පැණිය එකම ප්‍රතිකාරය නොවෙයි. මහඇදුරු නලින් ද සිල්වා මහතා

පැණිය එක ම ප්‍රතිකාරය නො වෙයි

ධම්මික වෙද මහතාගේ පැණියට අමතර ව කොවිඩ් 19 සම්බන්ධයෙන් තවත් පාරම්පරික හා දේශීය ප්‍රතිකාර තියෙනවා. මට දැන ගන්නට ලැබී ඇති ආකාරයට ප්‍රතිකාර විසිපහක් පමණ තියෙනවා. මෙහි ප්‍රතිකාරයක් කියන්නෙ මොකක් ද කියන එක මා ඊයේ (පෙබරවාරි 18) ලිපියේ පැහැදිලි කරල ඇති. මට මතක හැටියට දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි ඒ ගැන ඒ දිනවල කතා කළා. ඔහු දැන් ඒ ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැත්තේ ඇයි ද කියා තේරෙන්නේ නැහැ. සමහර විට විවිධ එන්නත් ලැබෙන නිසා වෙන්න ඇති. ඒත් සිසිර ජයකොඩි හරි වෙනත් කවුරු හරි අපටත් ධම්මික වෙද මහතාගේ පැණිය හෝ වෙනත් ප්‍රතිකාර හෝ එවීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙනවා. කලින් විදේශ අමාත්‍යාංශය මගින් පැණිය ගෙන්වා ගැනීමට උත්සාහ කළත් රේගු රෙගුලාසි අනුව ඒ කර ගන්න බැරි වුණා. එහෙත් ඔය කියන රේගු රෙගුලාසි මොනවා ද කියා කිසිවකු කියන්නේ නැහැ.

කොවිඩ් සම්බන්ධයෙන් ඇති පාරම්පරික හා දේශීය ප්‍රතිකාර එකින් එක ප්‍රකාශ කිරීමට විස්තර මා සතුව නැහැ. ඒ විිස්තර සමහර විට දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවක ඇති. ඒ ප්‍රසිද්ධ කිරීම ආණ්ඩුවේ යුතුකමක්. එහෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ අර 1898 ද කොහෙ ද නිරෝධායන රෙගුලාසිය. තවමත් සුද්දන්ගෙ රෙගුලාසි සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව යන විට ක්‍රියාත්මක වෙනවා. එහෙත් අර 1892 රෙගුලාසිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ රෙගුලාසිය 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම මත පදනම් ව නිකුත් කෙරුණක්. ඒ රෙගුලාසිය අනුව බෞද්ධ නොවන සිද්ධස්ථානයක් ඇරඹීමට පළමු ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගන්න ඕන. අද තියෙන විධියට නම් ජනාධිපති අවසරයක් ගන්න ඕන. එහෙත් කිසිවකු එවැනි අවසරයක් ගන්න බවක් පේන්නෙ නැහැ.

සුද්දන්ගෙ නිරෝධායන රෙගුලාසිය අනුව අද ඊනියා කොවිඩ් 19 වයිරස ඇතුල් වූ අය බටහිර වෛද්‍ය ක්‍රමය යටතට ගැනෙනවා. ඔවුන්ට වෙනත් වෙදකමක ප්‍රතිකාරයක් ලබා ගන්න ඉඩක් නැහැ. පීසිආර් ධන නම් ආසාදිතයකු ලෙස සැලකෙනවා. ආසාදිතයකු කියන්නෙ රෝගියකු නො වෙයි. ජනමාධ්‍යයෙන් ආසාදිතයන් මෙපමණ සංඛ්‍යාවක් සුව වී ඇතැයි පවසන්නේ වයිරසය ඇඟට ගිය පමණින් රෝගියකු ලෙස සලකමින්. ජනමාධ්‍යයෙන් සුව වුණා කියන්නෙත් පීසීආර් සෘණ වීමයි. දැන් ඒ අය ඊනියා සුව වීමක් ලබා තියෙන්නෙ බටහිර වෙදකම නිසා බවක් ජනතාවට ඒත්තු ගන්නන්න හදනවා. ඒත් ඒ අයට සනීප වෙන්න ලෙඩක් තිබිල නැහැ.

අඩුම තරමෙන් කාලෝ ෆොන්සේකා ක්‍රමයටවත් සුව වීමක් නැහැ. කාලෝ ආයුර්වේදය ගැන කියමින් පවසා ඇත්තේ ආයුර්වේදයෙන් සුව වන්නේ වතුර බිව්වත් සුව වන අය කියා. ඒ කියන්නෙ කිසිම ප්‍රතිකාරයක් නොකළත් සුව වන රෝගීන් තමයි ආයුර්වේදයෙන් සුව වන්නේ කියා. අඩුම තරමෙන් කාලෝ ක්‍රමයට සුව වීමට රෝගයක් තියෙන්නෙ ඕන. ඒත් කොවිඩ් 19 ඊනියා ආසාදිතයන් රෝගීන් නො වෙයි. ඔවුන්ගෙන් සුළු පිරිසක් පසුව රෝගීන් වන්න පුළුවන්. එහෙත් ඒ ඉතාම සුළු පිරිසක්. ජනමාධ්‍යයෙන් 90%ක් සුව වී ඇතැයි කියන්නේ රෝගීන් සම්බන්ධයෙන් නම් නො වෙයි. ආසාදිතයා හා රෝගියා අතර වෙනස පළමුව හඳුනා ගන්න ඕන.

සුද්දන්ගෙ නිරෝධායන රෙගුලාසිය නිසා වන්නෙ කොවිඩ් 19 වයිරසය ඇඟට ඇතුල් වෙච්ච ගමන් යමකු රෝගියකු කර බටහිර වෙදකමට භාර කිරීමයි. මේ රෙගුලාසිය ක්‍රියාත්මක වන තාක් රෝගියකුට බටහිර නොවන වෙනත වෛද්‍ය ක්‍රමයක පිහිට පතන්න බැහැ. මෙහි තකතීරු බව කියන්නෙ කොවිඩ් 19ට ප්‍රතිකාරයක් නැති බටහිර වෙදකමට ඊනියා ආසාදිතයන් භාර දෙන විටත් කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකි වෙද මහතුන් රටේ සිටීම නිසා.

මා මේ දේ ලියන එක ගැන බොහෝ දෙනාට කේන්ති ගිහින්. ධම්මික වෙද මහතා මොන ක්‍රමයකට හරි ප්‍රතිකාරයක් හඳුන්වා දීල. ඒක අපේ සංස්කෘතියෙ තියෙන ක්‍රමයක්. මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම. එයට අමතර ව ආධ්‍යාත්මික ව දැනුම ලබා ගන්නත් පුළුවන්. මට ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීමට නොහැකි වීම නිසා හරි මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් දැනුම ලබා ගැනීමට නොහැකි වීම නිසා හරි ඒ ක්‍රම ප්‍රතික්‍ෂෙප කරන එක සුදුසු නැහැ. අවකල සමීකරණයක් කියන්නෙ මොකක් ද කියල දන්නෙ නැති කී දාහක් බටහිර විද්‍යාව විශ්වාස කරනවා ද? තමන්ට කරන්න බැරි වුණත් බටහිර විද්‍යාව විශ්වාස කිරීමට අධ්‍යාපනයෙන් ජනමාධ්‍යයෙන් හා පොදුවේ අධිපතිවාදී සංස්කෘතියෙන් ඉගැන්වෙනවා.

මා දන්නා තරමින් ලංකාවෙ බටහිර වෙද මහතකු පහුගිය අවුරුදු එකසිය පනහට ප්‍රතිකාරයක් හඳුන්වල දීල නැහැ. මේක ටික කලකට පෙර කිව්ව ම එක් පඬි නැට්ටකු කියා හිටියා එලෙස ප්‍රතිකාර හඳුන්වාදීමට බටහිර වෙදකම දන්න එහෙත් ප්‍රතිකාර නොකරන වෙනත් පිරිසක් ඉන්නවා කියා. එහෙම එකක් නැහැ. ලංකාවෙ බටහිර වෙද මහතුනට අලුත් ප්‍රතිකාරයක් හඳුන්වා දෙන්න බැරි ඔවුන්ට ඒ බැරි නිසා. ඒ පහසුකම් පිළිබඳ ප්‍රශ්නයකුත් නො වෙයි. පිටරටවල පහසුකම් තියෙන පරීක්‍ෂණාගාරවල වැඩ කරන සිංහල බෞද්ධයකුවත් අලුත් ප්‍රතිකාරයක් හඳුනවා දී නැහැ.

අලුත් දෙයක් කරන්න අපේ සංස්කෘතියෙ පිහිටන්න ඕනෙ. අපේ චින්තනයෙ පදනම් වෙන්න ඕන. වෙනත් චින්තනයක දැනූමක් අපට නිර්මාණය කරන්න බැහැ. බටහිර වෙද මහතුන් ඒ ගැන පොඩ්ඩක් හිතනව නම් හොඳයි.
මහඇදුරු නලින් ද සිල්වා මහතා

සිංහල වෙදකම අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි බටහිර වෙදහාමිනේ කෙනෙක් වන මට.

සිංහල වෙදකම අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි බටහිර වෙදහාමිනේ කෙනෙක් වන මට.


අද අපේ මව්බිමේ කෝවිඩ් මරණ 13ක්ලු. එංගලන්තෙ දිනකට 500 ට එහා වුණත් අපේ රටට ඒ 13 ද කොහෙත්ම එපා.
අපට ඇති අපේ දේ වහාම දිරිමත් කර නිදුක් නිරෝගී සුවය පතමි.

මට මගේ රෝගීන් ගෙන් කෝවිඩ් 19 හැදුණෙ ජූනි 2020. පෙනහළු වලට ගියෙත් නැත හෙළසුවය දුම් හට්ටියත් ලෙමන් මීපැණිත් මාව රැක්කාය.

වසර අග සිට මේ වෙනතුරු වෛරස් වීරයා වෙනස් ප්‍රභේද එක්කත් මගේ වාට්ටුවම පිරෙව්වා. ධම්මික පැණිය මම ම හදාගෙන බිව්වෙමි.

අනුරාධපුරේ පිරිවෙනේ පින්වත් අපෙ මහනාහිමිපාණන් වහන්සේ සහ සාමනේර බුද්ධ පුත්‍රයන් වහන්සේලා ගෙන් ලැබුණු සෙත් පිරිත් වල බලයටද බොහෝ පින් සිදුවේවා උන් වහන්සේලාට නිදහසේ පාරමී පුරන්නට ඒ කුසල් හේතුවාසනා වේවා!

නැවත මගේ ම රුධිර පරීක්ශණ වලින් අදටත් 17.02.21 මගේ ස්වයං ප්‍රතිශක්තිය ඇත. සතියක් දෙකක් පාසා කල වයිරස් ඊනියා පීසීආර් ද ඍන ය.

ඇස්ට්‍රා සෙනෙකා හෝ ෆයිසරයක් ගත්තේම නැත. අදටත් මට ආරාධනා ලැබුණද ඊමේල් ද ගණන් නොගෙන සිටිමි.

පවුලේ අයටත් ධම්මික පැණියෙන් ඉක්මණින් ආසාදනේ ඉවත් වී ප්‍රතිශක්තිය හැදී ඇති අතර තෙරුවන් සරණින් දෙවු බඹුන් පිහිටෙන් ඔවුන්ද සුවයෙන් සිටී.

එංගලන්තෙ එන්නත අරගත් සමහර අය කීප දිනකින් ආසාදිත වී සමහරු මිය ගිය අතර එය එන්නත දෙන අතරේ නොපෙන්වූ ආසාදනය වඩාත් ප්‍රතික්‍රියා කර ඇති වූ තත්වයක්ද විය හැකි ය. සමහරු පෙනහළු ආසාදනය, අක්මා සහ වකුගඩු ආසාදනය, පෙනහළු රුධිර නාල වල ලේ කැටි හිර වීම සහ stevens Johnsons syndrome චර්ම ආසාදනයෙන්ද රෝගීන් දැනටත් සිටී.

සිංහල වෙදකමට මොකෙක්ගෙන් වත් අවසර අවශ්‍ය නැත. එය මට නම් අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි. හෙළ සුවය දුන් ප්‍රියන්තා සේනානායක මහත්මිය සුගතියක බවුන් වඩත්වා. ධම්මික මහතාට සියලු දෙවු බඹුන් ගේ ආරක්ශාව සමග තෙරුවන් සරණම ලැබී නිවන් මගට කුසල් පිරේවා!

චන්න ජයසුමණ නම් වූ ඊනියා සිංහලයා නොහොත් බැසිල්ගෙ කටුකන කෙනෙක් වූ ජිනීවා සිංහයාත් රජරට වෛද්‍ය විද්‍යාලයට ගෙන ගිය ධම්මික පැණිය ගැන කොලේ වැසුවාද?

ඒ ගැන පුදුම නොවෙමි. මගේ පියාණන් වසරක් පුරාවට අතේ ගැට ගහගෙන සිටි පෙරුම්කායම් කැබැල්ල ඔහු ගෙ ශල්‍ය කර්මයක් සඳහා ඇතුලු වූ රෝහලේ බටහිර වෙද මහතුන් සහ හාමිනේලා විසින් ඕවා මිත්‍යා කියමින් ගලවා ඉවත් කර ඇත. ඔවුන් කෙසේ කලත් මගේ පියාණන්ට ශල්‍ය කර්ම නොකරම ගෙඩියද ඉවත් වීමට ද සෙත් පැතුවෙමි සාර්තකව. ඔහු ගෙදර ගොස් නැවත පෙරුම්කායම්ද ගැට ගසා ගනීවි. නපුරු රෝහල් කාරයෝ කෝවිඩ් දුන්නද නොසෑදෙන්නට ඔහුටද ධම්මික පැණිය වහා සාදවා දෙමි.

මමද බටහිර වෙදහාමිනේ කෙනෙක්ම ය මුලු නම නොදාන්නේ පජාත කලු සුද්දෝ එංගලන්ත වෛද්‍ය සභාවෙන් පවා මා ගැන හොයමින් තර්ජන කරන බැවිනි.
(ප්‍රියදර්ශිකා නවරත්න MBBS Peradeniya, FRCP London ද ඇත.)

කලුසුද්දෝ සිංහල වෙදකම නොගත්තාට වෙනත් ජාතීන් ජනවර්ගත් තම තමන්ගේ පාරම්පරික ආහාර සහ ඔසු නිසා මොන වෛරස් ප්‍රභේද ආවත් සුද්දන්ගෙ රටෙත් සුවෙන් ද සිටී.

රැප් කිරීම හා ජනාධිපති – මහඇදුරු නලින් ද සිල්වා මහතා

රැප් කිරීම හා ජනාධිපති

ස්ටීවන් රැප් කියන්නෙ 2009 -2015 අවුරුදුවල එක්සත් රාජ්‍යයෙ යුද අපරාධ පිළිබඳ තානාපති හා ගෝලීය අපරාධ විනිසුරු ලෙස සේවය කළ අයෙක්. පසුගිය සිකුරාදා (12) ගෝලීය දෙමළ සංසදය විසින් විද්‍යුත් මාධ්‍ය උපයෝගී කරමින් පවත්වන ලද මඬුලු සාකච්ඡාවක දි රැප්, රැප් සංගීතයක යෙදිල. ඔහු එහි දී කියල 2009 කාලයෙ ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට පත් වූ කොටි සාමාජිකයන් මරා දැමූ බව රැප්ට කී බව.
රැප් මේක කියන්න මෙච්චර කල් බලන් හිටියෙ මොකද කියන එක ප්‍රශ්නයක්. දැන් මේ 2021. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වෙලත් අවුරුද්දකට වැඩියි. ජනාධිපතිවරණයට කලින් ඔය කතාව කිව්ව නම් සමහර විට සජිත්ට දිනන්නත් තිබුණ. රැප් සජිත් දිනනවට අකමැති ද? එහෙම නැත්නම් රැප් හිතුව ද දන්නෙ නැහැ ඒ කතාව අහල සිංහලයන් තව තවත් ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දෙ දෙයි කියල.

මේ විද්‍යුත් මාධ්‍ය මඬුල්ලෙ හිටිය අනෙක් අය ගැනත් දැන ගෙන ඉන්න එක වැදගත්. මේ සියලු විස්තර අද දි අයිලන්ඩ් පත්තරේ තියෙනවා. සිංහල පත්තරවලට මේ තොරතුරු ලැබෙන්නෙ නැද්ද? මඬුල්ලෙ අනෙක් සාමාජිකයන් අතර එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාර පැබ්ලෝ ද ග්‍රීෆ්, දෙමළ ජාතික සංධානයෙ මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (කුප්‍රසිද්ධ පාක්‍යසෝති සරවනමුත්තු නිසා කුප්‍රසිද්ධ වී ඇති) භවානි ෆොන්සේකා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ අමීර් ෆයිස්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වූ අම්බිකා සත්කුනනාදන්, සිවිල් සමාජ ක්‍රියාකාරී ශ්‍රීන් සරූර්. භවානි ෆොන්සේකා පමණයි සිංහල. ඒත් ඇයත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ.

අපි හිතමු ගෝඨාභය රාජපක්‍ෂ අත් අඩංගුවට පත් කොටි සාමාජිකයන් මැරුව කියල. (ඔහු රැප් කතාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කරල). ඒ කියන්නෙ මැරෙව්ව කියල. ඔහු ඒ බව රැප් වැන්නකුට කියයි ද? මා එසේ කළා නම් කීයටවත් කියන්නෙ නැහැ. හමුදා නිලධාරියකුව සිටි අයකු කෙසේවත් කියන එකක් නැහැ. රැප්, රැප් සංගීතයෙ යෙදිල ද, රැප් වෙන්න හදනවා ද (වැරදි කරුවකු වෙන්න), වෙනත් මොකක් හරි කරන්න හදනව ද කියන එක නම් ප්‍රශ්නයක්.

දැන් තවත් ප්‍රශ්නයක්. එසේ මැරැව්වෙ කාට කියල ද? සරත් ෆොන්සේකා එවකට හමුදාපති හැටියට ඔය සියල්ල දැන ගෙන ඉන්න ඇති. ඒත් එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ ප්‍රබලයන්, බටහිර ප්‍රබල රටවල් සුමන්තිරන් හා දෙමළ ජාතික සංධානය ආදීන් 2010 ජනාධිපතිවරණයෙ දි සරත් ෆොන්සේකට ආධාර කළා. සරත් ෆොන්සේකා මේ මිනීමැරුම්වලට සම්බන්ධ නැද්ද? එහෙමත් නැත්නම් ඔහු පාපොච්චාරණයක් මගින් සමාව ලබා ගත්ත ද? රැප් ඒ ගැන විස්තරයක් අප හමුවෙ තබනවා ද?

මේ මඬුල්ල ජෙනීවා විගඩම සඳහා සැරසෙන බව පැහැදිලියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සහකාර මහා ලේකම්වරයකු වූ චාල්ස් පෙට්රි ලංකාවට විරුද්ධ ව ඇති තහවුරු නොකළ චෝදනා පරීක්‍ෂා කිරීම එකසත් ජාතීන් මැඩ පවත්වා ඇත්තේ ඇයි දැයි පැහැදිලි කිරීම ප්‍රතික්‍ෂෙප කරල. ඔහු එහි දී විවාදයට තුඩු දෙන රහස්‍ය වගන්තියක් යොදා ගෙන. ඒ චෝදනා පරීක්‍ෂා නොකර තිබීමෙන් සිදුවන්නේ අදාළ චෝදනා මුසා බව පෙනවීමට ඇති අවස්ථාව මග හැරී යෑමයි.

මේ ඊනියා රහස්‍ය වගන්තිය අනුව ලංකාවට විරුද්ධ ව ඇති චෝදනාවල සත්‍යාසත්‍යතාව පරීක්‍ෂා කිරීම 2031 වන තෙක් කල් යනවා. ඒ අතර ඔය මානව හිමිකම් අයිතිකරුවන්ට විවිධ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් සරුංගල් යවන්න පුළුවන්. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හා වන්නියේ රාජ්‍ය නොවන සංවිධාන එක් වී පිළියෙළ කරන ලද වාර්තාවක් සැලකිල්ලට ලක් නොකර ඇත්තේ ඇයි දැයි ඈසු විට පෙට්රි පවසා ඇත්තේත් රහස්‍ය වගන්තියයි.

සිංහල විරෝධී ජාත්‍යන්තරය සිංහලයන්ට විරුද්ධ ව විවිධ චෝදනා ගේනවා. මරා දමන ලදැයි කියන සංඛ්‍යාව 7000 සිට ලක්‍ෂ ගණන් දක්වා දිව යනවා. කිසිවකුටවත් තමන් ඉදිරිපත් කරන ලේඛන තහවුරු කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මේ තත්වයට මුහුණ දෙන්න ශ්‍රී ලංකා ආණ්ඩුවට වෙන ම ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන්න වෙනවා. සියලු ප්‍රශ්න සාකචඡා කිරීම 2031 දක්වා කල් දැමීම එක් ක්‍රමයක් පමණයි. 2031 දීත් රහස්‍ය කතාව ඉවත් කරන්න වෙන ම යෝජනාවක් ගෙන ආ යුතු බව කියනවා.

මා හිතන්නේ ප්‍රශ්නය ගැන විධිමත් අධ්‍යයනයක් කළ යුතු බවයි. ඔය රහස්‍ය වගන්තිය මොකක් ද කියා හරියට ම දැන ගන්න ඕන. ඒ වගන්තියට මුවා වී බොරු චෝදනා ඉදිරිපත් කරමින් ඒවා තහවුරු නොකරමින් කෙරෙන ජෙනීවා මගඩියට තිත තැබීමට කාලය ඇවිත්. රැප් වැන්නකුට තමන්ට හිතෙන දෙයක් කීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවස්ථාව සලසා දී තියෙනවා. රැප් කිසිම තහවුරු කිරීමක් නැතිව කරන ප්‍රකාශයක් ඉන් පසු පඬි නැට්ටන්ට මූලාශ්‍රයක් වෙනවා. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන්නෙ මේ වගේ වැඩවලට. සුමන්තිරන් ආරක්‍ෂාව ඉල්ලමින් කොටි ආරක්‍ෂා කරන්නෙත් ඒ ප්‍රතිපත්තියෙ ඉන්න ගමන්.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

පැනි පරීක්ෂාවෙ ප්‍රතිඵල කෝ – මහඇදුරු නලින් ද සිල්වා මහතා

පැනි පරීක්‍ෂාවෙ ප්‍රතිඵල කෝ

අර බටහිර වෙද මහත්තුරුන්ගෙ පැනි පරීක්‍ෂාවට මොකද වුණෙ. මහා ඝෝෂාවක් කරල ආයුර්වේද සූත්‍ර කමිටුවෙන් ඖෂධයක් ලෙස අනුමත කරල බටහිර රසායන විද්‍යා මහාචාර්යවරියක වූ ප්‍රියානි පරණගම ප්‍රධාන කමිටුවෙන් පැනිය වසක් විසක් නැති බවට සහතික කර ගෙන රජරට විශ්වවිද්‍යාලයේ බටහිර වෛද්‍ය පීඨයේ ආචාර ධර්ම කමිටුවෙන් ද අනුමත කෙරිල අනුරාධපුරයෙ හමුදාව මගින් පවත්වාගෙන යන ආයතනයක පැනිය සායනික නැහැසුම් සඳහා යොමු කෙරුණා. ඉන් පස්සෙ ඒකට වෙච්ච දෙයක් ගැන දැන ගන්න නැහැ. පැනිය මල්වතු ඔයට දැම්ම ද?

ඔය සායනික නැහැසුම් කරන්න ඉස්සෙල්ල බටහිර රෝහලක පැනිය පීසීආර් ධන වෙච්ච විසිපස් දෙනකුට පමණ දීල ඔවුන් පීසීආර් සෘණ වුණා කියල දැන ගන්න ලැබුණා. ඒ බටහිර වෙද මහත්තුරු මගේ ගෝලයන් නම් නො වෙයි. ඔවුන් මගේ ලෝකය කියවල ද කියා දැන ගන්න විධියක් නැහැ. ඔවුන් මගේ ඊනියා අවසන් ලිපිය කියෙව්ව ද දන්නෙ නැහැ. මා තවම අවසන් ලිපිය ලිව්වෙ නැහැ. අද හෙට මගේ මරණය පතන අය ද මගේ අවසාන ලිපියක් ගැන කියන්නෙ. ඒ බටහිර වෙද මහතුන් ගැන මා දන්නෙ ආරංචි මාත්‍රයෙන් පමණයි. තව ටිකෙන් ඔවුන්ට ප්‍රශ්න ඇති කරන්න ඉහළ තනතුරක් දරණ බටහිර වෙද හාමිනේ කෙනෙක් සූදානමින් සිටි බව නම් ආරංචි වුණා.

මට ඒ වෙලාවෙ මතක් වුණෙ අවුරුදු තිහකට පමණ උඩ දි සිදු වුණු දෙයක්. මොකක් දෝ හේතුවකට හරි අහේතුවකට හරි මට එංගලන්තෙ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් විශ්වවේදය සඳහා ලැබුණු ආචාර්ය උපාධියක් තියෙනවා. ඒ වගේ ම ලංකා විශ්වවිද්‍යාලයෙන් ලැබුණු විද්‍යාවේදී උපාධියකුත් තියෙනවා. ඒව තිබියදිත් පේරාදෙණියෙන් මා ආචාර්යකමට නුසුදුස්සෙක් බවට තීරණය කරල තියෙද්දිත් 1979 අවුරුද්දෙ මට කොළඹ විශ්වවිිද්‍යාලෙ උගන්වන්න ලැබුණා. ඒ ස්ටැන්ලි විජේසුන්දර මහතාට පින් සිදු වෙන්න.

මා එංගලන්තෙ ගියෙ බටහිර විද්‍යාඥයෙක් වීමේ අරමුණින්. ඒත් මා දක්‍ෂයෙක් නොවෙයි. ඒ කියන්නෙ මා බටහිර චින්තනයෙ දක්‍ෂයෙක් නො වෙයි. ආචාර්ය උපාධියක් ලබා ගන්න එක මහා ලොකු වැඩක් නො වෙයි. ඇතැම් බටහිර වෙද මහත්තුරු කියන විධියට නම් මෝඩයන්ටත් ලබා ගන්න පුළුවන් එකක්. නෑ මා කිව්වෙ බටහිර වෙද මහත්තුරු මෝඩයන් කියන එක නොවෙයි. ඔවුන් ඇතැමකුට අනුව අප මෝඩයන් කියන එක. මට බටහිර විද්‍යාඥයෙක් වෙන්න බැරි වුණාට ස්ටැන්ලි විජේසුන්දර මහතා හා පාලක මණ්ඩලය මා බටහිර විද්‍යා පීඨයේ ගණිත අංශයට පත් කළා.

කොහොම හරි කොළඹ විශ්වවිද්‍යාලෙ උගන්වන අතරෙ මට තේරෙන්න පටන් ගත්ත බටහිර විද්‍යාවෙ රඟේ. එක සැරේට නැති වුණත් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව මට ටිකෙන් ටික වැටහුණා. මා කියන්නෙ බටහිර වෛද්‍ය විද්‍යාව පට්ටපල් බොරුවක් කියන එක නොවෙයි. ඒක බටහිර විද්‍යාවක්වත් නො වෙයි. ඒක තාක්‍ෂණවේදයක්. ඔය බටහිර වෙදමහත්තුරුන්ට ඩොක්ටර් කියන්න පටන් ගත්තෙ කොහොම ද කියන එක ගැන මා ලියල ඇති. ඩොක්ටර් කියල කිව්වෙ උගන්වන අයට. අර බයිබලයෙ තියෙන ඩොක්ට්‍රින් ඉගන්වන අයට.

ඇතැම් බටහිර වෙද මහතුන්ට අනුව මෝඩයකු වුණත් මගේ අදහස් මොනව වුණත් මා කොළඹ ගණිත අධ්‍යනංශයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණා. ඒ නිසා මට සනාතන මණ්ඩල සාමාජිකත්වය හිමි වුණා. එහි ප්‍රශ්නයක් පැන නැගුණ ආයුර්වේද වෛද්‍ය ආයතනයේ බටහිර වෙද මහතුන්ට ඉගැන්වීම ගැන. සනාතන මණ්ඩලයෙ හිටිය බටහිර වෛද්‍ය පීඨ ප්‍රධානීන් කියා හිටියෙ තමන්ට බටහිර නොවන වෛද්‍ය විද්‍යාලයක උගන්වන්න බැහැ කියල. විශ්වවිද්‍යාලය ඔවුන්ට කිව්වෙ ආයුර්වේදෙ උගන්වන්න නොවෙයි. බටහිර වෙදකම උගන්වන්න. වෛද්‍ය පීඨයෙ ප්‍රධානීන් කියා හිටියෙ ඔවුන්ගෙ වෛද්‍ය සභාවෙන් ඒ ඉගැන්වීමට අවසර නොදෙන බව. මෙවැනි අවස්ථාවල සුපුරුදු පරිිදි කාලෝ ෆොන්සේකා හා නන්දදාස කෝදාගොඩ නිහඬ වෙනවා. ඔවුන් බුද්ධිමත්.

මා කියා හිටියේ බටහිර වෛද්‍ය පීඨ ගුරුවරුන් විශ්වවිද්‍යාල සේවකයන් නිසා ඔවුන් විශ්වවිද්‍යාලය කියන පාඨමාලා ඉගැන්විය යුතු ය කියා. ඔවුන්ගේ ප්‍රමුඛ බැඳීම විශ්වවිද්‍යාලයට මිස වෛද්‍ය සභාවට නොවන බවත් මා කියා හිටියා. අවසානයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති බටහිර ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේ ආයුර්වේද වෛද්‍ය වි්‍යාලයේ උගන්වන්න ඉදිරිපත් වුණා. අර බටහිර වෛද්‍ය පීඨ ප්‍රධානීන්ගෙ හුළං බැස්සා.

පැනි පරීක්‍ෂාවට විරුද්ධ වුණත් අපට එහි ප්‍රතිඵල දැන ගන්න ඕන. ධම්මික වෙද මහතාගෙ පැනිය බටහිර වෙදකමේ නියම කරන්න කියල අපි බටහිර වෙද මහතුන්ට කියන්නෙ නැහැ. ඒ පරීක්‍ෂාවෙ ප්‍රතිඵල කියන්න. ධම්මික වෙද මහතා මොන ක්‍රමයකින් හරි කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාරයක් කියල. ඔය බටහිර වෙද මහත්තුරු මොනව ද කරල තියෙන්නෙ. මා කියන්නෙ පහුගිය අවුරුදු 150 ම. පාරම්පරික වෙදකම අනුව කොවිඩ් 19 වයිරසය නිසා සෙම කෝප වීමක් සිදු වන්නෙ. බටහිර වෙද මහත්තුර මේ රෝගය හඳුනගෙන තියෙනවා ද? මා කියන්නෙ බටහිර ම ඉන්න බටහිර වෙද මහත්තුරු. පීසීආර් ධන වෙනව කියන්නෙ රෝගය වැළඳිලා කියන එක ද? එහෙම නැත්නම් වයිරසය ඇඟේ තියෙනව කියන එක ද? අපේ ඇඟේ ඒ වයිරස හැරෙන්න වෙනත් වයිරස තියෙනවා ද? එහෙම තියෙනවා නම් ඒවට මොකද කරන්නෙ.

පැනි පරීක්‍ෂාවෙ ප්‍රතිඵල නොදෙන්න හේතුවක් තියෙනවා ද? පීසීආර් ධන අයට පැනිය දුන්න ම පීසීආර් සෘණ වෙනවා ද? කී දෙනකුට පැනිය දුන්න ද? පැනිය ඇත්තක් ද? ඇත්තක් කියන්නෙ මොකක් ද? ඇත්තක් කියල දෙයක් තියෙනවා ද? බුදුදහමේ ඇත්තක් ගැන කියනවා ද? බුදුහාමුදුරුවන් ඇත්තක් සොයා ගියේ ද? කිං සච්ච ගවෙෂි යන්න සූත්‍රවල තියෙනවා ද? කිං කුසල ගවෙෂි කියන්නෙ මොකක් ද? බුදුදහමේ ආර්ය සත්‍යය මිස සත්‍ය ගැන කියැවෙන්නෙ නැහැ. ආර්ය සත්‍ය කියන්නෙ ආර්යයකු වීම සඳහා ඇති දේ මිස සන්දර්භයෙන් තොර ඇත්තක් නො වෙයි. බටහිර දර්ශනයට ඇත්ත නිර්වචනය කරන්න පුළුවන් ද?

ඒ කතාවලින් වැඩක් නැහැ. අනුරාධපුර පැනි පරීක්‍ෂාවෙ ප්‍රතිඵල කියන්න. පරීක්‍ෂාව කෙරුණෙ බටහිර වෙද මහතුන්ගෙ අධීක්‍ෂණය යටතේ.

ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලබා දී පුස්සන් බිහි කිරීම – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලබා දී පුස්සන් බිහි කිරීම – මහඇදුරු නලින් ද සිල්වා මහතා

එක් රාජ්‍ය සේවකයකු කියා තිබුණා දරුවන්ගේ අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍යයෙන් විය යුතු ය කියා. ඔහු රජයේ සේවයේ ඊනියා ඉහළ තනතුරක් දරන්නකු වන්න පුළුවන්. කෙසේ වෙතත් මට ප්‍රශ්නයක් තියෙනවා. එකී මහතා අධ්‍යාපනය ලැබුයේ ඉංගිරිසි මාධ්‍යයෙන් ද නැත්නම් සිංහල මාධ්‍යයෙන් ද? ඔහු සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ඊනියා උසස් තනතුරකට පත් වූයේ ද? ඔහු සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවන්ගේ තත්වය දක්‍ෂතා අඩු බව දැන ගත්තේ තමා ම උදාහරණයකට ගනිමින් ද? නැත්නම් ඔහු ව්‍යතිරේඛයක් ද?

අධ්‍යාපනය කලක් සිංහලෙන් මෙන් ම ඉංගිරිසියෙන් ද ලබා දුන්නා. ඉංගිරිසි මාධ්‍යයෙන් ලැබූ අධ්‍යාපනයට මුදල් ගෙවන්න සිදු වුණා. සිංහලෙන් අධ්‍යාපනය ලැබණේ නොමිලේ. ඒ අධ්‍යාපනය ලැබූවන්ට ගුරු පත්වීමක් නොතාරිස් පදවියක් ආදිය තමයි ලැබුණු ඉහළ ම තනතුරු හා වරප්‍රසාද. වෘත්තීයකයන් ශාස්ත්‍රඥයන් විද්‍යාඥයන් ආදීන් වීමට හැකි වූයේ ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලැබූ අයටයි.

කන්නංගර මහතා කරුණු දෙකක් ඉටු කළා. එකක් අධ්‍යාපනය සියල්ලන්ට (රජයේ පාසල්වල) නොමිළේ ලබා දීම. එය ක්‍රමයෙන් විශ්වවිද්‍යාලය දක්වා ම විහිදුණා. දෙවැන්න අධ්‍යාපන ය සිංහලෙන් (හා දෙමළෙන්) ලබා දීම. 1961 සිට විශ්වවිද්‍යාලවල ද ශාස්ත්‍ර පීඨවල සිංහල මාධ්‍යයෙන් ලබා ගැනීමට හැකි වුණා. විද්‍යා පීඨවල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දුන්නේ 1966 සිට. එයට අවුරුද්දකට කලින් විද්‍යා පීඨයේ පරීක්‍ෂණ සඳහා සිංහලෙන් පෙනී සිටීමට අවසර ලැබුණා. එහෙත් විද්‍යා පීඨවල විශේෂ උපාධි සඳහා අධ්‍යාපනය ලබා දුන්නේ ඉංගිරිසියෙන් පමණයි. 1967 සිට 2011 දක්වා මා වසර දොළහක් පමණ අනිවාර්ය නිවාඩු ලැබ ගෙදර සිටි කාලයේ හා විදේශවල හත කළ අවුරුදු අවුරුදු හතරහමාරක පමණ කාලය හැරුණු විට සිංහලෙන් ගණිතය හා ගණිතමය භෞතික විද්‍යාව විවිධ විශ්වවිද්‍යාලවල උගන්වා තිබෙනවා.

අටවැනි පංතිය දක්වා මා අධ්‍යාපනය ලැබුවේ සිංහල මාධ්‍යයෙන්. නවවැනි හා දහවැනි පංතිවල දී ගණිත හා විද්‍යා අධ්‍යාපනය ඉංගිරිසියෙනුත් ඉතිහාසය ප්‍රජාචාරය හා බුද්ධාගම සිංහල මාධ්‍යයෙනුත් ලැබුවා. ඉන් පසු ඉංගිරිසියෙන් පමණක් අධ්‍යාපනය ලැබුවා. ඒ කෙසේ වෙතත් තවමත් මා හිතන්නේ සිංහල භාෂාව ඇසුරෙන්. එය ගණිතයට මෙන් ම භෞතික විද්‍යාවටත් පොදුයි. මට අදහස් එන්නේ සිංහල භාෂාව ඇසුරෙන්.

ඉංගිරිසියෙන් පොතක් කියවා අදහසක් ලබා ගැනීම හා අදහසක් නිර්මාණය කිරීම යනු දෙකක්. සිංහලයන්ට ඉංගිරිසියෙන් අදහස් නිර්මාණය කිරීමට, අදහස් ලබා ගැනීමට නොහැකි යැයි මා කියන්නේ නැහැ. එහෙත් එය සංස්කෘතිය හා සම්බන්ධ වූවක්. අප අදහස් නිර්මාණය කරන්නේ අපේ සංස්කෘතියේ. සිංහලයන්ට එය සිංහල භාෂාව ඇසුරෙන් සිදුවන්නක්. ඇතැම් විට කුඩා කල සිට ඉංගිරිසියෙන් ම කතා බහ කිරීමට පුරුදු වූ අය ඉන්න පුළුවන්. අතීතයේ එවැන්නන් දැනට වඩා සිටියා. එහෙත් ඔවුන් සිංහල බෞද්ධයන් විණි නම් ඔවුන්ට ඉංගිරිසි බස ඇසුරෙන් අදහස් ලැබුණත් ඒ ලැබුණේ සිංහල බෞද්ධ සංස්කෘතියක ය. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන්ට බටහිර නව අදහස් නොලැබීමයි. සිංහල බෞද්ධ සංස්කෘතියක බටහිර සංස්කෘතියේ නව අදහස් සංකල්ප ලැබෙන්නේ නැහැ.

රිච්මන්ඩ් විදුහල පිහිටුවන ලද කාලයේ සිට මෙරට ඉංගිරිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දී ඇති නමුත් ඒ අධ්‍යාපනය ලැබූ අයගෙන් කී දෙනකු නව අදහස් සංකල්ප ප්‍රවාද නිර්මාණය කර තිබේ ද? මෙහි අදහස් යනුවෙන් සැලකෙන්නේ වියුක්ත අදහස් මිස කැප්ටන් කුක් ඕසේත්‍රේලියාවට ගොස් කරන කියන ලද දැ ගැන ඇති සංයුක්ත අදහස් නො වෙයි.

පසු කාලීන ව සිංහලෙන් අධ්‍යාපනය ලැබූ අයට ද බටහිර සංස්කෘතියේ වියුක්ත අදහස් නිර්මාණය කර ගැනීමට නොහැකි වුණා. එයට එක් හේතුවක් වූයේ වියුක්ත ව සිතීම අපට තරමක් ආගන්තුක නිසා. අප අපේ සංස්කෘතියේ අදහස් නිර්මාණය කිරීමට ද ගියේ නැහැ. ඒ හේතු දෙකක් නිසා. එකක් අවුරුදු දහස් ගණනකින් අප එසේ කර නැති කම. අනෙක අපේ සංස්කෘතියේ නිර්මාණය වන අදහස් බටහිරයන් නොපිළිගැනීම.

අධ්‍යාපනයෙන් සිදු වන්නේ ඊනියා දැනුම ලබා දීමක් පමණක් නො වෙයි. එය සංස්කෘතික මොළ සේදීමක්. ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලබා දීම යනු සංස්කෘතික මොළ සේදීම වඩා තීව්‍ර කිරීමක්. අද ලබා දෙන අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම මෙන් බටහිර නිර්මාණය කරන ලද්දක්. එය ඉංගිරිසියෙන් ලබා දීමෙන් සිදුවන්නේ අප අපේ සංස්කෘතියෙන් ඈත් වූ නිර්මාණශීලිත්වයක් නැති පුස්සන් වීමයි. කලාවේ දී පවා එය සිද්ධ වෙනවා. මෙරට කලා විචාරය බටහිර අදහස් රැගත් පුස්සන් අත තිබීම නිසා පුහු කලා කෘති සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ නම් උසස් කළා කෘති ලෙස හැඳින්වෙනවා.

අවුරුදු පනහකට හැටකට පමණ පෙර ලංකා සිවිල් සේවයට ඇතුළු වූයේ ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලැබූ පිරිසක් පමණයි. ඔවුන්ගෙන් අති විශාල පිරිසක් ඉංගිරිසි අකුරට (නීතියේ අකුරට) සීමා වූ නිසා සාමාන්‍ය ජනයාට දුක් ගැහැට විඳීමට සිදු වුණ. හැත්තෑවේ දශකයේ මුල පරිපාලනයට දේශපාලනඥයන් ඇඟිලි ගැසීම ඇරඹුණේ මේ සාමාන්‍ය ජනයාට වූ හිරහැර නැති කිරමේ පියවරක් ලෙස. අද එය ඉහ වහා ගිහින්. සිවිල් සේවය වෙනුවට පරිපාලන සේවයක් ඇරඹීමට මුල් වූ එක් කරුණක් වූයේ මෙරට සංස්කෘතියට වඩා සමීප පිරිසක් පරිපාලනයට යෙදවීමට. එහෙත් එයින් සිදු වූයේ සිවිල් සේවය සිංහලෙන් පවත්වා ගෙන යෑම පමණයි. සිංහලෙන් අධ්‍යාපනය ලැබුවත් ඔවුන්ට හිමි වූයේ සිවිල් සේවයේ ආකල්ප.

අධ්‍යාපනය ඉංගිරිසියෙන් ලබා දීම නිසා ඊනියා සංහිඳියාවක් එකල තිබූ බව කීම පට්ටපල් බොරුවක්. එකල පහළ පංතිවල සිංහල හා දෙමළ මාධ්‍ය තිබූ පාසල්වල එළාර දුටුගැමුණු යුද්ධ නොතිබුණා නො වේ. එයටත් ඈත කාලයක ඉංගිරිසියෙන් ම පමණක් අධ්‍යාපනය ලැබූ පොන්නම්බලම් රාමනාදන් පොන්නම්බලම් අරණාෂලම් ජී ජී පොන්නම්බලම් චෙල්වනායගම් ආදීන් තමයි ප්‍රභාකරනගේ සීයලා හා බාප්පලා.

අප අප ම රවටා ගත යුතු නැහැ. පිරිසක් ඉංගිරිසියෙන් පමණක් අධ්‍යාපනය ලැබූ අතීතයේ තමයි මේ සියල්ල පටන් ගෙන ඇත්තේ. අප අනුකාරකයන් පමණක් වීමයි ඉන් සිදු වී ඇත්තේ. අද සිංහලෙන් ලබා දෙන්නෙත් බටහිර අධ්‍යාපනයක්. මෙරට සංස්කෘතියෙහි නිපද වූ දැනුම් සිංහලෙන් ලබා දීමත් බටහිර දැනුම් අපට අවශ්‍ය ආකාරයට අවශෝෂණය කර ඉගැන්වීමත් කළ යුතුයි.

සංස්කෘතෙන් ධර්මය දේශනා කිරීමට විමසු භික්‍ෂූන් වහන්සේට බුදුහාමුදුරුවන් වදාළේ ජනපද නිරුක්තියෙන් ධර්මය දේශනා කරන ලෙසයි. පස්වැනි සියවසට පෙර මෙරට අටුවා ටීකා තිබුණේ සිංහලෙන්. ඒ බොහෝ විට අප නිර්මාණය කළ දැනුම්. අපට අවශ්‍ය අපේ දැනුම් නිර්මාණය කළ හැකි කිහිප දෙනකු බිහිකිරීම මිස පුහු අනුකාරකයන් බිහි කිරීම නො වෙයි.

ක්‍රිස්තියානි රාජ්‍යය බෞද්ධ නොවන අධ්‍යාපනය හා අම්මණ්ඩිලාගේ නිදහස- මහඇදුරු නලින් ද සිල්වා මහතා

ක්‍රිස්තියානි රාජ්‍යය බෞද්ධ නොවන අධ්‍යාපනය හා අම්මණ්ඩිලාගේ නිදහස


මෙරට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි රාජ්‍යයක් ය කියන එක බොහෝ දෙනා පිළිගන්නේ නැහැ. සිංහලයන් 75%ක් සිටින බෞද්ධයන්70%ක් සිටින නිතර බණ කියන බණ අහන ක්‍රිස්තියානි කතෝලික දේශපාලනඥයන් ද පිරිත් නූල් ගැට ගසාගන්නා පන්සල් ගොස් පන්සිල් ගන්නා රටක රාජ්‍යය ක්‍රිස්තියානි වන්නේ කෙසේ ද කියා බොහෝ දෙනා අසන්න පුළුවන්. සෑම නාළිකාවක් ම පාහේ (බෞද්ධයා වැනි නාළිකා හැරෙන්න) උදේට පිරිත් කියා පටන් ගෙන අබෞද්ධ වැඩ සටහන් පෙන්වන විට පාසල්වල උදේට පන්සිල් සමාදන් කර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් දී අවසානයේ යො වද තං පව කියවා පිටත් කර අරින රටක රාජ්‍යය ක්‍රිස්තියානි නො වේ නම් වෙන මොකක් ද? උසාවිය පාර්ලිමේන්තුව රාජ්‍ය පාලනය වැනි සියල්ල ඉංගිරිසින් අපට දුන් ඒවා. ඒවා හරය වශයෙන් ක්‍රිස්තියානි. අපේ විශ්වවිද්‍යාල තනිකර ක්‍රිස්තියානි. මා මේවාට ආගන්තුකයෙක් නො වෙයි. මට කුඩා කල සිට ම ලැබුණේ ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. ඉන් කැඩෙන්න මට කලක් ගත වුණා. 

අපේ මූලික ම ප්‍රශ්නයක් වී ඇත්තේ අපට බෞද්ධ පාසල් නොමැති වීම. ඕල්කට්තුමා ගැන අප කෙතරම් හොඳ කිවුවත් ඔහු ගාල්ලේ දී පන්සිල් ගත්තත් ඔහු කිසි දිනෙක බෞද්ධයකු වූයේ නැහැ. ඔහු වැඩිම වුවහොත් පරම විඥානාර්ථවාදියෙක්. ඔහු ලංකාවට පැමිණියේ ඉන්දියාවේ සිට පරම විඥානාර්ථවාදය පැතිර වීම සඳහා. ඔහු මෙරට පිහිටු වූයේ ඊනියා පරම විඥානාර්ථ බෞද්ධ සමාගමක්. පරම විඥානය බෞද්ධ කමත් සමග ගැට ගැසූ ඕල්කට්තුමා අපට “දෙවියකු” ම වුණේ දහනවවැනි සියවසේ අපේ ආධ්‍යාත්මික දුර්වලකම නිසා. පංච මහා වාදවලින් ඇති වූ සිංහල බෞද්ධ පුනර්ජීවනය ඕල්ට්තුමා වැරදි අතකට යොමු කිරීමට සමත් වූයේ ඒ දුර්වලකම නිසා. 

ආනන්ද මහා විද්‍යාලයේ පළමු විදුහල්පති වූ ලෙඩ්බීටර් කලක් එංගලන්තයේ ඇංග්ලිකන් පූජකවරයකු ව ඉඳ තියෙනවා. පසුව ඔහු පරමවිඥානාර්ථවාදියකු වෙලා. දෙවියන්වහන්සේ/බ්‍රහ්මන් ආදීන් විශ්වාස කරන අයකුට පරම විඥානාර්ථවාදියකු වන එක අපහසු කටයුත්තක් නො වෙයි. ඔවුන්ට ඊනියා තාර්කිකයකු වෙන්නත් පුළුවන්. රේඛීය චින්තනයේ සියලු දැනුම් විශ්වාසය මත පදනම් වෙනවා. රේඛීය චින්තනයේ සමහරුනට එය තේරුම් ගන්න බැහැ. ඒ කොහොම වෙතත් ලෙඩ්බීටර් ඕල්කට්තුමා සමග 1885 දී බුරුමයට (මියන්මාරයට) හා ලංකාවට පැමිණ තිබෙනවා. එකල බුරුමයේ ථෙරවාදය හා ජාතිකත්වය ලංකාවට වඩා ශක්තිමත්. ඔවුන් දෙදෙනාට බුරුමයේ යමක් කිරීමට හැකි වෙලා නැහැ. 

ලෙඩ්බීටර් ක්‍රිෂ්ණමූර්ති සොයාගත් තැනැත්තා. ලංකාවේ ඊ ඩබ් අදිකාරම් වැනි ක්‍රිෂ්ණමූර්තිවාදීන් හිටියා. දැනුත් ඉන්නවා ද දන්නේ නැහැ. ලෙඩ්බීටර්  පසුව එංගලන්තයට ගොස් තියෙනවා. එහි දී ඔහුට විරුද්ධ ව පිරිමි ළමුන්ට ස්වයංවින්දනය ලබා ගැනීමට උපදෙස් දීම පිළිබඳ චෝදනාත් විභාග කෙරුණා. 1915 දී ලෙඩ්බීටර් සිඩ්නි නගරයට ගොස් තිබෙනවා. එහි දී ඔහු වෙජ්වුඩ් නමැති පරම විඥානාර්ථවාදියකු ද ලිබරල් කතෝලික පල්ලියේ පූජකවරයකු වූ ද අයකු සමග සම්බන්ධ වී තිබෙනවා. ලෙඩ්බීටර් ද පසුව ලිබරල් කතෝලික පල්ලියේ පූජකවරයකු වී තිබෙනවා.

අනගාරික ධර්මපාලතුමා හා ඕල්කට්තුමා අතර මතභේද තිබූ බවත් අප අමතක කළ යුතු නැහැ. ඕල්කට්තුමා බෞද්ධයකු නොවීමත් මෙරට ඊනියා උගත් බෞද්ධයන් ඒ වන විට අවුරුදු පනහකට වැඩි ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් දුර්වල කර තිබීමත් අපට බෞද්ධ අධ්‍යාපනයක් ගොඩනගා ගැනීමට නොහැකි වීමට හේතු වුණා. ඉංගිරිසි මිෂනාරීන් මේ කලාපයේ පිහිටු වූ පළමු ක්‍රිස්තියානි විදුහල ගාල්ලේ රිච්මන්ඩ් විදුහල බවට මතයක් තියෙනවා. ඕල්කට්තුමාවත් ලෙඩ්බීටර්වත් දැන සිටි බෞද්ධ අධ්‍යාපනයක් නැහැ. 

බටහිර ක්‍රිස්තියානි රාජ්‍යය පසුගිය අවුරුදු කිහිපයක තව තවත් ශක්තිමත් වුණා. එය අද බෝන් අගේන් ආදී ක්‍රිස්තියානි කඳවුරුවලට තෝතැන්නක් වෙලා. කතෝලික ආගමටත් එය දැනෙන්න පටන් අරන්. කාදිනල්තුමා පහුගිය සමයේ කළ ප්‍රකාශවලින් ඒ බව පැහැදිලි වෙනවා. අද දකුණු කොරියාව මුළුමනින් ම මෙන් ක්‍රිස්තියානි වෙලා. එය අනෙකුත් ථෙරවාදී රටවලට ද ප්‍රශ්නයක් වෙලා. ඒ රටවලත් ක්‍රිස්තියානිකරණයක් ක්‍රියාත්මක වෙනවා. 

රනිල් මංගල වැන්නන් සිංහල බෞද්ධ සංස්කෘතියක නොවීමත් ප්‍රශ්නයක් වෙලා.  මංගල සම්පූර්ණයෙන් ම සංඝයා වහන්සේ ප්‍රතික්‍ෂෙප කරනවා. ක්‍රිකට් අපට ඉංගිරිසින් දුන් ක්‍රීඩාවක්. ඒ නිසා එය ක්‍රිස්තියානි වීම ප්‍රශ්නයක් නොවන්නත් පුළුවන්. එහෙත් ඉතා පැහැදිලිව ම ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිස්තියානි පක්‍ෂපාතීත්වයක් තියෙනවා. ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන විට කුරුසය ලකුණු කිරීම නිසා ඇතැම් විදේශිකයන් ලංකාව ක්‍රිස්තියානි රටක් කියා සිතුවොත් පුදුම වෙන්න දෙයක් නැහැ. අපේ ක්‍රිකට් කණ්ඩායමේ බෞද්ධ පවුල්වල උපත ලබා දැන් ක්‍රිස්තියානි වී සිටින අය ගැන විස්තරයක් පාණදුරේ වැසියන්ගෙන් ලබා ගන්න පුළුවන්. මා කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු සිද්ධිය ගැන කතා කරන්නේ නැහැ. 

පසුගිය සමයේ පන්සල්වල අලි පෙරහැර පැවැත්වීම් ආදිය ගැන කතා කෙරුණා. සත්තු වත්තේ ඉන්න අලි ගැන කතා කෙරුණේ නැහැ. ඒ අලි හා මේ අලි අතර වෙනස කුමක් ද? අලි අයිතිවාසිකම් (මානව අයිතිවාසිකම් වගේ) තියෙන්නෙ මොන අලින්ට ද? ළමුන් මහන කිරීම් ද කතා කෙරුණා. ළමයකු මහන කිරීමෙන් පසු ඔහුට වුවමනා අවස්ථාවක උපැවිදි වෙන්න පුළුවන්. විශේෂයෙන් ම උපසම්පදා කරන්නේ පළමු ව ගිහි කරලා. අවශ්‍ය නම් උපසම්පදා නොවී ඉන්නත් පුළුවන්. එහෙත් අප පාසල් ගොස් ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා ගත්තාට පසු ඉන් ගැලවීමක් නැහැ. ගැලවුණා ම ජී එල් පීරිස් ඩබ්ලිව් ඩී ලක්‍ෂමන් වැන්නන් එකතු වී ගැලවුණු අය පන්නා දමනවා. 

මා දැක්කා එක් සකර්බර්ග් පිටුවක ප්‍රබුද්ධ අම්මණ්ඩි කෙනකු තමන්ට පන්සල් යෑමේ දී අරක අඳින්න මේක අඳින්න කියන එක කරදරයක් ලෙස කියලා. ඇය උඩුකය නිරුවත් ව එකල පන්සල් ගියා ය කියා හිතන තැනැත්තියන් දෙදෙනකුගේ රුපයක් මාතෘකා කරගෙනයි ඒ කතාව කියා තිබුණේ.  ඇය උසාවියට හරි පාසලට හරි යෑමේ දී අඳින්න ඕන දේ ගැන කියල තිබුණෙ නැහැ. පල්ලි යෑමේ දී අඳින දේ ගැනත් මා හිතන්නේ නැහැ ක්‍රිස්තියානි කතෝලික බැතිමතියන් පැමිණිළි කරනවා. ඒ ඒ තැන්වලට යෑමේ දී ඒ ඒ ඇඳුම් අඳින්න වෙනවා. ලංකාවේ නීතිය අනුව ප්‍රසිද්ධ තැන්වල කාන්තාවන්ට උඩුකයවත් නිරුවත් ව තබා ගන්න බැහැ. එහෙත් නිවස ප්‍රසිද්ධ තැනක් නො වෙයි. මා හිතන්නේ පන්සල් යෑම ගැන පැමිණිලි කිරීම පසෙක තබා අර අම්මණ්ඩිට ගෙදර ඉන්න විට උඩුකය පමණක් නොව යටිකය ද නිරුවත් කර ගෙන ඉන්න පුළුවන්. ඇය ඒ් නිදහස පාවිච්චි කරනවා නම් ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ. එහෙත් ඒ නිදහස පාවිච්චි නොකර පන්සල් යෑමක් ගැන කතා කරන්නේ නම් ඒ මොකාට එන්න ද කියා හිතා ගන්න බැරි මෝඩයන් මේ රටේ ඉන්නව නම් ඒ සකර්බර්ග් වම්මුන් හා වෙනත් සමහර සිංහල බෞද්ධ විරෝධීන් ම  ව වෙන්න ඕන. 

සිංහලයන් බෞද්ධයන් නොවීමේ දුක – මහඇදුරු නලින් ද සිල්වා මහතා

සිංහලයන් බෞද්ධයන් නොවීමේ දුක 

සිංහලයන්  බෞද්ධයන් වුණා නම් කෙතරම් හොඳ ද කියා මට වෙලාවකට හිතෙනවා. මෙතනදි ප්‍රශ්නයක් ඇති වෙනවා බෞද්ධයා කියන්නෙ කාටද කියන එක. මට තේරෙන බුදුදහම සමහර විට වැරදි වෙන්න පුළුවන්. අර ලන්ඩන් නුවර පළකරන ලංකා වෙබ් සංස්කාරකවරයා මගේ ලිපි පළ කිරීම නැවැත්තුවෙ මා කියන බුදුදහම වැරදි කියා. අප එකිනොකට තියෙන්නෙ විවිධ බුදුදහම්. කොයික ද හරි කියන එක වගේ ප්‍රශ්න මා අහන්නෙ නැහැ. මට තේරෙන බුදුදහම සිංහලයන් ඉතා වැඩි පිරිසක් ප්‍රතික්‍ෂෙප කරන බව මා දන්නවා. 

කලකට පෙර කාලෝ ෆොන්සේකා ඉන්න කාලෙ එක් හාමුදුරුනමක් මගෙන් ඇහුව මහත්තයා විද්‍යාව පට්ටපල් බොරු කිව්වට ප්ලේන් එහෙම යනව නේද කියා. එවැනි ප්‍රශ්න කාලොත් අහල තියෙනවා. කාලො බෞද්ධ නොවන නිසා කොහොමටත් ඵ්ක තේරෙන්න කල්යනවා. ඔහුට මිය යන තෙක් ම ඒක තේරුණෙ නැහැ. අපේ හාමුදුරුවන් වමට බර හාමුදුරුවන් වහන්සේ නමක්. කාලෝ ලියන කියන ඒවා අදහපු හාමුදුරුනමක්. මට උන්වහන්සේගෙන් එක සැරේට ම අහන්න හිතුනෙ ඔබ වහන්සේ බෞද්ධ ද කියල. ඒත් මා එහෙම ඇහුවෙ නැහැ.  

මේ බොරු පට්ටපල් බොරු කතා මා දන්න බුදුදහමට නම් එකඟයි. සමහර විට මගෙන් ප්‍රශ්නය අහපු හාමුදුරුවො ධර්මදේශනාවලදි උත්සාහ ගන්නව ඇති ආත්මය කියා එකක් නැති බව කියන්න. ඕක අපි බොහෝ දෙනෙක් කියනවට කියනව මිසක් තේරුම් ගන්න එකක් නොවෙයි. තේරුම් ගත්තත් ප්‍රත්‍යක්‍ෂ කරල නම් නැහැ. අපි වැඩ කරන්නෙ ආත්මය කියල එකක් තියෙනව කියා හිතාගෙන. අපි අම්ම තාත්ත ඉන්නව කියල හිතනවා. හාමුදුරුවරු වැඩ ඉන්නව කියල හිතනවා. අඹු දරුවො ඉන්නව කියල හිතනවා. එහෙම හිතා ගෙන වැඩ කරනවා. එහෙම නැතිව ලෝකෙ (අප සංස්කරණය කර ගන්න ලෝකෙ) ජීවත් වෙන්න බැහැ. 

හාමුදුරුවරු ආත්මයක් නැහැ කියන කතාව කියන්න සමහර වෙලාවට කරත්තය උපමාවකට ගන්නවා. මිලින්ද ප්‍රශ්නයත් ගන්නවා. කරත්තය බෝන් ලීය, රෝද ආදී වශයෙන් කොටස්වලට කඩන්න පුළුවන්. එහෙම කැඩුව ම කරත්තය කියල එකක් නැහැ. එතකොට රෝදය තියෙනවා ද? රෝදයත් ඒ විධියට කඩන්න පුළුවන්. එහෙම කඩා ගෙන ගියා ම මුකුත් නැහැ. බටහිර භෞතික විද්‍යාව හදාරල තියෙන අයකු ක්වාර්ක්, තන්තු හරහා ගිහිල්ල අංශු කියල දෙයක් නැති බවත් කියන්න පුළුවන්. ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදයට (ක්වොන්ටම් යාන්ත්‍රිකයට එහා ගිය Quantum Field Theory) අනුව අංශු කියන්නෙ යම් ක්‍ෂෙත්‍රයක උද්දිපන. එතකොට ඔය ක්‍ෂෙත්‍ර පවතිනවා ද? බටහිර භෞතික විද්‍යාව ඒකට උත්තරයක් දෙන්නෙ නැහැ. ඔවුන් හිතනවා වෙන්න පුළුවන් ඒ පවතින බව. 

මට හිතෙන විධියට බුදුදහමට අනුව ඔය කිසි දෙයක් නැහැ. ක්‍ෂෙත්‍රත් නැහැ. ක්‍ෂෙත්‍ර ආදී සියල්ල මගේ සංස්කරණ. හැබැයි මමත් නැහැ. එයත් සංස්කරණයක්. ඒක සංස්කරණය වෙන හැටි පටිච්ච සමුප්පදායෙ කියනව. ඒක චක්‍රීය කතාවක්. දෙවියන් වහන්සෙ මැවුවෙ කවුද කියන එකට කාන්ට් උත්තර දෙන්නෙ රේඛීය චින්තනයෙ. චක්‍රිය චින්තනයෙ දෙන උත්තර රේඛීය චින්තනයෙ දෙන උත්තරත් එක්ක සංසන්දනය කරන්න බැහැ. 

දැන් චක්‍රීය චින්තනය තේරුම් ගන්නෙ නැතිව අහන්න පුළුවන් පටිච්ච සමුප්පදාය තියෙනව ද කියල. නැහැ ඒකත් සංස්කරණයක්. ඒකෙත් පටන් ගැනීමක් නැහැ. අනිච්ච දුක්ඛ අනත්ත නෙදැනීම (අවිද්‍යාව) නිසා සංස්කරණය කෙරෙන දේ. ඒකත් රවුමක්. මෙහි දුක්ඛ කියන්නෙ මගේ බුදුදහමෙ නම් ඊනියා දුක නොවෙයි. චතුරාර්ය සත්‍යයෙ කියැවෙන දුක නම් නො වෙයි. මගේ බුදුදහමෙහි දුක්ඛ කියන්නෙ අයහපත් හිස් බව. දු කියන්නෙ අයහපත නරක ඛ කියන්නෙ හිස් බව. තාරකා විද්‍යාවෙ ඛගෝලය ගැන සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත අය දන්නවා ඛගෝලය කියන්නෙ හිස් ගෝලයක් කියල. අනිච්ච අනත්ත අස්සෙ ඊනියා දුකක් ගැන කියන්න කිසිම වුවමනාවක් නැහැ. ඔය සෆරින් කියල ඉංගිරිසියෙන් බුදුදහම කියන අයට නම් හැමදා ම දුක තමයි. 

ඔය සියල්ල දෘෂ්ටි. සිංහලෙන් නම් දිට්ටි. නැත්නම් දැක්ම. මා ඉස්සර දැක්ම කියල තීරු ලිපි ලිව්වා. ඒවා දිට්ටි. බොරු. සිංහලයන් බෞද්ධයන් නූණට කියනව මේ යකා  දිට්ටියක් දැකල ද කොහෙ ද කියල. එහෙම නැත්නම් මොන දිටටියක් වැහිල ද දන්නෙ නැහැ කියල. දිට්ටි දකින්නෙ නැතිව අහන්න ද කියල කවුරන්වත් අහන්නෙ නැහැ. ඒක විතරක් නොවෙයි අපි ඔක්කොටම තියෙන්නෙ දිට්ටි. ඔක්කොම බොරු. අපි ඔක්කොට ම දිට්ටි වැහිලා. මෙයින් සම්‍යක් දිට්ඨි කියල කොටසක් තියෙනවා. සම්‍යක් කියන්නෙ ඇත්ත කියන එක නොවෙයි. නිවන සම්මාබෝධයට හිතකර දිට්ඨිවලට. ඒවත් අත්හරින්න ඔන. අර ගඟෙන් එගොඩ වුණාට පස්සෙ ඔරුව කර තියාගෙන යෑම මතක් කර ගන්න.  

අපි බොරු තමයි සංස්කරණය කර ගෙන තියෙන්නෙ. අපි ජීවත්වන්නෙ බොරුවෙන් ම තමයි. ඒත් මේ බොරු මුසා නො වෙයි. මගේ බුදුදහමේ මුසා කියන්නෙ බොරුවලට නොවෙයි. අපිට බොරු නොකියා ඉන්න බැහැ. ඒත් මුසා නොකියා ඉන්න පුළුවන්. මේ ලිපිය බොරුවක් ඒත් මුසාවක් නො වෙයි. මේ ලිපිය මගේ නොවෙයි කීවොත් ඒක මුසාවක්. ඒත් ලිපිය මගේ ආදි සංකල්ප බොරු. 

අප කරන්නෙ බොහෝ විට වැඩ කරන බොරු ටිකක් සංස්කරණය කර ගන්න එක. සමහර බොරු තියෙනවා වැඩ කරන්නෙ නැති ඒවත්. උදාහරණයකට මාක්ස්වාදය. එය වැඩ කරන්නෙ නැති පට්ටපල් බොරුවක්. බොරු බොහොමයක් ඇඟට දැනෙනවා. ඒ කියන්නෙ පංචෙන්ද්‍රිය ගෝචරයි. පංචෙන්ද්‍රිය ගෝචර කිව්වට මනසට  තමයි ගෝචර වෙන්නෙ. එහෙම නැතිව මොහොකට ගෝචර වෙන්න ද? පංචෙන්ද්‍රිය ඇසුරෙන් මනසට ගෝචර වෙනවා. ඒකට පංචන්ද්‍රිය ගෝචර කියනවා. ඇහැට කණට පේනවා කිව්වට මනස නැතිව පේන්නෙ නැහැ.  මනස නැතිව කියන්නෙ දැන් මනස තියෙනව කියන එක නොවෙයි. මනස තමයි ලොකුම බොරුව. අර ආත්ම කතාව මනස සමග සම්බන්ධයි. 

මනසක් කියා එකක් නැහැ කිව්ව ම බොහෝ සිංහලයන්ට කේන්ති යනවා. ඔවුන් සමහරුන් හිතන්නෙ නිවන් අවබෝධයෙ දි සිදුවන්නෙ මනස නැති කිරීම එහෙම නැත්නම් ටිකක් පණ්ඩිතමානීව නම් අකර්මන්‍ය කිරීම. ඒක උච්ඡෙදවාදයක්. ඒ මනස බමුණන්ගෙ ශාස්වත මනසෙ අනෙක් පැත්ත. බමුණො කියන්නෙ සසර කෙළවර වන්නෙ බ්‍රහ්මන්ගෙ මනසත් එක්ක, පරමාත්මයත් එක්ක එකතු වුණා ම කියල. අප සසර සැරිසරන්නෙ අපේ පුංචි පුංචි මනස් සමස්තයෙන් වෙන් කර ගන්න නිසා කියල. ඒ මොකක් වුණත් බමුණන්ගෙ මනස සදාකාලිකයි. ඒක අනන්තයි. 

දැන් ඔය පංචෙන්ද්‍රිය ආධාර කරගන්නෙ නැතිව මනසට පුළුවන් සංකල්ප ප්‍රවාද සංස්කරණය කරන්න. ඒව වියුක්තයි. ඒවත් බොරු. ඒ වියුක්ත බොරුවලට මා කියනව පට්ටපල් බොරු කියල. බටහිර විද්‍යාව පට්ටපල් බොරු. ඒව බොහෝ වෙලාවට වැඩ කරන පට්ටපල් බොරු. ගුරුත්වාකර්ෂණය හරි අවකාශ – කාල වක්‍රතාව හරි තන්තු හරි අර ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර හරි පංචෙන්ද්‍රිය ආධාරයෙන් මනසට ගෝචර නැහැ. සමහරුන්ට නම් සමහර විට ගෝචර ඇති. කැලණිය විශ්වවිිද්‍යාලෙ රසායන විද්‍යා අධ්‍යනංශයේ මහාචාර්යවරයෙක් දවසක් කිව්වා ගුරුත්වාකර්ෂණය තමාට ඉන්ද්‍රිය ගෝචර කියල. මා ඔහුට කීවා ඒ ඉන්ද්‍රිය පෙන්නන්න කියා. ඔහු යන්න ගියා. ලජ්ජාවෙන් ද දන්නෙ නැහැ. 

කොහොමත් ගුරුත්වාකර්ෂණය කියන්නෙ ඇපල් වැටෙනවාට නිව්ටන් දුන්න හේතුව බව බොහෝ දෙනකු දන්නෙ නැහැ. මේ තකතීරු අධ්‍යාපනයෙන් කියල දෙන්නෙ ගුරුත්වාකර්ෂණය  හා ඇපල් හරි පොල් හරි වැටීම කියන්නෙ එකක් වගේ. බටහිර විද්‍යාඥයන් හිතන්නෙත් එහෙමයි. අයින්ස්ටයින් කිව්වෙ ඇපල් වැටෙන එකට වෙන හේතුවක්. බටහිර විද්‍යාඥයන් කියන්නෙ අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නෙ කොහොමද කියල තේරුම් කළා කියල. මෙරට සමහර පඬී  නැට්ටන් ඒවා කියවල  තමන්ට තේරෙන විධියට ඒ කතා කියනවා. අපි අහගෙන ඉන්න ඕන. 

ගුවන් යානා යනවා. ගුවන යානා කියන්නෙ වැඩ කරන බටහිර විද්‍යා තාක්‍ෂණය මත හදපු මෙවලම්. වැඩ කරනවා හරියනවා කියන්නෙ හරි කියන එකවත් ඇත්ත කියන එකවත් නො වෙයි. දැන් මම කියන සංකල්පය වැඩ කරනවා. ආත්මය කියන සංකල්පයත් වැඩ කරනවා. මා ගෙදර යන්නෙ මා, ගෙදර, යනවා කියන සංකල්ප තුන ම වැඩ කරන නිසා. ඒක නිසා සිංහලයන් කියනවා ද මා කියල කෙනකු ඉන්නවා කියල. 

අනාත්මය නොවෙයි ආත්මය කියන එකයි අපි තනාගෙන ඉන්න ලෝකවල වැඩ කරන්නෙ. ඒ නිසා ආත්මය හරි ද? අනාත්මය කියන එක වැඩ කරන්නෙ නැති නිසා තමයි පුද්ගලවාදය ක්‍ෂණවාදය වගේ වාද ගොඩ නැගුනෙ. මා නම් එය බැහැර කරනවා. මහායානය ද අටුවාව ද කියන එක මට ප්‍රශ්නයක් නො වෙයි. මේ වැඩ කරන්නෙ අපේ හිතළු. නැත්නම් පඬි නැට්ටන්ගෙ උපන්‍යාස. ඉංගිරිසියෙන් කියනවා නොවැ  වර්කින් හයිපොතිසිස් කියල. බටහිර විද්‍යාව කියන්නෙ ඔය වර්කින් හයිපොතිසිස් නැත්නම් වැඩ කරන හිතළු. 

අප පාසලේ සාමාන්‍ය පෙළේ ඉන්න කොට භෞතික විද්‍යා පරික්‍ෂණ පංති තිබුණ. ඒකෙ දි උගන්වනවා පරික්‍ෂණය ඉදිරිපත් කරන්න. පරීක්‍ෂණයෙ නම එක්ස්පෙරිමන්ට් කියල ලියනවා. ඊට පස්සෙ හයිපොතිසිස් එක ලියනවා. ඊට පස්සෙ පරීක්‍ෂණය කරන අන්දම ලියනවා. ඊළඟට ද කොහෙද වෙරිෆිකේෂන් නැත්නම් සත්‍යාපනය ලියනව. අර සෝවියට් දේශයෙ වෙරිටාස් තිබුණෙ. ලංකාවෙ ඇත්ත තියෙන්නෙ. දෙක ම බොරු හා බොහෝ විට මුසා. 

මට පරීක්‍ෂණ කරන්න බැහැ. මගේ දෑත් ඒවට හුරු නැහැ. මට අර පරිවෘත්තයවත් ඇඳ ගන්න බැහැ. මා පරිවෘත්ත ඇන්දම යුක්ලිඩ්ට කේන්ති යනවා. අඩු තරමෙ ගුරුවරයාට කේන්ති යනවා. කොහොම හරි උසස් පෙළට එන කොට මා ඉගෙන ගත්තා පරීක්‍ෂණය කරන්නෙ නැතිව සත්‍යාපනය කරන්න. වර්කින් හයිපොතිසිස් එක මට ඒ දිනවලත් තරමක් වැඩ කළා. මට ඕන වුණෙ ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව ඉගෙන ගැනීමට නිසා පරීක්‍ෂණ මට අවශ්‍ය වුණෙ නැහැ. 

කොළඹ විශ්වවිද්‍යාලෙ උගන්වන කොට තමයි මේකෙ රඟ මට දැනෙන්න ගත්තෙ. ඒ ක්වොන්ටම් භෞතිකය නිසා. ඒත් පස්සෙ මට තේරුණා ඒකට ක්වොන්ටම් ඕනෙ නැත බුදුහාමුදුරුවො ඔය වර්කින් හයිපොතිසිස් ගැන ඒ නමින් නූණත් දේශනා කරල තියෙනවා කියා. ඊනියා යථාර්ථය බොරුවක් කියා. සංකල්ප ඔක්කොම බොරුය කියා. ඒත් වැඩ කරනවා කියා. බටහිර විද්‍යාව දැන් අනාථ වෙලා. අර පහුගිය දවස්වල මා සයන්ස් සඟරාවෙ පළවුුණු ලිපයක් ඉදිරිපත් කෙළෙ ඒ අනාථ වීම පෙන්නුම් කරන්න. 

ඉතින් අපේ හාමුදුරුවන්ට නැවතත්. උන්වහන්සේ මා මේ කියන බුදුදහමෙ නම් ගුවන් යානා ගියාට බටහිර විද්‍යාව ඇත්ත කියල කියන්න බැරි බව තෙරුම් ගන්න ඕන. එහෙම නැත්නම් මම කියන සංකල්පය නැත්නම් ආත්මය කියන සංකල්පය වැඩ කරන නිසා ආත්මවාදීන් කියන්නෙත් ඇත්ත කියල පිළිගන්න වෙයි. කලකට පෙර අපේ සීයා කෙනෙක් තාත්තගෙ මාමා කෙනෙක් (හොඳ මාමා) කිව්ව දෙයක් තමයි අපි ඉස්සෙල්ල ම හාමුදුරුවරු බුද්ධාගමට  ගන්න ඕන කියල. මට ඒ කාලෙ ඒක තේරුණෙ නැහැ. ඒ සීය බොහොම තේජවන්තයි. උඩුරැවුල කරකවලා කොණ්ඩෙ බැඳලා. අප තියා තාත්තවත් ඔහුගෙන් ප්‍රශ්න අහන්න ගියේ නැහැ. හාමුදුරුවරු බුද්ධාගමට ගැනිල්ල කොහොම වෙතත් අප බුදුහාමුදුරුවන් දේශනා කරපු දේ ලෙස මා කියන්න තේරුම් ගත්තොත් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන ඒක තේරේවි. කාට හරි කියන්න පුළුවන් මා නිර්මල බුදුදහම විකෘති කරනවා කියල. ප්‍රශ්නය එතනින් ඉවරයි. ඒක දුකක්.  

පසුව අනිත් අයටත් ඔප්පු වෙනවිට මතක් වේවි. යකඩ ගෝනිවලටත් ගුල්ලො ගහන හැටි

2015 සිටම ගෝටා විරෝධී මෙහෙයුමක් ලන්ඩන් සුන්දරියන් හරහා කිතුනුවන් හරහා දියත් කල, සිංහල බෞද්ධ විරෝධී පච රනවක වෙනුවට හාවර්ඩ් ඇමෙරිකා වලින් තෝරා ගත් රත්‍රන් හැන්දෙන් බත් කනවයි කියන මාලින්ද සෙනෙවිරත්න, (අනාගත ජනපති මේනියාවෙන් පෙළුනු කෙනාත්) නැගල ඉන්නෙ ඇමෙරිකාවෙන්ම මෙහෙයවන පරිසර වේදීන් එක්කනෙ.
කොටි, අරාබි වසන්තෙ බැරි වුණාම පරිසරය සුරකිමු සටන්පාටෙත් අහුලගෙන. අනේ මන්දා මුහුණුපොතේ රැලිත් කොහේ පැටලෙනවද සියා අමු ඒජන්ත නඩේම වගේ.
මාලින්ද සෙනෙවිරත්නගේ හිතවත් ෆොටොග්‍රෆර් ම කාලය සඟරාවටත් රිංගා පල්ලි පිල්ලි ශෙනාලි වඩුගේවත් ඒකටත් රිංගවා ඇත.
ජාතිකවාදීන් ගේ යකඩ ගෝනි වලට ගුල්ලෝ රිංගවා ඇත.

ජාතිකත්ව විරෝධී උත්සාහය පරාජය කරමු – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ජාතිකත්ව විරෝධී උත්සාහය පරාජය කරමු

මේ ආණ්ඩුව බලයට පත්කෙළේ කවුද? මට නම් හිතෙන්නෙ ඒක සාකච්ඡා කරන්නවත් ඕන ප්‍රශ්නයක් නෙවෙයි කියල. ආණ්ඩුව බලයට පත් කෙළෙ මෙරට මිනිසුන්, සිංහල මිනිසුන්. දෙමළ මිනිසුන් යම් ප්‍රමාණයක් හවුල් වෙන්න ඇති. ඒත් මූලික වශයෙන් ම සිංහලයන්. සිංහලයන්ට තවමත් හරියට ම සිංහලයන් හැටියට හිතන්න බැරි වුණත් ඔවුන් ඒ විධියට හිතන්න පටන් අරන්. ඒ ප්‍රවණතාව වැඩි කරන්න ඕන.

මේ ආණ්ඩුව පත්කෙළෙ විමල්වත් දිනේෂ්වත් වාසුවත් ගම්මන්පිලවත් බැසිල්වත් මහින්දවත් ගෝඨාභයවත් නො වෙයි. ඔවුන් ඒ ඒ අවස්ථාවල දි දායක වෙන්න ඇති. එහෙමත් නැත්තන් මල් වට්ටියට අත ගහන්න ඇති. ඒත් මල් කඩල වට්ටිය සකස් කෙළෙ සිංහල මිනිසුන්. තවත් කියනව නම් යම් ජාතිකත්වයක් ඇති කරගෙන තියෙන සිංහල මිනිසුන්. ඒ ජාතික ව්‍යාපාරයවත් නොවෙයි. ජාතික ව්‍යාපාරයත් මෙතන දි අනවශ්‍ය අහිමි ගෞරවයක් ලබා ගන්න ඉදිරිපත් වෙන්න ඕන නැහැ.

මේ ආණ්ඩුව බලයට පත් කෙළෙ කිසිම දේශපාලනඥයෙක් නූණට පහුගිය 2010 ආණ්ඩුව කඩා දැම්මෙ නම් බලයෙන් උදම් වෙලා ජාතිකත්වය අමතක කරපු ඉහත නම් සඳහන් දේශපාලනඥයන්ගෙන් කිහිප දෙනකු හා තවත් එවැනි දේශපාලනඥයන්. මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රී ල නි පක්‍ෂයෙන් යන්න සලස්සල ඔහු විදේශිකයන් අතට පත් කළ අය එක් පැත්තකින් වග කියන්න ඕන. 2010 ලැබුණු විශිෂ්ට ජයග්‍රහණය තමන්ට ලැබුණු පෞද්ගලික ජයග්‍රහණයක් හැටියට සලකල ජාතිකත්වය පයට පෑගෙන දූවිල්ල ලෙස සලකපු දේශපාලනඥයන් හිටිය. ඔය දේශපාලනඥයන් මතක තියාගන්න ඕන කාරණය තමයි මෙරට සිංහලයන් අතර දැන් වර්ධනය වෙමින් පවතින ජාතිකත්වය සමග සෙල්ලම් කිරීමට බැරි බව. අද කිසිවකුට ජාතිකත්වයට කොකා පෙන්නන්න බැහැ.

2010 ආණ්ඩුවෙ නොපණත්කම් නිසා විජාතික බලවේග ඉදිරිපත් කළ මෛත්‍රිපාල සිරිසේන ජාතිකත්වයේ නියෝජිතයා ලෙස ඇතැම් සිංහලයන් සැලකුව බව ඇත්ත. විජාතික බලවේග කල් යල් බලා සිරිසේ්න තෝරගෙන තිබුණ. සිංහල මිනිසුන් 2010 ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට මෛත්‍රිපාලට ඡන්දය දුන්න. මිනිසුන්ට අවශ්‍ය වුණෙ නැහැ ආණ්ඩුව පරාද කරන්න. පාඩමක් උගන්වන්න පමණයි අවශ්‍ය වුණෙ.

නමුත් පාඩම දුර දිග ගියා. මහින්ද පරාද වුණා. එසැණින් මිනිසුන් තේරුම් ගත්ත තමන්ටත් වැරදිල බව. තමනුත් පැරදිල බව. මිනිසුන් මැදමූලන යන්න පටන් ගත්තෙ කාගෙවත් මෙහෙයවීමකින් නො වෙයි. ඔවුන් පැරදුණ දාට පහුවෙනි දා ම යන්න පටන් ගත්තා. ඒ සමහරු පිටරට යද්දි. තමන්ට වෙච්ච වැරුද්ද ගැන සමාව ගන්නත් පුළුවන් නම් වරද නිවැරදි කර ගන්නත් තමයි මැදමූලන ගියෙ. ඒත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්‍ෂෙප කිරීමට කිසිවකුටවත් නො හැකි වුණා පමණක් නොවෙයි කිසිවකුටවත් එවැනි වුවමනාවක් තිබුණෙත් නැහැ.

ඒත් වැරැද්ද පාඩමක් උගන්වන්න ඡන්දය දීපු මිනිසුන්ගෙ නොවෙයි. මිනිසුන් ඒ තැනට පත්කරපු බලයෙන් මත් වූ දේශපාලනඥයන්. කොටි පරාද කරල බලයට පත්වෙච්ච ආණ්ඩුවක් වැඩ කරන්න තිබුණ විධියට නොවෙයි 2010 ආණ්ඩුව වැඩ කෙළෙ. ඒ කොහොම වුණත් මහින්ද නැවත බලයට පත් කරන්න ඕන කියන කතාව බොහෝ දෙනකුට පැරදුණ දවසෙ ඉඳල ම තිබුණ. මා හිතන විධියට ඒ සම්බන්ධයෙන් මුලින් ම ප්‍රසිද්ධ ව කතා කෙළෙ එව බලව සංවිධානය. ඔවුන් සම්මන්ත්‍රණයක් සංවිධානය කළා මහින්ද සමග පෙරට හරි එවැනි තේමාවක් යටතෙ. මට හරියට ම තේමාව මතක නැහැ. මේ ආණ්ඩුව බලයට පත් කිරීමේ ගෞරවය එව බලව සංවිධානයට හිමි විය යුතු බවක් නො වෙයි මා කියන්නෙ.

ඊට පස්සෙ සුප්‍රසිද්ධ නුගේගොඩ රැස්වීම පැවැත්තුව. එයට මුල් වුණෙ ශ්‍රී ල නි පාක්‍ෂිකයන් නොවෙයි. දිනේෂ්, විමල් වාසු හා ගම්මන්පිල. ඒ රැස්වීමට මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න මැදමූලන ගිය අයට රාජපක්‍ෂලාගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක නොවෙයි. මට ලැබුණු තොරතුරු අනුව ශිරන්ති රාජපක්‍ෂ නොහිටින්න ප්‍රකාශයක් ලැබෙන්නෙ නැහැ. ඒ ප්‍රකාශය නුගේගොඩ රැස්වීමෙ දි කියවන්න අද වීරයන් වෙලා ඉන්න කිසිවකු ලැහැස්ති වෙලා හිටියෙ නැහැ. අවසානයෙ දි සංවිධායකයන් තමන් දේශපාලන විද්‍යාඥයකු යැයි කියා ගන්නා නිතර දෙවේලේ පැති මාරු කරන දයාන් ජයතිලක තෝරා ගත්තා. එදා ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ගෙන් වේදිකාවට නැග්ගෙ මට මතක හැටියට දිලුම් අමුණුගම හා කුමාර් වෙල්ගම පමණයි. අනෙක් අය හිටියෙ ගෙවල්වල, නුගේගොඩ කඩවල, පදික වේදිකාවෙ සහ වෙනත් තැන්වල. සමහරු රටේවත් හිටියෙ නැහැ.

මහින්ද සුළඟවත් ඔය පොදුජන පෙරමුණවත් කාගෙවත් නිර්මාණ නොවෙයි. ඒවා ජනතාවගෙ නිර්මාණ. ජනතාවගෙ සාමූහික නිර්මාණ. ජනාධිපතිවරණයෙ දි ගෝඨාභය රජපක්‍ෂට සිංහල ඡන්දවලින් පමණක් දිනන්න පුළුවන් වුණෙ ඔය කාගෙවත් හපන්කමකට නොවෙයි. ජනතාව තුල ජාතිකත්වය යම් ප්‍රමාණයකට හරි තහවුරු වෙලා තිබුණ නිසා. ජනාධිපතිවරණයට කලින් දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටෙවුවෙ ජනතාවට අවශ්‍ය වෙලා තිබුණ නිසා. ඒත් ඔය වීරයො ඒ පිහිටුවා ගත්ත ආණ්ඩුව රැක ගත්තෙ නැහැ.

අද ඒ වීරයන් නැවත බලවත් වෙලා. විමල් වීරවංශට පහර දෙන්න එන අය නුගේගොඩ රැස්වීමෙ දි හිටියෙ ගෙදර ද කඩේ ද පදික වේදිකාවෙ ද පිටරට ද? මේ විමල් වීරවංශට පහර දීමක් නොවෙයි. මෙහි එයට වඩා දුර දිග යන සැලැස්මක් තියෙනවා. මේ ආණ්ඩුව ජාතිකත්වයට පිටු පා නොගියත් ශක්තිමත් ව ජාතිකත්වය මත පිහිටල බලය තහවුරු කර ගත්තෙ නැහැ. එහි ප්‍රතිඵලය අද පේන්න තියෙනවා.

කොවිඩ් හා සම්බන්ධ ව භූමදානයට අවසර දීම හුදෙක් ජෙනීවාහි දී මුස්ලිම් රටවල සහාය බලාගෙන කළ එකක් පමණක් නොවෙයි. ඔය ජෙනීවා හුචක්කුව ගැන එතරම් කරදර වෙන්න දෙයක් නැහැ. බටහිරයන්ගෙ බොරු මානව අයිතිවාසිකම් කතා අප ගණන් ගන්න අවශ්‍ය නැහැ. ඊශ්‍රායලය ඔය ෆැසිස්ට්වාදීන් සමගත් විවාහ වෙලා හිටිය මානව අයිතිවාසිකම් නෝනල ව සතපහකට ගණන් ගන්නෙ නැහැ. අපි අපේ උත්තරය තදින් ප්‍රකාශ කරන්න ඕන. එපමණයි.

මේ භූමදානය පිටුපස තවත් කතා තියෙනවා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක් ඕන. ඒ සඳහා මුස්ලිම් මන්ත්‍රී ඡන්ද අත්‍යවශ්‍යයයි. විස්ස සම්මත කර ගත්තෙත් එහෙමයි. හකීම් බද්‍යුද්දීන් විරුද්ධ වෙද්දි ඒ පක්‍ෂවල අනෙක් මන්ත්‍රීවරු විස්සට ඡන්දෙ දුන්න. ඒක උප්පරවැට්ටියක්. ඒ ඡන්දෙ දුන් මන්ත්‍රීවරුන් පක්‍ෂවලින් අස් කෙරුණෙ නැහැ. ඉදිරියටත් ඒක එහෙම වේවි. ඒ සඳහා මුස්ලිම්වරුන්ට භූමදාන කප්පමට වඩා විශාල කප්පමක් දෙන්න වේවි.

අප මේ ජාතිකත්ව විරෝධී උත්සාහය පරාජය කරන්න ඕන. ඒ ඒ ජාතික සංවිධාන තමන්ට හැකි අයුරින් තනිව හරි සාමූහිකව හරි මේ උත්සාහයට විරුද්ධ ව පෙළ ගැහෙන්න ඕන. ජනතාවට මෙය නොතේරෙනවා වෙන්න බැහැ. ඒත් අප ඔවුන්ට පණිවුඩය රැගෙන යන්න ඕන.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

ගෝඨාභය රාජපක්‍ෂ නයකත්වය- මහඇදුරු නලින් ද සිල්වා මහතා

ගෝඨාභය රාජපක්‍ෂ නයකත්වය

ලිපි පළ කෙරෙන්නේ මා විසින් නොවන බව මේ වන විට පැහැදිලි යැයි හිතනවා. මුහුණු පොතට මට යෑමට අපහසුතා ඇති බැවින් මා ලියන ලිපිය වෙනත් අය විසින් පළ කෙරෙනවා. මුහුණු පොත මගින් මට එවන පණිවුඩ ලැබෙන්නේ නැති බවත් කරුණාවෙන් සලකන්න.

මේ ආණ්ඩුව, ඒ කියන්නේ ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය, පිහිටුවනු ලැබුයේ අර පුද්ගලයා මේ පුද්ගලයා විසින් නොව ප්‍රධාන වශයෙන් ම සිංහල ජනතාව විසින් බව ඊයේ ලිපියෙන් පැවසුවා. 2015 පරාජයෙන් පසු ජනතාව මැදමූලනට (හා තංගල්ලට) නොයන්නට බොහෝ දේ වෙනත් ක්‍රමයකට සිදුවන්න තිබුණා. විමල්වත් බැසිල්වත් මෙහි වීරයන් නොවෙයි. ඒ ඒ අයගේ හිතවතුන් ඒ ඒ අය වීරයන් කිරීමට දරණ උත්සාහය දෙස අප උපේක්‍ෂාවෙන් බලා ඉන්නවා.

අද ඇත්තේ පොදුජන පෙරමුණු ආණ්ඩුවක් නොවෙයි. බොහෝ දෙනාට අමතක වුවත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය නමින් දේශපාලන පක්‍ෂ කිහිපයක සංධානයක් පදනම් ආයතනයේ දී පිහිටුවා ගනු ලැබුණා. 1980න් පසු මා කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු නූණත් පදනම් ආයතනයේ රැස්වීමට මා ද සහභාගි වුණා. ඒ රැස්වීමේ සභාපතිත්වය දැරුවේ ගෝඨාභය රාජපක්‍ෂයි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය යනු පොදුජන පෙරමුණ පමණක් නොවන බව අප අමතක නොකළ යුතුයි. එහි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් තවත් පක්‍ෂත් තියෙනවා. එහෙත් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයවත් රිෂාඩ් බද්‍යුද්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයවත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ සාමාජික පක්‍ෂ නො වෙයි. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට මේ මුස්ලිම් පක්‍ෂ දෙකේ ඇතැම් මන්ත්‍රීවරු ඡන්දය දුන් නමුත් ඔවුන් ඉන්නේ සජිත්ගේ සංධානයේ.

අද ආණ්ඩු පක්‍ෂයේ ඇති වී තිබෙන බල පොරය කා සඳහා ද කුමක් සඳහා ද යන්න දැන ගැනීමට පේන බැලීමට අවශ්‍ය නැහැ. ඊනියා විද්‍යාත්මක ක්‍රමයකින් නම් එය දැන ගැනීමට බැහැ. මේ බල පොරය නව ව්‍යවස්ථාවක් මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම සඳහාත් ඒ අනුව ඊළඟ ජනාධිපති (රාජ්‍ය නායකයා) වීම සඳහාත්. සුපුරුදු පරිදි ප්‍රජාතන්ත්‍රවාදය ජනතා අභිලාෂය ආදී තේරුමක් නැති වචන එහි දී යොදා ගැනෙනු ඇති.

අද රොමේෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීහෙි ලා නිර්දේශ ලබා ගැනීමට කමිටුවක් පත් කර තිබෙනවා. මා ඒ කමිටුවට සුබ පතා නවතිනවා. ඒ කමිටුවට යෝජනා යවන්නේ නැත් දැයි මගෙන් කිහිප දෙනකු ඇහුවා. මට කමිටු ගැන අත්දැකීම් තියෙනවා. නව ව්‍යවස්ථාව සම්පාදනය කෙරෙනු ඇත්තේ මුස්ලිම් පක්‍ෂවල අවශ්‍යතා අනුවයි. පොදුජන පෙරමුණේ ඉන්න ජාතිකත්වයක් නැති අය මුස්ලිම් ඡන්දයෙන් ඊළඟ ආණ්ඩුව පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. තමන්ට සිංහල ඡන්ද යම් ප්‍රමාණයක් අහිමි වන බව ඒ අය දන්නවා. ඔවුන්ට ඒ සඳහා සූදානම් වීමක් අවශ්‍යයයි.

අප මුස්ලිම් ඡන්දයෙන් සම්මත කිරීමට යන ව්‍යවස්ථාව පරාජය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ ඡන්දය ලබා නොදිය යුතුයි. එසේ නොවන්නට අද අලි සබ්‍රිි හීන් නූලෙන් කරන දේ මුස්ලිම් අන්තවාදීන් ව්‍යවස්ථානුකූල ව ම කරනවා ඇති. මෙරට ඉතිහාසය ගැන නොදත් අලි සබ්‍රි විහාර දේවාලගම් පනත පුද්ගලික නීතියක් ලෙස සලකන්න හදනවා. මුස්ලිම් පක්‍ෂවල ඡන්දය ලබා ගත්තත් තුනෙන් දෙක ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ පොදුජන පෙරමුණු නොවන මන්ත්‍රීන්ගේත් ඡන්දය අවශ්‍යයයි. සමහර විට ඩීල් කප්පිත්තන් මුදලට ඒ ඡන්ද ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා ඇති. ඒ සියලු උත්සාහ පරාජය කරන්න ඕන. මා කියන්නේ මුස්ලිම් ජනතාව ප්‍රතික්‍ෂෙප කිරීමට නො වෙයි. ජාතික කොඩියේ තීරු අයින් කරන්න මා යෝජනා කරන්නේ නැහැ. සිංහයා බෝපත් තීරු තමයි ජාතිය නිරූපණය කරන්නෙ. මා යෝජනා කරන්නේ මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමටයි. එහි දී අන්තවාදී නොවන මුස්ලිම් ජනයා සමග අප සෘජු දේශපාලනයේ නිරත විය යුතුයි.

පොදුජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්‍ෂ. ඒ ගැන වාද කරන්න අවශ්‍ය නැහැ. ඒ නායකයා පත් කර ගැනීමත් පොදුජන පෙරමුණේ කාර්යයක්. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ නායකයා ගෝඨාභය රාජපක්‍ෂ. අද ප්‍රශ්නය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානය අමතක කිරීමයි. එය නැවත සංවිධානය කරන්න ඕන. පසුගිය ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ අපේක්‍ෂකයන් තරග කෙළේ පොදුජන පෙරමුණෙන්. එහෙත් එයින් කියන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පෙදුජන සංධානයක් නැහැ කියා.

පොදුජන පෙරමුණේ නොවන අපේක්‍ෂකයන් ද (ජයග්‍රාහී මෙන් ම අනෙක් අය ද) පොදුජන පෙරමුණෙන් තරග කළ පමණින් පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාවට සම්මුතීන්ට යටත් වෙනවා කියා යමකු හිතනවා නම් ඔවුන්ට පොදුජන පෙරමුණේ නායකයා තෝරා ගැනීමේ අවස්ථාව ද හිමි වෙන්න ඕන. අද තිබෙන්නේ සංධාන ආණ්ඩුවක් බව බොහෝ දෙනකුට අමතක වී ගොස්. එය වහා මතක් කර ගන්න ඕන.

සංධාන ආණ්ඩුවේ මෙන් ම සංධානයේ ද නායකයා ගෝඨාභය රාජපක්‍ෂ. ඒ බවත් මතක තියා ගන්න ඕන. මා හිතන්නේ නැහැ ගෝඨාභය රාජපක්‍ෂ පොදුජන පෙරමුණේ කටයුතුවලට සහභාගි විය යුතු ය කියා. ඔහු එහි සාමාජිකයකු වෙන්න ඇති. එහෙම නම් මා හිතන්නේ ඔහු ඒ පක්‍ෂයේ සාමාජිකත්වයෙන් අස් වෙන්න ඕන කියා. ඔහු කිසිම පක්‍ෂයක සාමාජිකයකු වන්න අවශ්‍ය නැහැ. ඔහු සංධානයේ සියලු පක්‍ෂවලට උඩින් ඉන්න සංධානයේ නායකයා.

සංධාන රැස්වීම් සති දෙකකට වරක්වත් නායකයාගේ සභාපතිත්වයෙන් පවත්වන්න ඕන. සංධානයේ ව්‍යවස්ථාව කෙසේ සකස් වී ඇත් ද කියා මා දන්නේ නැහැ. සංධාන රැස්වීම්වලට සංධානයේ සාමාජික පක්‍ෂ නම් කරන ලද නියෝජිතයන් යවන්න ඕන. ඒ නියෝජිතයන්ට ඇමතිවරුන් අයත් වෙන්නෙ ඕන. එයට අමතර ව නායකයා සහභාගි වෙන්න ඕන.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය යළි පණ ගන්වා ආණ්ඩුව සම්බන්ධ තීරණ ගැනීමට කටයුතු කරන්න ඕන. මෙරට ආණ්ඩු පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය බව ජනතාව තීරණය කරල ඉවරයි. ඒක මැතිවරණ කොමිසම මගින් තීරණය කෙරෙන්නක් නොවිය යුතුයි.

මහඇදුරු නලින් ද සිල්වා මහතා