වරාය නගරය හා සම්බන්ධයි- මහඇදුරු නලින් ද සිල්වා මහතා

වරාය නගරය හා සම්බන්ධයි

කොළඹ වරාය නගරය නැත්නම් වඳ සිංහලෙන් කියනව නම් පෝට් සිටිය ගැන විජයදාස රාජපක්‍ෂ කියන සියල්ල විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ඔහුට යම් දුක් ගැනවිල්ලක් තියෙන බව පැහැදිලියි. ඔහු කරන කියන දෙයින් දුක් ගැනවිල්ල නිසා කෙරෙන එකතු කිරීම් අඩු කිරීමට අප දැන ගත යුතුයි. ඔහු ගෝඨාභය හා බැසිල් යන රාජපක්‍ෂ සහෝදරයන් ගැන කියන දේ කුමක් වුවත් අද පොදුජන පෙරමුණු සංධානයට ඡන්දය දුන් බොහෝ දෙනාගේ ඉල්ලීම ජනාධිපති තම බලතල පාවිච්චි කළ යුතු බවයි. දිලුම් අමුණුගමගේ හිට්ලර් කතාවට මෙරට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් හා ජර්මන් තානාපති කුමක් කීවත්, ඔවුන් වල්ගය පාගා ගත්තත්, ඒ කතාවෙන් අදහස් කෙළේ කුමක් ද යන්න ඊනියා ප්‍රබුද්ධයන් නොවන අයට තේරුම් ගන්න අපහසුවක් නැහැ. එවැනි කතා මහා සඟ රුවන ද ප්‍රකාශ කරන බව ජර්මන් තානාපති නොදන්නවා වෙන්න පුළුවන්.

ඒ කොහොම වෙතත් බටහිර රටවල තානාපතිවරුන්ට මෙරට දේශපාලනයට ඇඟිලි ගහන්න තියෙන අයිතිය මොකක් ද කියා දැන ගන්න ඕන. විජයදාස රාජපක්‍ෂ ඇහුව නම් මෙරට ජනාධිපති මණ්ඩලයක් තියෙනවා ද එහි සාමාජිකයන් බටහිර රටවල තානාපතිවරු ද කියා අපට එයට සවන් දෙන්න වඩාත් ඉඩක් තියෙනවා. මියන්මාහි බටහිර තානාපතිවරයෙක් එරට අභ්‍යන්තර කටයුත්තකට ඇඟිලි ගැහුව. හමුදා රජය බල බලා හිටියේ නැහැ. වහාම වහෙන් ඔරෝ නොකියා කෙලින් ම කියන්න ඕන දේ ලියවිල්ලකින් ම ප්‍රකාශ කළා. ප්‍රශ්නය එතැනින් ඉවරයි. ජර්මන් තානාපති එරට රටවැසි භාවය පිළිබඳ ඇති නීති රීති නොදන්නවා වෙන්න බැහැ. අපේ රටේ නීති රීති එක්ක බැලුව ම ජර්මන් නීති රීති තවමත් හිට්ලර්ට වඩා කිට්ටුයි.

ඒත් විජයදාස රාජපක්‍ෂ කියන දේට අර දුක් ගැනවිල්ල අඩු කරල සවන් දෙන්න ඕන. වරාය නගරය කියල එකක් අවුරුදු කිහිපයකට පෙර තිබුණෙ නැහැ. එය ලංකාවෙ ගොඩබිමක් නො වෙයි. කිසිම දිස්ත්‍රික්කයකට අයිති වෙලා තිබුණෙත් නැහැ. පළාතකට අයිතිත් නැහැ. ඒත් ඒ හරිය ලංකාවෙ මුහුදු සීමාවෙ. ඒ නිසා තමයි අපට එතැන නගරයක් හදන්න පුළුවන් වුණෙ. අපට බෙංගාල බොක්කෙ ඕන තැනක නගර හදන්න බැහැ.

වරාය නගරය කිසිම දිස්ත්‍රික්කයකට ඇතුල් කරන්න අවශ්‍ය නැහැ. එය අහවල් පළාතෙ කියල කියන්න ඕනත් නැහැ. රටක තියෙන්න පුළුවන් දිස්ත්‍රික්ක හා පළාත් පමණක් නො වෙයි. යම් ආකාරයක පාලනයකට යටත් වෙන වෙනත් ප්‍රදේශත් රටකට අයිති වෙන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පස්වැනි වගන්තියෙන් (ව්‍යවස්ථාවෙන්) ලංකාවට අයත් භූමිය නිර්වචනය කර තියෙනවා. ඒ දිස්ත්‍රික්ක විසිපහකින් සමන්විතයි. ඒ දිස්ත්‍රික්ක විසිපහ ව්‍යවස්ථාවේ පළමුවැනි උපලේඛනයේ දැක්වෙනවා.

පළමුවෙන් ම කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පස්වැනි වගන්තිය සංශෝධනය කර ලංකාවේ භූමිය දිස්ත්‍රිය්ක විසිපහෙන් හා වරාය නගරයෙන් සමන්විත වන බව ප්‍රකාශ කිරීමයි. වරාය නගරය පාලනය සඳහා යම් කොමිසමක් පත් කළ හැකි වන අයුරින් මෙන් ම එහි ස්ථිර පදිංචිකරුවන් වන රටවැසියන්ට ඡන්ද බලය හිමිවන අයුරින් හා ඔවුන් යම් ඡන්ද කොට්ඨාශයක ඡන්දදදායකයන් වන අයුරින් නීති සම්පාදනය විය යුතුයි. මෙහි තරමක ගැටළුවක් තියෙන්න පුළුවන්. එහෙත් විසඳුමක් හොයා ගන්නත් පුළුවන්.

වරාය නගරය පාලනය කරන කොමිසම ලංකාවේ රටවැසියන්ගෙන් පමණක් සමන්විය යුතුයි. එමෙන් ම එහි ස්ථිර පදිංචි කරුවන් වන රටවැසියන්ට ප්‍රාදේශීය සභාවක් පවත්වා ගැනීමටත් හැකි විය යුතුයි. වරාය නගරයේ තාවකාලික ව පදිංචි විය හැකි රටවැසියන් නොවන්නන් සංඛ්‍යාව යම් උපරිමයකට යටත් විය යුතුයි. එමෙන් ම වරාය නගරය පාර්ලිමේන්තුවේ අධිකාරියට යටත් විය යුතුයි. එහි එක් පියවරක් වන්නේ වරාය නගරයේ ස්ථිර පදිංචි රටවැසියන්ට තම නියෝජිතයකු පාර්ලිමේන්තුවට පත් කර එවීමට හැකි වන අයුරින් නීති සම්පාදනය කිරීමයි.

මා වරාය නගර පනත කියවා නැහැ. මා එහි අඩංගු දේ දන්නේ නැහැ ඉහත සඳහන් යෝජනා සමහරව විට එහි අඩංගු වනවාත් ඇති. ඒ යෝජනා සමහර විට අසම්පූර්ණ වෙන්නත් පුළුවන්. ඒ යෝජනා හරි වෙනත් යෝජනා හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් වෙන්න ඕන වරාය නගරය ලංකාවේ භූමියේ කොටසක් වන අයුරින් හා පාර්ලිමේන්තුවේ අධිකාරියට යටත් වන අයුරින්.

ලංකාව දුප්පත් රටක්. ඒ ඩොලර් සංචිතය අනුව. එහෙත් අප සම්පත් අතින් පොහොසත්. ඒ ඊනියා උගතුන් අතින් නම් නොවෙයි. අප 1948 දී ආසියාවෙන් දෙවැනි වුණේ ජපානයට පමණක් බව කියනවා. අද බංග්ලාදේශය කියන්නේ ලංකාවෙන් පාඩම් ඉගෙන චීන ණය උගුලට හසු නොවී ඉන්නවා කියා. අපට චීන ආයෝජන පමණක් නොව ඉන්දීය ආයෝජනත් මියන්මා ආයෝජනත් අවශ්‍ය වෙනවා. වරාය නගරය ඒ සඳහා යම් ප්‍රමාණයකට යොදා ගන්න පුළුවන් වේවි. ඒත් වරාය නගරය කප් රුකක් හරි සුරබි දෙනක් හරි නො වෙයි.

අපට වෙච්ච ලොකු වැරැද්දක් තියෙනවා. එය ඉංගිරිසින් අපට ලබා දුන් ආකල්පයක්. අප ලොකුවට හිතන්න ඕන. ඒත් හැම දෙයක් ම ලොකුවට කරන්න ඕන නැහැ. අපේ තේ වගාව ලොකුවට කෙරෙන්නක්. එහි වියදම වැඩියි. අද අපට කෙන්යාව හා වෙනත් රටවල් සමග තරග කරන්න බැහැ. මා ව්‍යාපාරිකයෙක් නො වෙයි. මට ව්‍යාපාර ගැන අබමල් රේණුවක දැනුමක් නැහැ. ඒත් අපේ වැරැද්දක් තියෙන බව වැටහෙනවා. අපේ වියදම් වැඩියි. අප අඩු වියදමෙන් කරන්න පුළුවන් ගෘහ කර්මාන්ත ගැන එතරම් උනන්දුවක් දක්වා නැහැ. දැන් කොවිඩ් නිසා ගෙදර ඉඳන් වැඩ කිරීම ගැන කතා කරනවා. ගෘහ කර්මාන්ත ගෙදර ඉඳන් කරන්න පුළුවන්.

වරාය නගරයත් ලොකු වැඩක්. එහි වියදම වැඩි වුණොත් අපේ බලාපොරොත්තු ඉටුවෙන එකක් නැහැ. අපි බෞද්ධකම ගැන කියවනවා. ඒත් අල්පේච්ඡත්වය දන්නේ නැහැ. අප දන්නේ ලොකුවට වැඩ කරන්න. හාමුදුරුැවන්ට දානයක් දුන්නත් ඒක ලොකුවට කරන්න ඕන. ඒ අත්හරින්න නම් නො වෙයි. අල්ලපු ගෙදර දානෙට වඩා ලොකුවට කරන්න. ගෙයක් හදන්න ඕන අඩු තරමෙන් තට්ටු දෙකක් තියෙන විධියට. කාරය ඉහළ ම වර්ගයේ වෙන්න ඕන. හාමුදුරුවන් ගිහියන්ට ආදර්ශයක් වෙනව නම් හොඳයි කියා හිතනවා.

අපි පුද්ගලයන් හැටියටත් රට හැටියටත් ආදායමට වඩා වියදම් කරනවා. ඒ සඳහා දහඅතේ ණය වෙනවා. ණය ගෙවන්නත් ණය වෙනවා. කොටින් ම අපි ජීවත් වෙන්න දන්නෙ නැහැ. අප අඩු වියදමකින් කරන්න පුළුවන් දේශීය වෙදකම නොසළකා හරිනවා. අඩු වියදමෙන් කරන්න පුළුවන් වෙදකමට වඩා වැඩි වියදමෙන් කරන වෙදකම් අපට හොඳයි. අපි ලොකුවට හිතන්න ඕන. අපේ දේ ගැන ලොකුවට හිතන්න ඕන. ඒත් ලොකුවට වැඩ කරන්න ඕනෙ නැහැ.

මියන්මා අවුරුද්ද – මහඇදුරු නලින් ද සිල්වා මහතා

මියන්මා අවුරුද්ද

ලංකාව හා බුරුමය අතර ඉතා සමීප සම්බන්ධකම් තිබුණේ දහසයවැනි සියවස පමණ වන තෙක්. මා හිතන විධියට සංස්කෘතික වශයෙන් අපට වඩාත් ම සමීප රට බුරුමය නැත්නම් අද කියන විධියට මියන්මා. එහෙත් මියන්මා දේශය ගැන සිංහලයන් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මියන්මා බටහිර සිරිත් විරි්ත්වත් ඉන්දියාවවත් අනුකරණය කරන රටක් නො වෙයි. එහෙත් කලක් ලංකාව සමග නම් ඉතා කිට්ටුවෙන් කටයුතු කර තියෙනවා.

මියන්මාරයේ කටයුතු කරන එක පහසු වැඩක් නො වෙයි. රාජ්‍ය සේවයේ කටයුතු කෙරෙන්නේ වෙනත් රටවල ආකාරයෙන් නො වෙයි. ධීවරයන්ගේ ප්‍රශ්නයේ දී අපට ඒ බව හොඳ හැටි වැටහුණා. මෙරට බොහෝ දෙනා විශේෂයෙන් ම ජනමාධ්‍යවේදීන් තානාපති කාර්යාලය විවේචනය කළේ අප කිසිවක් නොකරන ලෙස සලකමින්. දෙරණේ ප්‍රධාන ජනමාධ්‍යවේදියකු තානාපති සේවය තම කාර්යය නොකරන බවට රාජ්‍ය ඇමති තාරක බාලසූරියට කිවුවා. එහෙත් තාරක බාලසූරිය තානාපති සේවය වෙනුවෙන් කිසිවක් කිවුවේ නැහැ. දෙරණේ ප්‍රධානීන්ට අනුව එකී ජනමාධ්‍යවේදියා ප්‍රබුද්ධයෙක්!

සිංහලයන්ගේ හැටි මා හොඳහැටි දන්නවා. අවුරුදු සමයේ නොයෙක් සමගි කතා කිවුවත් අප බලා ඉන්නේ අනෙකාගේ වැරදි සෙවීමට හා කීමට. කොට්ටපොල් තරගයෙන් වැටෙන එකාට හිනහවෙන්න. ගෙදර වැඩක් කර ගැනීමට මේසන් බාසුන්නැහැ කෙනකුට කතා කළ විට ඔහු ඇවිත් බලා පළමුව කරන්නේ කලින් වැඩ කළ බාසුන්නැහැගේ වැරදි කීමයි. මියන්මාහි තානාපති කාර්යාලයේ වැරදි ගැන බොහෝ දෙනා කතා කරාවි. ධීවරයන් වෙනුවෙන් අප කිසිවක් නොකළ බවත් කියාවි. ධීවරයන් හිරේ ඉන්දැද්දී තානාපති කිසිවක් නොකර ලංකාවට පැමිණ ඇති බවත් කියාවි. මා ධීවරයන් වෙනුවෙන් කුමක් කෙළේ දැයි කීමට මට අවශ්‍ය නැහැ. කිසිවක් කර නැතැයි සිතා ගන්න. මා මේ තානාපතිකම කරන්නේ ජනාධිපතිතුමා හා විදේශ ඇමතිතුමා වෙනුවෙන්. මට තව අවුරුද්දක් වැඩ (නො)කරන්න තියෙනවා. මා නම් හිතන් හිටියේ මෙවර ම අස් වී පැමිණෙන්න. මුහුණු පොතේ කවුදෝ කියා තිබුණලු වැඩ බැරි තානාපති කියා.

අවුරුද්ද සිංහලයන්ගේ උත්සවයක් වුණත් අප එය සූූර්යයා රේවති නැකතින් අස්විද නැකතට හරි මීනෙන් මේෂයට හරි සංක්‍රමණය වීම පදනම් කරගෙන පටන් ගත්තත් එහි ප්‍රධාන කාර්යය හිස තෙල් ගා ස්නානය කිරීම වුවත් අප සුපුරුදු පරිදි ඉන්දියාවේ හින්දු ආභාසය නිසා අද සූර්යයා මීනයෙන් මේෂයට යෑම පදනම් කරගෙන අවුරුද්ද පවත්වනවා. තෙල් ගාන උත්සවය අද පන්සලට ඕන නිසා කෙරෙන්නක් බවට පත් වෙලා. තවමත් තෙල් ගෑම සඳහා අවශ්‍ය නානු ආදිය පන්සලෙන් සැපයෙනවා. පැරණි සිංහල සංස්කෘතිය හැඳින ගැනීමට මියන්මා සංස්කෘතිය අපට උදවු වෙනවා.

අප ඉන්දියාවත් එංගලන්තයත් අනුකරණය කළත් බුරුමය එසේ කෙළේ නැහැ. එහෙත් එය තව කොපමණ කාලයකට ද කියන්න බැහැ. බුරුමයේ (මියන්මාහි) රාජ්‍ය සේවය අපට වඩා වෙනස්. අප හැකිතාක් ඉංගිරිසින් හා ඉන්දියයන් අනුකරණය කරනවා. එහෙත් මියන්මා දේශයෙහි එසේ වන්නේ නැහැ. එහි අලුත් අවුරුද්දේ් තවමත් ස්නානය වැදගත්. ජනතාව ගෙවී යන වසරේ සියලු විපත් අපල උපද්‍රව දුරු කිරීමට මෙන් දින කිහිපයක් වතුර ඉහගන්නවා. ඔවුන්ගේ වැදගත් දිනය දාහත්වෙනි දා. පැරණි රජ කෙනකු එදින හිස තෙල් ගෑ කතාවක් ජනප්‍රවාදයේ තියෙනවා. එදින මියන්මාරයේ පොදු සමාව දෙන දිනයක්. අපත් ඒ ගැන බලාපොරොත්තුවෙන් කතා කර තියෙනවා. තෙරිඳු (නිරිඳු මෙන්) අප වෙනුවෙන් අනුශාසනා කර තියෙනවා.

බුරුමයේ අවුරුද්ද හඳුන්වන්නෙ තින්ග්‍යාන් කියා. ඒ උච්චාරණය හරිද කියා මා දන්නේ නැහැ. සමහරවිට එය සින්ක්‍යාන් වෙන්නත් පුළුවන්. කොහොමටත් එහි තේරුම වෙනස බව කියැවෙනවා. මේ හා සම්බන්ධ කතා තියෙනවා. එහි පොදු අර්ථයට අනුව එක් කලක ශක්‍රයා මහා බ්‍රහ්මයා සමග කළ සටනින් පසු බ්‍රහ්මයාගේ හිස කඳින් වෙන් කර තියෙනවා. ඒ හිස වැටුණොත් එතැන ගිනි ගන්න පුළුවන්. ඒ නිසා ශක්‍රයා දිව්‍යාංගනාවන් හත්දෙනකුට පවරල අවුරුද්දක් බැගින් හිස තියාගෙන අතින් අතට දෙන්න. මේ ශක්‍රයා මඝ මානවකයාට සම්බන්ධ කරන පුවත් මියන්මාහිත් තියෙනවා.

මට මේ ශක්‍ර-බ්‍රහ්ම ගැන මගේ ම කතාවක් තියෙනවා. මෙය වෙනසක්. මහා බ්‍රහ්මයාගෙන් ශක්‍රයාට මාරු වීම පිළිබඳ වෙනසක්. බුරුමයේත් අනෙක් වත්මන් ථෙරවාදී රටවල මෙන් ම කලක් ජනවාරියේ සිදුවන මකර සංක්‍රාන්තිය (තෛපොන්ගල්) අවුරුද්ද වෙන්න ඇති. එහෙත් සිංහල බුද්ධාගමේ ඇසුරෙන් මේ සංක්‍රාන්තිය මේෂ (අස්විද) සංක්‍රාන්තියට වෙනස් වෙලා තියෙනවා. මෙහි ඇති වෙනස එය වෙන්න ඕන. වෛදික මහා බ්‍රහ්මයා වෙනුවට බෞද්ධ ශක්‍රයා පැමිණ තියෙනවා. ශක්‍රයා බ්‍රහ්මයා පරාද කර ඝාතනය කිරීම තමයි වෙනස. වෛදික ඇදහිලිවලින් බෞද්ධ ක්‍රමයට වෙනස් වෙලා. ශක්‍රයා බ්‍රහ්මයාගේ කඳට ඇත් හිසක් සවි කළ කතාවකුත් තියෙනවා. එය අර ගණ දෙවි කතාව වගේ.

මේ කතා සිංහලයන්ට වැඩක් නැති බව මා දන්නවා. සිංහලයන් ථෙරවාදය ගැන කියෙවුවත් ඊයේ ලිපිය දහසක් දෙනාට පමණක් කියවන්න ලැබිලා. ඒ සජිත් ගැන ලිපිය හත්දහසක් අතටත් ලංසා ගැන ලිපිය පන්දහසක් අතටත් පත් වෙද්දී. අපේ ථෙරවාදය නමට පමණක් ද?

ථේරවාද රටවල් එකතු කරන අවුරුද්ද – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

ථෙරවාද රටවල් එකතු කරන අවුරුද්ද

ඉර ගමන් කරන බව දන්න අයට සුබ අලුත් අවුරුද්දක් වේවා.

සූර්යයා ක්‍රාන්ති වලයය දිගේ සිදු කරන තම වාර්ෂික චලිතයෙහි එක්තරා අවස්ථාවක් සලකමිනුයි අප අවුරුද්ද පවත්වන්නෙ. එහෙමත් නැත්නම් අවුරුද්ද පටන් ගැනීම ලෙස සලකන්නෙ. අද අපට තවත් අවුරුද්දක් උදා වෙනවා. එය යම්කිසි සිද්ධියක් මුල් කරගෙන සිදු වන්නෙ. ජනවාරි පළමුවැනි දා වගේ නො වෙයි. ජනවාරි පළමුවැනි දා සිදුවන දෙයක් නැහැ. අවශ්‍ය ම නම් එය ක්‍රිස්තු උපතින් සත්වැනි දා කියා ගත හැකියි.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යෑම තමයි සාමාන්‍ය විධියට අවුරුද්ද සනිටුහන් කරන සිද්ධිය. සූර්යයා චලනය වන්නේ පෘථිවියට සාපේක්‍ෂ ව. හඳේ ඉඳල සූර්ය ගමන නිරීක්‍ෂණය කළොත් වෙනත් ආකාරයකට පෙනේවි. සෑම චලිතයක් ම සාපේක්‍ෂයි. නිරපේක්‍ෂ චලිත ලෝකයේ නැහැ. ඒ කොහොම වුණත් මගේ විශ්වාසයක් තියෙනව අපේ අවුරුද්ද සූර්යයා රේවති නැකතින් අස්විද නැකතට යන දිනය කියා. මේ ගැන මට තවමත් විධිමත් හැදෑරීමක් කරන්න ලැබුණේ නැහැ. නැකත් කියන්නෙ සිංහලයන්ගෙ සංස්කරණයක් (නිර්මාණයක්). නැකැත් කියන වචනෙන් නක්‍ෂත්‍ර කියන සංස්කෘත වචනය හැදිල තියෙන්නෙ. නක්‍ෂත්‍ර කියන වචනයට සංස්කෘත භාෂාවෙන් නිරුක්ති නැහැ. නැකැත් අපේ නාගයන්ගෙ, නකයන්ගෙ, නාවිකයන්ගෙ සංස්කරණයක් වෙන්න ඕන. අස්විද රෙහෙණ වගේ වචන සිංහල වචන මිස වෙනත් බසකින් තනාගත් වචන නො වෙයි.

සිංහලයන් යම් යම් දේ ලෝකෙට දීල තියෙනවා. අපේ අවුරුද්දත් ඉන් එකක්. අපි අස්විද කතාව පැත්තකින් තියල මේෂ කතාව ගත්තත් අපට කියන්න පුළුවන් මේ සූර්ය සංක්‍රාන්තියක් කියල. සංක්‍රාන්තියක් කියන්නෙ සූර්යයා එක් රාශියකින් තවත් රාශියකට සංක්‍රමණය වීම, නැත්නම් ගමන් කිරීම. එ විධියට ගත්ත ම අවුරුද්දකට සංක්‍රාන්ති දොළහක් තියෙනවා.

අද මේෂ සංක්‍රාන්තිය නම් මකර සංක්‍රාන්තිය සිදුවන්නේ ජනවාරි 14 වැනි දා පමණ. එය නිරායන ක්‍රමයට. ඒ කියන්නෙ පෘථිවි අක්‍ෂයෙ අයනය, නැත්නම් අවුරුදු විසිහයදාහක් පමණ අරගෙන යම් දිශාවක් වටා එක් වරක් කැරකවීම (භ්‍රමණය වීම, බමරයක අක්‍ෂය වගේ) නොසලකමින් කරන ගණන් බැලීමේ ක්‍රමයට, සිදුවන්නක්. සූර්යයාගේ මකර සංක්‍රාන්තිය කියන්නෙ සූර්යයා ක්‍රාන්ති වලයයෙහි තම වාර්ෂික චලිතයෙහි දකුණට ගොස් ආපසු උතුරට හැරීම. එයට උත්තරායනය කියාත් කියනවා. මකර සංක්‍රාන්තිය තමයි හින්දුන්ගෙ අවුරුද්ද. තෛපොන්ගල් උත්සවයත් ඒ හා සම්බන්ධයි.

මේෂ සංක්‍රාන්තිය ථෙරවාද බෞද්ධයන්ගෙ අවුරුද්ද පටන් ගැනීම. මියන්මා, කාම්බෝජය, ලාඕ, තායිලන්තය යන රටවල පමණක් නොව චීනයේ යුනාන් ප්‍රාන්තයේත් එය පැවැත්වෙනවා. කවුරු මොන බයිලා කිවුවත් මෙරට හින්දුන් බෞද්ධයන් අවුරුද්ද පවත්වන ආකාරයට පවත්වන්නෙ නැහැ. මෙය අපේ පිරිසක් යාපනයට ම ගොස් දැනගත් කරුණක්. මෙය තවමත් සිංහල දෙමළ අවුරුද්දක් නොවෙයි. එහෙත් හින්දුන් ද බෞද්ධයන් මෙන් අවුරුද්ද පවත්වන ව නම් මා කැමතියි. අවුරුද්ද නිසා දැනට පඬි නැට්ටන් හැර සිංහලයන් එක දවසකට නැත්නම් සතියකට හරි එකතු වෙනවා. ජාතියක් ලෙස හිතනවා. දෙමළ ජනයා ද එදින අප සමග එකතු වෙනවා නම් ඔවුන් තවදුරටත් ජාතියට අවශෝෂණය කරන්න පුළුවන් වේවි.

ඊයේ දෙරණ, දෙරණ අරුණ හා චරිත අල්විස් කාටවත් නොසිතෙන දෙයක් කළා. ඔවුන් ගිය අවුරුද්දේ සිදු වූ දේ ගැන ආපසු හැරී බැලුවා. ඒ ගැන දෙරණ අරුණ නිෂ්පාදක කණ්ඩායමට අප කෘතඥ විය යුතුයි. සාමාන්‍යයෙන් බොහෝ දෙනා ආපසු හැරී බලන්නේ දෙසැම්බර් තිස්එක්වැනි දා. අප අවුරුද්ද පටන් ගන්නෙ අද වගේ දවසක. ඒ නිසා ආපසු හැරී බැලීම ඊයේ සිදු කළ එක හරි. අප පාසල් වර්ෂ ජනවාරියේ නොව බක් මහ අවුරුද්දෙන් පසු ආරම්භ කරන්න ඕන. ඒ ඒ රටවල පාසල් වර්ෂ පටන් ගන්නෙ ඒ ඒ රටවලට ආවේණික ආකාරයට. එංගලන්තය එක්සත් ජනපද ආදී රටවල සැප්තැම්බර් ඔක්තෝම්බර් මාසවල, ඕස්ත්‍රේලියාවෙ නවසීලන්තයෙ පෙබරවාරි මාර්තු මාසවල. ඒ ශීත සෘතුව සමග බැඳිණු දින. අපට අවුරුද්දට තරමක දිර්ඝ නිවාඩූවක් දීල වෙසක් මාසෙ පාසල් වසර අරඹන්න පුළුවන්. සාමාන්‍ය පෙළ උසස් පෙළ ආදී විභාග දුරුතු නවම් මාසවල පවත්වන්න පුළුවන්. කොවිඩ් 19 සමනය වුණාට පසු ඒ ගැන හිතන්න පුළුවන් ද?

ථෙරවාද රටවල මේ දිනවල අවුරුද්ද පැවැත්වෙනවා. තායිලන්තය කාම්බෝජය ලාඕ රටවල එය සංක්‍රමණය දක්වන සොන්ක්‍රමණ ආදී නම්වලින් හැඳින්වෙන්නෙ. සමහර විට මෙය මකර සංක්‍රාන්තියෙන් බිඳුණු වචනයක් වෙන්න පුළුවන්. ඒ රටවල හින්දු සංස්කෘතියෙ ඉතුරු බිතුරු දකින්න පුළුවන්. රාමායනය තවමත් ඔවුන් අතර ජනප්‍රියයි. මට හිතෙන්නෙ ඒ රටවල් ථෙරවාද වුණාට පස්සෙ සංක්‍රාන්තිය කියන වචනයත් අරගෙන ම මකර සංක්‍රාන්තියෙන් මේෂ සංක්‍රාන්තියට සංක්‍රමණය වුණා කියා.

මියන්මාහි අවුරුදු උත්සවයට කියන්නෙ තියන්ග්‍යා කියා. ඔවුන් සතියක් පමණ උත්සවය පවත්වනවා. ථෙරවාද රටවල අවුරුද්දේ ප්‍රධාන තැන ලැබෙන්නෙ ස්නානයට. ඒ වතුර ඉහ ගැනීමක් ද වෙනවා. මියන්මාහි ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නෙ අප්‍රේල් දහහත්වැනි දා. මෙය අපේ තෙල්ගාන අවුරුද්ද සමග සංසන්දනය කරන්න ඕන. ලංකාවෙ සමහර පළාත්වල තෙල් ගාන අවුරුද්ද වැදගත් වෙනවා. මියන්මා තියන්ග්‍යා ගැන විස්තරයක් හෙට.

ලංසාගේ හා ජේ ආර්ගේ පළාත් සභා හා එක එක්කෙනා – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ලංසාගේ හා ජේ ආර්ගේ පළාත් සභා හා එක එක්කෙනා

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පළාත් සභා මැතිවරණය අපි ඉක්මනින් තියෙනවා. ඒ සඳහා නීති සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට එම අණපනත් ගෙන එනවා. පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත වෙලා තියෙන ක්‍රමයක්. දැනට අහෝසි කරන්න විදියක් නැහැ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියලා ජනතාවගේ සර්ව ජන ඡන්දයට අයිතියක් ලබාදෙනවා.

පළාත් සභා මැතිවරණය තියන්න එපා කියලා එක එක්කෙනා කිව්වට, ප්‍රජාතන්ත්‍රවාදී රටක, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව අපිට කටයුතු කරන්න බැහැ. පළාත් සභා මැතිවරණය තියන එක ජනතාවගේ අයිතියක්. අපි කොට්ඨාස ක්‍රමය පළාත් සභාවට හඳුන්වා දෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ කොට්ඨාස ක්‍රමය. නමුත් සමහර අය, සමහර පක්ෂ පරණ ක්‍රමයට යමු කියනවා. කොට්ඨාසය තුළත් අපේක්ෂකයෝ තුන්දෙනෙක්, දෙදෙනෙක් දාන්න පුළුවන් වෙන්න ඕන. පක්ෂයට ඡන්දය දෙනවා. හැබැයි ඉල්ලන පුද්ගලයාට කැමති නැහැ. අකමැත්තෙන් මනාපය දෙනවා. එය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී අපි දැක්කා. දැන් මෙම ක්‍රමය තුළත් සුදුස්සන් තෝරන්න පුළුවන්. එම අයිතිය ජනතාවට ලැබෙනවා.

මේ සඳහාත් සමහර අය විරුද්ධ වෙනවා. රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට දෙද්දී විරුද්ධ වෙන්න බැහැ. තමන්ට කැමති පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්. කැමති අපේක්ෂකයෙක් තෝරන්න පුළුවන්. එක එක අය කෑගැහුවට ජනතාවට තියෙන අයිතියක් අපිට නැති කරන්න බැහැ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.”

ඉහත සඳහන් වන්නේ රාජ්‍ය ඇමති ලංසා කරන ලදැයි කියන ප්‍රකාශයක් ගැන ලංකා සී නිවුස් සමාජයිය මාධ්‍යයේ සටහන් වී තිබූ පුවතක කොටසක්. එය නිවැරදි යැයි අප විශ්වාස කරනවා. ඒ නිවැරදි නම් පමණක් පහත සඳහන් ප්‍රතිචාරය වලංගුයි. මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ ලංසාගේ නොදැනුවත්කම, උද්ධච්ඡකම, මහා සංඝායා වහන්සේට නොසැලකීම ආදී කරුණු රාශියක්. ඕනෑම දේශපාලනඥයෙක් කරන ආකාරයට ලංසා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ද එල්ලෙනවා.

1987 දී වයස දහතුනක් වූ ලංසා කළේ මොකක් ද ඔහුගේ දේශපාලනය කුමක් ද යන්න ආදිය ගැන මට වැටහීමක් නැහැ. පළාත් සභා ඇති කෙළේ කාගේ වුවමනාවට ද, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට අනුව ද, ඔය කියන මහජනයා පළාත් සභාවලට එකඟ වුණා ද ආදිය ගැන ලංසා දන්නේ මොනවාදැයි මා දන්නේ නැහැ. ලංසා කියන්න පුළුවන් පළාත් සභා කොහොම ඇති වුණත් ඒවා දැන් මෙරට ස්ථාපිතයි කියල. ඒ තර්කය අනුව අප 1815 දී කොහොම එංගලන්තයට යටත් වුණත් එය ස්ථාපිතයි කියල එහෙම ම ඉන්න තිබුණා. අප නිදහස වෙනුවෙන් සටන් කළා. ජ වි පෙ නම් සටන් කෙළේ නිදහසක් ගැන නොවෙයි. නොදන්නා අය නම් කියයි විජේවීරට විරුද්ධ ව නඩු පැවරුවේ රැජනට විරුද්ධව කැරළි ගැසීම කියා තිබූ පමණින් විජේවීර එලිසබෙත්ට විරුද්ධ ව සටන් කළා කියලා. ඔහුගේ ඊනියා සටන මාක්ස්ගේ ඊනියා පංතියක් වෙනුවෙන් මිස ජාතියක් වෙනුවෙන් නො වෙයි.

ලංසාට අමතක ඇති ජේ ආර් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ හැටි. එහෙමත් නැත්නම් මන්ත්‍රීවරු හෝටල්වල හිරකරගෙන දහතුන්වැනි සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට එරෙහිව ගොස් ජනමතවිචාරණයක් නොවත්වා සම්මත කරගත් හැටි. දහතුන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට අනුව සම්මත කරගත් එකක් නො වෙයි. ලංසා එය ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන්නේ ඔහු ජේ ආර් පාක්‍ෂිකයකු නිසා ද? එහෙමත් නැත්නම් එකල ඔහුට වයස දහතුනක් පමණක් වූ නිසා ද? දන්නෙ නැත්නම් විජේමුනි විජිත රෝහණ ද සිල්වාගෙන් දැන ගන්න.

අනෙක් අතට පළාත් සභා ඇති කෙළේ කාගේ ප්‍රශ්නයක් විසඳන්න ද? ලංකාවේ දෙමළ ජනයාගෙන් බහුතරය ඉන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට. පළාත් සභා පිහිටුවීමෙන් ඔවුන්ගේ ඇතැයි කියන ප්‍රශ්නය විසඳෙනවා ද? රණවිරුවන් ජීවිත පූජාවෙන් සටන් කෙළේ අහවල් දේකට ද? පළාත් සභා පවත්වාගෙන යනවා කියන්නේ රණවිරු ජීවිත පූජාව සතපහකට ගණන් නොගැනීමක්. ලංසාට චන්ද්‍රිකා ජීඑල් මංගල සමග එක් වී ඊනියා සාම සාකච්ඡා මගින් ඔය කියන ප්‍රශ්න විසඳා ගැනීමට බැරි වුණේ මොකද? ඉන්දියාවෙ වුවමනාවට අප මත බලෙන් පැටවූ පළාත් සභා ලංසාගේ ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ ද? අද අපේ නිදහස වෙනුවෙන් නම් කරන්න ඕන ඉන්දියාවට යට නොවී පළාත් සභා අහෝසි කිරීමයි. ලංසා පක්‍ෂ ලංකාවට නො වේ ද?

පොදුජන පෙරමුණේ ජාතිකත්වයක් නැති අය ඉන්නවා. ඔවුන් හිතන්නේ ජාතිකත්වයක් ඇති අය ජාතිවාදීන් කියා. ජාතිකත්වවාදීන් නිසා තමයි ඊනියා සාම සාකච්ඡා බිඳ වැටුණේ. ලංසාලා ක්‍රියා කරන්නේ ජාතිකත්වයට විරුද්ධ ව. පළාත් සභාවලින් කසිකබල් දේශපාලනඥයන් කිහිප දෙනකුගේ රැකියා ප්‍රශ්නය හැරෙන්නට විසඳෙන වෙනත් ප්‍රශ්නයක් නැහැ.

ලංසා කියන්නේ එක් එක්කෙනා කීවාට පළාත් සභා මැතිවරණ නොතියා ඉන්න ලංසාගේ ප්‍රජාතන්ත්‍රවාදය, එ කියන්නේ ජේ ආර්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව බැහැ කියා. මේ කියන එක එක්කෙනා කවුද? මෙරට මහා සංඝයා වහන්සේත් ලංසාට අනුව එක එක්කෙනා ද? මහා සංඝයා වහන්සේ ඉල්ලා සිටින්නේ පළාත් සභා මැතිවරණ නොතියා ඉන්න පමණක් නොවෙයි. ජේ ආර්ගේ හා රජිව් ගාන්ධිගේ පළාත් සභා අහෝසි කරණ ලෙසටයි. මෙරට මහා සංඝයා වහන්සේ ලංසාට අනුව එක එක්කෙනා වෙන්න පුළුවන්. ඒ ලංසාට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය ගැන දැනුමක් නැති නිසා වෙන්න පුළුවන්. මට නම් ඔය මන්ත්‍රීවරුන් එක එක්කෙනාවත් නො වෙයි. අපි නොදන්න ප්‍රජාතන්ත්‍රවාදය.

ඩ්‍රීම් ස්ටාර් සජිත් නැත්නම් – මහඇදුරු නලින් ද සිල්වා මහතා

ඩ්‍රීම් ස්ටාර් සජිත් නැත්නම්

දෙරණත් ඉල්ලන් කන වැඩ කරනවා. ඩ්‍රීම් ස්ටාර් මගේ සිත් ගත් වැඩ සටහනක් නො වෙයි. මට ගායනය කොහොමටත් බැහැ. සංගීතය ප්‍රේමයේ ආහාරය වන්න පුළුවන්. මගේ නම් අතුරුපසවත් නො වෙයි. අනෙක් එක ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහනෙහි ඉංගිරිසි වචන වැඩි වැඩියෙන් පාවිච්චි වෙනවා. අර සිංහවාංශිකාව කියන්නෙ මොනව ද කියල තේරුම් ගන්න අමාරුයි. මගේ ඉංගිරිසි දැනුමට වඩා සිංහල දැනුම හොඳයි.

සිංහලෙන් නීතිය හදාරන්න ඉඩ දෙන්නෙ නැහැ කියන එක ඇත්ත ද? සිංහලෙන් ඉහළ උසාවිවල වැඩ කරන්න තාම බැරි වුණා. කළ යුත්තේ ඉහළ උසාවිවල වැඩ කරන නීතිඥයන්ට සිංහල බැරි නම් ඒ උගන්වන එක. ඔය හුඟ දෙනෙක් පනස්හයෙන් පස්සෙ ඉපදිච්ච අය. ඔවුන්ට සිංහල බැරි ද? මට නම් ඉංගිරිසියෙන් හිතෙන්නෙ නැහැ. හිතන්න බැහැ.

ඒ කොහොම වෙතත් මේ දවස්වල නිරෝයාධනයේ නිසා ඊයේ ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහන බැලුවා. එතන කවුද මහ සඟ ගණ මොකද කරන්නෙ කියල ඇහුව අමරදේව ගයන ගහෙන් බහින්න කියා රත්නවල්ලී දෙවඟනට (මා හිතන විධියට යක්‍ෂ ගෝත්‍රිකව සිට මිය ගොස් දෙවඟනක වූ) ආරාධනා කරන ගීතය ගැයුවා. රත්නවල්ලි තමයි රුවන්වැලි වෙලා තියෙන්නෙ. ස්වර්ණමාලි කියන්නෙ පස්සෙ හදාගත් වචනයක් වෙන්න ඕන. අපි අඩු තරමෙන් රුවන්මැලි සෑය කියාවත් කියන්නෙ නැහැ.

එකී ගීීතයට ප්‍රතිචාර දැක් වූ විනිසුරුවෙක් කියා සිටියේ මේ ගස් කපන කාලයේ ගස්වලින් බැස යන බව. සියයට තුනේ කල්ලියට දැන් කරන්න පුළුවන් ඔය වගේ ඊනියා ප්‍රබුද්ධ කියමනක් කටින් පිට කරන එක පමණයි. මේ ආණ්ඩුව වගේ ම දෙරණත් අසමත්. ඒ විරුද්ධවාදීන්ට තමන් පාවිච්චි කිරීමට ඉඩ දීම මගින්. ආණ්ඩුවට වඩා හොඳ මාධ්‍ය ඒකකයක් නොව මාධ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි.

පහුගිය අවුරුදු එකහමාරට ඉස්සර ගස් කපල නැති ගාණටයි පඬි නැට්ටන් කියවන්නෙ. වනගහනය අඩු වීමේ ප්‍රතිශතය ගණනය කරන එක එතරම් වැඩක් නො වෙයි. යහපාලන කාලෙ වනගහනය කොපමණ ප්‍රතිශතයකින් අඩු වුණාද කියා දන්න කෙනෙක් ඉන්න ඕන. යහපාලනයට සියයට තුනත් හවුල් වුණා. අර ප්‍රබුද්ධයා ඒ දවස්වල සංගීතයෙන් මත්වෙලා ඉන්න ඇති. කිසි දා ඇති නොවන සමාජවාදයක් ගැන කතා කරමින් ඊනියා ජනතාවාදීන් වීමට ඔවුන්ට පුළුවන්. මා නම් ජනතාවාදී නොවෙයි. ඔය ජනතාව මහා පරාර්ථකාමී නො වෙයි.

අපට අවශ්‍ය ප්‍රමාණයට පොල්තෙල් ලංකාවෙ නිපදවන්න බැරි මොක ද? පොල් ගස් කපල හින්ද ද? පොල් ගස් කැපුවෙ ගෝඨාභය ද? ඊනියා සංවර්ධනය වෙනුවෙන් පොල් ගස් කී දාහක් කපන්න ඇත් ද? අපි වස විස කන්න පටන් ගත්තෙ ගෝඨාභය ජනාධිපති වුණාට පස්සෙ ද? පොල්තෙල් ප්‍රශ්නයට වග කියන්න ඕන සිද්ධිකා සේනාරත්න ද? ජනමාධ්‍යවේදීන් කරුණු හරියට හොයා බලන්නෙ නැතිව කාඩ්බෝඩ් වීරයන් වීම සඳහා පළමුවෙන් ප්‍රවෘත්ති දෙන්න ගිහින් ප්‍රශ්න කොච්චර අවුල් කරනවා ද?

ආනයිත පොල්තෙල්වලට තාල තෙල් (පාම් ඔයිල්) හරි වෙන තෙලක් හරි කලවම් කරන්න පටන් ගත්තෙ ගෝඨාභය ආවට පස්සෙ ද? 2016 ඉඳන් කලවම් කිරීමේ අයිතිය (අපි එයට අයිතිය යැයි කියමු) ඒ ඒ සමාගම්වලට ලබා දුන්නෙ කවුද? සජිත් ද හර්ෂ ද සිල්වා ද රනිල් ද රනිල්දාස ද වෙන කවුරුන්වත් ද? ඒ කාලෙ ආනයිත පොල්තෙල්වල අර මොකක්ද රසායනය තියෙනවා ද කියල හොයල බැලුව ද? ඒ දවස්වල අපි කෑවෙ සුපිරිසිදු පෙරාපු පොල්තෙල් ද? ඒක දැන ගන්න ක්‍රමයක් තියෙනවා ද? බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෙද මහත්වරුන්ට ක්‍රමයක් සකස් කරන්න පුළුවන් ද?

රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් මිශ්‍ර පලිබෝධ නාශක කියල අපි අදත් කියනවා. මෙරට සහල්වලත් ආසනික් තියෙන බව අපි එදා කිවුව. ඒකට එදා හිටි එක් ඇමතිවරයෙක් කිවුවෙ අපි ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන බත් කෑම නතර කර පාන්වලට ජනතාව හුරුකරන්න හදනව කියා. ප්‍රීමා සමාගමෙන් මට ලැබුණු මුදල්වලට මොනවා වුණා ද කියා මාත් දන්නෙ නැහැ. ඒ ඇමතිගෙන් ම තමයි අහන්න ඕන. එදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මට එන්න කියල කිවුව මේ ආසනික් කතාව නිසා ඉරානය අපේ තේ මිළ දී ගැනීම නවත්තල කියල. මා ඒ කතාව ගණන් ගත්තෙ නැහැ. ඉරානය තේ මිල දී ගන්න එක නැවැත්තුවෙ නැහැ.

අපි එදා කිවුව ඇතැම් කෘෂිරසායන ගෙන්වන එක නවත්වන්න කියල. අතන මෙතන පනින රතන හාමුදුරුවො ප්‍රශ්නයට මැදිහත් වුණා. අපි පැත්තකට විසි වුණා. තවමත් ඒ කෘෂිරසායන ගෙන්වනවා. අපට වස විසෙන් තොර ආහාර සපය ගන්න පුළුවන් නම් හොඳයි. පිරිසිදු වාතය ආශ්වාස කරන්න පුළුවන් නම් හොඳයි. පිරිසිදු ජලය පානය කරන්න පුළුවන් නම් හොඳයි. මොළේ පිළිකාවලට තුඩු දිය හැකි ජංගම දුරකථන පාවිච්චි නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. හදිසි ආහාර (ෆාස්ට් ෆුඩ්ස්) කන්නෙ නැතිව ඉන්නව නම් හොඳයි. කොටින් ම මේ ජීවන රටාව වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි. පනුවන් කන සාම පරෙවියන් වත්තට ගෙන්න ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒකට වත්තක් තියෙන්න එපායැ.

ඔය පොල්තෙල්වල තියෙන වස අජිනමොටෝ වස සමග සංසන්දනය කරන්නෙ මොටෝ. අජිනමොටෝ රසයි නෙ. අර ගීතයක් තියෙනවා වත්තෙ මල් පිපෙන්නෙ නැහැ ගෙදර සිරියාවක් නැහැ, ඔබ නැත්නම් ඒ දේවල් නැහැ ආදී වශයෙන්. මා හිතන්නෙ සියට තුනේ කල්ලියෙ ප්‍රබුද්ධ සංගීතඥයන් එකතු වෙලා සජිත් වෙනුවෙන් ඩ්‍රීම් ස්ටාර් ගීතයක් නිර්මාණය කරන්න ඕන. සජිත් නම් ඩ්‍රීම් ස්ටාර් ම තමයි. සජිත් නැත්නම් රටේ පොල් වැවෙන්නෙ නැහැ, ගස් ඉතිරි වෙන්නෙ නැහැ, සිංහරාජෙ දැක ගන්න බැහැ, රත්නවල්ලි ගස් නගින්නෙ නැහැ, කන්න කැවුම් නැහැ, කිරි ඉතිරෙන්නෙ නැහැ, බයිලා කියන්න කවුරුත් නැහැ.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

උගතුන්ගේ පරස්පර නැති නාභි – මහඇදුරු නලින් ද සිල්වා මහතා

උගතුන්ගේ පරස්පර නැති නාභි

මෙරටට ලොකු ම ප්‍රශ්නය උගතුන් වැඩි වීම බව මා නොයෙක් වර කියා තියෙනවා. එමෙන් ම මා උගතකු වියතකු බුද්ධිමතකු නොවන බවත් මා කියා තියෙනවා. උගතුන් හා බුද්ධිමතුන් ඒ බව දන්නවා. ඔවුන් මා කියන කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. ජාතික කඳවුරේ ඉන්නවා දත් දොස්තරලා තුන් දෙනෙක්. ඔවුන් මා කී කිසි දෙයක් අගය කරන්නේ නැහැ. එහෙත් විවේචනය නම් කරනවා. නුවර ඉන්න දත් දොස්තර හිතන්නේ තමන් විද්‍යාඥයකු බව. දත් දොස්තරලා නොව දොස්තරලාවත් විද්‍යාඥයන් නො වෙයි. ඔවුන් තාක්‍ෂණික ශිල්පීන් පමණයි. මා නම් විද්‍යාඥයකු නොවන බව මාත් ඔවුනුත් දන්නවා. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු අයෙක් පමණයි. නුවර ඉන්න දත් දොස්තර කොළඹ ඉන්න ප්‍රසිද්ධ දත් දොස්තර නම් අගය කරනවා. ඔවුන් මා මෙන් නොව සාහිත්‍යකරුවන්, විද්‍යාඥයන්, දේශපාලන විශ්ලේෂකයන් උගතුන් බුද්ධිමතුන් හා තවත් අය.

මියන්මාහි මෙතරම් උගතුන් නැහැ. ලෝකයේ නැවත බෞද්ධ රාජ්‍යයක් පිහිටුවීමට හැකි පහසුම රට මියන්මා විය යුතුයි. දැන් මගෙන් අහන්න එපා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියන්නෙ බටහිරයන් වෙනුවෙන් බටහිරයන් සඳහා බටහිරයන් පවත්වාගෙන යන රාජ්‍යයක්. ඒ සඳහා බටහිරයන් නොයෙකුත් ආයතන ඒ ඒ රටවල ඇති කර තියෙනවා. පාසල්, විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන, ඊනියා පර්යේෂණ ආයතන, සාහිත්‍යය ඉන් ප්‍රධානයි. ඊනියා සම්මාන උළෙල , ජාතික මෙන් ම ජාත්‍යන්තර, ඇත්තේ තම තමන්ගේ පිට කසා ගැනීමට. විශ්වවිද්‍යාලවල ඊනියා සම්මාන ආචාර්ය පදවි ලබා දෙන්නෙත් මහා උදාර අරමුණක් වෙනුවෙන් නො වෙයි. සම්මානිත මහාචාර්ය ධුරත් ලැබෙන්නේ තම තමන් වෙනුවෙන්. සම්මානිත මහාචාර්ය ධුර ආශ්‍රිත මහාචාර්ය ධුර දැරූවන්ටත් දුන් අවස්ථා තියෙනවා. එහි දී මාක්ස්වාදීන්ටත් ප්‍රශ්නයක් වී නැහැ.

මාක්ස්වාදයත් මේ සමාජ ක්‍රමයෙහි ම තවත් අංගයක් පමණයි. ධම්මික වෙද මහතාට සම්මාන ආචාර්ය උපාධියක් ප්‍රදානය කළ යුතු යැයි මා යෝජනා කළොත් උගත් ජනමාධ්‍යවේදීන් කුමක් කියාවි ද? එසෙත් නැත්නම් අර කැලණියේ දී නාග ලෝකයට ගොස් ධාතුන් වහන්සේ වැඩම කළ අයට, මට මතක හැටියට ඔහු නමින් උදාර, ජාතික සම්මානයක් දීමට මා යෝජනා කළොත් උගත් විද්‍යාඥයන් කුමක් කියාවි ද? එහෙත් තව ටිකක් පරිසරය ගැන කතා කළොත් දේවානි ජයතිලක නොබෙල් සාම තෑග්ගට වුණත් නිර්දේශ වේවි. ඒ දවස්වල චන්ද්‍රිකාට නොබෙල් සාම තෑග්ග දීමට කතාවක් තිබුණා. මියන්මාහි සුචි නෝනට නොබෙල් තැග්ග දී ආපසු ගත්තා වගෙයි මගේ මතකය. චන්ද්‍රිකා හා සුචී සංසන්දනය කරමින් ලිපියක් ලිවීමේ වුවමනාව තිබුණත් තානාපති ධුරය දරණ තෙක් එයට ඉඩක් ලැබෙන්නේ නැහැ.

ඒ වුණත් ධම්මික වෙද මහතා හා අර කැලණියේ දී ධාතුන් වහන්සේ වැඩම කළ අය මෙරටට ඔය උගතුන්ට වඩා සේවයක් කර තියෙනවා. කළු කුහර යනු කුමක් දැයි ඇසුවොත් ඔය ඊනියා උගතුන් දෙන පිළිතුර මොකක් ද? ඔවුන් කළු කුහර දැක තියෙනවා ද? කළු කුහරවල ශබ්දයක් අහල තියෙනවා ද? කළු කුහර ස්පර්ශ කර එහි ගඳ සුවඳ රස බලා නැති බව නම් කියන්න පුළුවන්. කළු කුහර දැකපු අයකු ලෝකයේ නැහැ. එහෙත් අර ධාතුන් වහනසේ වැඳ පුදා ගත් අය ඉන්නවා. ඒත් ඊනියා උගතුන් අර කිසිවකු දැක නැති පට්ටපල් බොරු සමීකරණ විද්‍යා කතන්දර මත පදනම් වෙච්ච කළු කුහර විශ්වාස කරනවා. කළු කුහරයක් ඇතුළට අංශු ගියොත් ඒවා ආපසු එන්නේ නැහැලු. ඒ අංශු අර සිද්ධි ක්‍ෂිතිජය (event horizon) පහු කරල ගියොත් දකින්න බැහැ කියනවා. එහෙත් විද්‍යාඥයන් ඔය කළු කුහරවල ඡායාරූප සකස් කරනවා. ඒ කරන්නේ කොහොමද කියා කිසිවකු ප්‍රශ්න කරන්නේ නැහැ. මා වැනි නූගතකු පමණයි එවැන්නක් අහන්නෙ. ඡායාරූප සකස් කරන්න පුළුවන් නම් කළු කුහරයක් අඩු තරමෙන් යම් පෘෂ්ඨයක් අශ්‍රිත ව පවතින්න ඕන. එහෙම පෘෂ්ඨයක් ගැන කවුරුන්වත් කතා කරන්නෙ නැහැ. ඒකට අර කැලණි ගඟේ නාගයා ගැන අහන ප්‍රශ්න.

ලංකාවේ උගතුන් කිසි දෙයක් ගැඹුරින් හදාරන්නේ නැහැ. ඔවුන් ප්‍රශ්නයක් සමස්තයක් ලෙස දකින්නේ නැහැ. අපට සමස්තයක් ලෙස දකින්න මේ කසිකබල් අධ්‍යාපනයෙන් පුහුණුවක් ලැබෙන්නෙත් නැහැ. ඊනියා විශේෂඥයන් වීමට නාභිගත වීමට තමයි ඉගැන්වෙන්නෙ. මගේ ලිපි ගැන බොහෝ උගතුන් කියන දෙයක් නම් එහි නාභිගත වීමක් නැහැ කියා. ඒක ඇත්ත. මා මේ කසිකබල් අධ්‍යාපනයේ පෙකණිවැල කඩා ගෙන ඇවිත් බොහෝ කල්. මා නාභිගත වන්නේ නැහැ. මට අවශ්‍ය සමස්තය දැකීමට මිස නාභියෙන් එහාට කිසිවක් නොපෙනෙන ඊනියා විශේෂඥයකු වීමට නොවෙයි.

අපේ පැරණි අධ්‍යාපනය සමස්තය දැකීමට උපකාර කළා. ගුත්තිල පඬිතුමාට හිටියේ එක් මූසිලයකු පමණයි. මට මූසිලයන් සිය ගණනක් ඉන්නවා. ගුත්තිල පඬිතුමාට ශක්‍රයා ආධාර කළා. වීණාවේ තත් කඩන්න කිව්වා. අර ගුලි වගයක් අහසට විසි කරන්න කිවුවා. ඒ සුරඟනන් එදා දුන් රඟ බලන්නට අපට අද බැහැ. ඒ සඳහා සුරලොව යන්න ම වෙනවා. ඇත්තට ම සුරලොවට කැලණියේ ඉඳන් කොයි තරම් දුර ද? නාග ලොවට වඩා නම් දුර වෙන්න ඕන. ඒ කුමක් වුණත් ශක්‍රයා කළ වැඩේ හරි ද? එක් තරග කාරයකුට පමණක් උදවු කිරීම හොඳ ද?

කැරොලයින් ජූරි කරපු වැඩේ හරි ද? පුෂ්පිකා ද සිල්වා විවාහක ද නැත් ද? නීිතිය අනුව තවම දික්කසාද වී නැහැ. ඒත් වෙන් වෙලා. නීතිය බම්බුවක් ද? විවාහක කඩවසම් රජුන් තෝරන්නෙ නැත් ද? මට ඉදිරිපත් වෙන්න නො වෙයි. අයින්ස්ටයින්ගේ සමීකරණ අනුව නොපෙනෙන කළු කුහර තියෙනවා ද? ඒ නොපෙනෙන කළු කුහරවල ඡායාරූප සකස් කරන්නෙ කොහොමද? අයින්සටයින් සමීකරණ පට්ටපල් බොරු ද? සිද්ධිකා සේනාරත්න කී දෙයෙහි අති වැරැද්ද මොකක් ද? ඇය කටයුතු කරන්නෙ පවතින නීති රාමුව ඇතුළෙ. ඇය දන්නා හැම දෙයක් ම ජනතාවට කීමට ඇය බැඳිලා නැහැ. ජනමාධ්‍යවේදීන්ට කියන්න කොහොමටවත් බැඳිලා නැහැ. ජනමාධ්‍යවේදීන් කියන්නෙ යම් ආයතනයක සේවය කරන්නන් නැත්නම් ස්වයං රැකියාවක් කරන අය වෙන්න පුළුවන්. ඔවුන්ට ජනතාව වෙනුවෙන් කතා කරීමට බලයක් දීල තියෙන්නෙ කවුද? ඔවුන් ෆෝත් එස්ටේට් (estate) ලෙස ප්‍රංශයෙදි නම් කාලයක් හැඳින්වුවා. ජනමාධ්‍යවේදීන් සමහරු හිතන් ඉන්නෙ ඔවුන් ෆෝත් ස්ටේට් (state) කියල. මියන්මා ධීවරයන් ගැන ජනමාධ්‍යවේදීන් අහන හැම ප්‍රශ්නයකට ම මා නම් පිළිතුරු දෙන්නෙ නැහැ. අප කර ඇති දේ විදේශ අමාත්‍යාංශයට දන්වනවා. සමහර වෙලාවට විදේශ අමාත්‍යාංශයට දන්නන්නෙ නැතිව ඇමතිතුමාට හා ජනාධිපතිතුමාට පමණක් දන්වලත් මා වැඩ කරනවා. නඩු නැති නීතිඥයන් කතුකම් කරන පුවත්පත්වල මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් ද? මේ ලිපියට නාභියක් නැත් ද? පරස්පර නැති නාභියක් තියෙන්න පුළුවන් ද?

රාජ්‍ය සේවය හා ධීවරයෝ – මහඇදුරු නලින් ද සිල්වා මහතා

රාජ්‍ය සේවය හා ධීවරයෝ

මා දැන් ලංකාවෙ. මේ දිනවල මියන්මාහි පනුවන් කන සාම පරෙවියන් බැලීමේ අවස්ථාව නැතිවෙලා. මේ රටේ බොහෝ දෙනා විදේශ අමාත්‍යාංශය ද ඇතුළු ව සිතන්නේ මියන්මාහි ලංකා තානාපති කාර්යාලයෙන් වැඩක් වන්නේ නැහැ කියා. උදාහරණයක් ලෙස ධීවරයන්ගේ ප්‍රශ්නයේ දී ලංකා තානාපති කාර්යාලය කිසිවක් කළ බවක් අඩු තරමෙන් විදේශ අමාත්‍යාංශය පිළිගන්නේ නැහැ. ජනමාධ්‍ය කෙසේවත් පිළිගන්නේ නැහැ. ඔවුන සිතන්නේ තානාපති සේවයෙන් වැඩක් වන්නේ නැහැ කියා.

මා කලිනුත් කියා ඇති මා දක්‍ෂයකු නොවන බව. එහෙත් මා තානාපති ධුරයේ කටයුතු කරනවා. ජනාධිපතිතුමා තවම මට අස්වෙන්න කියා නැහැ. සමහරවිට මා අදක්‍ෂයකු බව එතුමා නොදන්නවා ඇති. මා කෙසේවෙත් මියන්මාහි ලංකා තානාපති කාර්යාලය නම් වෙහෙස නොබලා වැඩ කරනවා. ධීවරයන්ගේ ප්‍රශ්නයේදීත් ඔවුන් ඵලදායී රාජකාරියක් කළා. එහෙත් එහි ගෞරවය ඔවුන්ට නොලැබෙන බවට මට විශ්වාසයක් තියෙනවා.

රාජ්‍ය සේවය ගැන මට දැන් මනා වැටහීමක් තියෙනවා. එය ක්‍රියාත්මක වන්නේ මූලධර්ම තුනක් මත පදනම් ව. පළමුවෙන්ම ඇත්තේ වගකීම පිළිබඳ නර්වචනය.

වගකීම යනු තම වගකීම වෙනත් අයකුට පැවරීම වෙයි. එය ඉතා සූක්‍ෂඟ ව කළ යුත්තක්. තමා වගකීම පැහැර හරින බව කිසිවකුට නොදැනෙන සේ කළ යුතු වෙයි. මා මෙයින් කියන්නේ සියලු රජයේ සේවකයන් එසේ කරන බව නො වෙයි. එහෙත් රජයේ සේවය සමස්තයක් ලෙස ගත්කල ක්‍රියා කරන්නේ එලෙසයි.

දෙවනුව අනෙකකු කරන වැඩක වුවත් ගෞරවය තමා සතු කර ගැනීම.

ඒ සඳහාඅවශ්‍ය වන්නේ වචන හරඹයක්. අනෙකා කරන වැඩක් මුල සිට ම නොපිළිගත යුතුයි. එසේ පිළිගන තිබුණොත් ඒ නිසා යම් දවසක ඒ අනෙකාට ගෞරවයක හිමි විය හැකි බැවින් ලිපී ලේඛනවල අනෙකා කර ඇති කිසිවක් සඳහන් නොවිය යුතුයි. අනෙකා කර ඇති වැඩක් ගැන ලිපියක්යවන විට ඒ වැඩය තම වැඩක් ලෙස පෙන්වනවා මිස අනෙකාගේ වැඩක් ලෙස පෙන්වීමට කටයුතු නොකළ යුතුයි.

එය තරමක අමාරු වැඩක්. අනෙකා කර ඇති වැඩක් ගැන දැන් වූ විට ඒ ගැන කිසිම සඳහනක් නොකර එය දැනුම් දුන් බවවත් නොපිළිගෙන එය තම වැඩක් ලෙස පෙන්වමින් අනෙකාට ලිපියක් යැවීම හිතන තරම් පහසු කටයුත්තක් නො වෙයි. එහෙත් ටික කලක පුහුණුවකින් පසු යමකුට ඒ පිළිබඳ මනා පරිචයක් ලබා ගත හැකියි.

තුන්වැනුව තමන් වැඩ නොකරමින් වැඩ කරන බව පෙන්වීම.

එය ගැන නම් බොහෝ දෙනකුට හොඳ පළපුරුද්දක් තියෙනවා. කිසිවකු යම් ප්‍රශ්නයක් ගැන කී විට හරි මා මේ දැන් ම අදාළ පුද්ගලයාට කතා කරන්නන් කියනවා. එහෙත් කතා කරන්නේ නැහැ. අර තැනැත්තා පසුව ඇහුවොත් අහවලාට කතා කළා ද කියා ඒ සඳහා කදිම උත්තරයක් දීමට බොහෝ දෙනා දන්නවා.

කවුරුන් හරි කියාවි මා කරන්නේත් එය ම තමයි කියා. එහෙමමත් නැහැ. මා වැඩ කරන බවක් කියන්නේ නැහැ. මා කියන්නේ මා අදක්‍ෂයකු නිසා මට වැඩක් කළ නොහැකි බවයි. මුහුණු පොතේ ඇතැමුන් වැඩ බැරි තානාපති ලෙස මා ගැන කීම සමග මා උරණ වන්නේ නැහැ.

මියන්මාහි අත් අඩංගුවට පත් වී සිර දඬුමක් නියම වූ ධීවරයන් සම්බන්ධයෙන් මා කිසිවක් නොකළ බවයි බොහෝ දෙනාගේ වැටහීම. විදේශ අමාත්‍යාංශය කටයුතු කරන්නේත් එවැනි හැඟීමක        දනවන ආකාරයටි. මා ඔවුන්ගේ විශ්වාසය කඩවන ආකාරයකට කටයුතු කූන්නේත් නැහැ.

මා දන්නා කරුණක් තියෙනවා. යම් අයුරකින් ධීවරයන් නිදහස් කරනු ලැබුවහොත් ඒ මෙරට කිහිප දෙනකුගේ නොපසුබට දර්ශනය හා ඔවුන් කෙරෙහි  මියන්මා බලධාරීන් දරණ විශ්වාසය හා ගෞරවය නිසා. යම් අයුරකින් ධීවරයන් නිදහස් කරනු නොලැබුවහොත් ඒ මා කිසිවක් නොකළ නිසා. අපි බලමු.  

නිල නොලත් වතිකානු තානාපති මැල්කම් රංජිත් වහා ලෝගුව ගලවනු. රට අස්තාවර කිරීම දිය යටින් ගේම් ගැසීම නවතනු

වතිකානුව යනු ලොව කුඩා රාජයකි. එම වතිකානු රාජ්‍යයේ ලංකා තානාපති ලෙස කටයුතු කරන්නේ මැල්කම් රන්ජිත් පියතුමාය . එතුමා ආගමික නායකයෙක් සේ සිතීම මිත්‍යාවකි විහිලුවකි . තානාපති කෙනෙකුට ලංකාවේ දේශපාලනය විවේචන්ය කරන්න පුලුවන්ද ? මෙතුමා ලංකාවේ තානාපති කමට පත්වීමට පෙර ඉන්දුනීසියාවේ නැගෙනහිර ටිමෝරයේ අපෝස්තලික තානාපති ලෙස කටයුතු කර ඇත.
ජනපතිතුමණි ඔහුට නොබියව ඉවත් කරන්න. ඔහු කාලයක් තිස්සේම කලේ අපේ රට ජාතියේ අනන්‍ය්තාවය විනාශ කිරීමට කටයුතු කිරීමයි. බියුටි ක්වීන්ලා වරින් වර ඇති කරන්නෙත් අපේ සංස්කෘතිය විනාශ කිරීමටයි.

ජවිපෙ පිටුපස සිටින්නේත්, කොටි පිටුපස සිටින්නේත්, ඊනියා මානව හිමිකම් පිටුපස සිටින්නේත්, ඊනියා ලමා අපචාර කාන්තා හිංසන පිලිබඳ දුක් ගන්නා රාල වන්නේත්, සියලු ජඩ මාධ්‍ය පිටුපස සිටිමින් සිංහල බෞද්ධ සංස්කෘතිය වනසන්නේත් කොටින්ම බුදු දහම ත්‍රිපිටකය බුද්ධ චරිතය ථෙරවාද බුදු සසුන විකෘති කරන සහ බෞද්ධයො සීසී කඩ බෙදා වෙන් කරන සියලු ව්‍යාපෘති වල අදිසි හස්තය නිල නොලත් වතිකානු තානාපති අසිංහල මැල්කම් රංජිත් ගේ ය.

සමාජවාදය හා ඇතැම් පඬි නැට්ටන් – මහඇදුරු නලින් ද සිල්වා මහතා

සමාජවාදය හා ඇතැම් පඬි නැට්ටන්

මාක්ස්වාදී සමාජවාදය යනු තවත් මනෝරාජික සමාජවාදයක් පමණක් බව කීම බොහෝ දෙනාගේ අසතුටට හේතු වන බව මා දන්නවා. ජ වි පෙ පළමු පුස්වෙඩිල්ලට අවුරුදු පනහක් පිරුණේ ඊයේ පෙරේදා. එකල මාක්ස්වාදීන් දැන සිටි පැරිස් කොමියුනයට අවුරුදු එකසිය පනහක් පිරුණේ සති කිහිපයකට පෙර. පැරිස් කොමියුනය මාක්ස්වාදයේ කියැවෙන්නේ කම්කරු පංතිය බලය අතට ගත් පළමු අවස්ථාව ලෙසයි. පැරිස් කොමියුනය වැඩි කල් තිබුණේ නැහැ.

ලෙනින්ගේ සෝවියට් රුසියාව නම් අවුරුදු හැත්තෑපහක් පමණ තිබුණා. එහෙත් එය කම්කරු පංති රාජ්‍යයක් නම් වූයේ නැහැ. එයට ප්‍රධාන ම හේතුව ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් කම්කරු පංතියක් නොමැති වීමයි. කම්කරු පංතියට පංති විඥානය පිටින් ගෙන යෑමට සිදුවීමෙන් කියැවෙන්නේ කුමක් ද? විඥානය කියන්නෙ වැරදි ඥානය . පටිච්චසමුප්පදායේ විඥානය ඇති වන්නේ චක්‍රයක. විඥානයත් ඇති වන්නේ අවිද්‍යාවත් හේතුකොටගෙන. අවිද්‍යාවත් නිසා ඇතිවන ඥානය හරි ඥානයක් වෙන්න බැහැ. අප විඥානයත් බැහැර කළ යුතුයි.

අද බටහිර විද්‍යාඥයන් කොන්ෂස්නස් කියන එක ඇති වන්නෙ කොහොමද කියල භෞතික ආකාරයකට හොයන්න හදනවා. එයට සාමාන්‍යයෙන් විඥානය කියනවා. එය තමා ගැන හැඟීමක් ඇති වීම, සිහිය ඇති වීම ආදී වශයෙන් කියැවෙනවා. ඒ මොකක් වුණත් ඒක විඥානයක්. වැරදි ඥානයක්. යමකු තමන් යනුවෙන් කෙනකු ඇතැයි සිතීම තමයි විඥානය. වැරදි ඥානය. බටහිර විද්‍යාඥයන් ඔය කොන්ෂස්නස් කියන එක මොළේ මොකක් හරි කොටසකට මාට්ටු කරාවි. ඒ ඔක්කොම විඥාන තමයි. අවිද්‍යාව නිසා හටගන්නා විඥාන.

ඒ කුමක් වුවත් කම්කරු පංතියට පංති විඥානය පිටින් ගෙනියන්න ඕන. එය ගෙනියන්නෙ ඊනියා බුද්ධිමතුන්. මේ බුද්ධිමතුන් බිහිවන්නේ ධනපති සමාජ ක්‍රමයෙන්. ධනේෂ්වර අධ්‍යාපනයකින්. ඔවුන් ඒ සියල්ලෙන් කැඩෙනවා වෙන්න පුළුවන්. ඒත් ඔවුන්ට විඥානයෙන් කැඩෙන්න බැහැ. ඔවුන් නැති කම්කරු පංතියකට නැති විඥානයක් බාහිරින් ගෙන යන්න හදනවා. ඒකෙන් වෙලා තියෙන්නෙ සාමාන්‍ය මිනිසුන් ටිකක් නැති විඥානයක් මවාගෙන මැරෙන්න යන එක විතරයි. එහෙම මැරුණ සංඛ්‍යාව ලංකාවෙ වුණත් සෑහෙන ගණනක්.

සිංහල සමාජය ගැන ඉංගිරිසියෙන් ලියන පඬි නැට්ටන් කිහිප දෙනකු ඉන්නවා. ඔවුන් ඊනියා සමාජවාදයක් ගැන බොහොම උනන්දුවෙන් ලියනවා. ඒත් කරන ඉටි ගෙඩියක් නැහැ. ඔවුන් අර රුසියන් සමාජයෙ කියැවෙන ඉන්ටෙලිජන්ෂියාවට අයත් අය. ඔවුන් ලියනවා, කතා කරනවා, කරන වැඩක් නැහැ. ඒකට කමක් නැහැ. ඊනියා ඉන්ටෙලිජන්ෂියාව පවත්ව ගෙන යනවා. ඔවුන් බුද්ධිමතුන් ද කියා අහන්න එපා.

මේ පඬි නැට්ටන් හිතන් ඉන්නෙ ඊනියා මාක්ස්වාදී සමාජවාදය කවද හරි ඇති වෙයි කියල. අර මොකක් ද එක වැටෙනකම් බලා හිටිය නරියා වගේ. ඒකටත් කමක් නැහැ. ඔවුන් හිතන්නෙ අප වැනි ජාතිකවාදීන් ද්‍රෝහීන් කියා. ඊනියා සමාජවාදය ඇති වන්නෙ නැහැ කිවුව ම ඔවුන් හිතන්නෙ අප සමාජවාදයට විරුද්ධ ධනවාදීන් කියා. ඔවුන් හිතන්නෙ අප අර ඊනියා ලිබරල්වාදයෙ දෙවැනි ඉනිමට පක්‍ෂය කියා. ඒ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කියා.

මෙරට පමණක් නොව ලෝකයේ වෙනත් රටවලත් මිනිසුන් දුක් විඳිනවා අප දැක තියෙනවා. එය නැති කිරීමට ඇති ඒකායන මාර්ගය මාක්ස්වාදය කියා අපත් කලක් හිතුවා. ඒ වෙනුවන් පඬි නැට්ටන් මෙන් නොව මාක්ස්වාදී පක්‍ෂවලට බැඳී කටයුතු කළා. ඒ තරුණ කාලයෙන් අවුරුදු දහඅටක් විතර. එහෙත් එය කෙරෙන්නෙ නැති මගුලක් කියල දැනට අවුරුදු හතළිහකට ඉස්සර තේරුම් ගත්තා. මේ පවතින ක්‍රමයට අපේ කැමැත්තක් නැහැ. ඒත් අප කියන්නේ ඊනියා මාක්ස්වාදී සමාජවාදයට එය නැති කරන්න බැහැ කියලයි. ඒ සඳහා දැනට විකල්පයක් නැහැ.

එයින් කියැවෙන්නේ අප ධනපති ක්‍රමය අනුමත කරන බවවත් ඒ ආර්ථික ප්‍රතිපතති අපේත් ආර්ථික ප්‍රතිපත්ති කියන එකවත් නො වෙයි. ඒ සංවර්ධනය අපෙත් සංවර්ධනය කියන එකවත් නො වෙයි. අපටත් ඊනියා මාක්ස්වාදී සමාජවාදයක් ගැන ලියමින් කියචමින් බොරු වීරයන් වෙන්න පුළුවන්. මාධ්‍යයේ දේශපාලන විචාරකයන් විශ්ලේෂකයන් වෙන්න පුළුවන්. අප ධනවාදයට විකල්පයක් ගැන හිතනවා. එය බෞද්ධ සංස්කෘතිය මත පදනම් විය යුතු ය කියාත් අප හිතනවා. ඒත් අප මුසාබස් කියන්නෙ නැහැ බුදුහාමුදුරුවන් සමාජයීය වෙනස් කිරීමක් ගැන කිවුව කියලත්. එහෙම කියන අයට ඉල්ලුමක් තියෙන බවත් අප දන්නවා.

දැනට අපට කරන්න පුළුවන් මේ ක්‍රමයෙන් දුකට පත් වී ඇති ජනයාට යම් සහනයක් දීමට කටයුතු කිරීමයි. එහෙත් එය ඊනියා වෘත්තීය සමිති සටන් එක්ක ගැට ගහන්න අපට අවශ්‍ය නැහැ. වෘත්තීය සමිති විසිනුත් යම් ආකාරයකට ග්‍රාමීය ජනතාව සූරාකෑමකට ලක් කෙරෙනවා. නිකමට වෘත්තීය සමිති නායකයන්ගේ වැටුප හා ගමක ජීවත්වන අහිංසක ගැමියකුගේ ආදායම සංසන්දනය කරන්න. එහෙමත් නැත්තන් කොළඹ ඉඳන් වනජීවීන් ගැන කතාකරන්නන් ගමේ වනජීවීන් සමග ජීවත්වන ගැමියන් සංසන්දනය කරන්න. පුළුවන් නම් කොළඹට වල් අලි දෙතුන් දෙනෙක් ගෙනත් දාමු ද? මේ ක්‍රමය යටතේ නගරය විසින් ගම සූරාකනු ලබන්නේ බටහිර රටවල් අප වැනි රටවල් සූරාකන ආකාරයට සමාන්තර ආකාරයට.

සිංහලෙන් ලියන දේ ඉංගිරිසියට ඕන විධියට අර්ථකථනය කිරීමෙන් පඬි නැට්ටන් ස්වයං වින්දනයක් ලබනවා වෙන්න පුළුවන්. අප ඔවුන්ට අනුකම්පා කරනවා.

හෙට (අප්‍රේල් 9) ලිපිය පළ නොවන බව කරුණාවෙන් සලකන්න.