලා තියෙනවා. පැණිය අවශ්‍ය අයට බෙදා හැරීමට වැඩ පිළිවෙළක් සකස් කරන්න පුළුවන්. ඒ සඳහා අර නැහැසුම් ප්‍රතිඵල බලා ඉන්න ඕන නැහැ.

මා හිතන්නේ ඒ නැහැසුම් අවශ්‍ය වන්නේ බටහිර වෙද මහතුනට පැණිය ඖෂධයක් ලෙස බටහිර රෝහල්වල හා ඔවුන්ගේ බෙහෙත් ශාලාවල නියම කිරීමටයි. ආයුර්වේදයේ හා හෙළ වෙදකමද ඇතුළත් පාරම්පරික වෙදකමේ පැණිය බෙදා හැරීමට ප්‍රශ්නයක් නැහැ. ආයුර්වේදය හා පාරම්පරික වෙදකම බටහිර වෙදකමේ නැහැසුම් පරීක්‍ෂා අවසන් වන තුරු ඉන්න ඕන නැහැ. රෝගීන් හා වෙනත් අය පැණිය ඉල්ලනවා. වසක් විසක් නැති ඖෂධයක් වූ පැණිය බෙදා හැරීමට සුදුසු වැඩ පිළිවෙළක් සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නෙ බටහිර වෙදකමේ පමණක් අමාත්‍යාංශයක් නො වෙයි.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

අපි ලොකුවට හිතමු- මහඇදුරු නලින් ද සිල්වා මහතා

අපි ලොකුවට හිතමු

ලංකාව පොඩි රටක්. ඇත්ත. චීනය ලොකු රටක්. ඇත්ත. ලංකාවෙ ජනගහණය ටිකයි. ඇත්ත. චීනයෙ ජනගහණය ගොඩයි. ඇත්ත. ඒත් ලෝකයේ පැරණි ම ජාතීන් සිංහල හා චීන. චීනය ලොකු වෙලා තියෙන්නෙ රටේ ලොකු කමෙන්වත් ජනගහණයෙ ලොකු කමෙන්වත් නො වෙයි. ඔවුන් ලොකුවට හිතන නිසා. ලොකුවට වැඩ කරන නිසා. ඉංගිරිසින් අප සියල්ලන් ම පුංචි කළා. එංගලන්තයත් පොඩි රටක්. ඒත් ඔවුන් ලොකුවට හිතුවා. ලොකුවට හිතුව විතරක් නොවෙයි අනෙක් රටවල් ජාතීන් පුංචි කළා. ඒක ලංකාවටත් කළා චීනයටත් කළා. ඒත් චීනය චියැං කායි ෂෙක් මාඕ ආදීන් පස්සෙ ගිහිල්ල අද තමන්ගෙ ම මගකට වැටිලා. ඔවුන් ලොකුවට හිතනවා.

අප තාමත් හිතන්නෙ පොඩියට පුංචියට. අපි පුංචි රටක් කියල අපි කියනවා. සමහර වෙලාවට මා අහල තියෙනවා කියවල තියෙනවා සිංහලයන්ට තියෙන්නෙ මේ රට විතරයි වගේ කතා දෙමළ ජාතිවාදී ප්‍රශ්නෙදි සමහර සිංහලයන් කියනවා. සිංහලයන්ට ලෝකයකුත් තියෙනවා. අපි ලෝකෙට ම කතා කරන්න ඕන. ලෝකෙට ම අභියෝග කරන්න ඕන. අපි දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙළෙ ලෝකයා කියන එක අහගෙන ඉඳලා නො වෙයි. ලෝකයට ම අභියෝග කරලා. පනුවන් කන සාම පරෙවියන් මොන බයිල කිවුවත් අපි කියා හිටියා ප්‍රභාකරන් හා ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් කියල. අපට අවසාන වශයෙන් කතා කරන්න ආපු ඉංගිරිසි හා ප්‍රංශ විදේශ ඇමතිවරුන්ට මහින්ද රාජපක්‍ෂ ඇඹිලිපිටියට ගෙන්නල කිවුව අපි කියන එක අහගෙන ඉඳලා ආපහු යන්න කියලා. අපි පුංචි රටක් නො වෙයි.

අවුරුදු දහස් ගණකට පෙර අපි කරපු දේ ගැන ආඩම්බර වෙනවා. ඒ ගැන ආඩම්බර වෙන්න ඕන. ඒ මදි. අපි දැනුත් එවැනි දේ කරන්න ඕන. ලෝකයා අප ලොකුවට ගණන් ගත්ත බව ටොලමිගෙ සිතියමෙන් පැහැදිලි වෙනවා. ඒකෙ ලංකාව ලොකුවට ඇඳලා තියෙන්නෙ. පඬි නැට්ටකු කියාවි ඒ කාලෙ විද්‍යාත්මක උපකරණ තිබුණෙ නැහැ කියල. ලෝක සිතියමෙන් එක් පැත්තකින් කියැවෙන්නෙ ලෝකය ගැන ඒ ඒ අය හිතන විධිය. ඊයේ මා ලිවුවෙ වෙද මහත්තුරු ගැන. මා වෙද මහතුන් ගැන ලොකුවට හිතනවා. මා කාට හරි වෙද මහතා කියන්නෙ මදි පුංචි කමක් කරන්න නො වෙයි. මා පැණිය ගැනත් ලොකුවට හිතනවා. වෙනත් දේශීය ප්‍රතිකාර ගැනත් ලොකුවට හිතනවා. ඊයෙ ලිපිය කියවල පඬි නැට්ටකු අහල තිබුණ පඬි නැට්ට කියන්නෙ අපහාසයට නෙවෙයි ද කියල. ඔව් පඬි නැට්ට කියන්නෙ අපහාසයට තමයි. පඬි නැට්ටන් තමන් ගැන පොඩියට හිතන බටහිරයන්ගෙ හරි ඉන්දියාවෙ හරි කාගෙ හරි කතා අනුකරණය කරන අපටත් පොඩියට හිතන්න කියන පුස්සන් ටිකක්. ඔවුන්ට මා අපහාස කරනවා. ඒකෙ දෙකක් නැහැ.

බටහිරයන් අද ලෝක සිතියම ඇඳලා තියෙන්නෙ මර්කේටර් ප්‍රක්‍ෂෙපණය අනුව. ඒකෙ යුරෝපීය රටවල් ලොකුවට පෙන්නුම් කරනවා. අප වැනි රටවල් පොඩි කරනවා. සිතියමෙ පොඩි කරනවා. ආර්ථිකව පොඩි පට්ටම් කරනවා. හිතින් කුරුමිට්ටන් කරනවා. චීනය අද අළු ගසා දාල නැගිටින්නෙ ඔවුන් ලොකුවට හිතන නිසා. ඒත් අප එකල චීනයට පොඩි වුණෙ නැහැ. එකල අප භාරතයට පොඩි වුණෙත් නැහැ.

මා දැන් ඉන්නෙ අග්නිදිග ආසියාවෙ. අග්නිදිග ආසියාව ගැන අද නැවතත් කතා වෙනවා. ඒ අර ටයර් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන්. ඒක අග්නිදිග ආසියාවෙ ලොකුම ටයර් කර්මාන්ත ශාලාව කියල. පඬියන් අහනව අපි ඉන්නෙ අග්නිදිග ආසියාවෙ ද කියල. භූගෝලිය වශයෙන් නම් නැහැ තමයි. ඒත් ඔය කියන්න හදන්නෙ දකුණු ආසියාවත් අග්නිදිග ආසියාවත් එකට ගත්ත ම ඔය හොරණ ටයර් කර්මාන්ත ශාලාව තමයි ලොකු ම එක කියලා. පඬියන් පඬි නැට්ටන් දන්නෙ වචයක එල්ලිලා හෙළුවෙන් හරඹ කරන්න.

අග්නිදිග ආසියාවෙ ඉන්න කොට හොඳට තේරෙනවා ලංකාවෙ ලොකුකම. මේ රටවල තියෙන්නෙ සිංහල බුද්ධාගම. මේ සංස්කෘතියෙ ප්‍රධාන සංරචකය (කොටස) චීනවත් භාරතීයවත් නො වෙයි. සිංහල බෞද්ධ. අපි ඉංගිරිසින් වගේ මේ රටවල් යටත් කරගත් නිසා නො වෙයි ඒක සිද්ධ වුණෙ. අපට ඒ දවස්වල ලොකුවට හිතන්න පුළුවන් වුණු නිසා. ටොලමි විතරක් නොවෙයි අග්නිදිග ආසියාවත් ලංකාව ගැන ලොකුවට හිතුව. කවුරුන්වත් අප ගැන ලොකුවට හිතන්නෙ නැහැ අප ලොකුවට හිතන්නෙ නැත්තන්.

අපට ලෝකයක් තියෙනවා කියල අපි හිතන්න ඕන. අපට තියෙන්නෙ ලෝක දැක්මක්. ඒ ලෝක දැක්ම අපේ චින්තනය මත පදනම් වූ එකක්. අපේ දැක්ම ලංකාවට පමණක් සීමා වූ එකක් නො වෙයි. ක්වොන්ටම් කතා පට්ටපල් බොරු වුණත් අංශුවක් එක විට දෙතැනක පිහිටන්නෙ අපේ ලෝක දැක්ම අනුව. අද චතුස්කෝටිකයට පඬියන් පඬි නැට්ටන් හිනහවෙනවා. ඔවුන් කියනව අපි රෙදි ඇඳලයි ඇඳල නැහැයි දෙක ම කියල. අර ක්වොන්ටම් අංශු එතැනත් ඉන්නවා මෙතැනත් ඉන්නවා. සමහර වෙලාවට එක තැනක ඉන්නත් පුළුවන්. ඇරිස්ටෝටල්ගෙ ද්විකෝටිකයෙන් පමණක් කතන්දර හදන එක තවදුරටත් කරන්න බැහැ.

අපි දේශීය ව හිතනවා. ඒ කියන්නෙ අපි ලංකාවට කොටු වෙලා කියන එක නො වෙයි. අප අපේ චින්තනය මත පදනම් ව හිතනවා. ඒත් අපි ගෝලීය ව වැඩ කරනවා. අපට ලෝකයක් තියෙනවා. අප කතා කරන්නෙ ලෝකයට ම. හරියට ම කියනව නම් තුන් ලෝකයට ම.

පසුගිය දා මට මියන්මාරයෙ ඊජිප්තු තානාපතිතුමා හමු වුණා. කතා කරන අතරෙ ඔහු කිවුව පිරමිඩ් හැදුවෙ කොහොමද කියල තාම දන්නෙ නැහැ කියල. මා ඔහුට කිවුවෙ අපත් පිරමිඩ් හදල තියෙන බව. ටිකක් වියුක්ත වුණත් මා පිරමිඩයක් කියන්නෙ ද්විමාන පදනමක යම් ජ්‍යාමිතික රූපයක සියලු ලක්‍ෂ පදනමේ තලයට බාහිර ව පිහිටි ලක්‍ෂ්‍යයකට (ශිර්ෂයකට) යා කිරීමෙන් ලැබෙන ත්‍රිමාන වස්තුවකට. ග්‍රීකයන් පිරමිඩ් කිවුවෙ ත්‍රිකෝණාකාර තල ටිකක් ශිර්ෂයකට යා කිරීමෙන් ලැබෙන වස්තුවලට. ග්‍රීක ජ්‍යාමිතියෙ තියෙන්නෙ එහෙමයි. එලෙස ත්‍රිකෝණ ලැබෙන්නෙ පදනමේ තියෙන්නෙ සරල රේඛාවලින් හැදෙන රූප නිසා. ඊජිප්තුවෙ තියෙන්නෙ එවැනි පිරමිඩ.

අපි අපේ පිරමිඩ නිර්වචනය හදල තියෙන්නෙ චෛත්‍යයක් ද පිරමිඩයක් වෙන පරිදි. චෛත්‍යයක් කියන්නෙ පදනමේ වෘත්තයක පිහිටි ලක්‍ෂ්‍ය ශීර්ෂයට (වක්‍ර) රේඛා මගින් යා කිරීමෙන් සෑදෙන ත්‍රිමාන වස්තුවක්. ඒ වක්‍ර රේඛාවල ස්වභාවය අනුව අපට බුබ්බුලාකාර, ඝන්ඨාරාකාර ආදී වශයෙන් චෛත්‍ය ලැබෙනවා. අප චෛත්‍ය හදපු හැටි මහාවංසෙ තියෙනවා. ඒක මේ ලෝකෙට පමණක් අයිති කතාවක් නො වෙයි.

මා මේ සියල්ල කිවුවෙ හොරණ අලුත් ටයර් කර්මාන්ත ශාලාව ගැන කියන්න. අපට විශාල වෙළෙඳපොළක් නැහැ කියන්න ඕන නැහැ. අපේ වෙළෙඳපොළ ලෝකය ම. අපි ලෝකයට ම නිෂ්පාදනය කරමු. එහෙත් දේශීය ව හිතමු. හැකිතාක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමු. අපේ ව්‍යවසායකයන් ලොකුවට හිතන්න ඕන. ලෝක වෙළෙඳපොළක් තියෙනවා. අපට ලෝකයට දෙන්න බොහෝ දේ තියෙනවා. දැනුම එකක් පමණයි. අප අපේ ආධිපත්‍යයක් ගැන හිතන්නෙ නැහැ. අග්නිදිග ආසියාවෙ සිංහල බුද්ධාගමේ ආධිපත්‍යයක් නැහැ. අපි ආධිපත්‍යයක් නැතිව ලෝකය සමග ගණුදෙනු කරමු.

නන්දන ලොකුවිතාන මහතාට අපි තෙරුවන් සරණින් ජය පතනවා. ඔහු කාට කාටත් පාඩමක් කියල දීල.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

ගුරුවරුන්ට කියන නමක් යොදා ගන්නා බටහිර වෙද මහත්වරු – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ගුරුවරුන්ට කියන නමක් යොදා ගන්නා බටහිර වෙද මහත්වරු

අනිල් ජාසිංහට බටහිර වෙද මහතකු යැයි කීම ඔහුට කරන අපහාසයක් ද? මා මේ ප්‍රශ්නය නගන්නේ එංගලන්තයේ සිටින මෙරටින් ගිය බටහිර වෙද මහතකු එසේ කියා ඇති බැවින්. අද එංගලන්තයේ සිටින වෙද මහතා මෙරට ඉන්න කාලයේ ලංකාවේ තම ක්‍ෂෙත්‍රයේ ප්‍රධාන ම වෙද මහතෙක්. එංගලන්තයේ කොහොමද කියන්න මා දන්නේ නැහැ. ඒත් ප්‍රශ්නය එය නො වෙයි. බටහිර වෙදකම කරන අය බටහිර වෙද මහතුන් නො වේ ද? ඔවුන් වෙද මහතුන් නො වේ නම් කවුද?

අපේ දෙමව්පියන් වෙද මහත්තයා යැයි කීවේ කිසිම අගෞරවයකින් නො වෙයි. ගුරුවරුන් වූ ඔවුන්ට ගම් වැසියන් සිසුන් හා අනෙක් අය කීවේ ඉස්කෝලේ මහත්තයා ඉස්කෝලෙ හාමිනේ කියායි. ඒ දවස්වල මගදි හමු වූ සමහරු මට කිවුවෙ ආ මේ ඩේලින් ඉස්කොලෙ හාමිනේගේ ලොකු පුතා නේ ද කියලයි. මට ඒක ගෞරවයක් මිස අපහාසයක් වුණේ නැහැ. අප බටහිර වෙද මහතුන්ට එකල කිවුවෙ දොස්තර මහත්තයා කියල.

ඒ අර ඉංගිරිසි ඩොක්ටර් කියන එකෙන් ආපු එකක්. ඒත් ඒක දොක්තර මහත්තයා නොවී දොස්තර මහත්තයා වුණෙ කොහොමද කියන එක දන්නෙ නැහැ. උච්චාරණ පහසුව ද එහෙම නැත්නම් පෘතුගීසි හරි ලන්දේසි හරි ආභාසයක් ද කියන්න දන්නෙ නැහැ. doctor කියන එකේ c ස ලෙස කවුරුන් අතින් හරි උච්චාරණය වුණා ද දන්නෙත් නැහැ. calcium කිව්ව ම පළමු c ක දෙවැනි c ස.

දැන් ඔය ඩොක්ටර් කියන වචනයටත් ඉතිහාසයක් තියෙනවා. ඒක බිඳෙන්නෙ ලතින් වචනයකින්. ලතින් ක්‍රියා පදයක් තියෙනවා docere ඩොකරෙ කියල. ඒකෙ තේරුම උගන්වනවා කියන එක. ඉස්සර ඩොක්ටර් කියන වචනය යොදා ගෙන තියෙන්නෙ ගුරුවරයාට. ඒ පළමුවෙන් දේව ධර්මය උගන්වන අයට. පසුව නීතිය හා වෙදකම උගන්වන යටත්. ඊටත් පසුව අද මානව ශාස්ත්‍ර හා ශාස්ත්‍ර කියන විෂය උගන්වන අයට. ඉස්සර DD (දේවධර්මය උගන්වන්නා) MD (වෙදකම උගන්වන්නා) ආදී වශයෙන් තිබිල තියෙන්නෙ. පස්සෙ philosophy කියල ඔය හැම ක්‍ෂෙත්‍රයකම යොදා ගෙන තියෙනවා. ෆිලොසොෆි කියන්නෙ love of wisdom හෙවත් ඥානාශාව වගේ දෙයක් නෙ. මා කතා කරන්නෙ දැනුම ගැන මිසක් එක එක ඥානල ගැන නොවෙයි. ෆිලොසොෆි කියන එක දාර්ශනිකයො අයිති කර ගෙන තියෙන්නෙ පස්සෙ.

ඒ වුණාට පීඑච්ඩී උපාධිය කියන්නෙ ඒ ඒ ක්‍ෂෙත්‍රයෙ ඥානාශාව නිසා ලබා ගත හැකි විශ්වවිද්‍යාලයක ඉහළ ම උපාධිය. ඒ ඒ ක්‍ෂෙත්‍රයේ ඉගැන්වීම තමයි මේ ඩොක්ටර්ලා අතින් කෙරුණෙ. ඩොක්ටර් කියන එක ආචාර්ය ලෙස සිංහලට පරිවර්තනය කිරීම හොඳ දෙයක්. ඒත් පීඑච්ඩී නැත්නම් ඩොක්ටර් ඔෆ් ෆිලොසොෆි කියන එක දර්ශනශූරී කියන එක නම් එච්චර හොඳ නැහැ. ඥානශූරි හරි වෙන මොකක් හරි කිවුව නම් හොඳය කියල හිතෙනවා. අද දර්ශනය කියන එකෙන් අදහස් කරන්නෙ වෙනත් දෙයක් නිසා.

එංගලන්තෙ ආචාර්ය උපාධි දෙන්න පටන් අරන් අවුරුදු සීයකට වැඩිය නැහැ. කලකට පෙර පීඑච්ඩී නැත්නම් ආචාර්ය උපාධිය ගන්න යුරෝපයට යන්න වෙලා. පීඑච්ඩී කියන එකෙන් වෙදකම ඉගැන්වීමත් කියැවුණා. එංගලන්තෙ හිටපු සමහර අය quack නමින් කියැවෙන පුහුණුවක් නොලැබ වෙදකම් කළ අය තමන් ඩොක්ටර් කියල හඳුන්නගෙන තියෙනවා. ඒ කියන්නෙ සමහර බාසුන්නැහැලත් තමන් ඩොක්ටර් කියා හඳුන්නගන්න ඇති. කමක් නැහැ සුදු බාසුන්නැහැල නොවැ.

පස්සෙ කාලෙක දි 1838දි තමයි එංගලන්තයෙ වෛද්‍යවරුන්ගෙ රාජකීය සංවිධානය (Royal Colege of Physicians ) තීරණය කරල තියෙන්නෙ වෙන උපාධියක් තිබුණත් නැතත් තමන් දුන් ඩිප්ලෝමාව ඇති අයට පමණක් ඩොක්ටර් කියල නම් කිරීමට. පසුව ඔවුන් ඒ තීරණය වෙනස් කරල MD (ඩොක්ටර් ඔෆ් මෙඩිසින්) තියෙන අයට පමණක් ඩොක්ටර් කියල යෙදීමට තීරණය කරල. ඒත් ඔය මොන තීරණ තිබුණත් විවිධ වෙදකම්කළ අය ඩොක්ටර් කියල යොදා ගත්ත. 1905 දී ශල්‍ය වෛද්‍යවරුන්ගෙ රාජකීය මණ්ඩලය (Royal College of Surgeons) යෝජනා කරල අර වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය ඒකාබද්ධ උපාධිය (Bachelor of Medicine and Bachelor of Surgery – MBBS) උපාධිය තියෙන අයට ඩොක්ටර් කියල යොදන්න. ඔය බැචරලර් කියන එකටත් ඉතිහාසයක් තියෙනවා. දැන් ලිපිය දිග වැඩි වුණා. ඒක කියන්න බැහැ.

මූල දි වෛද්‍යවරුන්ගෙ මණ්ඩලය ශල්‍ය වෛද්‍යවරුන්ගෙ මණ්ඩලයෙ යෝජනාවට එකඟ වෙලා නැහැ. පස්සෙ 1912 දි තමයි MBBS උපාධිධාරීන්ට ඩොක්ටර් කියල යොදන්න නීති හදා ගෙන තියෙන්නෙ. වැඩි කාලයක් නැහැ. ලංකාවෙ බටහිර වෛද්‍ය විද්‍යාලය පටන් අරන් තියෙන්නෙ 1870. ඒකෙන් වෛද්‍යකර්ම හා ශල්‍ය වෛද්‍යකර්ම කරන්න බලපත්‍රයක් (LMS) දුන්න. ලංකාවෙ නම් ඒ අයටත් ඩොක්ටර් කිවුව.

බටහිර වෙද මහතුන්ට ඩොක්ටර් කියන එකේ ඉතිහාසයෙන් බිඳක් තමයි කිවුවෙ. ගුරුවරුන්ට කියන නමක් වෙද මහත්වරුනට කියන්න හදාගෙන. ඉංගිරිසියෙන් ඩොක්ටර් කියන එක ක්‍රියා පදයක් හැටියටත් යෙදෙනවා. ව්‍යාජ ලේඛන සකස් කිරීම වැනි දේ එයින් කියැවෙනවා. බටහිර වෙද මහතුන් ඩොක්ටර් කියන එක ඩොක්ටර්ඩ් කරගත් දෙයක් කියල මා කියන්නෙ නැහැ. ඒත් මා හිතනවා බටහිර වෙද මහතා කියන එක වඩා හොඳයි කියලා.

කවුරු හරි කියන්න බැරි නැහැ ඉතිහාසය කුමක් වුවත් අද ඩොක්ටර් කියන එක ගෞරවනීය අදහසක් දෙනවා කියලා. ව්‍යවහාරය අනුවත් අප වැඩ නොකරනව නො වෙයි. ඒත් ඉතින් වෙද මහත්තයා කියන එක අපහාසාත්මක දේකුත් නො වෙයි. මා පාරම්පරික වෙද මහතුන්ට ගරු කරනවා. මා වෙද මහතා කියන්නේ අපහාස කරන්න නො වෙයි.

බටහිර වෙද මහතුන්ගෙන් යම් පිරිසක් ඉන්නව සිංහල පාරම්පරික වෙදකමට හා වෙනත් වෙදකම්වලට ගරු කරන. ඒ අයට මා ගරු කරනවා. එහෙත් බොහෝ දෙනා එසේ සිතන්නේ නැහැ. අනිල් ජාසිංහට බටහිර වෙද මහතකු යැයි කීම අපහාසයක් යැයි සිතන්නේ පාරම්පරික වෙද මහතුන් තමන්ට වඩා පහත් යැයි සිතන බටහිර වෙද මහතුන්. අද ඔවුන්ගේ ආධිපත්‍යය බිඳ වැටෙමින් තියෙනවා. බටහිර වෙද කමෙනුත් ප්‍රයෝජන තියෙනවා. ඒත් ආධිපත්‍යය අපට අවශ්‍ය නැහැ. ධම්මික වෙද මහතා අඩුම තරමෙන් පැණියක් හදල. ලංකාවෙ බටහිර වෙද මහතුන් බටහිර වෙදකමට අලුතෙන් එකතු කරල තියෙන්නෙ මොනවා ද? දැන ගැනීමට නොඉවසිල්ලෙන් ඉන්නවා.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

අපේ පැත්තෙන් අසමත් විශ්වවිද්‍යාලය- මහඇදුරු නලින් ද සිල්වා මහතා

අපේ පැත්තෙන් අසමත් විශ්වවිද්‍යාලය

මේ මස විසිඑක්වැනි දා ට විශ්වවිිද්‍යාල ආයතනය පිහිටුවා අවුරුදු සීයක් ගතවෙනවා. මේ ලිපියත් ලබන බදාදා (20) ලිපියත් ඒ වෙනුවෙන්. විශ්වවිද්‍යාල ආයතනයක් කියන්නෙ විශ්වවිද්‍යාලයක් නො වෙයි. ඒත් තවමත් ලංකාවේ තියෙන්නේ නම මොකක් වුණත් විශ්වවිද්‍යාල ආයතන. ඒ නිසා අපට ලංකාවේ විශ්වවිද්‍යාල ආරම්භය 1921ට ගෙනි යන්න පුළුවන්. 1921 දි ඇති කෙළෙ ලන්ඩන් විශ්වවිද්‍යාලෙ උපාධිවලට සිසු සිසුවියන් පුහුණු කරන ආයතනයක්. එහි විෂය නිර්දේෂ නියම කිරීම, ප්‍රශ්න පත්‍ර සැකසීම, පිළිතුරු පත් බැලීම ආදිය කෙරුණෙ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන්. ඉගැන්වීම හා විභාග අධීක්‍ෂණය තමයි ලංකාවෙ ගුරුවරුන්ගෙන් කෙරුණෙ. ඒකට ඔවුන්ට ගෙවීමක් කෙරුණා. අදත් ලංකාවෙ කථිකාචාර්යවරුන්ට විභාග අධීක්‍ෂණයට ගෙවීමක් කෙරෙනවා. ඉගැන්නුවත් නැතත් වැටුපක් ගෙවනවා.

විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවීම ගැන පස්සෙ කියන්නම්. ඒ ආයතනයත් 1870 පිහිටුවන ලද වෛද්‍ය විද්‍යාලයත් එකතු කරල 1942 දි ලංකා විශ්වවිිද්‍යාලය පිහිටෙව්වා. 1952 දි ශාස්ත්‍ර හා පෙරදිග අධ්‍යයන පීඨ පේරාදෙණියට ගෙනිච්ච. ඊට පෙර 1949 දි කෘෂිකර්ම, පශු වෛද්‍ය හා නීති අධ්‍යයනාංශ පේරාදෙණියට ගෙනියල තිබුණ. 1961 දි දෙවැනි විද්‍යා පීඨයක් හා දෙවැනි වෛද්‍ය විද්‍යා පීඨයක් පේරාදෙණියේ පිහිටෙව්වා. 1964 දි ඉංජිනේරු පීඨය පේරාදෙණියට ගෙනයෑම ඇරඹුණා. විශ්වවිිද්‍යාලය අරුප්පලට හා තවත් තැන්වලට ගෙනි යන්නත් කතා තිබුණා. මා දැක්කා පඬි නැට්ටකු ලියා තිබුණා පේරාදෙණිය හා අරුප්පල එක තැන යන තේරුම එන විධියට. අරුප්පලට යන්නෙ මහයියාවෙ රා කඩේ ළඟින් හැරිල. සමහර විට විශ්වවිද්‍යාලයට එතැන හොඳ වෙන්න තිබුණ.

ඒ කොහොම වෙතත් 1967 ඔක්තෝම්බරයෙ දි ලංකා විශ්වවිද්‍යාලය දෙකට කැඩුවා. එකක් පේරාදෙණියෙ. එය ලංකා විශ්වවිද්‍යාලය නමින් ම ගෙන ගියා. අනෙක කොළඹ විශ්වවිද්‍යාලය කියල නම් කෙරුණ. කොළඹ වෛද්‍ය ශිෂ්‍යයන්ට ඒක ප්‍රශ්නයක් වුණා. ඔවුන් කියා හිටිය එංගලන්තෙ දන්නෙ ලංකා විශ්වවිද්‍යාලය කියන එක මිසක් කොළඹ නොවන බවත් ඒ නිසා ඔවුන්ට එංගලන්තයෙ ලියා පදිංචියට බාධාවක් කියාත්. ඒ ප්‍රශ්නය දුර දිග ගියා. පන්ති වර්ජනත් තිබුණා. කොළඹ විශ්වවිද්‍යාලෙ සිසුන් එම් ඒ ජස්ටින්ගෙ නායකත්වයෙන් (පරණ) පාර්ලිමේන්තුව වැටළුවා. ජස්ටින් කතානායක අසුනෙ වාඩිවෙලා රැස්වීමකුත් පැවැත්තුව. කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා කියල නම් කෙරුණා. 1972 දි සියලු විශ්වවිද්‍යාල එකතු කරල ලංකා විශ්වවිද්‍යාලය පිහිටෙවුවා. විශ්වවිිද්‍යාල මණ්ඩප වුණා. 1978 දී නැවතත් වෙන වෙන ම විශ්වවිද්‍යාල නම් කෙරුවා. දැන් කොළඹ විශ්වවිද්‍යාලයත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් තියෙනවා. අප උපාධි ලත් ලංකා විශ්වවිද්‍යාලය නැහැ. විශ්වවිද්‍යාල ආයතනයෙ අනුප්‍රාප්තිකයන් ලෙස කොළඹ විශ්වවිිද්‍යාලය වගේ ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් සලකන්න පුළුවන්.

මා 1963 ජූනි මාසෙ ඇතුල් වුණෙ ලංකා විශ්වවිද්‍යාලයෙ පේරාදෙණියට. 1964 ඔක්තෝම්බරයෙ ගණිතය හැදෑරීමට කොළඹට ආවා. 1967 ලංකා විශ්වවිිද්‍යාලයෙන් උපාධිය ලැබුණා. 1967 ඔක්තෝම්බරයෙ පේරාදෙණියට පත්වීමක් ලැබුණා. 1975 දි අස්වෙලා ඕස්ත්‍රේලියාවට ගියා. ඒ බිරිඳ ලොකු පුතාත් (ළදරු) සමග පශ්චාත් උපාධිය සඳහා ගිය නිසා. අප 1977 අවසන ආපසු ආවා. පේරාදෙණි මණ්ඩපය මා නැවත බඳවා ගැනීම ප්‍රතික්‍ෂෙප කළා. මණ්ඩපයත් විශ්වවිද්‍යාලයත් තීරණය කරල තිබුණ මා නුසුදුස්සකු කියල. ඒ දිනවල, 1972න් පස්සෙ එක විශ්වවිද්‍යාලයයි තිබුණෙ. පේරාදෙණිය මණ්ඩපයෙන් ප්‍රතික්‍ෂෙප වුණු මා කොළඹ මණ්ඩපයෙන් ද ප්‍රතික්‍ෂෙප වුණා. කොළඹට ඉල්ලුවා ම ගත්තෙ නැහැ. 1978 ජේ ආර් නැවත විශ්වවිද්‍යාල වෙන් කළාට පසු ජේ ආර්ගෙ ඥාතියා ස්ටැන්ලි විජේසුන්දර මා කොළඹට බන්දා ගත්තා. 1978 ජේ ආර් විශ්වවිද්‍යාල වෙන් නොකරන්න මට ඒ පත්වීම ලැබෙන්නෙ නැහැ. 1992 දි ජී එල් පීරිස් සහ පාලක මණ්ඩලය මා කොළඹින් අස් කළා.

මා මේ ටික සඳහන් කෙළෙ කොළඹත් පේරාදෙණියෙත් දෙකේම ඉගෙන ගත්ත කියා කියන්න පුළුවන් (මා ඉගෙන ගත්ත දෙයක් නැහැ) දෙකේ ම ඉගැන්නුවාය කියන්න පුළුවන් (මා උගන්නපු දේකුත් නැහැ) දෙකෙන් ම ප්‍රතික්‍ෂෙප වුණු එකම තැනැත්තා මා විය හැකි නිසා. ඒ නිසා විශ්වවිද්‍යාල ආයතනයට මගේ ඇති සම්බන්ධය වැඩියි. ඒත් ඒ අය කැමති වෙන එකක් නැහැ මා එක්ක සම්බන්ධකම් පවත්වන්න.

ලංකාවට විශ්වවිද්‍යාලයක් අවශ්‍ය කියා මුලින් ම හඬ නැගුවෙ පොන්නම්බලම් රාමනාදන් ජේම්ස් පිරිස් මාකස් ප්‍රනාන්දු ප්‍රධාන අය. ඔවුන් තිදෙනා ම රාජකීය විද්‍යාලයෙ ආදි සිසුන්. ඔවුන්ගෙ නමින් පේරාදෙණියෙ ශාලා තියෙනවා. ලංකාවෙ ප්‍රභූන් විශ්වවිද්‍යාලයක් ඉල්ලුවට ඉංගිරිසි ආණ්ඩුව එයට කැමැත්තැක් දැක්වූයේ නැහැ. ඒ ඇයි ද කියන එක මට තේරෙන්නෙ නැහැ. ඔවුන් මියන්මරයට යැන්ගොන් (රැංගුන්) විශ්වවිද්‍යාලය දීල තියෙන්නෙ 1920 දෙසැම්බරයෙ. ඉන්දියාවට විශ්වවිද්‍යාල දුන්නෙ ඊටත් ඉස්සර. ලංකාවෙ තමයි හොඳ ම අනුකාරකයන් හිටියෙ. ඉංගිරිසි පාසල් අධ්‍යාපනය වඩාත් ම සාර්ථක වෙලා තියෙන්නෙ ලංකාවෙ. විශ්වවිද්‍යාලය කවද පිහිටෙව්වත් එය මේ අනුකාරක අධ්‍යාපනයෙ දිගුවක් පමණයි. මෙරට නිදහස් සටනට විශ්වවිද්‍යාලෙ දායකත්වය මොකක් ද? මෙරට විසිවැනි සියවසේ නිදහස් සටනක් කියා එකක් තිබුණ ද? යැංගොන් විශ්වවිද්‍යාලයෙන් අවුං සාන් ලා බිහි වෙන විට ලංකා විශ්වවිද්‍යාලවලින් බිහි වෙලා තියෙන්නෙ කවුද? ඉංගිරිසින් අපට වෙන කාටත් කලින් 1931 දී සර්වජන ඡන්දය ලබා දුන්නෙ ඇයි? අපි කවුද?

අපි ඉංගිරිසි අධ්‍යාපනයෙන් බිහිවූවන්. ඉංගිරිසි අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍යයෙන් ම දෙන්න ඕන නැහැ. භාෂා මාධ්‍යය එහි දී වැදගත් වෙන්නෙ නැහැ. අධ්‍යාපනය ලබන්නන් ගමේ ද නගරයේ ද යන්න බලපාන්නෙත් නැහැ. අද ධම්මික වෙද මහතාට හා පැණියට හිනාවෙන අය මේ අධ්‍යාපනයෙන් බිහි කෙරුණු අය. ඉංගිරිසි අධ්‍යාපනය බටහිර රටවලින් බාහිර ව හොඳට ම මුල් බැහැගෙන තියෙන්නෙ ලංකාවෙ. බටහිර දැනුම් ආධිපත්‍යයට දැනුම් යටත්විජිතවාදයට වැඩියෙන් ම යටවෙලා තියෙන්නෙ ලංකාව. ඒකටත් හේතු තියෙනවා. ඒවා පස්සෙ කතා කරමු.

අද තිබෙන අධ්‍යාපනයෙ පියවරු මෙතෝදිස්ත නැත්නම් වෙස්ලියානු පූජකවරු. ඉංගිරිසි පාලකයන් ඇංග්ලිකන්. ඔවුන් මෙතෝදිස්තයන් සැක කළා. කොළඹ පාසල් පිහිටුවන්න දුන්නෙ නැහැ. ඒ නිසා මෙතෝදිස්ත මිෂනාරීන් ගාල්ල, යාපනය, මඩකලපුව ආදී ප්‍රදේශවලට ගියා. ලංකාවෙ පැරණි ම බටහිර ක්‍රිස්තියානි පාසල් තියෙන්නෙ මේ නගරවල. ඒ මෙතෝදිස්ත පාසල්. මේ මිෂනාරීන් තමයි ලංකාව දෙකඩ කරන්න ඕන කියල ඉස්සෙල්ල ම කියල තියෙන්නෙ. ඔවුන් දැනගෙන හිටි ඉතිහාසයක් නැහැ. ඔවුන් හිතුවෙ මෙරට එක රටක් නොව රටවල් දෙකක් කියල. ලංකාවෙ භාෂා දෙකක් පමණක් කතා කිරීම ප්‍රශ්නයක් වී ඇති බව පැහැදිලියි. මෙරට භාෂා විසිපහක් විතර කතා කළා නම් ඔවුන් කියන්නෙ නැහැ රටවල් විසිපහක් කියල.

මිෂනාරීන්ට මුල පටන් ඕන වුණෙ සිංහල බුද්ධාගමට සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගහන්න. ඒක තමයි ඔවුන්ගෙ අධ්‍යාපනයෙ අරමුණ. අපේ සංස්කෘතියට පහර දීල අපේ දැනුම ඊනියා මිථ්‍යාවක් කියල අපට බටහිර දැනුම ලබා දෙන එක. බටහිර දැනුම උසස් ය කියන එක අපේ සිත්වලට කාන්දු කළා. එය අපේ හිත්වල කිඳා බැස්සා. පසුව ඇංග්ලිකන් මිෂනාරීන් ද පාසල් පිහිටෙවුව. කොළඹ ඔවුන්ගෙ බුත්තියට වගේ තියා ගත්තා. වෙස්ලි විද්‍යාලය වෙන්න ඕන මෙතෝදිස්ත පල්ලිය කොළඹ පිහිටුවපු පළමු පාසල. ඊට පසු කතෝලික පාසල් ද ඇරඹුණා. 1886 දි ආනන්ද විද්‍යාලය ඇති කළත් එයට පුළුවන් වුණෙ අර ක්‍රිස්තියානි අධ්‍යාපනයට බෞද්ධ සායම් ටිකක් ගෑම පමණයි.

ප්‍රභූ පාසල්වල විතරක් නොවෙයි හැම තැන ම ඉංගිරිසි අධ්‍යාපනය උසස් ලෙස සැලකුණා. ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වන පාසල්වලට ඉහළ වැදගත්කමක් ලැබුණා. සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල නොමිලේ ඉගැන්වුවා. ඒ දුන්නෙත් ඉංගිරිසි අධ්‍යාපනය. ඉංගිරිසි මාධ්‍ය පාසල්වල මුදල් අය කරා. අධ්‍යාපනය රැකියා පිළිබඳ මිනුම්දණ්ඩ බවට පත් කෙරුණා. සමාජයේ ඉහළට යන්න අධ්‍යාපනය විශේෂයෙන් ම ඉංගිරිසි මාධ්‍යයෙන් ලබා දුන් අධ්‍යාපනය අවශ්‍ය වුණා. ඒ සමග පෞද්ගලිකත්වය ද වර්ධනය කෙරුණා. පංතියේ පළමුවැනියා වීම පරීක්‍ෂණවලින් පළමුවැන්නා වීම අගය කෙරුණා. හිතන්න බැරි අය බිහි කෙරුණා. ඊනියා සුදුසුකම් වැඩි වන විට වැදගත් ය කියන රැකියා ලැබුණා. අධ්‍යාපන තරගය නිසා ඊර්ෂ්‍යාව වෛරය වර්ධනය වුණා. පවුල් අසමගිය පැතුරුණා. එක පවුලකට වඩා හොඳින් ඉගෙන ගන්න අනෙක් පවුල උත්සාහ කළා. එක ම පවුලේ වුණත් අධ්‍යාපනයෙන් භේද ඇති කෙරුණා. ඇතැමුන් එයට වෙනස් ව වැඩ කරන්න ඇති. ඒත් පොදුවේ ගත්ත ම අධ්‍යාපනය විසින් විෂමතාව ඇති කෙරුණා.

බොහෝ දෙනා එය එහෙම නොවෙයි කියාවි. මේ ලිපිය ගැන මට දොස් කියාවි. අධ්‍යාපනයෙන් තමන්ට වී ඇති යහපත ගැන කියාවි. මා එකල මහාචාර්ය වුණෙ කොහොමද කියල අහාවි. ඒත් නිවාඩු පාඩුවෙ කල්පනා කළොත් පොදුවේ ගත්ත ම අධ්‍යාපනයෙන් සමගිය ඇති වී තිබෙනවා ද තරගය අසමගිය වැඩි වී තිබෙනවා ද කියා වැටහේවි. අප අවසානයේ දී අපට ලැබෙන රැකියාවෙන් තෘප්තිමත් වෙනවා. වෙන මොනව කරන්න ද? එක ම ක්‍ෂෙත්‍රයේ ඊනියා සහෝදරත්වයක් ගැන බයිලා කිවුවත් ඇත්තේ තරගයක්. බෙලි කැපීමක්.

ඉංගිරිසි අධ්‍යාපය දරුණු හීනමානයකට ද අප යොමු කළා. ඉගෙන ගත් පාසල අනුව වර්ග කිරීමක් සිදු වෙනවා. මා දන්නා ආනන්ද ආදී සිසුන් තම පුතුන් රාජකීය විදුහලට ඇතුල් කෙළේ ඇයි? ශස්ත්‍ර පීඨවල කථිකාචාර්යවරුන්ගේ දරුවන් ශාස්ත්‍ර පීඨවලට ම ඇතුල් වුණොත් අසාමාන්‍ය විධියට ඉංගිරිසි අධ්‍යනංශයට යොමු වන්නේ ඇයි? මා කථිකාචාර්යවරුන්ට දොස් කියනවා නො වෙයි. අධ්‍යාපනය සැකසී ඇත්තේ ඒ ආකාරයෙන් අගය කිරීමටයි.

අද පහේ ශිෂ්‍යත්වය තියෙනවා. අධ්‍යාපන තරගය තියෙනවා. කලකට පෙර ශිෂ්‍යත්වවලින් කෙරුණේ යම් මිනුම් දණ්ඩක් අනුව දක්‍ෂ යැයි කියන සිසුන් තෝරා ඔවුන් ඊනියා වැදගත් රැකියා සඳහා යොමු කිරීමට අධ්‍යාපනයක් ලබා දීමයි. පහේ ශිෂ්‍යත්වයෙන් ඒක එහෙම ම කෙරෙන්නේ නැහැ. ඒ අපට ක්‍රමය හරි හැටි නොතේරීම නිසා වෙන දෙයක්.

ප්‍රභූ පාසල්වල සිංහල උගන්වන ගුරුවරයා ගමයා ආදී නම්වලින් හැඳින්වුණේ ඇයි? අප සමාජයේ වැඩියෙන් ම බලපාන්නේ දැනුම් ආධිපත්‍යයයි. පාසල් අතර වර්ගීකරණයක් තිබෙන පරිදි විශ්වවිද්‍යාල අතර ද වර්ගීකරණයක් තියෙනවා. පිටරට විශ්වවිද්‍යාල ගැන ද වර්ගීකරණයක් තියෙනවා. ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ප්‍රින්ස්ටන් හාවඩ් ආදී වශයෙන්. මේ එකක්වත් අප හදා ගත්ත දේ නොවෙයි. අපට ඉංගිරිසින් දුන් ඒවා. කවුරුහරි හිතනව නම් අධ්‍යාපනයෙන් උස් මිටි තැන් නැති කරනවා කියා එය වැරදියි.

1921 පිහිටුවන ලද විශ්වවිද්‍යාල ආයතනයේ මේ සියල්ල දකින්න පුළුවන්. හරමානිස්ලා හා කුල්ටන් දකින්න පුළුවන්. අපි එය ඊළඟ සතියේ කතා කරමු.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

තිත්ත ඇත්ත – කතෲ නොදනී

අපි උදේ ඇහැරලා මූණ හෝදලා තේ කෝප්පයක් බීලා දවස පටන් ගන්න වෙලාවේ ඉදන් ඇමෙරිකාවට නැත්තන් බ්‍රිතාන්‍යට මුදල් පටවනවා. ගොඩක් වෙලාවට දත් මදින්නේ signal දත් බුරුසුවකින්. දත් බෙහෙත් කියලත් කඩෙන් ඉල්ලන්නේ Signal එකක් දෙන්න කියලා. ඒ තරමට බහු ජාතික සමාගම් මොළයට හැමදේම කාවද්දලා තියෙන්නේ. තේ එකක් බිව්වත් ගොඩක් වෙලාවට Nestamalt / Viva නැතුවම බෑ. ඊට පස්සේ රෙදි හෝදන්නේ එක්කෝ Sunlight නැත්නම් Surf excel . ඔන්න ඊට පස්සේ පිරිමින් නම් රැවුල කපන්නේ ගොඩක් වෙලාවට gillete රේසරයකින්. ඊට පස්සේ LUX/Lifebuoy ගාලා මූණ හෝදනවා. කාන්තාවන් නම් ඉතින් මෙතනදි Dove, Ponds, Sunsilk වල කොච්චර products පාවිච්චි කරනවද? ළමයි නම් Pears. ඊට පස්සේ අන්තිමට toilet එක හෝදන්නේ harpic වලින්. ඊට පස්සේ Vim දාලා උයන භාජන හෝදලා Know සුප් කැටයක් දාලා කෑම හදනවා සමහරුන්. ඊට පස්සේ වැඩට යන අය Vasline,Dove,Fair and Lovely නිශ්පාදන කීයක් පාවිච්චි කරනවද? මේ මොන නිදහසක්ද? මේවා ඔය කියන තරම් ගුණද? බලය ජවය ශක්තිය ලැබුණද?
ගෙදරින් එළියට යන ටිකට උන්ට කොච්චර ගෙවලද? එළියට ගියත් Cocacola, Pepsi කොච්චර බොනවද? සමහර අම්මලා උදේට ළමයට දෙන්නේ maggi එකක්. මැගී ඇසුරුමේ තියෙන දේවල් බලන්න, රසය සහ රහස හොයාගන්න පුළුවන් (E-635). මේ විදිහට මිනිසුන්ගේ ඔළු වලට නියමට මේ දේවල් කවලා තියෙනවා. මේවගෙන් තොර ලෝකයක් නැති තරමටම. මේ දේවල් මහා පරිමාණයෙන් හදද්දී ගුණාත්මක බවට වඩා ඔවුන් අවධානය දෙන්නේ වෙළදාමට. මේ ගොඩක් දේවල් වල තියෙන්නේ විෂ රසායන ද්‍රව්‍යය. අපි අපේ සල්ලි උන්ට දෙනවා මදිවට ගන්නෙත් විෂ.

Pizza Hut, Dominos, Mc donals සියල්ල ඇමෙරිකානු සමාගම්. Google හි පහත කේත සඳහාද බලන්න: –
E100, E110, E120, E140, E141, E153, E210, E213, E214, E216, E234, E252, E270, E280, E325, E326, E327, E334, E335, E336, E337, E422, E430, E431, E431 E433, E434, E435, E436, E440, E470, E471, E472, E473, E474, E475, E476, E477, E478, E481, E482, E483, E491, E492, E493, E494, E495, E557 E631, E635, E904.

තව දෙයක් අපේ රටේ සාරය අපේ රටේ හොඳම නිශ්පාදන යන්නේ උන්ගේ රටවලට. සාදික්කා. ගම්මිරිස්, කජු, කරාඹු, එනසාල්, ඉඟුරු , තේ යන්නේ උන්ගේ රටවලට. අපිට වහ දීල අපේ හොඳම සාරය උන් උරාගන්නවා. තව කොච්චර දේවල් යවනවද?

මේ ගොඩක් දේවල් අපිට ලංකාවේම හදාගන්න පුළුවන් දේවල්. රටේ සාරය මොක්කුදෝ වගේ රට පටවනවා. ඒවාගෙන් හදපු නිශ්පාදන සල්ලි දීලා ගන්නවා.

එදා පෙරදිග ධාන්‍යාගාරය අද හිගා කනවා. හාල් ටික පිට රටින් ගේනවා. පොල් ටික පිටරටින් ගේනවා. ඊශ්‍රායලය එක වැවක් තියාගෙන යුරෝපෙටම එළවළු දෙද්දී අපේ උන් වැව් 33000 ක් තියාගෙන කන්න හාල් ටික පිටරටින් ගේනවා.

වෙන රටවල මිනිස්සු වැඩියෙන්ම අගය කරන්නේ තමන්ගේ රටේ දේවල් අපේ රටේ මිනිස්සු වැඩියෙන්ම අගය කරන්නේ උන්ගේ රටවල දේවල්. අපේ උන් නිකන්ම උන්ගේ වහල්ලු වෙලා ඉවරයි.

එදා අපිට ඇත්තටම හම්බුණේ නිදහසක් නෙවේ. උන් හැදුවා අධ්‍යාපන ක්‍රමයක්, උන් ලිව්වා ඉතිහාස කථාවක්. මේ අධ්‍යාපන ක්‍රමයෙන් උඩටම යන කෙනෙක් නිකන්ම උන්ගෙ වහලෙක් වෙනවා උන් හදපු රාමුවට කොටුවෙනවා. උන් මොකටද යටත් විජිත වලට ඉතිහාස කතා ලියන්න ගියේ. උන් මොකටද සමහර තැන් මතුකරලා ඒවට ලේබල් ගැහුවේ? උන් මොකටද ජලාශ හැදුවේ. ජලාශ කියද්දී මතක් වෙන තව දෙයක්. කොච්චර වුණත් අදටත් ලොකු project එකක් ආවම දෙන්නේ උන්ට. අපේ උන් 1000 ක් හිටියත් කරගන්ට බෑ.

එදා අහස උසට දාගැබ් හැදුවා. මුහුදු වගේ වැව් හැදුවා. ඒක ලෝකෙම හොල්ලපු වාරි තාක්ෂණයක්. අපේ උන් වෙන රටවල පවා වැව් හැදුවා. මේවා ඉන්දියාවේ මූලාශ්‍ර වලත් තියෙනවා. මේවා ඔක්කොම කරේ අපේ තාක්ෂණයෙන්මයි. මාදුරු ඔය හදන්න කැනේඩියානු ජාතිකයන් කැනීම් කරද්දී එතන අපේ උන් කලින් හදපු ජලාශයේ කොටස් හම්බෙනවා. උන් ඒ තැන තෝරාගත්තේ ගුවනින් පවා නිරීක්ෂණය කරලා. අහස උසට දාගැබ් තිබ්බට ඒවාට අකුණු වැදුනේ නෑ. ඒකට වෙනමම තාක්ෂණයක් පාවිච්චි කරා. කළුගලෙන් මටසිළුටු නිර්මාණ කරපු විදිහ අදටත් රහසක්.

අද සිංහලයාගේ ඇස් බැඳලා කොන්ද කඩලා තියෙන්නේ. උන්ගේ හිත් වලට පොඩිකාලේ ඉදලා දාන්නේ උන් ලියපු ඉතිහාස කතාව. අපි පැවතගෙන එන්නේ විජය කියන පල් හොරාගෙන්. අපේ රටේ හිටියේ මිනීමස් කාපු යක්කු, නාගයන් කියන්නේ තිරිසන්නු, කුම්භකර්ණ කියන්නේ කම්මැලිව නිදාගත්ත උන්. මේ විදිහට අමුතුම කතා ටිකක් ඔළුවට කාවද්දනවා. උන් ලංකාවේ එක එක project කර කර හීන් සීරුවේ තාක්ෂණය උන්ගේ රටට ගත්තා. මේ හැමදේම ප්‍රතිනිර්මාණයක් මිසක් අළුතෙන් හොයාගත්ත දේවල් නෙවේ. අපිට න්‍යෂ්ටික අවි ගබඩාවක් පවා තියෙනවා පෙරියකඩුවේ.

වෙදකම අතින් නම් සෑහෙන ඉදිරියෙන් හිටියා. ලෝකේ පළවෙනි කාය විච්ඡේදන රෝහල තියෙන්නේ මිහින්තලේ . මේකේ භාවිතා කරපු උපකරණ බලන්න. ඒවා අද ඒවට මාරම සමානයි. හෙළ වෙදකම යන්ත්‍ර මන්ත්‍ර ආදි ගුප්ත කොටසකුත් එක්කයි තිබුණේ. මේකේ ගුප්ත කොටස ගැන ඔවුන්ට හිතන්නවත් බෑ. ඒකට හේතුව සමහර දේවල් ඔවුන්ට උච්ඡාරණය කරන්නවත් බෑ. මේක නිකන් ලෙඩ වහන ශිල්පයකුත් නෙවේ. ඒකට හේතුව මේක හැදුණේ දියුණෙ කරපු හිත් වලින් උනු එක. මේක අංගම්පොරත් එක්ක එකට බැඳිලයි තිබුණේ. මේ හෙළවෙදකමෙන් කරපු විශ්මිත දේවල් අතීතයේ තිබිලා තියෙනවා. අපේ උන් යුද්ධ වලදී තුවාල වුණත් මාරම ඉක්මනට හොඳ කරගෙන ආපහු යුද්ධ කරනවා උන්ට හෙළ ආහාර රටාවෙන් හම්බෙන්නේ මාරම ශක්තියක්. තනියෙන් වැවක් වුණත් බඳින්න පුළුවන් තරම්.

සුද්දා 1505 ඉදන් 1815 වෙනකන් කොච්චර යුද්ධ කරත් උන්ට බැරිවෙනවා මේ රට යටත් කරගන්න. අන්තිමේදී උන් කුමණ්ත්‍රණයකින් තමා යටත් කරගන්නේ. මේකට අපේ උන්ගේ බල ලෝභයත් හේතුවුණා. මෙතනදී ජෝන් ඩොයිලි කියන හාදයා බලනවා කොහෙන්ද මුන්ට මෙච්චර ශක්තියක්, කොහෙන්ද මුන්ට මෙච්චර දැනුමක් කියලා. උන් ටිකෙන් ටික අංගම් පොර ගුරුවරුන් මරල දැම්මා. අදටත් තියෙනවා ගහපු ඇණ ඌවේ ගස් වල. හෙළ වෙද පරම්පරා පිටින් මරලා දැම්මා. හෙළ තාක්ෂණය දැනගෙන හිටපු උන් මැරුවා. පොත් නැව් පිටින් අරන් ගියා. සමහර ඖෂධ ගංජා වගේ දේවල් තහනම් කරා. අදටත් තහනම් උන් එහේ වවනවා. මී ගස් කපලා දැම්මා. අද ගොවියන්ට පොහොර කියල දෙන්නේ වස. ඒ වස marcket කරන company වලින්මයි

ට්‍රම්ප් හා අසාද් සාලි – මහඇදුරු නලින් ද සිල්වා මහතා

එක්සත් රාජ්‍යවල ප්‍රජාතන්ත්‍රවාදයට මොකද වෙලා තියෙන්නෙ. ට්‍රම්ප් කියන්නෙ එහෙ මැතිවරණය ඇෆ්ගනිසථානයෙ මැතිවරණයටත් අන්තයි කියල. ඒක අපි දන්නෙ නැහැ. ට්‍රම්ප් හා ඔහුගෙ අනුගාමිකයන් පිරිසක් තම රටේ ඡන්ද ෆ්‍රෝඩා වුණු බව කියනවා. අනුගාමිකයන් වොෂිංටන් පරිපාලන ගොඩනැගිලි වටලලා ඒවට කඩාවැදිල. මේවා මේ නෙත් දෙකෙන් දකින්න හිටිය දේවල් ද? ප්‍රජාතන්ත්‍රවාදයෙ දෙවොල මෙහෙම කැත කරයි කියල හිතුවෙ කවුද? ට්‍රම්ප් බලය අත්හරින්නෙ නැද්ද? අපිට නම් හාමුදුරුවො හැමදාම කියන්නෙ අත්හරින්න කියල. දැන් ඇමරිකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න හමුදාවක් යවනවා ද? කවුද යවන්නෙ. ඇෆ්ගනිස්ථානයටවත් කියල බලමු ද? තාම කල් වැඩි ද? තව ටිකක් බලමු ද? අසාද් සාලි මොකද ඒ ගැන කියන්නෙ. එහෙම නැත්නම් අමීර් අලි කියා කෙනෙක් මොානව කියයි ද? අමීර් අලි මුස්ලිමුන්ට විරුද්ධ ගෞතමගෙ දුෂ්ටයන් (Villains of Gauthama) ගැන ලියල තිබුණ. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ දුෂ්ටයන් ඉන්නවා ද?

අපි ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන අදියරේ ඉන්නෙ. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොන බයිල කිවුවත් ප්‍රජාතන්ත්‍රවාදයෙ නිරුවත දැන් පේන්න පටන් අරන්. මේ ලෝකයේ බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සංස්ථාපනය හා එහි විවිධ අංග කඩා වැටෙමින් තියෙන්නෙ. ඒත් ඒකට විකල්ප ක්‍රමයක් තවම නැහැ. කලින් තිබූ සමාජ ක්‍රම හා පාලන තන්ත්‍රවල විකල්පවලටත් ඉඩක් තිබුණ. මේ බටහිර ජාත්‍යන්තර සංස්ථාපනය විකල්පවලට මතුවෙන්න ඉඩ දුන්නෙ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය නීතිය ආදිය ක්‍රියාත්මක කරල ඒ විකල්ප මරල දැම්ම.

ඒ අතින් අද තරම් ලෝකය අසරණ වෙච්ච වෙලාවක් ඉතිහාසයෙ ම නොතිබෙන්න ඇති. බටහිර දැනුම යොදා ගෙන අනෙක් සියලු දැනුම් ඊනියා මිථ්‍යා බවට පත්කරල සමාජයේ පිළිගැනීමෙන් අයින් කරල. කොවඩ් 19 ට එන්නත් කිහිපයක් ම තියෙනවා. අර සමූහ නැත්නම් රංචූ ප්‍රතිශක්තිකරණයට මොකද වුණෙ? සමහරු කියන විධියට එන්නත සමගින් එක්සත් රාජ්‍යය තව අවුරුදු තුනක් විතර යනව ඔය රංචු වැඩේට.

මොන කතා (බයිල) කිවුවත් ප්‍රජාතන්ත්‍රවාදය වගේ ම බටහිර විද්‍යාවත් අසමත්. ඒත් අර විකල්ප නැති කරල නිසා, ඒවට තැනක් නැති නිසා අලුතෙන් දෙයක් සකස්කර ගන්න එකත් ප්‍රශ්නයක්. ඔක්කොට ම වඩා විකල්ප දේශපාලන ක්‍රමයක් සකස් කරන්න පුළුවන් දේශපාලනඥයකු නැති කමේ ප්‍රශ්නය තියෙනවා. ට්‍රම්ප්ට විකල්පයක් සකස් කරන්න බැහැ. ඔහු කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයෙ සළු පිළි ගලවන එක පමණයි. එකල බටහිර රටවල රාජාණ්ඩු වෙනුවට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ඇති කළ නායකයන් වැනි අය දැන් පේන තෙක් මානෙක නැහැ. බටහිරට ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක ඇදි ඇදී යන්න වෙලා.

බටහිර ජාත්‍යන්තර සංස්ථාපනයට පුළුවන් වුණා අනෙක් හැම දැනුමක් ම පාහේ බටහිර දැනුම් ආධිපත්‍යය යටතට ගන්න. අවසානයේ දී මිනුම් දණ්ඩ වුණෙ බටහිර දැනුම. අරක විද්‍යාත්මක ද මේක විද්‍යාත්මක ද තාර්කික ද බුද්ධිවාදී ද ආදී වශයෙන් ප්‍රශ්න කෙරුණා. පැනියට වෙලා තියෙන දේ බලන්න. සමහරු බුදුදහමත් විද්‍යාත්මක කළා. තාර්කික කළා. බුද්ධිවාදයට යට කළා. කාලාම සූත්‍රය කාලම දැම්ම.

ඒත් මේ සියල්ල අතර මුස්ලිම් සංස්කෘතිය අනෙක් සංස්කෘතීන්ට වඩා තම ස්වාධීනත්වය රැකගත්ත. ඔවුන් අනෙක් බොහෝ දෙනා වගේ ම බටහිර විද්‍යාවේ දැනුම තමන් සතුව තියෙනව කියන එක නම් කිවුව. ඒත් කුරාණය බුද්ධිවාදී කරන්න ගියෙ නැහැ කියලයි මා හිතන්නෙ. කුරාණය සම්පූර්ණයෙන් ම දෙවියන්ගෙන් ලැබුණු දැනුම. කතෝලික බයිබලයත් එහෙමයි. මේ ආගම් දෙකෙන් ක්‍රිස්තියානි ආගම් (මාටින් ලූතර්ගේ සිට සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ආගම් දක්වා) වෙනස් වුණු එක් විධියකට අනුව ඔවුන් ඊනියා බුද්ධිවාදයට හා අනුභූතිවාදයට අනුගත වුණා. බුද්ධිවාදය (rationalism) හා අනුභූතිවාදය (empiricism) පරස්පර විරෝධීයි. එහෙත් බටහිරයන් සමත් වුණා ඒ දෙක ම තමන්ට අවශ්‍ය පරිදි යොදා ගන්න. මා හිතන්නෙ බටහිර විද්‍යාඥයන් කළ ප්‍රධාන ම දෙයක් වුණෙ එයයි. ඇරිස්ටෝටල් කාන්තාවන්ට දත් හතළිහක් තියෙනවා කිවුවා. ඒත් කට ඇරලා දත් ගණන් කෙළේ නැහැ. ලූතර්ගෙන් පස්සෙ ක්‍රිස්තියානි සංස්කෘතිය ඒක කරන බවක් අඩු තරමෙන් පෙන්නනවා. ඒත් ඔවුන් දැන් අනෙක් අයගෙ කටවල් වහලා.

ඒත් දැන් මේ සියල්ල කඩා වැටෙනවා. 1960න් පමණ පසුව එක්සත් රාජ්‍යයේ ඇරඹුණු බෝන් අගේන් වැනි ක්‍රිස්තියානි ආගම් මේ කඩා වැටීම් කලින් ම තේරුම් ගත් අය වෙන්න පුළුවන්. ඔවුන් හා වෙනත් ක්‍රිස්තියානි ආගම් අතර ඇත්තේ බෞතීස්මය පිළිබඳ වූ මතභේදවලට වැඩි යමක්. ට්‍රම්ප් දේශපාලනික ව මේ ප්‍රවණතාව නියෝජනය කරනවා. එහෙත් එයට පැහැදිලි ඉදිරිමගක් නැහැ.

බටහිර ක්‍රිස්තියානිකරණයට මුහුණ දුන් මුස්ලිම් සංස්කෘතිය තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීමට ඉංගිරිසින් වෙනත් මගක් හදා ගත්තා. වහාබ්වාදය යෙදා ගැනීමට ඉංගිරිසින් සමත් වෙලා. මුස්ලිම් සංස්කෘතියේ ආක්‍රමණශීලී බව බටහිරයන් යොදා ගන්නවා. එහෙත් අප සියලු මුස්ලිමුන් එක ගොඩකට දාන්න හොඳ නැහැ. වහාබ්වාදයට විරුද්ධ මුස්ලිමුන් ඉන්නවා. අපට ඔවුන් අවශ්‍යයි. එමෙන් ම ඔවුන්ට අපත් අවශ්‍යයයි. එහෙත් ඒ අවශ්‍යතාව දේශපාලනික ව සංවිධානය කරලා නැහැ.

අසාද් සාලි, අමීර් අලි වැන්නවුන් බෞද්ධයනට නහි වෙරෙන වෙරානි උගන්නාවි. එහෙත් ඔවුන් පිළිපදින්නේ වෙනත් දෙයක්. අප ඔවුන් පසුපස හඹා ගොස් ඔවුන්ට හා බටහිරයන්ට අවශ්‍ය අන්දමට සිංහලයන්ට විරුද්ධ ජාත්‍යන්තර මතයක් ඇති කිරීමට ඉඩ දිය යුතු නැහැ. අසාද් සාලි කතා කරන්නේ ද්වේෂයෙන්. වෛරයෙන්. ඔහු කියන්නේ මෘතදේහ පුච්චන විට දේහය අයිතිකරුට රිදෙන බවයි. ඔහුට මෙය තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. රිදෙන්නෙ කාට ද ? ආත්මයට ද? ආත්මය සිරුර තුළ ම හිරවෙලා ඉන්නවා ද? භූමදානය කළ අයකුගේ සිරුර සම්පූර්ණයෙන් ම පසට එකතු වූ පසු ආත්මය සිරුර තුළ තියෙන්න විධියක් නැහැ. එවිට ආත්මය හරි අර රිදෙන මොකක් හරි තියෙන්නෙ කොහෙ ද?

අසාද් සාලි පොඩි පරීක්‍ෂණයකට එකඟ වෙයි ද දන්නෙ නැහැ. එකඟ නොවෙනවා නම් හොඳයි. ඒත් අර පඬියන් කියනව පරීක්‍ෂා කරන්න ඕන කියල. අපි ඔවුන්ට යට වෙනවා නො වෙයි. ඒත් ඔය ආදාහනය කරන දේහවලට රිදෙනව ද කියල බලන්න පරීක්‍ෂණයක් පවත්වමු ද? ඒකට ඔය කොහොමත් ආදාහනය කරන බෞද්ධයන්ගෙ මෘතදේහ යොදා ගන්න පුළුවන්.අපි අසාද් සාලිට රිද්දන්නෙ නැහැ.

ඉතිහාසය විකෘති කරන්නේ සමාජය අස්ථාවර කරන අරමුණින් – අරුණ කීර්ති ගමගේ

අද (2020 ඔක්තෝබර් 14 වැනි දා බදාදා) “අරුණ” පුවත්පතේ පළ වී තිබෙන සාකච්ඡාවක්


ඉතිහාසය විකෘති කරන්නේ සමාජය අස්ථාවර කිරීමේ අරමුණෙන්

ආචාර්ය අරුණ කීර්ති ගමගේ

ඉතාමත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන අපි ඒ ගැන ආඩම්බර වන්නෙමු. ඒ ඉතිහාස ආදර්ශ මත පදනම් වී අපගේ වර්තමානය සහ අනාගතය සකසා ගැනීමට අපි උනන්දු වෙමු. එනමුදු මෑතක සිට මෙරට ක්‍රියාත්මක වන ඉතිහාසය විකෘති කිරීමේ ව්‍යාපාර නිසා ඇතැමෙක් මංමුළා වී සිටිති. මේ හා සම්බන්ධ කරුණු විමසීමට අප මුණ ගැසුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහතායි. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය දිනාගත් ඒ මහතා නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතුවල යෙදී තිබේ. ත්‍රිපිටකය, පාලි අටුවා සහ අනෙකුත් මූල ග්‍රන්ථ පිළිබඳ මෙ රට සිටින ප්‍රාමාණිකයන් අතර ආචාර්ය ගමගේ මහතාට ද මූලික තැනක් හිමිව ඇත.

මහාවංසය ගැන ඔබේ ඇගැයීම මොකක්ද?

මහාවංසය කියන්නේ භාෂා, ආගම්, දර්ශනය සහ සාහිත්‍යයේ ඉතා ඉහළ ශික්‍ෂණයක් ලබපු කතුවරයකුගේ කෘතියක්. මේ වංසකතාව පස්සේ කාලෙක දිගට ම ලියැවුණා තමයි. ඒත් මූලික කොටස (ඒ කියන්නේ මහාවංසයේ 37 වැනි පරිච්ඡේදයේ 51 වැනි ගාථාව දක්වා තියෙන කොටස) ලිව්වේ දික්සඳ සෙනෙවි පිරිවෙනේ වැඩ වාසය කරපු මහානාම හාමුදුරුවෝ. පස්සේ මේක සම්ප්‍රදායක් විදිහට ඉස්සරහට ආවා. නමුත් මුල් ඉතිහාසය තියෙන්නේ මහානාම හාමුදුරුවෝ ලියපු කොටසේ. මහාවංසය කියන්නේ ථෙරීය වංසය සහ මහා විහාරයේ ඉතිහාසය වාර්තා කරන්න ලියැවිච්ච පොතක්. එහෙම නැතුව රටේ පොදු සමාජ – ආර්ථික, දේශපාලන ඉතිහාසය වාර්තා කරලා තියන්න ලියපු පොතක් නෙවෙයි.

ඒත් මහාවංසයේ සමාජ දේශපාලනික කරුණු තියෙනවා නේ ද?

ඔව්. ඒක අමතර වැඩක්. මහාවංසය ලියලා තියෙන්නේ මහා විහාරය පිහිටුවීම, ඒ සම්ප්‍රදායේ ව්‍යාප්තිය, ඉහළ නැගීම්, පහළ බැසීම් ගැන කියන්න. ඒ කියන අතර වෙනත් අදාළ සමාජ දේශපාලන කරුණුත් වාර්තා කරලා තියෙනවා. ඒ හින්දා ඉතාමත් අගනා ඉතිහාස වාර්තාවක් විදිහටත් මහාවංසය පාවිච්චි කරන්න අපිට පුළුවන්. ඒත් මේක ලියලා තියෙන මූලික අරමුණ අපි අමතක කරන්න හොඳ නෑ.

ඒ හින්දා ඉතිහාස කරුණු මග ඇරිලා තියෙන්න පුළුවන් නේ ද?

අපි මේ දිහා බලන්න ඕන ඒ විදිහට නෙවෙයි. මේ වංසකතාව ලිව්වේ අරමුණක් වෙනුවෙන්. එහෙම ලියද්දි තවත් කරුණු ඒකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒ කරලා තියෙන අමතර වැඩේ සම්බන්ධයෙන් අපි වංසකතා රචකයාට අපේ ප්‍රණාමය පළ කරන්න ඕන. ඒ රචකයා තමන්ගේ මූලික අරමුණට විතරක් සීමා වුනා නම් අපිට කතා කරන්න මේ විදිහෙ ඉතිහාසයක් ඉතිරි වෙන්නේ නෑ. ඉතින් මහාවංසයේ අඩුපාඩු හොයන්න හේතුවක් අපිට නෑ.

ඒත් දැන් සෑහෙන දෙනෙක් මහාවංසයේ අඩුපාඩු කතා කරනවානේ?

මෙහෙම කතා කියන්න හේතු වෙච්ච කරුණු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි මේ සම්බන්ධයෙන් ඒ අයට තියෙන අනවබෝධය. මහාවංසය ලියලා තියෙන්නේ මොන අරමුණක් වෙනුවෙන් ද කියලා ඒ අය දන්නේ නෑ. ඒ ගැන දන්නවා නම් අපි කරන්න ඕන මහාවංස කතුවරයාව අගය කරන එක. ඒ පොතේ තියෙන්නේ අඩුපාඩු නෙවෙයි. අරමුණ ඉක්මවා ලියපු වැඩි විස්තර. ඒ වගේ ම, මේ වගේ විශිෂ්ට කෘතියක් පරිහරණය කරන කලාව ඒ අය දන්නෙත් නෑ. මේ පොතේ පරිවර්තනයක් එහෙන් මෙහෙන් බලලා මේකට අවලාද කියන එක තමයි ඒ අය කරන්නේ.

අනිත් මුලාශ්‍රයවලිනුත් මහාවංසයේ තොරතුරු සනාථ වෙනවා ද?

ඔව්. මෙහෙම ඉතිහාස වාර්තාවක් ඉන්දියාවෙත් හොයා ගන්න බෑ. ඒ රටේ අයට මෙහෙම සම්පතක් නෑ. මහාවංසයේ තියෙන කරුණු වෙනත් මූලාශ්‍රයවලිනුත් තහවුරු වෙලා තියෙනවා. විසුද්ධිමග්ගය ගැන හිතන්න. මහාවංසයේ සඳහන් හුඟක් කරුණු විසුද්ධිමග්ගයෙනුත් තහවුරු වෙනවා. විනය පිටකයට ලියපු අටුවාව හඳුන්වන්නේ සමන්තපාසාදිකාව කියලා. ඒක මුද්‍රිත පිටු දාහක් විතර තියෙන ලොකු පොතක්. මහාවංසයෙන් කියන හුඟක් තොරතුරු මේ සමන්තපාසාදිකා අටුවාවෙන් සනාථ වෙනවා. ඒ වගේ ම, විභංග අටුවාවෙනුත් මහාවංසයේ තියෙන කරුණු තවදුරටත් සනාථ වෙනවා. අනිත් අටුවා පොත්වලත් මේ කරුණු තියෙනවා.

මහාවංසය විවේචනය කරන අය ගැන ඔබේ අදහස මොකක්ද?

රාවණාවාදීන් සහ බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉපැදුණා කියන අය තමයි මේ වැඩේ මූලිකව ම කරන්නේ. ඒ අයට උල්පන්දම් දෙන අයත් ඉන්නවා. මේ අයගේ පොදු ලක්‍ෂණ කීපයක් මම දකිනවා. ඒ අයට මූලාශ්‍ර කියවන්න බෑ. ඒ සඳහා අවශ්‍ය භාෂා ශාස්ත්‍ර දැනුම ඒ අයට නෑ. මහාවංසය, ත්‍රිපිටකය, අට්ඨකථා ලියැවිලා තියෙන්නේ පාලි භාෂාවෙන්. ඉතින් ඒවා කියවා ගන්න ඒ අයට බෑ. මූලග්‍රන්ථයක් කියවන කලාවක් සහ විද්‍යාවක් තියෙනවා. මේ ගැන ලයිඩන් විශ්වවිද්‍යාලයේ දී මම ලබපු අත්දැකීමක් තියෙනවා. සෙනරත් පරණවිතාන මහත්තයාත් ඉගෙන ගත්තේ ඒ විශ්වවිද්‍යායේ. මූලග්‍රන්ථ ඒවායේ මුල් භාෂාවෙන් හැදෑරීම තමයි ඒ අයගේ ප්‍රධාන ම කාර්යයක් වෙලා තියෙන්නේ. ඒ දේවල් දන්නේ නැති අය තමයි මේ විදිහෙ ප්‍රලාප කියවන්නේ.

ඒ අය මෙහෙම කරන්නේ ඇයි?

ඒ අය තමන් කැමැති කතාවක් මුලින් ම හදාගෙන ඉන්නේ. ඊට පස්සේ ඒ කතාව සනාථ කරන්න කරුණු හොයන එක තමයි ඒ කට්ටිය කරන්නේ. ඒ සඳහා ඕන කරන භාෂා ඥානයත් නැතුව සපත්තුවේ තරමට කකුල කපනවා වගේ වැඩ තමයි මේ අය කරන්නේ. බුද්ධෝත්පාදය, බුදුවීම වගේ කාරණාවලට අදාළ විස්තර වෙනත් මූලාශ්‍රවලිනුත් සනාථ වෙලා තියෙනවා. ඉතින් මේ කතා හදන අය මහාවංසයට දොස් කියනවා. මහාවංසයේ තියෙන්නේ බොරු කියලා ඒ අය කියනවා.

පරිවර්තන කියවන එක වැරැද්දක් ද?

වැරැද්දක් නෑ. සාමාන්‍ය ජනතාවට, පොඩි ළමයින්ට පරිවර්තනවලින් දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒත් පර්යේෂණ කරන අයට, අලුත් මතවාද ඉදිරිපත් කරන අයට එහෙම කරන්න බෑ. ඒක ප්‍රමාණාත්වත් නෑ. පරිවර්තනයකින් යමක් දැන ගන්න එක “වේල් එකට පිටින් මනමාලිව සිප ගන්නවා වගේ වැඩක්” කියලා ග්‍රන්ථ විචාරකයෝ කියනවා. වීදුරු භාජනයක් ඇතුළට මලක් දාලා පිටින් ඒක ඉම්බාට මලේ සුවඳ දැනෙන්නේ නෑ. පරිවර්තනවලින් මූල ග්‍රන්ථ කියවන එකත් එහෙම වැඩක්. එහෙම කරලා නියම අර්ථය, රසය ලබන්න බෑ. මූලග්‍රන්ථ සේවනය කරලා රාමායණය විධිමත් විදිහට හදාරපු අය රාවණාවාදීන් වගේ බොළඳ කතා කියන්නේ නෑ. රාමායණ කාව්‍යයේ අර්ථය ඒ පඬිවරු දන්නවා.

සමහර පුරාවිද්‍යාඥයොත් මහාවංසය විවේචනය කරනවා නේ ද?

සෙනරත් පරණවිතාන මහාචාර්යතුමාට තිබුණු එක වැදගත් හැකියාවක් අද ඉන්න සමහර පුරාවිද්‍යාඥයින්ට නෑ. පරණවිතාන මහත්තයාට පාලි සංස්කෘත භාෂා ගැන දැනුමක් තිබුණා. මූල ග්‍රන්ථ කියවන්න පුළුවන්කම තිබුණා. බටහිර ඉන්න ආලෝ ග්‍රිෆිත්, වෙන්සොන් තුර්නියේ වගේ පඬිවරු ගැන හිතන්න. ඒ අය ඉන්දියානුවේදය ගැන මහා පඬිවරු. පාලි, සංස්කෘත, ප්‍රාකෘත විතරක් නෙවෙයි ඉන්දු – ආර්ය භාෂා ගැන විශාල පරිචයක් එතුමන්ලාට තියෙනවා. මෙහෙම භාෂා දැනුමක් නැතුව සෙල්ලිපි කියවන්න පුළුවන් ද කියන එක තමයි ප්‍රශ්නය. ඉතින් භාෂා, ශාස්ත්‍ර සහ ඉතිහාසය ගැන ප්‍රාමාණික දැනුමක් නැති සමහර අය පුරාවිද්‍යාවට මුවා වෙලා බොරු ප්‍රලාප කියවන හැටි දැන් අපිට දකින්න පුළුවන්.

සෝමදේව මහාචාර්යතුමාත් මේ අතර ඉන්නවානේ?

එතුමාගේ ඉන්දු – ආර්ය භාෂා හැකියාව පිළිබඳ විශාල ගැටලුවක් තියෙනවා. පුරාවිද්‍යාඥයන් සාමාන්‍යයෙන් හදාරන මාගධි, අර්ධමාගධි, පෛශාචි, මහාරාෂ්ඨ්‍රි, ගාන්ධාරි ප්‍රාකෘත භාෂා තියා අපි සෑහෙන දෙනෙක් දන්න පාලි භාෂාවවත් එතුමා දන්නේ නැති බව පැහැදිලියි. එතුමා මහාවංසයේ මුල් ම පරිච්ඡේදයේ මුල් ම ගාථාව කියන්නෙත් වරද්දලා. එහෙම කියද්දි ඇති වෙන්නේ වෙන අර්ථයක්. ඉතින් ඒ වගේ වැරැදි අර්ථ පදනම් කරගෙන විකෘති මතවාද ඉදිරිපත් කරන එක තමයි එතුමා කරන්නේ.

මහින්දාගමනයට කලින් අපේ රටේ බුද්ධ ශාසනය තිබුණු බව එතුමා කියනවා නේ ද?

වැරැදි විදිහට මූලග්‍රන්ථ කියවන හින්දා තමයි මේ වගේ කතා කියන්නේ. එතුමා කියන විදිහට බුදුහාමුදුරුවෝ බුදු වෙලා නව වැනි මාසයේ දී මුල් ම වතාවට ලංකාවට වැඩම කරද්දිත් මහියංගණයේ සුභාංගනා කියලා චෛත්‍යයක් තිබිලා තියෙනවා. ඇත්තෙන්ම දීපවංසයේ කියන්නේ අනාගතයේ දී මහියංගණ චෛත්‍යය පිහිටුවන සුන්දර වූ අංගණය ගැන. අනාගතයේ දී ලෝවාමහාපාය හැදෙන තැන, රුවන්වැලි මහා සෑය හැදෙන තැන ගැනත් මේ විදිහට වංසකතාවේ කියලා තියෙනවා. මීට වඩා විහිළු කතා ගොඩක් සෝමදේව මහාචාර්යතුමා කියනවා.

ඒ මොනවා ද?

මම එකක් කියන්නම්. සමන්තපාසාදිකාවේ තියෙනවා කියලා එතුමා තම්බපණ්ණි විනයපිටකයක් ගැන කියනවා. මේ කතාව කියන්න එතුමා සේවනය කරන කාරණය පරිවාර පාළියෙත් තියෙනවා. ඇත්තටම ඒ කොටසින් කියන්නේ උපාලි මහරහතන්වහන්සේගෙන් පටන් ඇරගෙන විනය ආචාර්ය පරම්පරාව ලංකාවේ පැතිරිච්ච විදිහ. උපාලි, දාසක, සෝණක, සිග්ගව, මොග්ගලීපුත්තතිස්ස කියන මහා ස්ථවිරවරුන්වහන්සේලාගේ මූලිකත්වයෙන් පැවතගෙන ආපු ඉගැන්වීම් මහින්ද මහ රහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් තම්බපණ්ණියට ගෙනැල්ලා මෙහි දී අරිට්ඨ ස්ථවිරයන්ට උගන්වපු බවත් ඊට පස්සේ ඇතිවෙච්ච ආචාර්ය පරම්පරාව තිස්සදත්ත, කාළසුමන, දීඝනාම, දීඝසුමන කියන විදිහට පැවතුන බවත් ඒ විස්තරයේ තියෙනවා. මේ විදිහට විනය ආචාර්ය පරම්පරාවේ පස්සේ කාලයක වැඩ හිටිය මේ ස්වාමීන්වහන්සේලා මහින්ද මහ රහතන්වහන්සේට විනය පිටකය උගන්නපු බවක් සෝමදේව මහාචාර්යතුමා කියනවා. උන්වහන්සේලා වැඩ හිටියේ මහින්දාගමනයට අවුරුදු තුන්සීයකට විතර පස්සේ.

සංවාදයක යෙදිලා මේ වැරැදි මත දුරු කරන්න පුළුවන් නේ ද?

මේ ගැන සංවාදයකට එන්න කියලා අපි සෝමදේව මහාචාර්යතුමාට ආරාධනා කළා. එතුමාත් කැලණිය විශ්වවිද්‍යාලයේ කෙනෙක්. ඉතින් පහුගිය සැප්තැම්බර් 22 වැනි දා කැලණියේ දී පවත්වපු සංවාදයට එතුමාත් එයි කියලා අපි බලාගෙන හිටියා. ඒත් එතුමා ආවේ නෑ. හැබැයි මම එතුමාගේ වැරැදි පෙන්නලා දේශනයක් කළා.

ශාසනික ඉතිහාසය මේ විදිහට විකෘති කරන එක වළක්වන්න කරන්න පුළුවන් වෙනත් වැඩ තියෙනවා ද?

අපි මේ සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා දැනුවත් කරලා තියෙන්නේ. අපි ලිඛිතව ම උන්වහන්සේලාට මේ ගැන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ ම, විශ්වවිද්‍යාලය මට්ටමින් කරන්න පුළුවන් හැම දෙයක් ම අපි කරනවා. තවත් ශාස්ත්‍රීය සංවාද සංවිධානය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පර්යේෂණ වැඩමුළු තියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සංවාදවලට ඉදිරිපත් වෙන්න, පර්යේෂණ වැඩමුළුවලට පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්න සෝමදේව මහාචාර්යතුමා වගේ අයට පුළුවන්.

නිවැරැදි අදහස් පිළිගන්න ශිෂ්‍ය පිරිසකුත් හැදෙන්න ඕන නේ ද?

ඔව්. අපි මේ වෙද්දි අපේ අධ්‍යාපන කටයුතුවල වැඩි බරක් ඒ වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඒ සඳහා අපි අපේ ශිෂ්‍යයන් (විශේෂයෙන් ම ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා) පුරුදු පුහුණු කරනවා. අපේ පීඨාධිපතිතුමාත් මේ සඳහා ඉතා හොඳ සහයෝගයක් අපිට ලබා දෙනවා. ඇත්තෙන් ම, මේ විෂයය ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන සැලකිය යුතු පිරිසක් අපි අතර දැනටමත් ඉන්නවා. ඒ අය ඉස්සරහට ගෙනැල්ලා මේ වැරැදි මත දුරු කරන වැඩේ ශක්තිමත් විදිහට මෙහෙයවන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා ඔබතුමන්ලා අපේක්‍ෂා කරන්නේ මොනවා ද?

පුද්ගලිකව කිසිම වරදානයක්, වරප්‍රසාදයක් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. පටු අරමුණු වෙනුවෙන් වැරැදි අදහස් ප්‍රචාරය කරන්න එපා කියලා අපි මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍ය පාවිච්ච කරන අයගෙන් ඉල්ලනවා. ඉතිහාසය විකෘති කිරීමෙන් සමාජ මනස අවුල් වෙන්න පුළුවන්. ඉතිහාසය ගැන පැහැදිලි අදහසක් නැති වුණාම අද ගැන, හෙට ගැන නිරවුල් අදහසක් ඇති කරගන්න අපිට බැරි වෙනවා. එහෙම වුනොත් මහා සමාජ අවුලක්, අස්ථාවරභාවයක් ඇති වෙන්නත් පුළුවන්. සමහර අය හිතා මතා ම මේ විදිහට ඉතිහාසය විකෘති කරන්නේ සමාජ අස්ථාවරභාවයක් ඇති කිරීමේ අරමුණ ඇතිව කියන එකත් අපි තේරුම් ගන්න ඕන.

සාකච්ඡා කළේ: චමින්ද ඒකනායක

ඊනියා උගතුන්ගෙ විද්‍යාත්මක අවුරුද්ද – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ජනවාරි පළමුවැනි දා මුළු ලෝකයට ම වගේ අලුත් අවුරුද්දක් ඇරඹෙනවා. ඒක එහෙම වෙන්නෙ මොක ද? විවිධ රටවල විවිධ දවස්වල අලුත් අවුරුද්දක් ඇරඹෙනවා. ඒත් ඒව ගණන් ගන්නෙ නැහැ. ථෙරවාදී ලෝකයේ ම අලුත් අවුරුද්ද ඇරඹෙන්නේ අප්‍රේල් 13 14 දවස්වල. අප කුඩා කල අවුරුද්ද කිවුවෙ ඒ බක් මහේ ලබන අවුරුද්දට. ජනවාරි පළමුවැනි දා අපට අවුරුද්දක් උදා කෙළේ නැහැ. අපි එයට ජනේරුව කිවුව. ඒත් අද වන විට ජනවාරි පළමුවැනි දා තමයි අවුරුද්ද උදාවෙන්නෙ. බක් මහේ අවුරුද්ද සිංහල අවුරුද්ද කරල. ඒක වෙදකමෙත් වෙලා. එදා අප බෙහෙත් ගන්න ගියෙ වෙදමහත්තයා ළඟට. බටහිර වෙදකමේ බෙහෙතක් ගන්න ගියා ම කිවුවෙ ඉංගිරිසි බෙහෙත් ටිකක් ගන්න ගියා කියල. අද ඉංගිරිසි බෙහෙත් තමයි බෙහෙත. අනෙක සිංහල බෙහෙත වෙලා.

මේ වෙනස ඇති වෙන්න මොන විධියට ගත්තත් අවුරුදු පනහක් ගියෙ නැහැ. පඬිනැට්ටන් කියනවා අප බටහිර දැනුම යෙදා ගන්නෙ එහි තියෙන ආධිපත්‍යයක් නිසා නොව එය නිවැරදි නිසා කියල. එය විද්‍යාත්මක නිසා කියල. ඒත් අපි බක් මහේ අවුරුද්දෙන් ජනවාරි අවුරුද්දට මාරු වුණෙ ඒකෙ තියෙන මොන නිවැරදිකමක් නිසා ද? ඒකෙ මොන විද්‍යාවක් තියෙන නිසා ද? බක් මහේ අවුරුද්ද නම් අර සූර්යයා මීනයෙන් මේෂයට යන නිසා ඇති වෙන එකක්. සූර්යයාට තියා කාට වුණත් ගමන් කරන්න පුළුවන් තවත් අයකුට සාපේක්‍ෂව පමණයි. ඊනියා නිරපේක්‍ෂ චලිත කොහෙද තියෙන්නෙ. සූර්යයා සුර්යයාට සාපේක්‍ෂ ව නම් නිශ්චල ව ඉන්නෙ. මා ඒ ටික කිවුවෙ සූර්යයා නෙවෙයි පෘථිවිය තමයි යන්නෙ කියන පඬියන්ට. පෘථිවිය සූර්යයාට සාපේක්‍ෂ ව යනවා. මට සාපේක්‍ෂව නම් යන්නෙ නැහැ. මට සාපේක්‍ෂ ව සූර්යයා නම් යනවා.

කොහොමත් අපි ජනේරුවට එමු. ජනේරුව ගැන විවිධ කතා තියෙනවා. එකක් තමයි ජනවාරි මාසය ම ජානුස් කියන දෙවියන්ගෙ නමින් තියෙන මාසය කියන එක. ඒ මාසෙ පළමුවැනි දා ජානුස් දෙවියන්ට වෙන් කරල. මේක රෝම කතාවක්. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අද ලෝකෙ යොදා ගන්නෙ ග්‍රෙගරියානු දින දර්ශනය. මායාවරුන්ගෙ දින දර්ශනය එයට වඩා සියුම් වුවත් ලෝකයා එය යොදා ගන්නෙ නැහැ. සිංහල මාස ක්‍රමය යොදා ගන්න කවුද හිතන්නෙ? මුළු ලෝකෙ ම ග්‍රෙගරියානු දින දර්ශනය යොදා ගන්නෙ ඒක නිවැරදි නිසා ද? නැත්නම් විද්‍යාත්මක නිසා ද? බටහිර ආධිපත්‍යය නිසා ද?

ජනේරුව තිබුණෙ ජුලියානු දින දර්ශනයට අනුව. දැන් මේ ග්‍රෙගරියානු දින දර්ශනයෙත් ජනේරුව තියෙනවා. ඒ ජනේරුවයි මේ ජනේරුවයි දෙක ම එක ද? මා එහෙම අහන්නෙ ජුලියානු හා ග්‍රෙගරියානු දින දර්ශන අතර දවස් දහයක පමණ වෙනසක් තියෙන නිසා. ජුලියානු දින දර්ශනය අනුව නිවුටන්, ඔවු ඔවු අර ඇපල් නිවුටන්, ඉපදිල තියෙන්නෙ 1642 දෙසැම්බර විසිපහ. ඒත් ග්‍රෙගරියානු දින දර්ශනය අනුව 1643 ජනවාරියෙ. රොබට් නොක්ස් කියන දවස්වලටත් දින කිහිපයක් එකතු කරන්න වෙනවා අදට ගැලපෙන විධියට කියන්න නම්. නොක්ස්ට අනුව එකල අවුරුද්ද ලබල තියෙන්නෙ මාර්තු විසිගණන්වල.

දින වෙනස කොහොම හරි හරිගස්ස ගත්ත කියමු. ජනේරුව ගැන තවත් මත තියෙනව. ග්‍රෙගරියානු දින දර්ශනයට අනුව යේසුස් වහන්සෙ ඉපදිල තියෙන්නෙ දෙසැම්බර් 25. යේසු බිළිඳා සුන්නත් කරල තියෙන්නෙ ඉපදීමෙන් පටන් ගන්න අටවැනි දවසෙ ඒ කියන්නෙ ජනවාරි පළමුවැනි දා. එදා තමයි අවුරුද්ද පටන් ගන්නෙ කියල සමහරු කියනව. යේසුස් වහන්සෙ ඉපදුණෙ යුදෙව්වකු ලෙස බව අමතක කරන්න එපා. සුන්නත් කිරීම බටහිර ආසියාවෙ චාරිත්‍රයක්. දූවිල්ලෙන් (පස වෙන්නත් පුළුවන්) මවන කතාව ඒ පළාතෙ මිසක් උතුරු යුරෝපයෙ පිණි මුවන් අතර කතාවක් නො වෙයි. එහෙ ඒ කතාව හැදුව නම් කියන්නෙ වෙන්නෙ හිමෙන් මැවුව කියලා. දූවිල්ලෙන් සැදුණු ලියේ බාලොලියේ බාලොලියේ මතක් වෙනවා.

ඔය අතරෙ තව කතාවක් තියෙනවා. ඒ මිත්‍රත් එක්ක සම්බන්ධයි. මිත්‍ර කිවුවෙ රෝහිණී පොතේ මිත්‍ර සෙනවියා නො වෙයි. ඇත්තට ම නන්දිමිත්‍ර ට ඒ නම දැම්මෙ මොක ද? නන්දි කියන්නෙ ගවයන්ට නිසා ද? එහෙම නැත්නම් මිත්‍රගෙ නෑදෑකමට ද? ඒ මොකක් වුණත් අපේ කතාවෙ මිත්‍ර කියන්නෙ වෛදික දෙවියෙක් කියනව. ඔය දෙවියන් සූර්ය දෙවියන් කියලත් කියනවා. මිනිසුන්ට සූර්යයා නැතිව අවුරුදු නැහැ. මිත්‍ර වෛදිකයන්ගෙන් බැබිලෝනියාවට මිසරයට සහ තවත් රටවලට ගිහින් රෝමයටත් ඇවිත් තියෙනවා. ඒ කියන්නෙ ඒ ඒ සංස්කෘතීන් මිත්‍ර තම තමන්ට ගැලපෙන විධියට අවශෝෂණය කර ගෙන.

මිත්‍ර නැත්නම් සූර්යයා ඔය පොළොව වටේ යන ගමන එක විධියකට කරන්නෙ නැහැ. නැගෙනහිරින් පායල බස්නාහිරින් බැස යන ගමන් උතුරටත් දකුණටත් ගමන් කරනවා. ඒ නිසා තමයි බටහිර සෘතු හතර හැදෙන්නෙ. අද වන විට උත්තරාර්ධ ගෝලයෙ ශීත සෘතුව. ඒ සූර්යයා මේ දවස්වල දකුණට ගිහින් තියෙන නිසා. සූර්යයා ඔය උතුරු දකුණු ගමනෙදි දකුණට ගිහින් ආපහු උතුරට යන්න හැරෙන දවසක් තියෙනවා. බටහිර තාරකා විද්‍යාවට අනුව ඒක වෙන්නෙ ග්‍රෙගරියානු දින දර්ශනයෙ දෙසැම්බර් 21.

මිත්‍ර දෙවියා ඊජිප්තුවෙත් දෙවි කෙනෙක්. ජුලියස්ලා ඔගස්ටස්ලා, ඔක්කොම සීසර්ල, ඊජිප්තුවෙ නැත්නම් මිසරයෙ ක්ලියොපැට්රව බලා ගත්ත නොවැ. මිත්‍රට මිසරයෙ රා දෙවියන් නැත්නම් සූර්ය දෙවියන් කියල කිවුව. රාවණ මතක් වෙනවා ද? මිත්‍ර දෙවිය, ඒ කියන්නෙ සූර්යයා, අර උතුරු දකුණු ගමනේ දී දකුණට ගිහින් උතුරට හැරෙන්නෙ දෙසැම්බර් 25 වැනි දා. ග්‍රෙගරියානු දින දර්ශනයට අනුව තමයි. ඉන් හත්වැනි දවසෙ තමයි අවුරුද්ද දැන් පටන් ගන්නෙ. ඉස්සර දින දර්ශනයට අනුව දෙසැම්බර් 25 ද කියල හොයල බලන්න ඕන. එහෙමත් නැත්නම් ජුලියානු දින දර්ශනයෙ දෙසැම්බර් 15 ද දන්නෙ නැහැ.

හැබැයි ඔය මිත්‍ර දෙවියන් හා යේසුස් වහන්සේ අතර සමානකම් තියෙනවා. මිත්‍ර රෝමයට ගිහින් තියෙන්නෙ, රෝම සංස්කෘතියට අවශෝෂණය කෙරී තියෙන්නෙ කිතුවසින් හැත්තෑවකට පමණ පෙර. මිත්‍රවාදය කියල හඳුන්වන්න පුළුවන් දැනුම් පද්ධතියකට (වෛදික මිත්‍රගෙ විකාශයක්) අනුව මිත්‍ර ඉපදිලා තියෙන්නෙ දෙසැම්බර් 25 වැනි ද දවසක අනහිත කියන කන්‍යාවියකගෙ කුසින්. මිත්‍ර ළදරුවා ඔරුවක තමයි නිදි කරවල තියෙන්නෙ, එඬේරුන් තමයි බලාගෙන තියෙන්නෙ. මිත්‍රත් තැනින් තැන ගිහින් උගන්නපු ගුරුවරයෙක්. ඔහුටත් අනුගාමිකයන් දොළොස් දෙනකු ඉඳලා තියෙනවා. මිත්‍රත් ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. ඔහු ලෝක සාමය වෙනුවෙන් දිවි පුදාල තියෙනවා. ඔහු ස්වර්ගයට නැගී ගිහින් තියෙනවා. මිත්‍රවාදයෙ ඕන නම් මිත්‍ර ආගමෙ සත්ප්‍රසාදයක් තියෙනවා.

යේසුස් වහන්සෙ කොහෙ උපන්නත් ක්‍රිස්තියානි ආගම හා රෝමය අතර සම්බන්ධයක් තියෙනවා. බටහිර ආසියාව අද ප්‍රධාන වශයෙන් මුස්ලිම් නැත්නම් යුදෙවු. ඒක වෙන ම කතා කරන්න ඕන දෙයක්. මට මෙහි දී අවශ්‍ය වුණෙ ජනවාරි පළමුවැනි දා අලුත් අවුරුද්ද ලෝකයට ම ගියෙ ඒකෙ තියෙන නිවැරදිබවක් නිසා ද ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නිසා ද බටහිර ආධිපත්‍යය නිසා ද කියන එක කතා කරන්නයි. බටහිර දැනුම සිිරිත් විරිත් අප මත පටවන්නෙ ඊනියා විද්‍යාවක් හින්ද නො වෙයි. ආධිපත්‍යය හින්ද.

බටහිර විද්‍යාව අප මත පටවන්නෙත් ඒ ආධිපත්‍යය යොදා ගෙන. බටහිර විද්‍යාවයි තාක්‍ෂණයයි කියන්නෙ එකක් නොව දෙකක්. ඒ දෙක ම එක ම චින්තනයක බිහි වන්නෙ. බටහිර තාක්‍ෂණයෙ නිර්මාණ කරන අය බටහිර විද්‍යාව ඉහළින් දන්න අය නො වෙයි. ලංකාවෙත් ඔය එක එක නිර්මාණ කරන තරුණයන් බටහිර විද්‍යාව වැඩිය දන්න අය නො වෙයි. බටහිර තාක්‍ෂණය අද මිනිසුන්ගෙ ආශාව වර්ධනය කරනවා. ඒ තාක්‍ෂණයට අද ඉල්ලුමක් තියෙනවා. බටහිර විද්‍යාව පවතින්නෙත් බටහිර තාක්‍ෂණය නිසා.

බටහිර අධ්‍යාපනය, බටහිර ජනමාධ්‍ය, බටහිර කලාව ආදිය තමයි අපට බටහිර කතා කියා දීමට යොදා ගන්නෙ. අපට අද උත්සව සමය කියන්නෙ නත්තල් ජනේරු කාලය. ඒකෙ තියෙන විද්‍යාව මොකක් ද? බොහොම ඉස්සර අපේ උත්සව සමය වුණෙ පොසොන් සමය. දේවානම්පිය තිස්ස රජු ඒ කාලෙ උත්සව පැවැත්තුව. මිහිඳු හාමුදුරුවන් උත්සව කාලෙ ලංකාවට වැඩිය.

අද ඊනියා උගතුන් පැණියට හිනාවෙන්නෙ ඊනියා විද්‍යාවක් බදා ගෙන. රෝමයන් එංගලන්තය යටත් කර ගත්තෙ නැත්තන් ලෝකෙ කොහොම තියෙයි ද? රෝමයෙ ඇති වෙච්ච කතෝලික ආගම බටහිර යුරෝපයට නොයන්න මොනව වෙන්න තිබුණ ද? කතෝලික ආගම පහළොස්වැනි සියවසේ චින්තන විප්ලවයකට හසු නොවන්න බටහිර විද්‍යාවක් ඇති වෙන්න තිබුණ ද? මාටින් ලූතර් නැත්තන් බටහිර විද්‍යාව ඇති වෙන්න පුළුවන් ද? මේ ප්‍රශ්න වැඩක් නැති ප්‍රශ්න තමයි. අපට ආපස්සට ගිහිල්ල බලන්න බැහැ මොකද වෙන්න කියල.

ලංකාවෙ මේ උගතුන් ඇති වීම වෙන ම කතා කරන්න ඕන. ඒ අය බිහිවුණෙ කසිකබල් අධ්‍යාපනයකින්. ඔය අධ්‍යාපනය ප්‍රභූ පාසල්වල පටන් ගත්තෙ සිංහල උගන්වන ගුරුවරයාට අපහාස වන අන්දමින් ගමයා කියල. මේ උගතුන් බිහි කරපු අලුත් දැනුමක් නැහැ. අලුත් පැණියක් නැහැ. ඔවුන් කරන්නෙ පිටරට පැණි විකුණන එක විතරයි. ඔවුන් හිතනවා ඇති තමන් ඊනියා විද්‍යාඥයන් කියා. මා නම් විද්‍යාඥයකු නො වෙයි. මා විද්‍යාඥයකු කියල කියන්නෙ ආචාර්ය උපාධියක් ලබා ගත්තු අයකුටවත් ඊනියා පර්යේෂණ පත්‍රිකා දෙතුන්සීයක් පළ කරපු අයකුටවත් නො වෙයි. බටහිර විද්‍යාවට දැනෙන යමක් කේන්ද්‍රයට එකතු කළ අයකුට. මා නම් එහෙම කරල නැහැ.

එන්නත දීල 13+ ලබා ගැනීම- මහඇදුරු නලින් ද සිල්වා මහතා

ඉන්දියාවෙ විදේශ අමාත්‍යාංශ කාර්යාලය තියෙන්නෙ කොළඹ ද? එහෙම අහන්න වෙන්නෙ ඉන්දියාවෙ විදේශ ඇමතිතුමා හා ඒ අමාත්‍යංශයෙ වෙනත් නිලධාරීන් කොළඹ දි නිතර දැක ගන්න පුළුවන් හින්ද. පහුගිය දවස්වල ඇමතිතුමා ඇවිල්ල අපට අර කොවිඩ් එන්නත දෙන්න පොරොන්දු වුණා. කීය ගාණෙද දන්නෙ නැහැ. කොහොමටත් ඒක අර ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලෙ නිෂ්පාදනය කළා කියන එක. ඒක ෆයිසර් තරම් සාර්ථක නැහැ කියනවා. ෆයිසර් සාර්ථක වුණාට ඇති වැඩේ මොකක් ද? අපට ඒක ගබඩා කරන්න තැනින් තැනට ගෙන යන්න පහසුකම් නැහැ.

ඉතින් අපට කළමනාකරණය පුළුවන් ඔක්ස්ෆඩ් එන්නත ඉන්දියාවෙ නිෂ්පාදනය කරන්න ඉඩ දීල. ඒක හොඳයි. නැති බැරි ජාතීන්ටත් මොකක් හරී තියෙන්න එපාය. දැන් කිසිම පඬියකු පඬි පෝතකයකු පඬි නැට්ටකු කියන්නෙ නැහැ එන්නත ලබා ගෙන කොවිඩ් 19 රෝගීන් අතර සති දෙකක් ගිහින් එන්න කියල. පැනියට තමයි ඒ වගේ කොන්දේසි දාන්නෙ. මොනව කරන්න ද? ආධිපත්‍යයෙ තරම. අර නිවට කරණැවෑමියා දැක්ක ම එළුවත් හොම්බ දික් කරනවා.

අපේ නිවටකම ඇති කෙරුවෙ මුල දි අපේ පාසල්. මෙරට පාසල්වල මූලික කටයුත්තක් වූයේ ජනතාව දීනයක් කරන එක. මා දැක්කා ඊයේ බටහිර වෙද මහතෙක් කියල තියෙනව පැනිය සාමාන්‍ය දැනීමක් ඇති අයකු ප්‍රතික්‍ෂෙප කරනව කියල. ඒ පඬි නැට්ටට කියන්න ඕන මට නම් ඔහුගෙ සාමාන්‍ය දැනීම නැහැ කියල. පඬි නැට්ටගෙ සාමාන්‍ය දැනීම දීල තියෙන්නෙ ප්‍රධාන වශයෙන් ම ඉංගිරිසින්. සාමාන්‍ය දැනීම මොන තරම් සාමාන්‍ය (General) ද කියල අපි පස්සෙ කතා කරමු. සාමාන්‍ය දැනුමත් සාපේක්‍ෂ බව පඬි නැට්ටට කියල දෙන්න බැහැ. පඬි නැට්ටගෙ සාමාන්‍ය දැනීමෙන් එවැන්නක් ලබා ගන්න බැහැ.

අපි නැවතත් ඉන්දීය විදේශ ඇමතිගෙ කොළඹ ගමන ගැන කතා කරමු. ඔහු ඇවිත් තියෙන්නෙ මොකට ද කියල අපට දැන ගන්න විධියක් නැහැ. ඒ එන්නත ලබා දෙන බව කීමට ද? එන්නත ලබා දීමේ දී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බව කීමට ද? ඉන්දියාවට එන්නත් කීයක් අවශ්‍ය ද කියල අපි දන්නෙ නැහැ. කීයක් අවශ්‍ය වුණත් අපටත් කීයක් හරි ලැබෙයි. පඬි නැට්ටකු අහන්නෙ නැද්ද ඉන්දියාවෙ කොවිඩ් 19 සඳහා ආයුර්වේද ප්‍රතිකාර නැද්ද කියල. විදේශ ඇමතිගෙනුත් ඒක අහන්න තිබුණ. බුදුදහම නැති කර ගත්ත ඉන්දියාවට චතුර්වේදය නැති කර ගන්න එක අමාරු වැඩක් නො වෙයි.

පඬි නැට්ටන් කියන්න පුළුවන් ඉන්දියාවෙ ලංකාවෙ වගේ මෝඩයන් නැහැ කියල. ලංකාවෙ මෝඩයන් ඉන්න හින්ද වෙන්න ඇති බුදුදහම ආරක්‍ෂා කර ගත්තෙ. ඒ කොහොම වුණත් කොවිඩ් 19 සඳහා ඉන්දියාව අපට ආයුර්වේද බෙහෙත් ටිකකුත් එවනවා ද? ඕන නම් සිද්ධ බෙහෙතුත් යුනානි බෙහෙත් තියෙනව නම් ඒවත් එවන්න පුළුවන්. අප එක දෙවියකුගෙ මිනිසුන් නො වෙයි.

ඉන්දීය විදේශ ඇමති කියල තිබුණ පළාත් සභා තවත් ශක්තිමත් කරන්න ඕන කියල. ඒ අහවල් දේකට ද? අනෙක් අතට අප ඔය ඊනියා දෙමළ ප්‍රශ්නය විසඳලා ඉවරයි. විසඳලා ඉවර නොවුණත් ඉන්දියාවට තියෙන අයිතිය මොකක් ද අපේ ප්‍රශ්නවලට ඇඟලි ගහන්න. සම්බන්ධන් හා සුමන්තිරන් ගිහින් මෙරට ඉන්දීය මහා කොමසාරිස් නිවසෙ, ඒ කියන්නෙ කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට තියෙන ඉන්දීය නිවසෙ පදිංචි වුණත් අපට කමක් නැහැ. ඔවුන්ගෙ මානසික ප්‍රශ්නවලට විසඳුම් ලෙස ඉන්දියාවට මැදිහත් වෙන්න කියන්න බැහැ.

අද තියෙන්නෙ ඔය වෙල්ලාල නායකයන්ගෙ මානසික ප්‍රශ්නයක් විතරයි. එක් පැත්තකින් නන්දිකඩාල් කලපුවෙ දි ඔය ඊනියා ප්‍රශ්නය විසඳුවා. විසඳන්න තවත් ප්‍රශ්නයක් නැහැ. අනෙක් පැත්තෙන් ඒ දවස්වල ඉන්දියාව මැදිහත් වෙලා විසඳුව ප්‍රශ්නෙ මොකක් ද? දුන්න විසඳුම මොකක් ද? පළාත් සභා ද? ඒව නැතිව පළාත් ක්‍රියාත්මකයි. ඊනියා සාකච්ඡාවලින් ලබා ගත් ප්‍රතිඵලයක් තියෙනවා ද? බටහිරින් හා ඉන්දියාවෙන් ආධාර ලැබූ, සිංහල විරෝධී දෙමළ ජාතිවාදයට තිබුණෙ එක ම එක විසඳුමයි. ඒ හමුදා විසඳුමක්. පරද්දන්න බැහැ කිව්ව දෙමළ ත්‍රස්තවාදය අපේ රණවිරුවන් පරාද කළා. ජාතික හෙළ උරුමයේ පුරෝගාමී රටවැසි පෙරමුණ හමුදා මෙහෙයුම්වලට විරුද්ධව මංගලත් එක්ක ප්‍රචාරක කටයුතුවල යෙදුණ. අපට පුළුවන් වුණා ඔවුන්ගෙ මතවාදය පරාජය කරන්න. අද කැනඩාව හා එංගලන්තය තමයි දෙමළ ජාතිවාදය නඩත්තු කරන්නෙ. ඔවුන් තාමත් ඊනියා සමූලඝාතන ගැන කතා කරනවා. ආණ්ඩුව ඒ ප්‍රශ්නයට හරියට මුහුණ දෙන්නෙ නැහැ. ඒකට හේතුව ඊනියා උගතුන්ගෙ කසිකබල් ගිවිසුම් මතවාද. ඉන්දියාවට පුළුවන්කම තිබුණ නන්දිකඩාල් ජයග්‍රාහක දවසෙ ම ලංකාවට ඇවිත් 13+ අදහස් ආණ්ඩුවට බලකර කියන්න.

අනෙක් අතට අද ඉන්දු ලංකා ගිවිසුම වලංගු නැහැ. ගිවිසුමක් වලංගු වෙන්න නම් පාර්ශ්ව දෙක ගිවිසුමේ කරුණු ඉටු කරන්න ඕන. ඉන්දියාව තමන් පොරොන්දු වූ දේ ඉටු කළා ද? ඔවුන් කොටි සංවිධානය නිරායුධ කළා ද? ඉන්දියාව කොටි සංවිධානය නිරායුධ කළේ නැහැ. තමන්ගෙ පැත්තෙන් ඉටුවිය යුතු කරුණු ඉටු නොකළ ඉන්දියාව ජේ ආර් පොරොන්දු වෙච්ච දේවල් ඉටු කරන්න කියල අපට බල කරන්නෙ කොහොමද? ඔය එන්තත් ටිකක් දීල පළාත් සභාවලට තව තවත් බලතල අරන් දෙන්න ඉන්දියාව හිතනව නම් අපට කියන්න තියෙන්නෙ එකයි. මේ කෞටිල්‍ය යුගය නොවන බව පමණයි.

අර නැගෙනහිර පර්යන්ත කතාව සාකච්ඡා වුණෙ නැහැ කියල හිතන්න බැහැ. ඒ ගැන නම් පුවත්පත් නිවේදනයක මා දැක්කෙ නැහැ. මා විශ්වාස කරන්නෙ නැහැ ආණ්ඩුව ඔය මොන පර්යන්තයක්වත් ඉන්දියාවට හරි චීනයට හරි වෙන කාටවත් හරි විකුණාවි කියා. රනිල්දාසලා, යටත්විජිතලා, කෙකරගාමීන් හා තවත් අය කියවන්නෙ තමන් කළ දේ හරි තමන්ගෙ හිතළු හරි පමණයි. ආණ්ඩුවට එක යෝජනාවක් කරන්නම්. ඔය පර්යන්තය ගැන මොකක් හරි ගිවිසුමක් එකඟතාවක් ඉන්දියාව සමග තියෙන්න ඕන. ඒක අත්සන් කරන්න ඉස්සෙල්ල පාර්ලිමේන්තුවටයි ජනතාවටයි ඉදිරිපත් කරන්න. අපි වගන්තියෙන් වගන්තිය ගෙන ඒක සාකච්ඡා කරමු. අත්සන් කරනවා ද නැද්ද කියල පස්සෙ තීරණය කරමු.

මුල්ලේරියාව සංග්‍රාමය( 4 වන පරිච්ඡේදය. “සටන”) The Battle

මුල්ලේරියාව සංග්‍රාමය( 4 වන පරිච්ඡේදය. “සටන”)

The Battle ————————————————————

පෙර ප්රවේශයන් හිදී සටනේ අවි ආයුධ, උපක්‍රම සහ සේනා සංවිධානය ගැන සාකච්ඡා කලෙමු. මෙවර සෘජුවම අප සටනට ප්රවේශ වන අතර “සංග්‍රාම සැලසුම “(battle plan ) ඊට සමාන්තරව විමසන්නේ සටනේ සිද්ධි වින්‍යාසය සමග යමින් වඩා පහසු තේරුම් ගැනීමක් සදහාය. මෙය මුල්ලේරියාව සටන ගැන සර්ව සම්පූර්ණ සටහනක් නොවේ. එහෙත් එය ගැන මූලික පදනම් සටහනක් වෙයි. පාඨකයන් මෙය කියවීමට පෙර ධාරණය කර ගත යුතු කරුණූ කීපයකි. අ) යුධයක උපක්‍රම ( tactics )සහ උපායමාර්ගය (strategy )අතර වෙනස සහ සහසම්බන්ධනය. ආ) මුල්ලේරියාව වෙල් යායේදී සිදු වූ සටන ඒ ආශ්‍රිතව සහ සමස්ත මෙහෙයුම තුල වූ යුධ ක්‍රියාදාමය තුල එක් සටනකි. ඇ) විවිධ මූලාශ්‍ර සහ තර්කවේද මත අපට ලැබුන දත්ත සහ බලකොටු ස්ථාන දැනට විවිධය. එහෙත් මිලිටරි කෝණයෙන් මුල්ලේරියාවේ ස්ථානීයව වූ සටන අපට පැහැදිලිය.මුල්ලේරියාව සටන ආරම්භ වන්නේ පරංගි හෙවත් ප්රතිකාලුන් ඇතුලු කෝට්ටේ සේනාව සීතාවක දක්වා ආක්‍රමණය කිරීමට උත්සාහ ගත් අවස්ථාවකයමායාදුන්නේ සහ ටිකිරි කුමරු ගේ සීතාවක පාලනය තිබෙන තාක් සිංහලය හෙවත් ඔවුන්ට Ceilão යටත් කරගැනීමට නොහැකි වනවා පමණක් නොව තම පැවැත්මත් නැති වනු ඇතැයි තේරුම් ගත් පරංගිහූ සීතාවක ආක්‍රමණය කිරීමට තීරණය කරන ලද්දේ. ” ආරක්ෂාවට හොදම දෙය පහරදීම යි”යන ප්‍රත්‍යය ට අනුවය . එය ප්‍රහාරක ප්රවේශයකි (an offensive approach ). එවකට මෙරට පෘතුගීසි කපිතන් ජෙනරල් වූ ජෝර්ජ් දි මෙනේසස් ගේ සැලසුමකි.මුල්ලේරියාව සටන සිදුවූ දිනය 1562 අගෝස්තු 23 හෝ ඊට ට පසු දිනයක් ලෙස පිලිගැනේ. එහෙත් රාජාවලියට අනුව 1581 වසරේ ද ,පෘතුගීසි වාර්තා අනුව 1559 මැයි මසට පසු එම වසරේම බවත් සටහන් වේ. උක්ත ප්‍රදේශය නිරිත දිග මෝසම් සමයේ දැඩි වර්ෂාපතනය ට හසුවන නිසා මෙය නිරිතදිග මෝසමට පසු අගෝස්තු වැනි කැලණි ගංගාවේ ජල ප්‍රවාහය සැඩ පහරින් අඩු කාලයක සිදු වූ බව පැහැදිලිය. එවන් නිගමනයකට මා එන්නේ මන්දැයි ඉදිරියට ඔබට වැටහෙනු ඇත.

මෙහෙයුම ——————–



කොලඹ කොටුවෙන් ඇරඹෙන මෙහෙයුම කෝට්ටේ සහ ලස්කිරිඤඤ බලඇණි සමග එකතු වෙමින් වරාගොඩ ඔස්සේ නැගෙනහිර දෙසට ඉදිරියට ඇදෙයි. මේ හමුදාව කැලණි ගංගාව ට අනුරූපව ගග ඉහත්තාව ට ඇදෙන්නේ මෙහෙයුමේ පලවන පියවර ලෙස මාපිටිගම බලකොටුව යටත් කරගෙන,දෙවැනුව එතැන් සිට සීතාවක මධ්‍යයේ ඇති ගුරුබැවුල හෙවත් පසුව හංවැල්ල වූ බලකොටුව ඉලක්ක කරගනිමින් බව පෙනේ. දෙවන අදියර සදහා පරංගි සේනාව ගග දිගේ සහ ගොඩබිමින් මෙහෙය විය යුතු නම් මාපිටිගමෙන් එන ප්‍රතිරෝධය නිෂ්ක්‍රීය කල යුතුය. ඉනික්බිති ව දෙවන පියවර අසාර්ථක වුවත් පලවෙනි පියවරේදී මාපිටිගම අල්ලා ගත හොත් අනාගතයේදී එය සිතාවක ට නැවත නැවතත් පහර දීමට ඉදිරි පෙල බලකොටුවක් සහ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කල හැකිය. (A forward Base and a launching pad for future offensives ) . මෙය උපායමාර්ගිකව නිරවද්‍ය සැලසුමකි. මේ සදහා පරංගි හමුදාව කැලණි ගග දිගේ යාත්‍රා වලින්ද, ගගේ දකුණු ඉවුරට සමාන්තරව ගොඩ බිමින්ද මෙහෙය විය. මෙය කෙටි කලක් තුල වේගයෙන් කල යුතු මෙහෙයුමක් ලෙස සැලසුම් කරන්නට ඇත. කෙසේ මුත් මාපිටිගම ඉලක්කය ට ලගා වීමට පෙර අඹතලේ සහ කඩුවෙල ආදී සීතාවක ප්‍රධාන බලකොටු කීපයක් සහ මාඒදණ්ඩ වැනි මුරපොලවල් අතට ගත යුතු විය.පරංගී සේනාව නිත්‍ය සෙබලුන් සහ Casados සහ Topazes ස්වේච්ඡා සෙබලුන් 1000 -1600. අතර වූ බව පෙනේ. ලස්කිරිඤඤ සේනාව 2000 – 3000 අතර වූ බව පෙනේ. එමෙන් කාපිරි ජාවක සහ පරංගිකරණය වූ ඉන්දියානු වැනි වහලුන් හෝ කුලී භටයින් ද ඇතුලත්ව 4000 පමණ හමුදාවක් සමස්ත මෙහෙයුමට එක්ව සිටියහ. මෙතසස් ට අනුව 7000 ක් පමණ විය.පරංගි සේනාව ජෝර්ජ් දි මෙනේසස් යටතේ වූ අතර කපිතන් බල්තසාර් ගේඩ්ස් දි සූසා, දියෝගු දි මෙලෝ,දොන් ෆ්රැන්සිස්කො දි මෙලෝ, සිමාඕ දි බ්රීටෝ,අයිරස් දි සල්දානා ,සිමන් දි මෙලෝ ,නූනෝ පෙරෙයිරා, ලසාදෝ අන්තෝනියෝ,ඩයස් දි ලොම්බා, අන්දෝ දි ෆොන්සේකා,මැනුඑලෝ ලොරෙන්සෝ සහ ගැස්පාර්රෝ ගුවේටස් ආදී සෙනෙවියන් ද ඒ ඒ සේනාංක බාරව සිටියෝය. කෝට්ටේ සේනාව දොන් ජුවන් ධර්මපාල රජුගේ ඥාති සහ සෙනෙවි සෙබ්බපෙරුමාල් හෙවත් තම්මිට සූරිය බණ්ඩාර යටතේ විය.මීට පෙර අවස්ථාවකදී මායාදුන්නේ ට එරෙහිව පෘතුගීසි + කෝට්ටේ ප්‍රහාරයෙන් සීතාවක අල්ලා ගත් අතර මායාදුන්නේ ට කලුගගේ දකුණු ඉවුරේ වූ බටුගෙදර තම මුලස්ථානය කරගෙන වසර 3 ක් සිටීමට සිදු විය. එවැනිම ප්‍රහාරයක් කිරීම පරංගීන් ගේ අදහස වන්නට ඇත. මෝදර සිට දියත් කල බෝට්ටු භටයින්, සහ ද්‍රව්‍ය (logistics ) පටවා ගෙන රක්ගහවත්ත මුර පොල පසුකරමින් ඉදිරියට එන ලද අතර මෙම සමහරක් යාත්‍රා සන්නාහ සන්නද්ධ වූ අතර ඒවායේ Berco සැහැල්ලු ක්ෂේත්‍ර කාලතුවක්කු සවිකර තිබුණි. රට තුලට ගංගා ඔස්සේ ගමන් ගත් මෙවන් යාත්‍රා හබල් ගෑම මගින් සහ සමහර අවස්ථාවල රුවල් මගින් ක්‍රියාත්මක විය.මෙහෙයුමේ මුල් අවස්ථාවේ සීතාවක දේශසීමාව උල්ලංඝනය කර පරංගි හමුදාව පහර දෙමින් වේගයෙන් ඉදිරියට එන අතර සීතාවක භටයෝ සීතාවක තුල ට පසු බසිති.

පලවෙනි සටන ————————-

පසුව දා පරංගී ඉලක්කය වන්නේ සීතාවක සහ පරංගි කෝට්ටේ (කොලඹ) අතර දේශසීමාවේ වූ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයකි. මෙය දැව කදන් පවුරක් යුතු stockade ආකාරයේ බලකොටුවක් බව පෙනේ .අලුයම ජාමයේම පරංගීන් මෙයට හදිසියේ raid එකක් කර එහි සිටී සීතාවක සෙබලුන් 300 මරා දමයි . (Sitawakan were taken by the surprise ) ඉතිරි සෙබලුන් හේවාගම දෙසට පසු බසී. ඉනික්බිතිව සිදු වෙමින් යන්නේ ඉදිරියට එන පරංගීන් සහ පසුබසින සීතාවක භටයින් අතර ජංගම යුද්ධයකි. (Mobile war )සීතාවක සේනාවක් මෙහෙයුම වලකනු පිණිස හේවාගම ආශ්‍රිතව අඹතලේ බලකොටුව ඇතුලු ආරක්ෂක තීරූවක සිටින බවට පරංගීන් ට තොරතුරු ලැබෙන අතර උදෑසනම ඔවුනට පහර දීම සඳහා රැයෙහිම එදෙසට සේනාව ගමනේ යොදවයි. ඉදිරියට ඇදෙන පරංගීන් ගැන රාජසිංහ ට තොරතුරු ලැබෙන අතර වික්‍රමසිංහ මුදලි යටතේ සේනාවක් හේවාගම අඹතලේ රැකවල් ලා සිටින භටයන්ගේ සහයට යවයි. එහෙත් පරංගි ගිනි බලය සහ උපක්‍රම හමුවේ එම හේවාගම ආරක්ෂක තීරුව (defence line ) හෝ බලකොටුව බිදී යන අතර සීතාවක භටයෝ 200 ක් පමණ මිය යති. මෙහිදී වික්‍රමසිංහ ඒකනායක මුදලි තුවාල ලබයි. (අඹතලේ බලකොටුව සහ ආරක්ෂක තීරුවේ සීතාවක භටයින් 4000 ක පමණ පිරිසක් සිටී බව සමහර සටහන් වල දැක්වේ. )මේ අන්තර්කාලය රාජසිංහ රජුට තම සේනාවන් රැස් කර ගැනීමට සහ පරංගීන් පරාජය කිරීමට අවශ්‍ය සැලසුමකට අවස්ථාව සපයයි. එහිදි රාජසිංහයෝ ” තම සතුරා තමාට සටන් කිරීමට වඩා සුදුසු භූමියකට එන තෙක් සිට පහර දී පරාජය කිරීම “යන උපාය මාර්ගය භාවිතා කිරීමට තීරණය කල බව පෙනේ..
සීතාවක රාජසිංහයන්ගේ යුධ විශේෂඥ බව එයයි.

දෙවන හෙවත් මහා සටන ——————————————

හේවාගම -මුල්ලේරියාව යුධ ක්ෂේත්‍රය ට එන තෙක් භූමියේ අණ දීම සීතාවක සේනාධිපති වික්‍රමසිංහ මුදලි යටතේ විය. (මුදලි හෙවත් Mudlier according to Europeans. යනු මහනුවර රාජධානියේ දිසාවේ තනතුරට සමාන වේ ). ඒ තීරණාත්මක අවස්ථාවේ සිට සීතාවක රාජසිංහ අණදීම බාර ගනී. මුල්ලේරියාව ක්ෂේත්‍රයේදී සීතාවක හමුදාව, විශේෂ බලකා පලිහක්කාරයන් 1000 ට වැඩි පිරිසක් ඇතුලුව වික්‍රමසිංහ විජේසුන්දර සහ ජයසුන්දර සේනාංකයන්ද , ස්වේච්ඡා සිවිල් භටයින් ද (people’s militia ) සහිතව 3000 – 4000 අතර පිරිසක් වන්නට ඇත. පසුපසින් පහර දුන් (a decoy tactic ) පිරිසද පලිහක්කාරයෝ සේනාංකයට අයත් වූ බලඝණයක්ද, එසේ නැත්නම් වෙනම ඉලංගම් විශේෂ බලකායක් ද යන්න පැහැදිලි නැතත් එය කොරතොට කුරුප්පු ආරච්චිගේ විශේෂ සෙබල කණ්ඩායම ක් (a special unit )බව පැහැදිලිය . එසේම ප්‍රධාන සටන මුල්ලේරියාවේ සිදු වුවත් එයට ආශ්‍රිත මෙහෙයුම් සමස්තය තුල සක්‍රීය සෙබලුන් 6000 කට ආසන්න පිරිසක් සිටියා විය හැකිය. මන්ද, මුල්ලේරියාවේදී සීතාවක හමුදාව ආරච්චි වරුන් 18 දෙනෙකුද ඇතුළත් අණ දෙන නිලධාරීන් 40 දෙනෙකු යටතේ විය .සියලු සේනාංක තුල ගොනුව සිටී ස්වේච්ඡා සිවිල් භටයින් මුල්ලේරියාව අවට කඩුවෙල, කොරතොට හෝකන්දර ආදී ගම්වල ජනයා විය. මුල්ලේරියාව ජයග්‍රහණයට පසු “අභීතව හේවා කම් කල හෙයින් ” මේ ගම්මාන සියල්ල හේවාගම් කෝරලය ලෙස රාජසිංහයෝ නම් කරන ලදි. මෙම සේනාව ආරච්චිවරුන් යටතේ විය. එමෙන්ම සමස්ථ සේනාව තුල සබරගමුව, හත්, තුන් සහ හතර කෝරල, සහ ඌව ආදී සෙසු දිසා වල සොල්දාදුවන් සිටිය බව පෙනී යයි.. රාජසිංහයෝ ආකර්ෂණීය නායකයෙක් විය (charismatic leader ) .තම සෙබලුන් සමගම සිටීම, තමනුත් යුධ බිමටම ගොස් සටන් කිරීම, සොල්දාදුවන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය සම්පත් ආම්පන්න අප්‍රමාදව ලබා දීම සහ දක්ෂයන් ට තෑගි බෝග ඇතුලු තනතුරු දීම නොවලහා කරන ලදි. දෙවනුව යුද්ධයක් රජෙකුට තනියම කල හැක්කක් නොව එය නිලධාරීන් සහ සොල්දාදුවන් ගේද දක්ෂතාව සහ කැපවීමකි. එහෙත් යුද්ධයක් දිග් විජය කල හැක්කේ බලය සහ උපායමාර්ගය, ධූරාවලියේ ඉහලම සිටින තනි නායකයෙකු වටා ධ්‍රැවීයකරණය වුවහොත් පමණකි. හැනිබල්, ස්පාටකස් සහ නැපෝලියන් ට සේ තමාව කිසි විටක අතැර නොයන සහ විනයෙන්ද මොරාලයෙන්ද අත්‍යන්ත හමුදාවක් රාජසිංහයෝ වටා විය. ඉහත කී පරිදි සීතාවක ඉදිරි පෙල බලකොටු යටත් කරගත් පරංගි සහ කොට්ටේ සේනාවෝ මුල්ලේරියා වෙල ආශ්‍රිතව කදවුරු බැද ගෙන පසු දින සටනට ලැස්ති වෙති. නමුත්, උදෑසන හිරු එලිය වැටෙන්නට හෝරාවකට පෙර අදුර සහ වෙල පුරා වැතිර ඇති මීදුම ආවරණයට ගෙන් රාජසිංහ සමග මැද කණ්ඩායම ඔවුන්ට ප්‍රබල ප්‍රහාරය ක් කරමින් සටනට මුල පුරයි. රාජාවලිය මෙසේ පවසයි. .” වික්‍රමසිංහ මුදලින් බිදී ගිය හැටි රාජසිංහ රජු දැකලා වම – දකුණු පලිහක්කාරයන් හා දෙබාගේ ඇතුන් හා කොරතොට ආරච්චිවරුන් ලගට කැදවා හෝකන්දර රදා -දොලහ හේවායින් ගෙන්වා ඉලංගම් වල පලිහක්කාරයන් දහසකුත් දී පස්ස පොරතුවට පැන කොටන් ද ඇරලා රාජසිංහ පෙරමුණ ඉස්සර පාරෙන් ගොස් මුල්ලේරියා වෙල මැද හිටිනා කල ප්‍රතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ.” එනම් වික්‍රමසිංහ මුදලි යටතේ ඉතිරිව සිටි හමුදා පිරිසට පලිහක්කාරයන් සහ ඇතුන් ද දී පරංගී සේනාවේ පසුපස භාගය ට යවා, ගස් කදන් වලින් හිරකර පරංගීන් ට පසු බැසීමට හෝ flanking කිරීමට ඇති වාසිය නැති කර දැමීමේ flanking maneuver එකකි. මේ සේනාවට හෝකන්දර ගම් වලින් සිවිල් සේනාව (militiamen )ද යවා ඇත. ඉන්පසු සිදුවූ දෙය එහිම . “පස්ස පොරත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතීය, වීරසුන්දර බාගෙන් එරාවණයා පලිසකුත් දම්වැලකුත් ගතීය. රාජසිංහ අසු පිටට නැගී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර ප්රතිකාලුන් මැදට පැනලා.. පලිහක්කාරයෝ ප්රතිකානොන් ට ඇතුන්ගේ වල්ගා වල එල්ලී කෙටුවාහ. තුවක්කු වලින් ගසා ප්රතිකානෝ පලිහක්කාරයන් මැරුවාහ.පස්ස පොරත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට. ..”ලෙස හදුන්වන කොරතොට කුරුප්පු ආරච්චිගේ කණ්ඩායම ඉරු නැගෙන්නට පෙර කලුවරේම සතුරා කදවුරු ලා සිටින භූමියට පසු පසින් කා වැදුනාද ?එසේ නැත්නම් අලුයම බිම් මට්ටමින් ඇති මීදුමට මුවා වී කා වැදුනාද ?එම කාවැදීම (infiltration ) වගුරු ඔස්සේ කලාද එසේ නැත්නම් ගග හරහා amphibious ලෙස කරාද යන්න නොදනිමු. කෙසේ හෝ ඔවුන් කරන කොමාන්ඩෝ ආකාරයේ හදිසි ප්‍රහාරය පරංගීන් මහත් අපහසුතාවයට පත් කරන අතර තුර රාජසිංහ රජු ප්‍රමුඛ යුධ ඇතුන් සහ පලිහක්කාරයෝ හදිසි ප්‍රහාරයක් මගින් සතුරු ඉදිරි පෙල කඩාගෙන පරංගි සේනාව මැදට පහර දීමයි.ඉහත විස්තරය අනුව පරංගීන් ට පලවෙනි (සහ සමහර විටදෙවැනි) වෙඩි වැට තබා නැවත තුවක්කු පුරවා ගැනීමටත් පෙර සීතාවක පෙරමුණු බල ඇණිය සතුරාට ආසන්නව උරෙනුර ගැටෙන සටනක් (melee ) කල බවයි. පරංගීන් කොතෙක් තුෂ්ණිභූතව සහ අසංවිධානාත්මක වී ගියේද යත් රාජාවලිය ට අමතරව ක්වේරෝස් සහ දී කූතෝ ගේ සටහන් වලින්ද පෙනෙයි . .ඉදිරිපස පරංගි පෙරමුණ කඩාගෙන සතුරු සේනාංකය සිටි භූමියට මෙහෙය වූ යුධ ඇතුන් බලඝණයේ සංයුතිය ගැන පැහැදිලි සටහනක් දැනට නැතත් සිංහල සේනාවල පුරාණ සම්ප්‍රදායක් වූ 1: 6: 80 භාවිතා කලේද හෝ වෙනත් සංයුතියක් භාවිතා කලේද යන්න ට වඩා මෙහිදී යුධ ඇතුන් , අශ්වාරෝහකයෝ සහ පලිහක්කාරයෝ ඒකාබද්ධ කර විශේෂ සංයුතිය ක් භාවිතා කල බව උපකල්පනය කල හැක . එය නූතනයේ Armered personal carrier (APC) භාවිතා කර සතුරු පෙරමුණක් බිදීම (breaching ) මගින් සෙසු සේනාවට සතුරා වෙතට වේගවත් විහිදුමක් ( rapid deployment )කිරීමට සමානය. ඉන්පසු රාජාවලිය මෙසේ කියයි. “රාජසිංහ රජු අසුට නැගි විහිදුවා සේනාව වටකර දුවමින් රණ යුධ ගිනි කෙල කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සද , මුල්ලේරියා වෙල මැද ලේ වතුර කොට ප්‍රතිකාල් සේනාවට අඩියක් වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දහස් හයසීයක් ප්‍රතිකානුන් හා කෝට්ටේ සේනාවෙන් කීප දෙනෙකුත් කොටා වැටුනාහ..”!රාජසිංහ “ගෝපාල ” නම් තම යුධ අසු පිට අසිපත ලෙලවමින් සටන් භූමිය තුලම ගැවසෙන්නේ ස්වකීය සේනාවට පසු බැසීමට නොදී ඔවුන් මෙහෙයවමින් සහ උද්යෝගිමත් කරමිනි. මේ අතර ඔහු සතුරන්ට කෙටීම කලත් එක තැනක නැවතී සටන් කිරීමට නොහැකි වන්නේ සේනාවිධායක ලෙස සටන් බිමේ තුනින් තැනට යාමට සහ අණ දීමට සිදු වන බැවිනි. යුධ කෙලිය අතර එය කෙතරම් අනතුරුදායක දැයි අමුතුවෙන් කිව යුතු නැත.


දක්ෂ අශ්වාරෝහකයෙකු වු එතුමන් රණ පිටිය තුල අසු මෙහෙයවන්නේ විදුලිය මෙන් යයි වංශ කතා කරුවෝ සහ ජනප්‍රවාදයේ පවසති.රාජසිංහ ට වම් පසින් වූ සහායක සේනාව (ජයසුන්දර හෝ වීරසුන්දර රෙජිමේන්තුව ) ,ඒතෙක් බටහිර දෙසින් හූමිය අල්ලා ගෙන සිටින (hold on ) වික්‍රමසිංහ මුදලි ගේ සේනාව දෙසට යවන්නේ flanking maneuver මගින් සතුරු සේනාවට එදෙසින්ද පසු බැසීමට නොහැකි වන පරිදි සිර කරමිනි. මෙය සේනා අතර සන්ධාරණය සහ සතුරු ප්‍රතිප්‍රහාරයක් ප්රේරණයට තීරණාත්මක විය. ( link up and buffer )දැන් දකුණින් රාජසිංහ සහ ජයසුන්දර හෝ වීරසුන්දර සේනාංකයන්ද , බටහිරින් වික්‍රමසිංහ සේනාංකය සහ එකතු වූ සේනාංකය+ පලිහක්කාරයන් ද, උතුරින් කැලණි ගංගාවෙන්ද මායිම් වූ සීමිත බිම් කඩක පරංගි සේනාව සිර වී සිටි. කිසිදු දෙසකට ඔවුන්ට පසු බැසීමට නොහැක. අන්තිමයා දක්වා සටන් කරන සමූලඝාතනය වීමේ උගුලට ඔවුන් හසුවී ඇත. (Enviloped and driven into a so- called total annihilation scenario ) මේ සටනේදී සීතාවක හමුදාව ද ගිනි අවි භාවිතා කර තිබේ. “සීතාවක යුධ උපාය වූයේ සතුරා ගේ භූමියටම පැන ඉතා සුලු වේලාවක් තුල සතුරා විනාශ කිරීමය “..අද මෙන් ස්වයංක්‍රීය ගිනි අවි හෝ පතුරම් අවි නොතිබුණු එකල එවන් ලග ලගම කරන වේගවත් ප්‍රහාරයකදී කැපෙන සහ අනින අවි භාවිතා කිරීමට සිදුවේ. (A close quarters battle ). එවකට වූ matchlock කොටන තුවක්කු නැවත නැවත පුරවා භාවිතයට වෙලා ගතවේ. එහෙත් ක්ෂේත්‍ර පහර දීම් සදහා ස්ථානීයව හෝ ජංගමව කොඩිතුවක්කු සහ අත් තුවක්කු භාවිත කල බව පෙනේ. රාජාවලියේ “මීදුම වැනි වෙඩි දුම”යන්නෙන් දෙපාර්ශ්වය විසින් බහුලව ගිනි අවි භාවිතා කර ඇති බල ප්‍රත්‍යක්ෂ වෙයි. සීතාවක හමුදාව ට කොටුවූ පරංගීන් ට සහයට වෙඩි ප්‍රහාර (support fire ) සහ සැපයුම් (logistics ) කැලණි ගගේ තිබූ පෘතුගීසි යාත්‍රා වලින් ලැබුණද රාජසිංහ ඒවාටද පහර දුනි. කඩු පොරෝ පහරින් කැපී සහ ආකිබස් සහ කාලතුවක්කු ප්‍රහාරවලට ලක්ව මියෙන හෝ තුවාල ලබන දෙපාර්ශ්වයේ ම පිරිස අතර අති බහුතරය පරංගීන් විය. ලේ වැගිරීම කෙතරම් දරුණු වූවාද යත් මුල්ලේරියාව වගුරු බීමේ වතුර ලෙයින් රතු පාටට හැරුනු බව පැවසේ. එය සැබෑවක් යයි අමුතුවෙන් පැවසීය යුත්තක් නොවේ. “යුධ ඇතුන් භාවිතා කිරීම නිසා තමන් පැරදුන බව ” කූතෝ සහ ක්වේරෝස් සටහන් කරයි. බලාපොරොත්තු සුන් වූ පරංගින් කොඩි ගස් වලින් පවා ඇතුන්ගේ නලලට ඇන්න බවත් ඔවුන් සටහන් කරති. මුල්ලේරියාවේ දී රාජසිංහයන්ට ජයග්‍රහණය ලැබීමට යුධ ඇතුන් වැදගත් විය.සටනේ පරාජය සමග තම්මිට සූරිය බණ්ඩාර තම කෝට්ටේ සේනාව සමග පලා යති. සටන අවසානයේ පරංගීන් කීප දෙනෙකු (ඩයස් සහ පිරිස) අතැර දමා තිබූ පොකුරු මුණිස්සම් කාලතුවක්කුවක් පත්තු කර බේරී පැනගොස් තිබේ. තවත් තැනක සටහන් වන්නේ ගගේ නවතා තිබූ බෝට්ටු වලට නැගී පණ බේරාගෙන යාමට ඉතිරි වූ පරංගි සහ කෝට්ටේ පිරිසට සහ තුවාලකරුවන් ට සීතාවක සේනාව මානුෂිකව ඉඩ දුන් බවයි. මෙම සටනේදී පරංගි නිලධාරීන් බොහෝ දෙනෙකු මිය යයි. මෙනේසස් පණ බේරාගෙන තිබේ. රාජාවලියට අනුව පරංගීන්ම පමණක් 1600 කී. කොට්ටේ සහ ලස්කිරිඤඤයන් ද ඇතුලුව 2000 විය හැක. සීතාවක සොල්දාදුවන් කොතෙක් මිය ගියාද යන්න ගැන දැනට කිසිදු මූලාශ්‍රයක් නැති සෙයකි.

ජයග්‍රහණය ———————–

යුධ ජයග්‍රහණය ඉහලින් සැමරුණි. පරංගීන් කදවුරු ලා සිටි තැනක සීතාවක සේනාවෝ තම කොඩි සිටවූ අතර එය කොඩිගහවත්ත විය. අද කොටිකාවත්ත ලෙස හදුන්වන්නේ එම ප්රදේශයයි. සීතාවක බල සීමාව කොලඹට 12 km ආසන්නයේ ඇති බියගම දක්වා ගෙන එන්නේ බියගම ආශ්‍රිතව බලකොටුව තව ශක්තිමත් කරමිනි. . මුල්ලේරියාව මිලිටරි ජයග්‍රහණයක් පමණක් නොව දේශපාලන ජයග්‍රහණයක් ද විය. මුල්ලේරියාවේ බිහිසුණු පරාජයෙන් පසු පරංගීන් 1565 දී කොට්ටේ අතහැර දමා කොලඹට පසු බසින අතර මිලිටරි සහ දේශපාලන බලය වර්ධනය කරගන්නා සීතාවක තම එතිහාසික මහා යුධ මෙහෙයුම පරංගී හදවත තුලට ම යවන යවුල් පහරක් සේ වර්ෂ 1587 ජුනි සිට 1588 පෙබරවාරි අතර කොලඹ කොටුව ට එල්ල කරන්නේ ලංකා භූමියෙන් පරංගි උවදුර සදහටම අතුගා දැමීමට පෙරමුණට එමිනි.. පරංගී, කෝට්ටේ සහ මහනුවර එකට එකතු වී පහර දුන්නත් ඒ සියල්ලම එක මිටකට ගෙන පරාජය කිරීමට තරම් රාජසිංහයෝ ගේ මිලිටරි විශේෂඥ බව අනභිභවනීය විය.අමාවක රැයක කැලණි මිටියාවතේ සරණ ඔබ, ගගට බර කුඹුක් සෙවනක ගෝපාල අසුට දිය පොවමින් සිටින දිදුලන සන්නාහයෙන් සැරසුන ප්‍රෝඞ පුරුෂයෙකු දුටුව හොත් සටන ගැන ඔහුගෙන් අසන්න.

කීර්ති හේවාගොඩ 25 -05- 2020

ආශ්‍රිත ග්‍රන්ථ. (Bibliography )
1- .Fatalida de Historias”.Ribeiro joao (1685). The historic tragedy of the island of Ceilao. Translated by P.E. Pieris.
2- ලංකාවේ පෘතුගීසි යුගය. පෝල් පීරිස්. පරිවර්තනය අභය හේවාවසම්. 20083- රාජාවලිය. ඒ ටී සුරවීර. 1997.
4- සීතාවක සටන- පරණවිතාන රෝහිණී. 1999.5- සැවුල් සන්දේශය. අලගියවන්න මුකවෙටි.
6- කොන්ස්තන්තීනු හටන.
7- සීතාවක රාජධානියේ උන්නතියේ ද අවනතතියේද සමහර අංශ පිළිබඳව විමර්ශනය ක්. .රිසීමන් අමරසිංහ. ( 1998)
8- Kandy fights the Portuguese. C.Gaston Perera.
9- Historia da India. Decada xiii .Antonio Bocarro.
10- මන්දාරම් පුවත. සංස්කරණය. ලබුගම ලංකානන්ද හිමි.
11- The Temporal and Spiritual Conquest of Ceylon. Queiros Fernan. Also the works of Wimalananda Thennakoon, Fr. Perniola, P E P Deraniyagala were used in this article.

සැලකිය යුතුයි. .–චිත්‍ර සහ අනන්‍ය සටහන් නෛතිකව කතෘ අයිතිය ට යටත්ය. සටහන share කිරීම ගැටලුවක් නැත. Free to share in social media as the original post . However, for other uses, the keynotes and sketches are strictly protected by copyright
උපුටාගත්තේ >> Keerthi.Hewagoda ගේ මුහුණු පොතෙන්ය. https://www.facebook.com/Keerthi.Hewagoda