කොටි එනවා කියලා කවුද කෑ ගහනවා ඇහුණා. මමත් මිදුලට පැන්නා බලන්න. තුවක්කු අතින් අරගෙන කට්ටියක් ඉන්නවා. දෙමළෙනුයි ඒ අය කතා කෙළේ. එකපාරට උන් වෙඩි තියන්න ගත්තා. මම දිව්වා. දුවලා ගිහිල්ලා අඳුරන අයියා කෙනෙක්ගේ ගෙදරට ගියා. එයා තුවක්කුවත් අරගෙන ඇවිල්ලා වෙඩි තියද්දි කොටි පැනලා දිව්වා. පස්සේ බලනකොට අම්මයි, තාත්තයි, අක්කයි, අක්කගේ ළමයි දෙන්නයි මරලා දාලා තිබුණා. මල්ලි ගේ ඇතුළේ ඇඳක් යට රිංගලා ඉඳලා ජීවිතේ බේරගෙන තිබුණා.

මේ; අරුණ ශාන්ත. ඔහු නෙල්ලියද්ද විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ශිෂ්‍යයෙක්. 2009 වර්ෂයේ පෙබරවාරි මස 22 වැනිදා ත‍්‍රස්තවාදීන් ඉඟිනියාගල කරමැටියාව ගමට පහර දී ගම්වාසීන් 16 දෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට බරපතළ තුවාල සිදුකරමින් කළ කුරිරු අපරාධය ඔහු සියැසින් දැක ගත්තේ එලෙසිනි. මෙය එක් අවාසනාවන්ත සිදුවීමක් පමණි.

මෙරට ත‍්‍රස්තවාදී ව්‍යාපාර ආරම්භයේ කියා සිටියේ තමන් ජනතාවගේ අයිතිවාසිකම්, අවශ්‍යතා සඳහා සටන් කරන බව ය. නමුත් සිදුවූයේ විමුක්තිකාමින් ලෙස පෙනී සිටි ත‍්‍රස්තවාදීන් අතින් දහස් ගණනක් පුරවැසියන් කුරිරු ලෙස ඝාතනය වීම ය.

දෙමළ සන්නද්ධ ව්‍යාපාර මෙරට උපත ලැබූ වකවානුව වූයේ 1970 දශකයේ ආරම්භයයි. මේ සන්නද්ධ ව්‍යාපාරයන්හි පළමු උණ්ඩයට බිලිවූයේ කුලී රථ රියැදුරෙකි. උලගනාදන් නම් වූ ඔහු 1972 ජූනි මස 04 වෙනි දින තිරුනෙල්වෙලිහිදී සන්නද්ධ කණ්ඩායමක් අතින් ඝාතනය විය. එදා සිට අද දක්වා ත‍්‍රස්තවාදීන් අහිංසක සිවිල් ජනතාව මහමඟ නැතිනම් නිදි පැදුරේම කුරිරු ලෙස සමූහ ලෙස ඝාතනය කෙරිණි.

ප‍්‍රභාකරන් නොහැඳීනූ දරු දුක

මෙහිදී එල්.ටී.ටී.ඊ.ය සිදුකළ කුරිරු ඝාතන ඉතා විශාල ප‍්‍රමාණයක් පසුගිය දශක තුනකට වැඩි කාල පරිච්ඡේදය තුළ වාර්තා වේ.

1984 නොවැම්බර් මස 30 වෙනි දින වැලිඔය ඩොලර් ෆාම් සහ කෙනට් පාම් යනුවෙන් හැදින් වූ ගොවිපොළවලට කඩාවැදුණු ත‍්‍රස්තවාදීන් මුළු ගොවිපොළම වටකර වෙඩි තැබූහ. පිරිසක් මිය යද්දී සෙසු පිරිස එල්ලවන වෙඩි වරුසා මැද අසරණව ජීවිතය බේරා ගන්නට කැලයට දිවයාමට උත්සාහ කළහ.

එහෙත් තුවක්කු මානගත් ත‍්‍රස්තවාදීහු එම ජනතාව වටකර අත්පා ගැට ගැසූහ. ත‍්‍රස්තයන් කෙතරම් නින්දිත ලෙස හැසිරුනේද යත් අතපය බැඳි මිනිසුන්ගේ ශරීරවලට මුත‍්‍රා පවා කෙළේය. අවසානයේ සියලු දෙනාගේම හිසට, බෙල්ලට වෙඩි තබා ඝාතනය කළහ. මින් ගොවිපොළවාසීන් 62 ක් මියගියහ.

1985 ජනවාරි 9 වෙනි දින යාල්දේවි දුම්රියට එල්.ටී.ටී.ඊ.ය විසින් මුරුක්කන්හිදී ප‍්‍රහාරයක් එල්ල කෙරිණි. හමුදා සාමාජිකයන් 29 ක් සහ සිවිල් වැසියන් 11 ක් මේ ප‍්‍රහාරයෙන් මිය ගියහ.

1985 මැයි 14 වෙනි දින අනුරාධපුර පූජා භූමිය එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් විසින් ලේ විලක් කරන ලදී. පළමුව ලංගම බස් රථයක් පැහැරගත් ත‍්‍රස්තවාදීන් අවි අමෝරාගෙන අනුරාධපුර පුදබිමට කඩා පැන්නේය. සුදු පැහැ වස්ත‍්‍රයෙන් සැරසී මහත් භක්තියෙන් ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරමින් සිටි 146 දෙනෙකු අමු අමුවේම ඝාතනය කර ත‍්‍රස්තවාදීහූ පලා ගියහ. මේ ප‍්‍රහාරයෙන් 285 දෙනෙකු බරපතළ තුවාල ලැබූහ.

1986 මැයි 03 දින එලිෆන්ට් හවුස් ආයතනයේදී බෝම්බයක් පුපුරවා හරිමින් සිවිල් වැසියන් 11 දෙනෙක් ඝාතනය කරන ලදී.

1987 අප‍්‍රියෙල් 17 වෙනිදා හබරණ සිට ති‍්‍රකුණාමලය දක්වා ගමන්ගත් බස් රථ දෙකක සිටි 127 දෙනෙකු කිතුල්උතුව ප‍්‍රදේශයේදී කපා කොටා කුරිරු ලෙස එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරන ලදී. මේ ඝාතනය සිදුවනවිට අප‍්‍රියෙල් 12 වෙනිදා සිට සටන් විරාමයක් ප‍්‍රකාශ කෙරී තිබුණි.

1987 අප‍්‍රියෙල් 21 වෙනිදා පිටකොටුව බස් නැවතුමේ බෝම්බයක් පුපුරවා හැරිණි. 114 ක් මියගිය අතර තුන්සිය ගණනක් තුවාල ලැබීය.

1992 අප‍්‍රියෙල් 29 අලංචිපොතාන ගම්මානයට පහර දී සිවිල් වැසියන් 50 කට වැඩි පිරිසක් ඝාතනය කරන ලදී.

1992 – 715 මඩකළපුව කිරාන්කුලම් හිදී බසයකට පහර දී එහි සිටි මුස්ලිම් වැසියන් 19 ක් ඝාතනය කළහ.

1992 ඔක්තෝම්බර් 5 පල්ලියගොඩැල්ල, අහමද්පුර, අග්බෝපුර ගම් තුනට එල්.ටී.ටී.ඊ.ය පහර දී වැසියන් 146 ක් ඝාතනය කරන ලදී. 83 කට තුවාල සිදුවිය.

1995.10.21 සිට 26 දක්වා වූ කාලය තුළ අම්පාර, කැබිතිගොල්ලෑව, පදවිය, පොළොන්නරුව ප‍්‍රදේශයන්හි ගම්වාසින් 139 දෙනෙකු ඝාතනය කෙරිණි.

1996 ජනවාරි 31 වෙනි දින කොළඹ මහ බැංකු ගොඩනැගිල්ලට ත‍්‍රස්තවාදීන් පහර දෙන ලදී. එහිදී 91 ක් මියගිය අතර 1338 කට තුවාල සිදුවූහ.

1996.07.24 වෙනි දින කොළඹ කොටුව සිට අලුත්ගම දක්වා ධාවනය වූ දුම්රියේ බෝම්බයක් දෙහිවල දුම්රිය ස්ථානයේදී පුපුරා යාමෙන් මගීන් 64 ක් මිය ගියහ. 400 කට අධික පිරිසකට තුවාල සිදුවිය.

1998 ජනවාරි මස 25 ඓතිහාසික දළදා මාලිගාවට කොටි ත‍්‍රස්තවාදීන් පහර දුනි. මෙරට 50 වෙනි නිදහස් සංවත්සරයේ නිල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ මහනුවර දළදා මාලිගා භූමියේදී ය. ප‍්‍රහාරයෙන් පසුව රජය නිල උත්සවය කොළඹ පැවැත්වීමට කටයුතු කෙළේය. ප‍්‍රහාරයෙන් 14 දෙනෙක් මිය ගියේය.

2006 ජූනි 15 වෙනි දින කැබිතිගොල්ලෑව බසයක් ඉලක්ක කර ගෙන එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් විසින් පුපුරුවා හරින ලද ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරයකින් බසයේ ගමන් ගත් 64 ක් මිය ගියේය.

2007 නොවැම්බර් 28 දින නුගේගොඩ පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් ඉදිරිපිට පුපුරා ගිය කාල බෝම්බයකින් සිවිල් වැසියන් 19 ක් මියගොස් 38 ක් තුවාල ලැබීය.

මෙලෙස එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් විසින් අවස්ථා ගණනාවකදී අහිංසක සිවිල් ජනතාව අමානුෂික ලෙස ඝාතනය කරන ලදී. තමා සිංහලද, දෙමළ ද, මුස්ලිම් ද නැත්නම් යුද්ධය කුමක්ද ත‍්‍රස්තවාදය කුමක්ද ඒ කිසිවක් නොදන්නා අහිංසක ළදරුවෝද ත‍්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වයට පසුගිය දශක කිහිපය තුළ මුහුණ දුන්හ.

මානුෂික මෙහෙයුම් අවසාන අදියර කරා පැමිණෙද්දී ආරක්ෂක හමුදාවන්හි ඉදිරි ගමන වැළැක්වීමට ත‍්‍රස්තවාදීන් සිවිල් ජනතාව පලිහක් ලෙස යොදා ගත්හ. ජනතාවට විමුක්තිය ලබාදෙනවා යැයි කියමින් සිය ත‍්‍රස්තවාදී ව්‍යාපාරය ආරම්භ කළ කොටින් තම ආරක්ෂාව සපයා ගැනීමට අහිංසක සිවිල් ජනතාව ඉදිරියට දැම්මේය. එපමණක් නොව ජනතාව සැබෑ තතු තේරුම් ගෙන ආරක්ෂක හමුදා සමඟ එක්වද්දී ත‍්‍රස්තයන් අමානුෂික ලෙස අවස්ථා ගණනකදී ජනතාවට වෙඩි තැබූහ. ඒ කොටි ත‍්‍රස්තවාදීන් ජනතාවට විමුක්තිය ලබාදීමට කටයුතු කළ ආකාරයයි.

ඒ සියලු අභියෝග මැදින් අද ජනතාවට නිදහස කුමක්දැයි තේරුම් ගත හැකි යුගය උදාවෙමින් පවතී.

Leave a comment