විනාඩිය, පරම්පරාව සහ විද්‍යාව – තෙෂාන් ප්‍රියදර්ශන මහතා
(දෙසැම්බර් 2020 කාලය සඟරාවේ මංගල කලාපයෙනි)
අතීතයේ විසූ එක්තරා රජතුමෙකු මහාර්ඝ වස්තු සම්භාරයක් සුරක්ෂිතව නිධන්කොට අනාගතයේදී සොයාගත හැකිවන අයුරින් නිධානය වෙත ගමන් කළයුතු මාර්ගය දැක්වෙන ලියැවිල්ලක් ද සකස්කර තැබුවේය. ලියැවිල්ලට අනුව නිධානය ඇත්තේ වසර දහස් ගණනක් ගතවුවත් වෙනස් නොවන ස්ථානයකට සාපේක්ෂ පිහිටීමකය. එම ස්ථානයේ සිට බඹයක් උස මිනිසෙක් උතුරට පියවර සියයක් ද, එතැන් සිට ඊසාන දෙසට පියවර 60ක් ද, එතැන් සිට නැගෙනහිරට පියවර 15ක් ද ගිය තැන පොළව මතුපිට සිට බඹ 5ක් යටින් නිධානය තැන්පත්කර ඇත. නමුත්, පසු කාලයක එම රටේ උගත්තු සහ වියත්හු උතුර, ඊසාන, නැගෙනහිර…ආදී සියළු අට දිශා පිළිවෙලින් දකුණ, නිරිත, බටහිර…ආදී ලෙස ප්‍රතිවිරුද්ධ දිශා අටේ නාමයන්ගෙන් හැඳින්වීමටත්, ඉගැන්වීමටත් පටන්ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ සියළු ජනතාව කාලය ගතවත්ම දිශාවන් පිළිබඳ නව සම්මතයට අනුගත වූහ. පසු කාලයක නිධානය පිළිබඳ ලියැවිල්ල ලැබුණු අයෙක් නිධානය සොයා ගියේය. ලියැවිල්ලේ වූ සටහනින් අදහස්කළ දිශාවලට ප්‍රතිවිරුද්ධ දිශාවලට ගොස්, නිධානයත් නොමැතිව හිස් අතින් පැමිණීමට ඔහුට සිදුවිය.
ඉහත ප්‍රබන්ධ කතාවෙහි මහාර්ඝ නිධානයකුත්, එය තිබෙන ස්ථානය පිළිබඳ ලියැවිල්ලකුත් තිබියදී එය ලබාගැනීමට නොහැකි වූයේ කාගේ වරදින්ද ?
ඉහත කතන්දරයෙන් කියැවෙන දේ සිත්හි තබාගෙන මෙම ලිපියට ප්‍රවේශයක් ලෙස පහත ගැටළු කිහිපය විමසා බලමු.
විනාඩිය යනු මිනිත්තුවමද ? පැය යනු හෝරාවමද ?
ඔබගේ සීයාගේ, ඔබගේ පියාගේ සහ ඔබගේ පරම්පරා එකිනෙකින් වෙනස්ද ?
විද්‍යාව අධ්‍යයනය කළ හැකිද ?
ඉහත ප්‍රශ්න සියල්ලටම බොහෝ දෙනා ලබාදෙන පිළිතුර “ඔව්” යන්නයි. එසේ “ඔව්” යනුවෙන් පිළිතුරු දෙන බහුතරය උගතුන්, වියතුන් ලෙස හැඳින්වෙන්නෝය. එම පිළිතුරු තුළ ගැබ්ව ඇති අදහස් ඔවුහු වියත් සභා මැද මහත් වූ උජාරුවෙන් ප්‍රකාශ කරති. එපමණක් නොව, ඇතැම් වියතුන්ගේ පර්යේෂණ පත්‍රිකා යැයි කියැවෙන ලියැවිලිවල ද එම අදහස් අඩංගු වෙයි…!
ඉහත ප්‍රශ්නවලට ඔබගේ පිළිතුර කුමක්ද ?
දැන් අපි ඉහත ප්‍රශ්නවලට අදාළ කරුණු පිළිබඳව මඳක් විමසා බලමු…
පැය, විනාඩිය, තත්පරය ආදිය කාල ප්‍රාන්තර මැනීම(වේලාව බැලීම) සඳහා සිංහලයන් ගොඩනැගූ ඒකක ය.
දිනකට පැය 60ක් ද, පැයකට විනාඩි 60ක් ද, විනාඩියකට තත්පර 60ක් ද වෙයි.
දිනකට හෝරා(hours) ඇත්තේ 24ක් පමණි. හෝරාවකට මිනිත්තු(minutes) 60 ක් ඇති අතර, මිනිත්තුවකට ඉංග්‍රීසි තත්පර(seconds) 60ක් වෙයි.
මේ අනුව හෝරාවකට පැය 2 1/2ක් ද, මිනිත්තුවකට විනාඩි 2 1/2ක් ද, ඉංග්‍රීසි තත්පරයකට(second) තත්පර 2 1/2ක් ද වෙයි.
ඒකකය කුඩාවන විට මිනුමේ නිරවද්‍යතාවය වැඩිවන බව මේ මොහොතේ සිහිපත් කරගැනීම වටී.
Second යන වචනය සඳහා සිංහල වචනයක් නිර්මාණය කෙරී නොමැත. එමෙන්ම විවිධ ශබ්දකෝෂවල ඒ සඳහා “තත්පරය”, “ක්ෂණය”, “නිමේෂය” වැනි වදන් දක්වා තිබුන ද ඒවා මුලුමනින්ම සාවද්‍ය වෙයි. ඉංග්‍රීසි තත්පර(second) එකක් යනු තත්පර 2 1/2 ක් බව ඉහත පෙන්වා දී තිබේ. එමෙන්ම, චිත්ත ක්ෂණය, රූප ක්ෂණය පිළිබඳව අභිධර්මයේ පැහැදිලිව විස්තර කෙරෙයි. ඒ කොයි ක්ෂණයත් ඉංග්‍රීසි තත්පර(second) එකකට වඩා අතිෂයින්ම කුඩා ය.
කෙසේ නමුත් hour සහ minute යන වදන් සඳහා හෝරාව සහ මිනිත්තුව යන ඉතාමත්ම සරල සුගම වදන් නිර්මාණය කෙරී ඇත. එහෙත් අද වනවිට බොහෝ දෙනා “හෝරාව” සඳහා “පැය” යන වචනයත්, “මිනිත්තුව” සඳහා “විනාඩිය” යන වචනයත් වෙනසකින් තොරව වැරදියට යොදාගනු පෙනෙයි. එසේ යොදාගැනීමේ ගැටළුවක් නැද්ද ? ඉහත සඳහන් නිධානයේ කතන්දරයේ යම් සිදුවීමක් සහ මෙම වචන අවභාවිතය අතර සාදෘෂ්‍යයක් දැකිය නොහැකිද ?
ඉහත ප්‍රශ්න විමසමින්ම අපගේ දෙවැනි ප්‍රශ්නය දෙසට හැරෙමු.
ඔබගේ සීයාගේ, ඔබගේ පියාගේ සහ ඔබගේ පරම්පරා එකිනෙකින් වෙනස්ද ?
ඔබගේ පිළිතුර “ඔව්” නම්, ඔබගේ “හත්මුතු පරම්පරාව” පිළිබඳව ඔබට කීමට ඇත්තේ කුමක්ද ? බුදු දහමේ කියැවෙන “චිත්ත පරම්පරව” පිළිබඳව ඔබට කීමට ඇත්තේ කුමක්ද ? “සඟ පරපුර” පිළිබඳව ඔබට කීමට ඇත්තේ කුමක්ද ?
නව පරපුර, අළුත් පරපුර, දෙමාපියන්ගේ පරපුර, දරුවන්ගේ පරපුර, අනාගත පරපුර, අර පරපුර, මේ පරපුර ආදී මෙකී නොකී දහසකුත් එකක් පරම්පරා ගැන තොරතෝංචියක් නැතිව ඇසෙන කාලයකි මෙය. ගමේ මරණාධාර සමිතියේ සිටම අසන්නට ලැබෙන එම වදන් ඊනියා වියත් සභා දක්වා සෑම තැනකම රැව්පිලි රැව් දෙනු අසන්නට හැකිය. ඔවුන්ට අනුවනම් ඔබගේ සීයා, ඔබගේ පියාගේ පරම්පරාවට පෙර පරම්පරාවේ ය. ඔබගේ පියා ඔබගේ පරම්පරාවට පෙර පරම්පරාවේ ය. ඔබ ඔබගේ දරුවන්ගේ පරම්පරාවට පෙර පරම්පරාවේ ය. එපමණක් නොව ඔබගේ දෙමාපියන් එකම පරම්පරාවකට අයත් වන අතර, ඔබ සහ ඔබගේ සහෝදර සහෝදරියන් එකම පරම්පරාවකට අයත් ය. මේ මොන විකාරයක්දැයි කිසිවිටෙකත් ඔබේ සිතට නැගී නැද්ද ?
අප නැවතත් “හත්මුතු පරම්පරාව”, “චිත්ත පරම්පරාව” ආදිය ගැන විමසා බලමු.
හත්මුතු පරම්පරාව යනු අත්තා(සීයා), මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරි කිත්තා, කිරිකෑ මුත්තා(මී මුත්තා) යන හත් දෙනාය. එහි “පරම්පරාව” යනු ඒකකයකි. “පරම්පරාව” යනු ඒක වචනයක් මිස බහු වචනයක් නොවන බව ඔබට වැටහේද ?
ඔබගේ සීයා ඔබගේ හත්මුතු පරම්පරාවේ එක් පුරුකක් පමණි. එමෙන්ම, ඔබගේ පියා ඔබගේ දරුවන්ගේ හත්මුතු පරපුරේ එක් පුරුකකි. ඔබ ඔබගේ මුණුබුරු මිණිබිරියන්ගේ හත්මුතු පරපුරේ එක් පුරුකක් වනු ඇත.
ඒ හත්මුතු පරම්පරාව ගැනය. දැන් අපි ඔබගේ පරම්පරාව පිළිබඳව විමසා බලමු. ඇත්ත වශයෙන්ම මව් සහ පිය පාර්ශවයන්ගෙන් ඔබ පරම්පරා දෙකකට අයත්ය. ඔබගේ සීයා, ඔබගේ පියා සහ ඔබ පමණක් නොව ඔබගේ දරුවන් ද ඔබගේ පිය(හෝ මව්) පරපුරේ පුරුක් කිහිපයක් පමණි.
ඔබ ඔබගේ පියාගේ පරම්පරාවේ පුරුකක් වන අතරම ඔබගේ මවගේ පරම්පරාවේ ද පුරුක් වෙයි. එහෙත් ඔබගේ පියා සහ මව වෙනස් පරම්පරා දෙකක පුරුක්ය.
සහෝදරයින් දෙදෙනෙකුගේ දරුවන් දෙදෙනෙක් ගතහොත්, ඔවුන් දෙදෙනාට එකම “හත්මුතු පරම්පරාවක්” ඇති නමුත්, එම දරුවන් අයත් වන්න්නේ වෙනස් පරම්පරාවලටය.
මේ අයුරින් සිත්ගන්නාසුළු ලක්ෂණ “පරම්පරාව” යන්නෙහි දැකිය හැක. ඒවා අතර සිත්ගන්නා ගණිතමය සම්බන්ධතා පවා දැකිය හැකිය.
බුදු දහමේ කියැවෙන “චිත්ත පරම්පරාව” ගැන ද ඔබගේ අවධානය යොමු කිරීමට මෙය සුදුසු අවස්ථාවකි. එහිදී කියැවෙන්නේ ද එකක් පසු පස එකක් ඇතිවී නැතිවන සිතිවිලි වැලකි. එනම් “චිත්ත පරම්පරාවකි”. එය ද ඒක වචනයකි. යම් සිතිවිල්ලකට පෙර හා පසු සිතිවිලි වෙනස් පරම්පරාවලට අයත් නොවෙයි. ඒවා එකම පරම්පරාවක පුරුක්ය.
“සඟ පරපුර” ද ඉහත අයුරින්ම තේරුම්ගත හැක. සඟ පරපුර දිගින් දිගටම අඛණ්ඩව පැමිණ ඇත්තේ අපගේ ලොව් තුරා බුදුරජාණන් වහන්සේගෙන් ඇරඹෙමිනි.
මේ අනුව පරම්පරාවක් යනු පෙර ඒකකය මගින් පසු ඒකකය ජනනය කරනු ලබන ඒකක දාමයක් ලෙස අර්ථ දැක්විය හැකිය.
එසේනම් අර විද්වතුන් දොඩවන අනාගත පරපුර, දරුවන්ගේ පරපුර, දෙමාපියන්ගේ පරපුර ආදිය මොනවාද ? ඒ අන් කිසිවක් නොව generation යන්න ගෙඩිය පිටින් ගිලදමා වැමෑරීමකි.
Generation යන්නෙහි පියා(මව) සහ දරුවා වෙනස් generations වලට අයත්වන අතර මව සහ පියා එකම generation එකකට අයත් වෙයි. නමුත්, ඉහත පැහැදිලිකළ පරිදි පියා(මව) සහ දරුවන් අයත්වන්නේ එකම පරම්පරාවකට වන නමුත් මව සහ පියා අයත් වන්නේ වෙනස් පරම්පරාවලටය. එපමණක් නොව, මව සහ පියා යන දෙදෙනාගේම පරම්පරාවලට දරුවන් අයත් වෙයි. ඒ අනුව generation සහ පරම්පරාව යනු මුළුමනින්ම වෙනස් වදන් දෙකක් බව මේ වන විටත් ඔබට සක් සුදක් සේ පැහැදිලිවී තිබිය යුතු ය.
පරම්පරාව යන වචනය මඟින් ඉතාමත්ම නිශ්චිත අදහසක් කියැවෙයි. එයට සාපේක්ෂව generation යන්නෙහි ගැබ්ව ඇත්තේ ඉතාමත්ම විසිරුණු අදහසකි.
එසේනම් generation යන වචනය සඳහා පරම්පරාව යන්න යොදාගන්නේ කුමක් නිසාද ? ඉහත සඳහන් නිධානයේ කතන්දරයේ යම් සිදුවීමක් සහ මෙම වචන අවභාවිතය අතර සාදෘෂ්‍යයක් දැකිය නොහැකිද ?
දැන් අපි අපගේ තෙවන ප්‍රශ්නය ද විමසා බලමු.
විද්‍යාව අධ්‍යයනය කළ හැකිද ?
මෙය ගැටළුවක්දැයි බොහෝ දෙනෙක් සිතනු ඇත. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව ආදී වශයෙන් ඇති විද්‍යාවන් අධ්‍යයනය නොකර අහවල් දෙයක් කරන්නදැයි ද බොහෝ දෙනෙකු විමසනු ඇත. එසේ විමසන බහුතරය සිංහල බෞද්ධයෝය.
ඔබත් සිංහල බෞද්ධයෙක්නම් අඩුම තරමින් දම්සක් පැවතුම් සූත්‍රය අසා ඇතිවාට සැකයක් නැත. එහි විද්‍යාව පහල වන්නේ අධ්‍යයනයකින් යැයි හෝ විද්‍යාව අධ්‍යයනය කළහැකි යැයි හෝ සඳහන්ව තිබේද ? වෙනත් තැනක හෝ එසේ සඳහන්ව තිබේද ? බුදුන් වහන්සේ තුළ විද්‍යාව පහළ වූයේ වසර සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අධ්‍යයනය කිරීමෙන් යැයි ඔබ විශ්වාස කරන්නේද ?
අප දන්නා බුදු දහමට අනුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ අනවබෝධය හෙවත් අවිද්‍යාව දුරුවීමත් සමඟම විද්‍යාව පහළ වෙයි. එමෙන්ම, පටිච්චසමුප්පාදය අනුව අවිද්‍යාව ඇතිවිට සංස්කාර වෙයි, අවිද්‍යාව දුරුවීමත් සමඟම සංස්කාර ද දුරුවෙයි. සංස්කාරයන්ගෙන් තොර අධ්‍යයනයක් නැත. එබැවින් අධ්‍යයනය කෙරෙන්නේ අවිද්‍යාව හේතුවෙනි. විද්‍යාව අධ්‍යයනය කෙරෙනවා නොව, විද්‍යාව පහළවීමෙන් අධ්‍යයනය කෙළවර වන්නේය.
එසේනම් විද්‍යාව අධ්‍යයනය කළයුතු යැයි බොහෝ දෙනා පවසන්නේ කුමක් නිසාද ?
එයට ඇත්තේ සරල පිළිතුරකි. විද්‍යාව අධ්‍යයනය කළයුතු යැයි පවසන්නෝ science නමැති දැනුම් පද්ධතිය හැඳින්වීම සඳහා විද්‍යාව යන වදන අවභාවිතා කරයි. එය ඉහළින්ම සිදුකරනුයේ උගතුන් යැයි සම්මත පුද්ගලයින්ය.
පරම්පරාව සහ විද්‍යාව යන සිංහල වදන්වලට ඇතැම් ඉංග්‍රීසි වදන්වල අර්ථය ඔබ්බවමින් එම සිංහල වදන් විකෘති කෙරී තිබේ. එසේ වන්නේ ඇයි ? ඉහත සඳහන් නිධානයේ කතන්දරයේ යම් සිදුවීමක් සහ මෙම වචන අවභාවිතය අතර සාදෘෂ්‍යයක් දැකිය නොහැකිද ?
ඉහත විස්තර කළ ආකාරයේ වදන් විකෘතීන් කිහිපයකින් සිදුවන හානිය කුමක්දැයි ඇතැම්විට ඔබ සිතනු ඇත. එහෙත් ඒවා හුදෙක් සරල විකෘතීන් නොවන බව මේ වනවිටත් ඔබට වැටහී තිබිය යුතු ය. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ඇති ඉතාමත්ම වැදගත් දැනුම් එම වදන් තුළ ගැබ්ව තිබෙයි. තවද, විකෘතීන් වලට ලක්වන්නේ එම වදන් පමණක් නොවන බවත්, තවත් බොහෝ වදන් විකෘති කෙරෙමින් පවතින බවත් මඳක් සොයා බැලීමෙන් ඔබටම පසක් වනු ඇත. ඒ අයුරින් ඉදිරියෙදී තව තවත් අපගේ වටිනා වදන් විකෘති කර, එම විකෘතීන් පොදු සම්මතය බවට පත්කළහොත්, අනාගතයේදී අපගේ ජනතාවට එම වදන්වල ගැබ්ව ඇති දැනුම උකහාගත නොහැකිවනු ඇත. එමඟින් අපගේ දැනුම ඉදිරියට සන්නිවේදනය වීම ඇණහිටිනු ඇත. එය මෙම ලිපියේ ආරම්භයේදී සඳහන් කළ නිධානය සොයා යන්නාගේ කතාව වැනිය. නිධානය ඇති ස්ථානය පිළිබඳව කියැවෙන ලියැවිල්ල තිබුන ද නිධානය සොසොයාගත නොහැක විය. ඒ අයුරින්ම අනාගතයේදී සිංහල වදන් තිබුන ද ඒ තුළ ගැබ්ව ඇති අපේ දැනුම උකහා ගැනීමට නොහැකිවනු ඇත.
ඉදින් අපි කුමක් කරමුද ?
පළමුව මෙම විකෘතීන් හඳුනාගෙන ඒවා භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. එමෙන්ම හැකි සෑම විටෙකම ඉංග්‍රීසි(හෝ වෙනත් භාෂාවක) වදන් සිංහල භාෂාව තුළට ගැනීමේදී ඒ සඳහා සුදුසු සරල වදන් නිර්මාණය කරගත යුතුය. “hour” සහ “minute” යන වචන සඳහා “හෝරාව” සහ “මිනිත්තුව” නිර්මාණය කෙරී ඇති ආකාරය ඒ සඳහා හොඳම නිදසුන් දෙකකි.
අවශ්‍යනම් “Generation” යන්න සඳහා “ජෙනරේසම” යන වදන යොදාගත හැකිය. අද භාවිතාවන ජනප්‍රිය වචනයක් අනුව “ජෙනරේසම” යනු ගතියක් නැති වචනයක් යැයි යමෙකු පැවසීමට ඉඩ තිබේ. එසේනම් ගතියක් ඇති වචනයක් නිර්මාණය කිරීම සඳහා භාෂාව පිළිබඳ විද්වතුන්(එවැන්නවුන් සිටීනම්) ඉදිරිපත් විය යුතුය.
“science” යන්න සඳහා “විද්‍යාව” යන්න යොදාගැනීම අතිශයින්ම අවැඩදායී භාවිතාවකි. එමෙන්ම, එය ධර්ම විකෘතියක් ද වෙයි. එය “සයන්ස්” ලෙසම හෝ නලින් ද සිල්වා ඇදුරුතුමන් අනුව යමින් “බටහිර විද්‍යාව” යන්න භාවිතා කළ හැකිය.
කෙසේ වෙතත්, කෙතරම් හොඳ වදන් නිර්මාණය කළ ද ඒවා භාවිතයට නොගන්නේනම් පලක් නැත. එය හරියට “හෝරාව” සහ “මිනිත්තුව” යන වදන් නිර්මාණය කෙරී තිබියදී “hour” සහ “minute” සඳහා “පැය” සහ “විනාඩිය” යන වදන් භාවිතා කිරීම හා සමානවනු ඇත. අවසානයේ එය ගඟට ඉණි කැපීමක් වනු ඇත.
තෙෂාන් ප්‍රියදර්ශන