
කළු ගඟ දිගේ පෘතුගීසීන් රට අභ්‍යන්තරයට පැමිණියේ මෙරට සිරි නැරඹීමට නොව සිය වාණිජ හුවමාරු කටයුතු සඳහා අවශ්‍ය කුළු බඩු ද්‍රව්‍ය රැස් කර ගැනීමට සහ රට අභ්‍යන්තරයේ ද බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ය. එහි එක් ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් කළු ගං දෑලෙහි කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ බලකොටු ඉදි කළ බව අපේ ඉතිහාස තොරතුරු අධ්‍යයනය කිරීමේ දී අනාවරණය වේ. අඟුරුවාතොට, නම්බපාන, ඇල්ලගාව, කිරිඇල්ල, රත්නපුර සහ බටුගෙදර එසේ ඉදි කළ බලකොටුය.

කිතු වසින් ගෙවී ගිය 1505 නොවැම්බර් මස 15 වැනි දින ලක්‌බිමට අහම්බෙන් මෙන් බටහිර රකුසෙකු ගොඩ බටුයේය. ඔවුන් නමින් පෘතුගීසීන් හෙවත් පරංගින්ය. සුදු තිරුවානා ගල් කමින් ලේ බොන ඔවුන්ගේ මාතෘ භූමිය වූයේ පෘතුගාලයයි. ඔවුන් මෙරටට ගොඩ බසින අවස්‌ථාවේ මෙරට රජ කළේ 8 වැනි වීර පරාක්‍රමබාහු (ක්‍රි.ව.1484 – ක්‍රි.ව.1506) රජතුමාය.
මේ වකවානුව වන විට ලංකාවේ කුරුඳු, කරාබු නැටි, කරඳමුංගු, සාදික්‌කා, වසාවාසි, පුවක්, ගම්මිරිස් වැනි කුළු බඩු මෙන්ම ඇත් දළ වැනි දේ ද මිල දී ගැනීමේ ඒකාධිකාරය පැවතුණේ මුහුදු මාර්ගයන් ඔස්‌සේ පෙරදිගින් පැමිණි මුස්‌ලිම් වෙළෙඳුන් අතය. ලංකාවේ කුළු බඩු ඉතාමත් අනර්ඝ උසස් තත්ත්වයෙන් යුතු ඒවා විය. මුස්‌ලිම් වෙළෙඳුන් සහ පෘතුගීසීන් අතර ද වෙළෙඳ භාණ්‌ඩ හුවමාරු සිදු වූ අතර මෙතරම් අනර්ඝ කුළු බඩු ගෙන එන රට දැන ගැනීමට පෘතුගීසීන් ද අවශ්‍ය විය. එහෙත් මුස්‌ලිම් වෙළෙඳුන් මෙම දිවයින පිහිටි දිසාව හෝ ඔවුන්ට නොපවසන්නට වග බලා ගත්හ. පෘතුගීසීන් මෙහි පැමිණියහොත් තමන් බලය රඳවා ගෙන සිටින මෙරට වෙළෙඳ ඒකාධිකාරයට පහර වදිනවා පමණක් නොව එම කටයුතු ඔවුන් අතට පත් කර ගනි යැයි යන සැකය නිසා මුස්‌ලිම් වෙළෙඳුන් පෘතුගීසීන් මග හැරියහ. කැලිකට් නුවරට යාත්‍රා නොකොට ඒඩ්න් සහ පර්සියානු බොක්‌කට යාත්‍රා කළහ. මෙයින් කෝපයට පත් ෆ්‍රැන්සිස්‌කෝ ද අල්මේදා සිය පුත්‍රයා වූ ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රධාන නාවික කණ්‌ඩායමක් ක්‍රි.ව.1505 දී මුස්‌ලිම් වෙළෙඳුන්ගේ නැව් අත්අඩංගුවට ගැනීමට පිටත් කර හැරියේ ය. පෘතුගීසීන් ආක්‍රමණික නාවිකයන් පිරිසක්‌ය.