කඩුව හා සංකේත බෞද්ධ යෝ මහ අඇදුරු නලින් ද සිල්වා මහතා

කඩුව හා සංකේත බෞද්ධයෝ

රෝගයකට ප්‍රතිකාරයක් නොමැති පිරිසක් එකී රෝගය සම්බන්ධයෙන් කරන කතාවලදීත් ආධිපත්‍යය දරන්නේ කෙසේ ද යන්න ඇතැමකුට ප්‍රශ්නයක් වෙනන පුළුවන්. විශේෂයෙන් ම ප්‍රතිකාර ඇති අය සිටින විට ඔවුන්ට කිසිම තැනක් නොදීමට, පුළුවන් නම් ඔවුන්ගේ රෝහල් තමන්ට පවරා ගැනීමට සැලසුම් කිරීමට විශේෂිත බලයක් තියෙන්න ඕන. මේ බලය එන්නෙ ඉංගිරිසින්ගෙන් බව ඇත්ත. එහෙත් තවත් හේතුවක් වන්නේ මිනිසුන් ඒ ආධිපත්‍යය දෙකට තුනට නැවී පිළිගැනීමයි.

මෙරට ජනමාධ්‍යවේදීන් දේශපාලනඥයන්ට වඩා බටහිර වෙද මහතුන්ට බය බවක් පේනවා. ඔවුන් දේශපාලනඥයන්ගෙන් අසන අන්දමේ ප්‍රශ්න බටහිර වෙද මහතුන්ගෙන් අහන්නෙ නැහැ. අඩු තරමෙන් කොවිඩ් 19ට ප්‍රතිකාරයක් තියෙනව ද කියලවත් අහන්නෙ නැහැ. ඒ වෙනුවට ජනමාධ්‍යවේදීන් බටහිර වෙදකමට කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ඇතැයි කියන මතය සමාජයට ගෙනි යනවා.

ඔවුන් තම ප්‍රවෘත්ති ප්‍රකාශවලින් කියන්නේ මෙපමණ රෝගීන් සංඛ්‍යාවක් සුව වී රෝහල්වලින් පිට ව ගොස් ඇති බවයි. මෙරට බටහිර වෙද මහතුන්ට ඒ කියන විධියට ප්‍රතිකාරයක් තියෙනවා නම් වහාම ඒ පිළිබඳ පත්‍රිකාවක් ඊනියා ජාත්‍යන්තර පරයේෂණ සඟරාවක පළ කරන්න. 2021 වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමිවේවි. කාට ද ආඩම්බරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරි බලය ඇත්තේ බටහිර වෙද මහතුන්ට බව පැහැදිලියි. සෞඛ්‍යය කියන්නේ බටහිර සෞඛ්‍යයට පමණයි. පාසල්වල සෞඛ්‍යය කියා පාඩමක් එකල කියා දුන්නා. එහි ප්‍රතිඵල අද තියෙනවා.

රෝගීන්ට ප්‍රතිකාර ඇති ආයුර්වේද හා පාරම්පරික වෙද මහතුන්ට තම ප්‍රතිකාර කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. 1814 දී රිච්මන්ඩ් විදුහල (පළමුව පාසලක්) ඇති කළ දින සිට කෙතරම් අපේ කමට අපේ දැනුමට ගැරහීමට ඒ නොතකා හැරීමට අප පුරුදු කෙරී ඇත් ද? ලන්දේසීන් ද පාසල් පිහිටුවා තිබූ නමුත් ඔවුන්ට තම රෙපරමාදු ආගම ප්‍රවාරය කිරීමේ දක්‍ෂතාවක් තිබී නැහැ. ඉංගිරිසින් එසේ නො වෙයි. ඔවුන් ලෝකයන්.

මුල දී සිංහල බෞද්ධයන් ඉංගිරිසි පාසල්වලට යෑම සඳහා ක්‍රිස්තියානි වූ විට තමන් හඳුන්වා දී ඇත්තේ ආණ්ඩුවේ ක්‍රිස්තියානින් කියා. ඔවුන් පිළිවෙතින් බෞද්ධයන්. ආණ්ඩුවට ක්‍රිස්තියානින්. මේ කරුණු පසුගිය දා අභාවප්‍රාප්ත වූ ආනන්ද ඩයස් ජයසිංහ මහතා ලියූ රිච්මන්ඩ් විදුහලේ අමතක වූ ඉතිහාසය පොතේ සඳහන් වෙනවා. දහනවවැනි සිය වසේ මුල ආණ්ඩුවේ ක්‍රිස්තියානින් හිටියා නම් ඉන් අවුරුදු දෙසීයකට පසු අද සංකේත බෞද්ධයන් ඉන්නවා. ඔවුන් දැනුමෙන් හා වෙනත් බොහෝ කරුණුවලින් ක්‍රිස්තියානින්.

පනස්හයේ සිදු වී ඇත්තේ සංකේතාත්මක වෙනසක් පමණයි. අප එදා සඟ වෙද ගුරු ගොවි කම්කරු කතාවක් කිවුවා. එහෙත් අද වන විට එය බිෂොප් දොස්තර නීතිඥ පොහොර වෙළෙඳ කම්කරු බවට පත් වී තියෙනවා. මියන්මාහි භික්‍ෂූන් වහන්සේට ඇති ගෞරවය ලංකාවේ නැහැ. අර ධීවරයන් දොළොස් දෙනා නිදහස් කර ගැනීමේ දී හමුදා ආණ්ඩුවට විශාල බලපෑමක් කෙළේ භික්‍ෂූන් වහන්සේ. ඒ ලංකාවට ඇති ගෞරවය නිසා. ඒ ගෞරවය තව කෙතරම් කලකට ද? අද අප තානාපති කාර්යාල පරිශ්‍රය බෞද්ධ කොඩිවලින් සැරසුවා. මට නම් එය සංකේතයක් නො වෙයි.

මෙරට දේශපාලනඥයන් බෞද්ධ අබෞද්ධ සියල්ලන් මහානායක හාමුදුරුවන් බැහැ දැකීමට අටපිරිකර හා පූජා භාණ්ඩ උස්සා ගෙන නුවර දුවනවා. ඒ හුදු සංකේතයක් පමණයි. වැරදි කරන දේශපාලනඥයන්ට පන්සලේ පස් පාගන්න එපයි කියන්න, පත්තනික්කුංජනය පනවන්න හාමුදුරුවරුන්ට පුළුවන් ද? පසුගිය දා එවැනි තර්ජනයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා නම් කළා.

බණ්ඩාරනායක මහතා එකල තිබූ උත්තර මන්ත්‍රී මණ්ඩලයට වික්‍රමාරච්චි වෙද මහතා පත් කළා. එයත් සංකේතයක් පමණක් වුණා. අද පාර්ලිමේන්තුවේ ආයුර්වේද හරි පාරම්පරික හරි වෙද මහත්තුරු ඉන්නවා ද? දේශීය වෙදකම අද නීතිඥයකුට භාර දීලා. ඔහු යම් සේවයක් කිරීමට උත්සාහ කරනවා. එහෙත් උත්සාහය සාර්ථක වන්නේ නැහැ. අද වික්‍රමාරච්චි වෙද මහතා ඇරඹූ යක්කල වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරිලා. එයට විද්‍යොදය වි්‍යාලංකාර පිරිවෙන් දෙකට සිදු වූ දේ යථා කාලයේ දී සිදු වේවි. පාර්ලිමේන්තුවේ බටහිර වෙද මහතුන් වෙද හාමිනේලා ඉන්නවා. මට තේරෙන විධියට ඔවුන් ධම්මික පැනිය කඩාකප්පල් කළා. පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න අර කමිටුවේ හිටි එක් මහාචාර්යවරයෙක් ඒ ගැන උදම් අනලා. ඒ සඳහා ඇතැම් ජනමාධ්‍ය ද උදවු දුන්නා. මේ උදම් අනන්නේ තමන්ට ප්‍රතිකාරයක් නැතිව. පස්ස පැත්ත කසාගන්න නියපොත්ත නැතිව. ඒත් ඉංගිරිසි කඩුව තාමත් තියෙනවා.

පනස්හයේ කම්කරු කියන එක පංච මහා බලවේගයට ඇතුළත් වී ඇත්තේ වැරදි මාක්ස්වාදී සමාජවාදී චීන්තනය නිසා. එය වැරදීමක්. කම්කරු අපේ සංස්කෘතියේ නැහැ. අදත් කම්කරු බටහිර වෙද මහතුන් මෙන් බලයක් වන්නේ වෙනත් සංස්කෘතියක නිසා. එදා හිටි ගුරුවරු අද වෘත්තීය සමිතිවලට පින් සිදු වන්නට කම්කරුවන් වෙලා. ඒත් කරුමය මේ සියල්ල සිදුවන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙද්දී. බටහිරයන්ට අදහස් නැහැ. ඔවුන්ගේ සංස්කෘතියෙන් තව දුරටත් අදහස් නිපදවන්න බැහැ. අද උදේත් මා ලිපියක් කියෙව්වා බටහිර භෞතික විද්‍යාඥවරියක් අයිස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය ක්වොන්ටම් භෞතිකය තුළට ගැනීමට කරන උත්සාහයක් පිළිබඳ. එය අසාර්ථක වන බව පැහැදිලියි. මේ ප්‍රවාද සත්භාව දෙකක බව ඔවුන්ට ඇඟිල්ලෙන් ඇන කිවුවත් තේරෙන්නේ නැහැ.

අදහස් නැති වුවත් ඉංගිරිසින් කළමනාකරණය දන්නවා. අප නොදන්නේ ම ඔවුන්ගේ කළමනාකරණය. ඔවුන් අප රූකඩ මෙන් නටවනවා. අපත් නටනවා. කොවිඩ් 19ට බෙහෙත් නැහැ. ඒත් බෙහෙත් තියෙන බවක් ජනමාධ්‍ය හරහා පෙන්වනවා. තවමත් ආධිපත්‍යය තියෙනවා. තවමත් කඩුව මුවහත්.

රටේ පරිහාණියට හේතුවක් වන පඬි අතිරික්තය – මහ අඇදුරු නලින් ද සිල්වා මහතා

රටේ පරිහාණියට හේතුවක් වන පඬි අතිරික්තය

අද මියන්මාහි වෙසක් දිනය. මියන්මා බසින් නම් අද කසොන්. අපේ වෙසක් දිනය හෙට. එසේ වන්නේ පෝය ගණනය කිරීමේ දී කෙරෙන වෙනසක් නිසා වෙන්න ඕන. හොයල බලන්න තවත් පශ්නයක්. පිළිතුර දන්න කෙනෙකු ඉන්නවා නම් ලියා එවන්න. එහෙත් පඬි කතා ඉවත දැමෙනු ඇත.

අද බල පුළුවන් කාරයන් සංචරණ නීති කඩා බිඳ සංචාරය කරනු ඇති. රට සති දෙකක් වහන්න කියන බටහිර වෙද මහතුනුත් ඒ අතර ඉන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පාරෙ දොස්තරලා දකිනවා කිවුවෙ ව්‍යාජ බලපත්‍ර සහිත ව රියවලින් ගමන් කරන අය ගැන පමණක් ම වෙන්න බැහැ. තම බලපත්‍ර අවභාවිතා කරන්නන් ඉන්න පුළුවන්. ජනමාධ්‍යවේදීන් පොලීසියෙන් හමුදාවෙන් අහනව සංචරණ සීමා නිසා ඇති වන ප්‍රායෝගික ගැටළු ගැන. ඔය හැම ගැටළුවකට ම උත්තර නැහැ. එහෙත් නරක ද ඔය ප්‍රශ්න රට වහන්න කියන බටහිර වෙද මහතුන්ගෙනුත් නිකමට වගේ ඇහුව නම්. ඔවුන් කියන්න පුළුවන් ඔවුන් සෞඛ්‍ය ප්‍රශ්න ගැන පමණයි කතා කරන්නෙ කියා. ප්‍රායෝගික ගැටළු අනෙක් අය විසඳන්න ඕන කියල. ඔවුන් කතා කරන ඊනියා සෞඛ්‍ය ප්‍රශ්නයකුත් නැහැ. ඔවුන් කතා කරන්නෙ ප්‍රායෝගික ප්‍රශ්න පමණයි. ඔවුන් දන්න ප්‍රතිකාරයක් තියෙනවා ද? ඔවුන් දන්නෙ ප්‍රතිකාර ඇති අයට වැට බඳින්න විතරයි. ප්‍රායෝගික ගැටළු ගැන ඔවුන්ගෙන් අහන්නෙ නැතිව කාගෙන් අහන්න ද?

බල පුළුවන් කාරකම් නැති අය ලංකාව හා බංග්ලා දේශය අතර දෙවැනි එක් දින තරගය ගෙදරට වෙලා නරඹාවි. අපි දිනයි ද? ඒත් අපි ආර්ථිකයෙන් නම් බංග්ලා දේශයට පැරදිලා. එක් වාර්තාවකට අනුව අපි ඔවුන්ගෙන් ඩොලර් මිලියන දෙසීයක් ණයට ගන්න යනවා. අපේ මාර්තු මාසයේ ඩොලර් සංචිතය බිලියන හතරක් කියනවා. රජයට ඩොලර් ඕන. අද වන විට බංග්ලා දේශයට බිලියන හතළිස්පහක ඩොලර් සංචිතයක් තියෙනවලු. කාට ද ආඩම්බරේ. විජය රජු හිතනවා ඇති තමා අපරාදෙ වංගයෙන් (බංග්ලා දේශයෙන්) ලංකාවට ගියේ කියල.

ලංකාව හැම අතින් ම වගේ පිරිහෙමින් පවතිනවා. ඒකට වරද කරුවන් දේශපාලනඥයන් පමණක් නො වෙයි. මෙරට පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ආදීන් ද වග කියන්න ඕන. ඒ අය රාජ්‍ය තන්ත්‍රයෙ ඕන තරම් දැක ගන්න පුළුවන්. දේශපාලනඥයන් තිරණයක් ගත්ත ම ඒක ක්‍රියාත්මක කරන්න ඔවුන්ට බැහැ. අර සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් අනා ගන්නවා. බටහිර කළමනාකරණය විශ්වවිද්‍යාල පීඨවල උගන්වනවා. ඒත් කිසිවකු ඒ දන්නේ නැහැ. බටහිර වෙද කමේ වගේ ම විශේෂඥයන් නම් ඇති. ප්‍රශ්නයක් ඇති වුණා ම අපි දේශපාලනඥයන්ට බැණලා කටේ හිරි ඇර ගන්නවා. නිලධාරීන් හිනහ වෙවී ඉන්නවා.

බුදුන් වහන්සේ සැරියුත් හිමියන් අමතා කළ අනාගතවංස දේශනාවේ දී සසුනේ පරිහාණියට හේතුවෙන කරුණු 04 ක් පෙන්වා වදාළ. ඒවා හදුන්වන්නේ ආසවට්ඨානීය ධර්ම නමින්.

එම ආසවට්ඨානීය ධර්ම 04 නම්

  1. සසුන ඇතිවී දීර්ඝ කාලයක් පැවතීම (රත්තඤ්ඤු මහත්තතා)
  2. සංඝයාගේ ප්‍රමාණය විශාල වීම (වේපුල්ල මහත්තතා)
  3. සසුනට ලැබෙන ලාභ සත්කාර බහුල වීම (ලාභග්ග මහත්තතා) (ලාභ ප්‍රයෝජන බහුලවීමෙන් ඒවා බලාගෙන පැවිදි වන්නන් නිසා පිරිහේ)
  4. සසුනේ බහුශ්‍රැතයන් වැඩිවීම (බාහුසච්ච මහත්තතා)

මා සසුන ගැන වැඩිය කතා කරන්නේ නැහැ. හාමුදුරුවරුන් එතරම් දකින්න නැති වුවත් අනෙක් ධර්ම තුන නම් වත්මන් සසුනට ගැලපෙනවා කියල හිතනවා. අද සසුනේ විවිධ මත තියෙනවා. එ බාහුසච්ච මහත්තතා කියන්න පුළුවන්. රට ගැනත් ඔය කරුණු කියන්න පුළුවන්. සිංහල ජාතිය ලෝකයේ පැරණි ම ජාතීන් දෙකෙන් එකක්. නිලධාරීන්ගේ ප්‍රමාණය (රජයේ සේවයේ විශේෂයෙන්) ඉතා විශාල වෙලා. ඔරොත්තු නොදෙන තරමට විශාල වෙලා. රාජ්‍ය සේවයට විවිධ ලාභ සත්කාර ලැබෙනවා (තානාපතින්ටත් ලැබෙනවා). ඒ සියල්ලට ම වඩා රටේ ජාතියේ පඬියන් වැඩි වෙලා. නහයට උඩින් වතුර ගියා වගේ වැඩි වෙලා.

දේශපාලනඥයන් හා පඬියන් එකතු වී පසුගිය දා වරාය නගර පනත බාල්දු කළා. ඒ පනත ගෙනාවේ අප කැමති වුණත් නැතත් බටහිර ක්‍රමයේ දියුණුවක් අපේක්‍ෂාවෙන් රට සිංගප්පූරුවක් කිරීමට ආයෝජකයන් ඇද ගැනීමට. ඒ සඳහා සමහර නීති ලිහිල් කරන්න සිදු වුණා. ඒවා ව්‍යවස්ථාවට පටහැණි නම් ලිහිල් බව ටිකක් නැති කරන්න තිබුණා. ඒත් විපක්‍ෂය හා පඬියන් මූලික වශයෙන් බෙරිහන් දුන්නේ වරාය නගරය චීන කොලනියක් වෙන්න යනවා කියා. පනත දෙස බැලුවේ ඒ කෝණයෙන්. ඒ නැති කිරීමට විවිධ සංශෝධන යෝජනා වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට චීනයෙන් හැර වෙනත් රටවලින් ආයෝජකයන් එයි ද කියන ප්‍රශ්නය අද තියෙනවා. අවසානයේ දී චීන කොලනියක් වීම කෙසේ වෙතත් චීන ආයෝජකයන් පමණක් දැක ගන්න ඉඩ තියෙනචා. පඬියන්ට එවිට නින්ද යාවි.

චීනය අපට වඩා පැරණි එක ම රට. අප එයින් යමක් ඉගෙන ගත්තාට කමක් නැහැ. නමින් කොමියුනිස්ට් වුණත් චීන කොමියුනිස්ට් පක්‍ෂය චීන ජාතිකත්වය හඳුනනවා. කොන්ෆියුෂියස් ධර්මය අනුව ධුරාවලියේ පඬියන් සිටිය යුතු තැනක් තියෙනවා. මෙරට පඬියන්ගෙන් රටට ජාතියට අවැඩක් මිසක් වැඩක් සිිදු වී නැහැ. ඉතා ටික දෙනකු හැරුණු විට දහනවවැනි සියවසේ සිටි පඬියන්ගේ සිට පසුගිය දා මියගිය ඊනියා පශ්චාත්නූතනවාදීන් දක්වා කර ඇත්තේ බටහිර මතවාද හුදී ජනයාට කියා දීම පමණයි. කිසිම නිර්මාණාත්මක කාර්යයක් ඔවුන් අතින් සිදු වී නැහැ.

අද බොහෝ දෙනා රාජ්‍ය සේවයට බැඳෙන්නේ විශ්‍රාම වැටුප ආදී ලාභ සත්කාර බලාගෙන. මා ලාභ ගැන අමුතුවෙන් කියන්නේ නැහැ. රාජ්‍ය ආයතන හා සංස්ථා ඊනියා උගතුන්ට රැකියා සපයන මධ්‍යස්ථාන බවට පත් වෙලා. සාමාන්‍ය පෙළෙන් එහාට ඉගෙන ගන්නවුන්ගෙන් අති විශාල බහුතරය බටහිරයන් අතේ නැටවෙන රූකඩ පමණයි. අද මෙරට පඬියන් අතිරික්තයක් ඉන්නවා. ඔවුන්ට ඇති ජාතිකත්වයක් නැහැ. ඒ වගේ ම අද බල පුළුවන් කාරකම ප්‍රශ්නයක් වෙලා. අපට ඕන ඊනියා වැදගතෙක් වෙන්න. පඬිකමත් එයට අදාළයි. අප බලන්නේ රටෙන් මොනව හරි ගන්න. ඒක වරප්‍රසාදයක් වෙන්න පුළුවන්. රටට මොකක් ද දෙන්නෙ කියන එක අපි කල්පනා කරන්නෙ නැහැ. රටේ ප්‍රශ්න දේශපාලනඥයන්ගෙ කරේ ගහන්න තමයි අපි කටයුතු කරන්නෙ. පඬියන් කියන්නෙ ශාස්ත්‍රීය දැනුමක් ඇති අය පමණක් නො වෙයි. ශිල්පීය දැනුමක් ඇති අය තමයි අද පඬි බහුතරය. ඒ කිසිවකුටවත් නිර්මාණාත්මක හැකියාවක් නැහැ.

සිංහල ජාතිය නැති වේය කියා මා කියන්නේ නැහැ. එහෙත් නැති වීමේ ලක්‍ෂණ පහළ වෙලා. අපට මේ ලක්‍ෂණ හදා ගන්න පුළුවන්. මහාවංසය අනුව විජය රජු ලංකාවට ඇවිල්ල හෙටට අවුරුදු 2565ක් වෙනවා. ඊට කලිනුත් මෙහේ යක්‍ෂ ආදීන් හිටියා. ඔවුන් අමනුෂ්‍යයන් නො වෙයි. මොකෝ විජය දරුවන් දෙන්නකු ලබා දුන්නෙ අමනුෂ්‍ය ප්‍රාණියකුට ද? අපේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන අපි ආසවට්ඨානීය ධර්ම ගැන හිත යොමු කරමු.

ඇයි මෙතරම් චීන විරෝධයක්?🇨🇳🤔

ඇයි මෙතරම් චීන විරෝධයක්?
🇨🇳🤔

රැල්ලට යන්නේ නැතිව සිහි බුද්ධියෙන් කියවල හැකිනම් තවත් කෙනෙක්ගේ දැනුවත් වීම පිණිස ශෙයාර් කරන්න!👇👇👇

වර්ථමානයේ සමාජය තුල පුදුමාකාර චීන විරෝධයක් ඉස්මතු කරන්න උත්සහා කරන බවක් පේන්න තියෙනවා. ගොඩක් මිනිස්සුගේ කටේ තියෙන මන්ත්‍රයක් තමයි මේක චීන කොලනියක් වෙනවා කියලා.

ඇත්තටම අපි ලන්දේසීන්ගේ, පෘතුගීසින්ගේ සහ ඉංග්‍රීසින්ගේ නම් කොලනියක් වෙලා තිබ්බා. උන් මේ රටේ තිබ්බ පුරාවස්තු, ජාතික උරුම විනාස කලා, ගැහැණුන් දුෂණය කලා, ස්වාමීන් වහන්සේ ඝාතනය කලා, අපේ රට සම්පත් සූරාගෙන කෑවා. අපේ රටේ ජාතික නායකයින්ගේ පවුල් පිටින් කිරි සප්පයොත් එක්ක ඝාතනය කලා.

හැබැයි අපි අද ඒ සහසික යටත් විජිතකරණයේ දේවල් ගැන උදම් අනනවා. උන්ගෙන් ගත්ත සංගීතය සහ කෑම රස විඳිනවා. ඉංග්‍රීසි බැරි නම් ඌ ගොඩයෙක් කියන තැනට අපි උන්ව වැලඳගෙන. කොටින්ම කිව්වොත් අපිට එච්චර හදියක් කරපු සුද්දට අපි මහත් උජාරුවෙන් අපේ පස්චාත් භාගය දෙනවා.

අපි චීනුන්න්ට වෛර කරන තරම් මේ අපිව තලා පෙලා දාපු ජාතින්ට වෛර කරන්නේ නැහැ. මොකද උන් යනකොට කලුසුද්දෝ ටිකක් හදලා ගිය නිසා. උන් අපිට පුරුදු කලා ඔය සුද්දන්ට දෙන සංස්කෘතිය.

අපේ අස්ලවැසියා ඉන්දියාව වුනාට වසර 2500 පුරාම චෝලයෝ, පාණඩයෝ මේ රට ආක්‍රමණය කලා.

ලංකාවේ කොටි පුහුණු කරපු එක රටක් තමයි ඉන්දියාව. බලෙන්ම සාම සාධක හමුදාව එව්වා. මේ රටේ රජය තඹයකට ගනන් ගන්නේ නැතිව යාපනයට ගුවන් මගින් ආහාර දැම්මා.

මෙච්චර කරලත් අපිට ඉන්දියන් විරෝධයක් ලොකුවට නැහැ.එහෙම වෙන්න පුලුවන් එකම හේතුව ඉන්දියාවෙන් මේ රටට බුද්ධාගම ලැබීම.

1977 ජේ.ආර් ලංකාව ගිහින් දැම්ම අමෙරිකන් බොක්කේ. යැංකි ඩිකී කියන්නේ නිකං නෙවෙයි එතුමට. ඉරණවිල අක්කර 1000ක භූමියක් දුන්නා”Voice of America ” කියන රේඩියෝ විකාශයට.ඇත්තටම ඒක බෝඩ් ලෑල්ලක් විතරයි. කලාපයේ ඔත්තු බැලීමේ කේන්ද්‍රස්ථානයක් වුනේ ඔතැන. පසු කාලීනව එල්.ටී.ටී.ත්‍රස්තවාදීන්ගේ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස පාවිච්චි කල බවට ලොකු චෝදනා තිබෙනව. ගුවන් ධාවන පථයකුත් එහි තිබු බව සඳහන් වෙනවා. නමුත් රාජ තාන්ත්‍රික මුක්තිය යටතේ එම භූමිය තුලට අපේ ආරක්ෂක අංශ වලට හැකියාවක් තිබුනේ නැහැ.

කොටි සංවිධානය බළල් අතක් විදියට යෝදාගෙන ඇමෙරිකාව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය හොඳට ක්‍රියාත්මක කලා. එයට තර්ජනයක් වන නායකයින් දේශපාලන සිතියමෙන් ඉවත් කලා. කොටින්ම කිව්වොත් කලාපයේ භූ දේශපාලනික පැවැත්ම වෙනුවෙන් අපේ රට වසර 30ක් උඩ දුවපු යුද්ධයකට තල්ලු කලා. ඒ යුද්ධයේ බිහිසුණු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එක පැත්තකින් ත්‍රස්තවාදය පෝෂණය කරන ගමන් රටේ ආර්ථිකය උන්ටම ඕන විදියට හැසිරුවා IMF ප්‍රදාන සහ කොන්දේසි මගින්. අපි ඇමෙරිකාවට ඇඟලුම් යවලා ගත්තා ආදායමත් එක්ක ඒ කරපු විනාසය සංසන්දනය කරන්නවත් බැහැ.

මෙච්චර කරලත් අපිට ඇමෙරිකන් විරෝධයක් ලොකුවට නැහැ. පොඩි එකක් තිබ්බත් ඒක චීන විරෝධය තරම් ලොකු නැහැ.

ඉතින් මේ සියළු ඉතිහාසය පරයා මෙච්චර ලොකු වෛරයක් තරහක් ඇති වෙන්න චීනා අපිට මොකද කලේ?

1952 අපේ රබර් නිශ්පාදනය විකුණා ගැනීමේ විසාල අපහසුවක සිටි අවස්ථාවේ එම අපහසූව විසඳමින් ලෝක වෙලෙඳපලේ අගයට වඩා 40% ගෙව්වා පමණක් නොවෙයි, සහල වෙලෙඳපලෙ අගයෙන් 1/3 කට පමණ අඩුවෙන් දුන්නා.
1962 බන්ඩාරනයක සම්මන්ත්‍රණ ශාලාව ප්‍රදානය කලා. චීන ශ්‍රි ලංකා සම්බන්ධතා වර්ධනය වෙද්දි එවක විපක්ෂය වු එජාපය මේ රට චීන කොලනියක් වෙන බවට විශාල ප්‍රචාරයක් ගෙන ගියා.

චීනය නොහිටින්නට 30 වසරක යුද්ධය අවසන් කිරීමත් සිහිනයක්.ඒ දීපු සහය තුන් ආකාරයක් ගත්තා.
යුද්ධයට අවශ්‍ය අවි, බර අවි නිසි වේලාවට සංග්‍රාම භූමියට සැපයුවා.යුද්ධය තීව්‍ර වෙනකොට චීන්නු බඩු එව්වේ ණයවර ලිපියකුත් නැතිව. මොකද පොඩි ප්‍රමාදයක් කියන්නෙත් අපේ කොල්ලන්ගේ ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන නිසා.
ඒ අතරතුර බටහිර රටවල් තමන් වදපු කොටි සංවිධානය විනාස කරන එක නවත්වන්න ආරක්ෂක කවුන්සිලයේ යෝජනා ගේන්න හැදුවා. රුසියාවයි චීනයයො ලොකු අයියලා දෙන්න වගේ ලංකාව බේරුව. ඔය බාහිරින් යුද්ධය නවත්වන්න තිබ්බ හැම එකක්ම යටපත් කරන්න උදව් කලේ චීනය.
බටහිරයන් එතනින් නැවතුනෙත් නැහැ..අපේ රටට නියමිතව තිබු ණය ප්‍රදාන බොහෝමයක් අහෝසි කලා. යුද්ධයට ඕනෙම වෙලාවේ මුල්‍ය හයිය දුන්නේ චීන්නු. අමතක කරන්න බැරි තවත් රටවල් තමයි රුසියාව සහ පකිස්ථානය.ඒ තමයි සැබෑම මිත්‍රයෝ!

යුද්ධෙන් පස්සෙත් චීන්නු සෑහෙන ව්‍යාපෘති ලංකාවට ගෙනාව. සමහර ඒව නම් ඵලකුත් නැති ඒවා මේ රටට .අපිට ඔය අතරේ ණයත් දුන්නා. ඔය ණය නිසා තමයි සමහරු හූල්ලන්නේ රටම ණය කරනවා කියල. නමුත් තවමත් අපි චීනයට ණය ප්‍රතිශතය 10% අඩුයි. අපි ඊට වඩා ණයයි IMF එකට සහ ADB එකට. පොලොන්නරුවට අංග සම්පූරාන වකුගඩු රෝහලක ප්‍රදානය කලා චීන්නු. චීනා ත්‍රස්තවාදය පෝෂණය කරලා ජන සංහාර කරලා නැහැ. රටවල් වලට බලහත්කාරයෙන් ආර්ථික මොඩල් පටවලා නැහැ.

චීන්නුන්ටත් භූ දේශපාලනයක් තියෙනවා! මොකද මේ ලෝකේ බටහිර එකාධිකාරියට ගහන්න නම් තමන්ගේ ආර්ථිකය දියුනු වෙනකොට සංග්‍රාමික වශයෙන් වැදගත්වන තැන වල ස්ථානගත වෙන්න අවශ්‍යයි. හැබැයි අදටත් උන් ඒක ජාතීන් බේද බින්න කරලා,කොටවලා ලේ සොලවලා කරලා නැහැ.

එහෙනම් ඇයි මේ චීන විරෝධය?
අර ඉහත කී අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට අවශ්‍යයි තමන් සියවස් ගණනක් පුරා ගොඩ නගා ගත්ත ඒ බලධිකාර්‍යය පවත්වා ගන්න. ඉතින් සියුම්ව අපිව පෙල ගස්වනවා පොදු සතුරෙක් ලෙස චීනය දෙස බලන්න. ඒකට මූලික ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හොඳින්ම යොදා ගන්නවා. අද ඔය සිරස කරන්නෙත් ඒක. උන්ගේ බළල් අතක් නිසා තමයි යුද්ධය වෙලාවේ කොටින්ට හෙනටම ඇද්දේ.අද සමහර උන්ට ඒවා අමතක වුනාට රටට ලැදි උන්ට ඒවා මතකයි. රටම යුධ පෙරමුණකට රොද බඳිද්දි සිරස කලේ කොටි සුරතල් කරන එක. අද සිරස නඩත්තු වෙන්නෙත් බටහිර සහ ඉන්දියානු භූ දේශපාලනික න්‍යාය පත්‍රයේ මාධ්‍ය පෙර ගමන්කරුවා විදියට තමයි.සිරස පාර කියන්නේ කොයිබටද කියල්ල දන්නෝ දනිති!

එහි ප්‍රථිඵලයක් නිසා තමයි අද ජව්පෙ අනුර කුමාර වැනි අය මේකට යොදා ගන්නේ. ජවිපේ දේශපාලනය අද මොකක්ද කියන්න අනුරවත් දන්නේ නැහැ.නමුත් උන් ලෝකෙට පෙන්න උස්සන් යන්නේ වාමාංශික මතවාදය. එහෙව් වාමාංශික පක්ෂය කොම්යුනිස්ට් රටකට මෙච්චර ගහන්නෙ ඩොලර් දොල පිදේනි නිස තමයි. අද ජවිපය මතවාදයක් නැහැ. උන්ගේ හෘද සාක්ෂිය විකුණලා, වාමාංශික මතවාදයත් උනා දාල අද ජවිපෙ කරන්නේ බටහිරට ගණිකා වෘත්තියේ යෙදීම. වමට සිග්නල් දාල ජවිපෙ දකුණට හැරෙව්වේ ඔය ගිරිය පුප්පන ඇස් ගෙඩි ලොකු කරන අනුර කුමාර.

අවසානයේ ඉන්දිය කොම්පැණිය කෝවිඩ් එන්නත් මිලියන12ක ඇණවුම දෙන්න බැහැ කියලා හෙනයක් වගේ පොල්ලක් තිබ්බම ඒ අවස්ථාවෙත් පිහිටට ආවේ චීනය. අද තව එන්නත් ලක්ෂ 5ක් එනවා. ඒ අතරේ ජුනි අග වෙනකොට එන්නත් ලක්ෂ 130ක් ලංකාවට එවන්න චීන්නු ලහි ලහියේ වැඩ.

අපි ඉතින් මේ ලණු කාලා අපිට තීරණාත්මකම අවස්ථාවල පිහිටටා ආපු මිත්‍ර චීනයට පහර ගහනවා. හැබැයි අපිට නොසෑහෙන්න ඇරපු උන්ව උජාරුවෙන් වැලඳ ගන්නවා!
🙏🙏🙏
(C) Beyond – 2020 – ඔබ්බට

රට වැහිල්ල මහ – ඇදුරු නලින් ද සිල්වා මහතා

රට වැහිල්ල

අපි නැවතත් වරාය නගරය පනතට හා කොවිඩ් 19 වසංගතයට යමු. ඊයේ ජනරජ දිනය නිසා ඒ ගැන කතා කරන්න සිදු වුණා. නැවතත් වෙසක් දිනයේ වරායෙන් හා වසංගතයෙන් ඉවත් වෙමු. වරාය නගර පනත ගැන තවමත් විපක්‍ෂය කියන්නේ වගන්ති විසිපහක් සංශෝධනය කිරීමට පෙර තිබූ තත්වය ගැන. විපක්‍ෂයට යාවත්කාලීන වෙන්න බැහැ. ඒ අතර ආණ්ඩුව එන්නත් ලබා ගැනීමට ක්‍රියා නොකර මිථ්‍යා මත පසුපස ගියා රනිල්දාස කියනවා.

මිථ්‍යා මත කියන්නෙ මොනව ද කියල පඬි නැට්ටකුට විස්තර කරන්න, නිර්වචනය කරන්න, අර්ථකථනය කරන්න හරි වෙන මොකක් හරි කරන්න පුළුවන් ද? මිථ්‍යාවේ විරුද්ධය බටහිර විද්‍යාව ද? රනිල්දාස තඹුත්තේගමින් පැමිණි ඊනියා ගැමි උගතකු වෙන්න ඕන. ඔහු අමරසේකරගෙ උගත් ගැමි තරුණයකු ද කියන්න මා දන්නෙ නැහැ. ඒ කුමක් වුවත් බටහිර විද්‍යාව කියන්නෙ දහසක් අදහස් ඉදිරිපත් කළ විට අදහස් දෙක තුනක් හරි යන නැත්නම් වැඩ කරන දැනුම් පද්ධතියක්. ඊනියා මිථ්‍යා මත කියන්නෙත් වැඩ කරන මත නැත්නම් අදහස්. නැත්නම් මෙච්චර කාලයක් ඒවා පවතීයැ. බටහිර විද්‍යාවේ අදහස් වියුක්තයි. ඊනියා මිථ්‍යා මතවල ඒ තරම් වියුක්ත බවක් නැහැ. අර කැලණිය විශ්වවිද්‍යාලෙ රසායන විද්‍යා මහාචාර්යවරයාට හැරෙන්න වෙන කාටවත් ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර වෙලා නැහැ. එහෙත් ඔය සක්කරයා සහ තවත් දෙවිවරු ඇතැමුන්ට ගෝචර වෙලා තියෙනවා.

බටහිර විද්‍යාවට එසේ ගෝචර වීම තේරුම් ගන්න බැරි විට, ඒ කියන්නෙ වෙනත් උපකල්පන මත පිහිටල විස්තර කරන්න බැරි වුණා ම, ඒව මනෝ භ්‍රාන්ති කියා කියනවා. රනිල්දාස හා අනෙක් බටහිර විද්‍යාඥයනුත් එසේ කියනවා ද කියා මා දන්නේ නැහැ. එහෙම නම් සක්කරයා එක්ක සහම්පති බ්‍රහ්මයා එක්ක සහ තවත් නොයෙකුත් දෙවියන් එක්ක සන්නිවේදනය කර ඇති බුදුහාමුදුරුවන්ටත් මනෝ භ්‍රාන්තියක් තියෙන්න ඇති. සංඛ අමර්ජිත්ගෙ වචනවලින් නම් උම්මන්තකභාවයක් තියෙන්න ඇති. අපේ බෞද්ධයන් මේ වෙසක් දවස්වල බටහිර විද්‍යාව පසුපස ගිහින් පවු සිද්ධ කර ගන්නවා ද? රනිල්දාසලාට නම් පින් පවු නැති හින්ද ප්‍රශ්නයක් නැහැ. රනිල්දාසට කියන්න පුළුවන් ද මාක්ස්වාදයෙ වැඩ කරපු අදහසක් දෙකක්. නිකම් දැන ගැනීම පිණිස.

ආණ්ඩුව එන්නත් ගන්න කළ උත්සාහය තානාපතිවරු දන්නවා. අද ලෝකයේ හැමෝට ම එන්නත් අවශ්‍ය වෙලා. ඒත් අවශ්‍ය ප්‍රමාණයට එන්නත් නිපදවන්නේ නැහැ. පුළුවන් රටවල් එන්නත් ලබා ගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදන නිකුත් කරනවා. එපමණයි. අද ඉන්දියාවෙත්, නේපාලයෙත්, බංග්ලා දේශයෙත් එන්නත් අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්න නැහැ. බටහිර රටවල් නිකම් කතා කරනවා විතරයි. ඔවුන් දුප්පත් රටවලට දෙන ආධාරය කුමක් ද? රනිල්දාසට හරි සජිත්ට හරි බැරිද කාට හරි දුරකතනයෙන් කතා කරල එන්නත් ටිකක් ලබා දෙන්න. ඒත් ඔය එන්නත් ගැනත් වැඩි විශ්වාසයක් තියා ගන්න එපා. ඕව මාස නවයේ එන්නත්. කමක් නැහැ නැති කමට විද ගන්න.

අද ආණ්ඩුව ඊනියා ආර්ථික විද්‍යාඥයන් හා ඊනියා වෛද්‍ය විශේෂඥයන් අතර හිර වෙලා. රට වහනවා ද? බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා රූපවාහිනියට ඇවිල්ල අප බය කෙරුවට ජනාධිපති ඉස්සරහ ඒවා කියන්නෙ නැතිලු. ජනාධිපති බය කරගන්න බැරි ද? බටහිර වෙද මහත්තුරුන්ගෙ එක් අංගයක් තමයි රෝගියා හා ඥාතීන් බය කිරීම. පාරම්පරික වෙද මහතුන් නම් එහෙම රෝගීන් බය කරන්නෙ නැහැ.

දැන් කොච්චර කාලෙකට රට වහන්න ද? පහුගිය අවුරුද්දෙ කොළඹ මාස දෙකකට කිට්ටු කාලයක් ඇඳිරි නීති දාල තිබුණා. හැබැයි ඒ කාලෙ අර රනිල්දාසගෙ මිථ්‍යා මතත් රටේ තිබුණා. දැන් සම්පරීක්‍ෂණයක් කරල බලමු ද ඒ කාලෙ රෝගය එතරම් පැතිර ගියෙ නැත්තෙ ඇඳිරි නීති හින්ද ද ඊනියා මිථ්‍යා මත හින්ද ද කියලා. අර අනුරාධපුරේ පරීක්‍ෂණය වගේ පරීක්‍ෂණයක් කරමු ද? කා ලවුව හරි වාර්තාවක් ලියා ගන්න බැරියැ. පහුගිය අවුරුද්දෙ ඇඳිරි නීති පැනවීම නිසා ආර්ථිකය කොපණ කඩා වැටිල ද කියල තවම ඊනියා ආර්ථික විද්‍යාඥයකු කිවුවෙ නැද් ද?

ඔය සති දෙකක් රට වැහීමේ කතාවේ පදනම කුමක් ද? සති දෙකක් ඇත් ද? ආසාදිතයකුට (රෝගියකුට නොවෙයි) වයිරසය දින පහක පමණ කාලයක් තුළ පතුරවන්න පුළුවන් කියනවා. දවස් තුනේ සංචරණ සීමා මදි කියන්නෙ ඒ නිසා. වයිරසය තවත් අයකුට ආසාදනය වී රෝග ලක්‍ෂණ පහළ වීමට තවත් දවස් පහක් පමණ යනවලු. එතකොට දවස් දහයයි. තවත් දවස් කිහිපයක් අත් වාසියට වගේ එකතු කළොත් සති දෙකක් කියල කියන්න පුළුවන්. දැන් ඔය උපකල්පන ඔය විධියට ම වැඩ කරනවා ද?

උපකල්පන හා නිගමන අතර ඇත්තෙ ඇරිස්ටෝටල්ගෙ න්‍යාය මත පදනම් වෙලා කරන තර්ක මත පදනම් වූ සම්බන්ධයක්. උපකල්පන වැරදුනොත් මුල් ආසාදිතයන් රෝගි වුණෙත් රෝහලකට ගෙන යන්න පමා වුණොත් ආදී වශයෙන් තවත් අවස්ථා සලකන්න පුළුවන්. බටහිර ගණිතයෙ දි නම් ඒ ඒ අවස්ථා වෙන වෙන ම සලකනවා. බටහිර වෙද කමේ කොහොම ද කෙරෙන්නෙ? බටහිර වෙද මහත්තුරු හොඳ ශිල්පීන් වෙන්න පුළුවන්. සිප්සතර නැත්නම් ශිල්ප ශාස්ත්‍ර කියා කොටස් දෙකක් තියෙනවා. ලංකාවෙ බටහිර වෙද මහතුන්ගෙ ශාස්ත්‍ර පැත්ත කොහොම ද? රනිල්දාසට කියල සාස්තරයක් අස්සවමු ද?

ඔය රට වැහිලි ඕන වෙන්නෙ ප්‍රතිකාර නැති හින්ද නෙ. එන්නත හා රට වහන එක ප්‍රතිකාර නැති එකට යම් ප්‍රමාණයකට විසඳුමක් වෙන්න පුළුවන්. බටහිර වෙද මහත්තුරු අනෙක් වෙදකම්වල ප්‍රතිකාරවලට ඉඩ දෙන්නෙ නැත්තෙ ඇයි? ඒ අයගෙ තත්වයට කැළලක් වෙයි කියල ද? බටහිර වෙදකමට ප්‍රතිකාර නැති වුණත් තවමත් අපි බටහිර වෛද්‍ය ආධිපත්‍යයට යට වෙලා. ඒ අස්සෙ බටහිර දේශපාලන විද්‍යාඥ, පරණ සුවාදීන, පරණ ආණ්ඩුකාර ධම්ම දිසානායක විවෘත ලිපියකින් මහින්ද රාජපක්‍ෂට කියල වෛද්‍ය උපදේශ ලබා ගන්න කියල. නැහැ මහින්දගෙ ලෙඩකට නොවෙයි වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියන්නෙ. කොවිඩ් ලෙඩේට. මේ වෛද්‍ය උපදේශ බටහිර බව ලිපියෙන් පැහැදිලි වෙනවා. ඒත් බටහිර වෙද මහතුන්ට රට වහන්න කියනවා හැරෙන්න දෙන්න පුළුවන් උපදේශය මොකක් ද?

මහින්ද ධම්මට නම කියා කතා කරනවලු. මා නම් මහින්ද හතර පස්වතාවකට වඩා හමුවෙලා නැහැ. මට ඔහු සමග සමීප ඇසුරක් නැහැ. ඔහු මට නම කියා කතා කරළත් නැහැ. මා ඔහුට යමක් කියන්න යන්නෙත් නැහැ. ඔහු ඒ කිසිවක් අහන්නෙ නැති බව මා දන්නවා. මා බටහිර කිසිම විද්‍යාඥයකු තබා උගතකු, බුද්ධිමතකු, වියතකුවත් නො වෙයි. ගුණදාස අමරසේකරගෙන් අහන්න. ඒත් මට ජනතාවට කියන්න දෙයක් තියෙනවා. ටික දෙනකු හරි අහාවි. අවශ්‍ය නම් එන්නත ලබා ගන්න. ඒ අතර වැඩි දෙයක් කරන්න බැරි නම් ඉඟුරු ගම්මිරිස් සහ කුළු බඩු ආහාරයට යොදා ගන්න. දුම් හට්ටිය අල්ලන්න. කැඳ බොන්න. හැකි තාක් ධාර්මික වෙන්න. කොවිඩ් 19 කියන්නෙ සෙම කිපීම නිසා හැදෙන රෝගයක්. මට නම් තේරෙන්නෙ ඒක හෙම්බිරිස්සාවෙ වැඩිමහල් සොහොයුරකු කියා. මා බයියකු පමණයි. බටහිර විද්‍යාඥයකු නො වෙයි.

ඉංගිරිසින්ගෙන් නිදහස් වීම හා ඉංගිරිසින්ට හිනාවුණු සරා ගොයියා

ඉංගිරිසින්ගෙන් නිදහස් වීම හා ඉංගිරිසින්ට හිනාවුණු සරා ගොයියා

අද ජනරජ දිනය. අපේ නිදහස් ගමන් මගේ වැදගත් දිනයක්. 1817 පටන් ගත් අපේ නිදහස් සටනේ වැදගත් දිනයක්. අවුරුදු හතළිස්නවයකට පෙර අද වැනි දවසක තමයි අපි ඩොමීනියන් තත්වයෙන් නිදහස් වුණෙ. 1948 දි අපට ලැබුණෙ ඩොමීනියන් තත්වයේ නිදහසක්. අපේ රජු හැටියට එංගලන්තයේ හයවැනි ජෝර්ජ් පිළිගැණුනා. ඔහුගේ අග්‍රාණ්ඩුකාරයා කොළඹ හිටියා. පස්සෙ දෙවැනි එලිසබෙත් අපේත් රැජන හැටියට පිළිගැණුනා. 1948 දිත් අපේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්‍ෂක ප්‍රතිපත්තිය තීරණය කෙරුණෙ එංගලන්තයෙන්. කටුනායක හා ත්‍රිකුණාමලයෙ කඳවුරු තිබුණෙ එංගලන්තය යටතේ.

1956 දි අපි කටුනායක හා ත්‍රිකුණාමලය කඳවුරු පවරා ගත්තා. ඒත් අපේ රැජන වුණෙ එලිසබෙත් වින්ඩ්සර්. ඉන් අවුරුදු දහසයකට පස්සෙ 1972 දි තමයි අපට ජනාධිපති කෙනෙකු ලැබී අප ජනරජයක් වුණෙ. මේ අපේ නිදහස් සටනෙ පියවර. 1972 දි අප ජනරජයක් වීම ඉතා වැදගත්. අප ඉන්පසු එංගලන්තයෙ සාමි මන්ත්‍රී මණ්ඩලයෙ ප්‍රිවි කවුන්සිලය නමින් හැඳින්වුණු උසාවියට යටත් වුණෙ නැහැ. ඊට පෙර මෙරට ඉහළ ම උසාවියේ තීන්දුවකට විරුද්ධ ව සාමිමන්ත්‍රී මණ්ඩලයෙ උසාවියට අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. රාජ්‍ය භාෂා පනත සම්මත වීමෙන් පසුව එක් දෙමළ රටවැසියකු එයට විරුද්ධ ව එසේ අභියාචනයක් ඉදිරිපත් කරල ජයගත්තා.

1962 හමුදා කුමන්ත්‍රණයට මෙරට අධිකරණයෙන් වැරදි කරුවන් වී සිර දඬුවම් නියම කෙරුණු හමුදා හා පොලිස් නිලධාරීන් එංගලන්තයට අභියාචනා කරල යම් ශිල්පීය කරුණක් උඩ නිදහස ලබා ගත්තා. බණ්ඩාරනායක මහත්මියගෙ ආණ්ඩුව පෙරලන්න හදපු නිලධාරීන්ටත් එංගලන්තය එසේ පිහිට වුණා. රවි කරුණානායකගෙ සීයා කෙනකුත් ඒ නිලධාරීන් අතර හිටියා. ඔවුන් අබෞද්ධයන් වූ බවත් මතක් කරන්න ඕන.

1972 දි අප මේ කරුණුවලින් නිදහස් වුණා. ඒත් අද ශ්‍රී ල නි පක්‍ෂයට හැර වෙන කිසිවකුටවත් ඒ ගැන ගාණක් නැහැ. මේ දිනවල කොවිඩ් ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා නොවෙයි අපට ජනරජ දිනය අමතක වෙලා තියෙන්නෙ. කාලෙක ඉඳලා 1977 ජේ ආර් බලයට පත්වුණාට පස්සෙ තත්වය එහෙමයි. බණ්ඩාරනායක මැතිණියගෙ කාලෙ ජනරජ දිනය නිවාඩු දිනයක් වුණා. ජේ ආර් ඊනියා ජාතික දිනයක් කියල නම් කරල පෙබරවාරි හතර නිවාඩු දිනයක් බවට පත් කළා. ජනරජ නිවාඩු දිනය අවලංගු කරලා. 1994 චන්ද්‍රිකා බලයට පත්වුණා කියල තත්වයෙ වෙනසක් වුණෙ නැහැ. 2005 මහින්ද බලයට පත්වෙලත් වෙනස් කෙළේ නැහැ.

චන්ද්‍රිකා රටට මොන ද්‍රෝහිකම් කළත් අපට බණ්ඩාරනායකලා අමතක කරන්න බැහැ. ජනරජ දිනය කොහොමටත් අමතක කරන්න බැහැ. අද උදේ මියන්මාහි ලංකා තානාපති පරිශ්‍රයෙහි මා ජාතික කොඩිය ඔසවා ජනරජ දිනය සැමරුවා. එලිසබෙත් වින්ඩ්සර් අපේ රැජන ලෙස පිළිගන්න තීරණය කළ දවසට වඩා ඇය අපේ රැජන ලෙස නොපිළිගැනීමට තීරණය කළ දවස අපට වැදගත් වෙන්න ඕන.

එහෙත් මෙයින් කියන්නේ නැහැ 1972න් පසු අපේ නිදහස සම්පූර්ණ කියල. අපට තව බොහෝ දුර යන්න තියෙනව. ඉංගිරිසින්ගෙන් නිදහස් වෙන්න ඉංගිරිසි දැනුමේ ආධිපත්‍යයෙන් නිදහස් වෙන්න ඕන. ඒ කියන්නෙ අප ඉංගිරිිසි දැනුම සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂෙප කරනවා කියන එක නොවන බව අවවර්ධිත මනස් ඇති පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා කියන්න ඕන. ඉංගිරිසින් ඔවුන්ගේ දැනුම රාජ්‍ය පරිපාලනය ආදිය විසින් අප තළා පෙළනු ලැබෙනවා. මේ පරිපාලනයට බලපත්‍රවලට අපේ ගැමියන් හිනාවුණා.

ඒ සඳහා කදිම උදාහරණයක් තමයි සරා ගොයියා ගීතය. මා 1956 තීරගත වුණු දෛව විපාකය චිත්‍රපටය නරඹා නැහැ. සරා ගොයියා ගීතයේ පසුබිම දන්නෙත් නැහැ. එහි ගීත රචකයා කවුද කියා දන්නෙත් නැහැ. ඒත් මා හිතන විධියට ඒ ගීතයෙන් අපේ ගැමියන් අර රෙගුලාසි මේ රෙගුලාසිවලට හිර වුණු රාජ්‍ය පරිපාලනයට හිනහ වෙන ආකාරය මැනවින් කියනවා. ඒ මගේ ඊනියා කියවීමක් නොවෙයි මට දැනෙන හිටි. ගීත රචකයා එසේ සිතුවා කියා මා කියන්නේ නැහැ.

ඒත් ඉංගිරිසින් ශූරයන්. අදත් ඔවුන් ලෝකය ම පාලනය කරන්නේ ඔවුන්ගේ දැනුම් පද්ධතියේ ආධිපත්‍යයෙන්. ඔවුන් තම රටේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක කරමින් අපට සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිපදින්න කියනවා. ඔවුන් දන්නවා දැනුම අනෙක් අයට අවැඩක් වන ලෙසත් යොදා ගන්න. ඔවුන් මාක්ස්ට හා වෙනත් එවැනි අයට එංගලන්තයේ වාසය කිරීමට ඉඩ දුන්නා. ඒ ඊනියා භාෂණයේ නිදහසක් වෙනුවෙන් නො වෙයි. තම රටේ මාක්ස්වාදය පරිපාලනය කරන්න ඔවුන් දැන සිටියා. ඔවුන් තම රටේ පදිංචි වීමට ඉඩ දුන් මාක්ස් වෙනත් රටවල දී යොදා ගත්තා. අපට මාක්ස්වාදය ලැබුණෙත් මූලික වශයෙන් එංගලන්තයෙන්. පිලිප් ගුණවර්ධන එක්සත් ජනපදයට ගිය බව ඇත්ත. ඒත් ඔහුත් ඉගෙන ගත්තෙ එංගලන්තෙන් ලැබුණු මාක්ස්වාදය.

මාක්ස්වාදය අපට අයිතිවාසිකම් කියා දුන්නා. ඊනියා විප්ලවයක් ගැන කිවුවා. අපට යුතුකම් කියා දුන්නේ නැහැ. අද මෙරට බටහිර ක්‍රමයේ දියුණුවක් අත්පත් කර ගැනීමට ඇති එක් බාධාවක් වනුයේ මාක්ස්වාදයයි. ඊනියා සමාජවාදය බටහිර සංවර්ධනය තවත් ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මා බටහිර ක්‍රමයේ සංවර්ධනයක් වෙනුවෙන් පෙනී සිටින බව ඉන් කියැවෙන්නේ යැයි නිගමනය කළ හැක්කේ පඬි නැට්ටන්ටයි.

ඉංගිරිසි දැනුමේ ආධිපත්‍යය නිසා මෙරට කොවිඩ් රෝගීන් මිය යනවා. බටහිර වෙද මහත්තුරුන් වෙද හාමිනේලා දන්නේ රට වහන්න කීමට පමණයි. ඔවුන් දන්නා ප්‍රතිකාරයක් නැහැ. ඒත් ඔවුන් ප්‍රතිකාරයක් දන්නා අයට ප්‍රතිකාර කරන්න දෙන්නෙත් නැහැ. රෝගීන්ට තමන් කැමති වෙදකමක් කරගන්න දෙන්නෙත් නැහැ. ඔවුන්ට ඇත්තේ එක ම එක දෙයක් පමණයි. ඒ ඉංගිරිසි දැනුමේ ආධිපත්‍යය. සරා ගොයියා ඇසූ ආකාරයට අපට අහන්න වෙලා තියෙන්න බෙහෙතක් ගන්නත් බෙහෙතක් දෙන්නත් ලයිසන් ගන්නට ඕන ද රළහමි කියලයි.
මහ අඇදුරු නලින් ද සිල්වා මහතා

වරාය නගරය කුමක් සඳහාද – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

වරාය නගරය කුමක් සඳහා ද?

වරාය නගර පනත තුනෙන් දෙකකට ආසන්න ඡන්දයකින් සම්මත වෙලා. ඒ විජයදාස රාජපක්‍ෂ විධුර වික්‍රමනායක නැතිව. ඒ කියන්නෙ විරුද්ධ පක්‍ෂ මන්ත්‍රීවරුන්, විශේෂයෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පනතට පක්‍ෂව ඡන්දය දීලා. මට පේන විධියට ආණ්ඩුවට අවශ්‍ය නම් අවශ්‍ය අවස්ථාවක තුනෙන් දෙක ලබා ගැනීමට පුළුවන්. ඒ කියන්නෙ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හරි අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න හරි පුළුවන්. ඒ ගැන පසුව කතා කරමු.

වරාය නගරය හා කොවිඩ් වසංගතය එක ම සංවර්ධන කාසියේ දෙපැත්ත බව ඊයේ සඳහන් කෙරුණා. මා එයින් අදහස් කෙළේ සංවර්ධනය නොවී සිටිය යුතු බව නො වෙයි. එහෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ අපට අවශ්‍ය සංවර්ධනය කුමක් ද යන්න යි. අර කොළඹ විශ්වවිද්‍යාලෙ හිටපු සුවාදීන ත්‍රස්තවාදීන් (ධර්මසිරි ඔවුන්ගේ නායකයා වුණා) හා ජ වි පෙ ත්‍රස්තවාදීන් හිතන් හිටියෙ අපට අවශ්‍ය බරකරත්තෙන් ආපහු අනුරාධපුරයට යන්න කියා. ඔවුන්ට ඒ නිගමනයට පැමිණීමේ දී සූරිය ගුණසේකරගේ ලිපි බලපාන්න ඇති. එකල අමරසේකර, ගුණසේකර, ධර්මසේකර යන ත්‍රිත්ව ශිඛර ජාතික චින්තනය ලෙස තේරුම් ගැනීමේ ප්‍රවණතාවක් තිබුණා. අප වෑයම් කරන්නේ අපේ සාරධර්ම නැති කර ගන්නෙ නැතිව බටහිර දියුණුවේ හා පොදුවේ දැනුමේ යම් යම් අංග අවශෝෂණය කර ගැනීමට.

වරාය නගරය බටහිර ක්‍රමයේ සංවර්ධනයක් ඇති කර ගැනීම සඳහායි. කොවිඩ් 19 බටහිර ක්‍රමයේ සංවර්ධනයක ප්‍රතිඵලයක්. ප්‍රතිඵලයක් කියන එකෙන් අදහස් කරන්නේ බටහිර සංවර්ධනය කොවිඩ් 19 කරා අප ගෙන ගියා කියන එක නොවෙයි. බටහිර සංවර්ධනයට කොවිඩ් 19ට මුහුණ දෙන්න බැහැ. කොවිඩ් 19 ඉදිරියේ බටහිර වෙදකම අසරණ වෙලා. සමහර බටහිර විශේෂඥ වෙද මහතුන් හා වෙද හාමිනේලා කියන දේ අහගෙන ඉන්න කොට හිතෙන්නෙ බටහිරයන් අපේ විශේෂඥයන්ගෙන් උපදෙස් ගන්නවා කියා. අර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ නෝන සමහර විට බටහිර ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්ට උගන්වනවා වෙන්න පුළුවන්. මේ අය දෙන එක ම උපදෙස රට වහන්න කියන එක. ඒත් ආර්ථික විද්‍යා ලොක්කා ලක්‍ෂමන් කියන්නෙ වෙනත් දෙයක්. මේ ඔක්කොම විශේෂඥයො. එන්නත් ගත් අම්මලා මව්කිරි දිම ගැන ලිපියක් මා අද (මැයි 22 නිව් සයන්ටිස්ට් සඟරාව) කියෙවුවා. මා දන්නෙ නැහැ මෙරට විශේෂඥ වෙද මහත්තුරු ඒ ලිපිය කියවල තියෙනවා ද කියා. මා මෙය ලියන්නේ මව්කිරි දීම ප්‍රශ්නයක් කරන්න නො වෙයි. මව්කිරි අගුණයක් නො වෙයි. ඒත් කෝ අර සායනික නැහැසුම්? ධම්මික වෙද මහතාට පනවපු නීති කෝ?

මා හිතන්නේ මෙරට විරුද්ධ පක්‍ෂ වරාය පනත වැරදි කොණෙන් අල්ලා ගෙන කියා. අද බොහෝ දෙනා කතා කරන්නේ වරාය නගරය චීන කොලනියක් වෙයි ද කියා. එහෙත් මට තේරෙන විධියට ආණ්ඩුව වරාය නගර පනත ගෙනාවේ වරාය නගරයට ආයෝජකයන් කැඳවා ගැනීමට මිස වෙනත් කාරණයකට නො වෙයි. ආණ්ඩුව පනතින් කිරීමට උත්සාහ කෙළේ ආයෝජකයන්ට වාසි වෙන විධියට දැඩි කම්කරු හා වෙනත් නීති ලිහිල් කිරීමටයි.

මෙරට බෙහෝ දෙනාට බටහිර ක්‍රමයේ සංවර්ධනයක් අවශ්‍යයයි. එය ඊනියා ලිබරල් දෙවැනි ඉනිමට විරුද්ධ අයටත් අවශ්‍යයයි. මා හිතන්නේ දෙරණේ දෙවැනි ඉනිමටත් අවශ්‍යයයි කියා. එහෙත් බටහිර ක්‍රමයේ සංවර්ධනයක් ඇති කිරීමට ආයෝජකයන් අවශ්‍යයි. නාථ දෙවියන් හරි වෙනත් සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන් හරි එහි දී පිහිට වන්නේ නැහැ. ආණ්ඩුවේ අවශ්‍යතාව මෙරටට ආයෝජකයන් කැඳවා ගැනීමයි. දෙවියන් කැඳවා ගැනීමට නො වෙයි. පන්සල ළඟ ඇලේ මාළු බාන්න එපා කී විට හාමුදුරුවන්ට පහර දී අපවත් කරවන, දෙමව්පියන්ට පහර දෙන, තම වයසක අම්මට අතවර කරන, දෙමව්පියන්ට නොසලකන, දරුවන් වැසිකිළි වළේ දමන, කාමාශාව දරු සෙනෙහසට වඩා වැදගත් ගැහැණුන් මිනිසුන් ඉන්න රටකට දෙවියන් ඒවි ද? අප වෙනුවෙන් මෙතරම් කුකුළන්, හරකුන්, ඌරන් මරණ රටකට දෙවියන් ඒවි ද?

අඩු තරමින් ආයෝජකයන් ගෙන්වා ගැනීමේ ආණ්ඩුවේ අරමුණ කියා හිතනවා. 1978 සිට ආයෝජන මණ්ඩලය ආයෝජකයන් කැඳවා ගැනීමේ දී එතරම් සාර්ථකභාවයක් පෙන්නුම් කර නැහැ. ආයෝජකයන් ආයෝජනය කිරීමට කැමති රටවල් ලැයිස්තුවේ ලංකාව තියෙන්නෙ ඉතා පහළින්. ලංකාව එහි උඩට ගන්නෙ කොහොම ද? බටහිර ක්‍රමයේ දියුණුවක් අපේක්‍ෂා කරනවා නම් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන. මට තේරෙන හැටියට මේ රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය, කම්කරු නීති, වෘත්තීය සමිති, අධිකරණය ආදිය ගැන හිතන විට ලංකාව ලැයිස්තුවේ උඩට ගන්න එක කරන්න බැරි දෙයක්. වරදකට හරි සේවකයකු අස් කළහොත් වෘත්තීය සමිති සටනට එළඹෙනවා.

එහෙත් වරදක් නැතිව ජාතික චින්තනය ඉගැන්වීමේ ඊනියා වරදට ගාමිණී ලක්‍ෂමන්ලා හා ඩව් ඩී ලක්‍ෂමන්ලා එකතු වී ඊළම්වාදියකු ලවා බොරු චෝදනා ගොනු කර තමන්ගේ ඊනියා ගෘහස්ථ පරීක්‍ෂණයකින් පසු මා සේවයෙන් නෙරපූ විට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති නම් කිසිම සටනක් කෙළේ නැහැ. තම සමිතියේ නොව සමිති සම්මේලනයේ සභාපති අස්කළ විට කිසිම සටනක් නොකළ පිරිසක් ලෝකයේ ම වේ නම් ඒ ලංකාවේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු වෙන්න ඕන. එහෙත් ඔවුන් එකී සභාපතිගේ නායකත්වයෙන් දිනාගත් වැටුප් වරධන නම් ප්‍රතික්‍ෂෙප කෙළේ නැහැ. ඔවුන් ලෝක විශේෂඥයන්. අර ලෝකය හා ලෝකයෝ වැඩ සටහනට හොඳයි.

අවුරුදු තිහකට පෙර ඒ වැටුප් අරගලය සඳහා නායකත්වය දුන් කමිටුවවත් සමස්තයක් ලෙස තම සභාපති වෙනුවෙන් කිසිවක් කළ යුතු යැයි සිතුවේ නැහැ. ඒ කමිටුවේ සිටි බොහෝ දෙනකු අද එක්කෝ විශ්‍රාම ගිහින් නැත්නම් මිය ගිහින්. සමහරුන්ගේ විශ්‍රාම යෑම හා මිය යෑම අතර එතරම් වෙනසක් නැහැ. මා දන්නා තරමින් ඒ කමිටු සාමාජිකයන්ගෙන් අද සේවයේ සිටින එක ම තැනැත්තා මහාචාර්ය ජනක ද සිල්වා වෙන්න ඕන. මට මතක හැටියට එකල ඔහු කණිෂ්ඨ ආචාර්යවරයකු ලෙස වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයක් නියෝජනය කළා. ජනක මට විරුද්ධ වී යැයි මා කියන්නේ නැහැ. ඒත් වෙනත් අය ගැන, විශේෂයෙන් ප්‍රධානීන් ගැන මට එහෙම කියන්න බැහැ.

ඒ කෙසේ වෙතත් ලංකාවේ අනෙක් වෘත්තීය සමිති විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය වගේ ක්‍රියා කරන්නේ නැහැ. ආයෝජකයන් ලංකාවට නොඑන්නට ප්‍රධාන හේතු මා කලින් සඳහන් කළා. ආණ්ඩුව තැත් කෙළේ මුළු ලංකාව ම අර ලැයිස්තුවේ උඩට ගන්න බැරි නම් අඩුම තරමින් එක් කොටසක් උඩට ගන්න. ඒ කොටස අලුතෙන් ඇති කළ වරාය නගරය. ඒ සඳහා තමයි වරාය නගර පනත ගෙනාවේ. ඒත් වරාය නගරය ලංකාවේ කොටසක් ද කියන ප්‍රශ්නය නම් මා තවමත් නඟනවා. (මතු සම්බන්ධයි)

වරාය නගරය සහ සංවර්ධන කරුමය – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

වරාය නගරය කොවිඩ් හා සංවර්ධන කරුමය

මෙය තරමක් දීර්ඝ ලිපියක්. එක් දවසකින් අවසන් කරන්න බැහැ. අද පාර්ලිමේන්තුවේ දී වරාය නගර පනත සම්මත වේවි. ආණ්ඩුව දැනටමත් තීරණය කරල ඉවරයි යම් යම් සංශෝධන ගෙනෙන්න. පනත ඉක්මණින් සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍යයි. විපක්‍ෂය කියන්නේ කොවිඩ් 19 වසංගතය වර්ධනය වෙමින් තියෙන තත්වයක පනත කඩිමුඩියේ සම්මත කර ගැනීම අශෝභන ය කියා. එහෙත් වරාය නගරයත් කොවිඩ් 19 වසංගතයත් එක ම සංවර්ධන කාසියේ දෙපැත්ත.

වරාය නගරයක් අපට අවශ්‍ය ඇයි? අප කොවිඩ් 19න් බැට කන්නේ ඇයි? අපි අපේ නොවන නිසා කිවුවොත් හරිය කියා හිතනවා. අපි කලක් බටහිරයන්ගෙ තව ටික කලකින් චීනුන්ගෙ. ඒ චීන සභ්‍යත්වය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වය පරාජය කිරීමෙන් පසුව. එතකොට අර පඬියන්ගෙ පශ්චාත්නූතනත්වයට මොකද වෙන්නෙ. සාමාන්‍ය සිංහලෙන් කියනවා නම් හැඳි ගෑවිලා යනවා.

අපට වරාය නගරය නැත්නම් එම්සීසී ඕන. අපට කාගෙ හරි පිහිටක් ඕන. අපට තනිව නැගිටින්න තියා දණ ගාන්නවත් බැහැ. අපට සංවර්ධනය වෙන්න ඕන. සංවර්ධනය වෙනව කියන්නෙ එක්සත් ජනපදයක් බැරි නම් සිංගප්පූරුවක් වෙන එක. ඒ අතර අපට අයිතිවාසිකම් ඕන. වෘත්තීය සමිති බලවත් වෙන්න ඕන. කම්කරු නීති තදින් තියෙන්න ඕන. අපට යුතුකම් ගැන කියන්න අවශ්‍ය නැහැ. කාර්යාලයේ වැඩ හරියට කරනවා ද කියා හොයා බලන්න බැහැ. එහෙම හොයන එක අපේ නිදහසට බාධාවක්.

අපට ඉහළ ම ප්‍රජාතන්ත්‍රවාදය ඕන. ඒක අද දියුණු යැයි කියන රටවල තියෙන ප්‍රජාතන්ත්‍රවාදයටත් එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන්න ඕන. ඒ රටවල් දියුණු වෙන කාලෙ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය අපට වැඩක් නැහැ. වැඩිම වුණොත් එය ඉතිහාස පොතට සීමා වෙන්න ඕන. එංගලන්තෙ ඉතිහාසෙ නොවෙයි ලී ක්වාන් යටතේ සිංගප්පූරුවෙ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත් දැන ගන්න ඕන නැහැ. අපට භාෂණයේ නිදහස ඕන. මුහුණු පොතේ ඕන එකක් ලිවීමේ නිදහස ඕන. ඒ අතර අපට සිංගප්පුරු සංවර්ධනයත් ඕන. මියන්මාහි මුහුණු පොත තහනම් නිසා මා නිදහසේ ඉන්නවා.

මට තේරෙන හැටියට වරාය නගරය ආයෝජකයන් ගෙන්වා ගැනීමට කළ තැතක්. අපට ආයෝජකයන් අවශ්‍ය වෙලා තිබුණෙ කාලෙක ඉඳලා. අර ආයෝජන මණ්ඩලය ඇති කෙරුවෙ 1978 දි මහා කොළඹ ආර්ථික කොමිසම නමින්. ඒ ජේ ආර් ජයවර්ධනලගෙ වැඩ. ඒ කාලෙ ආර් ප්‍රේමදාස අගමැති. ලලිත් ඇතුලත්මුදලි වගේ ඔක්ස්ෆර්ඩ් බුද්ධිමතුන් ගාමිණී දිසානායක වගේ අති දක්‍ෂයන් ආණ්ඩුවෙ හිටියා. විවෘත ආර්ථිකය ගැන කියා දෙන්න තවත් බුද්ධිමතකු වුණු පැරණි සිවිල් සේවකයකු වුණු රොනී ද මැල් හිටිය. මට මතක හැටියට රොනීගෙ උපදෙසින් ස්ථිර තැන්පතුවලට 20%කට වැඩි පොලියක් ගෙව්වා.

1978 ඉඳල අද වෙන විට අවුරුදු හතළිහකට වැඩියි. ඒ කාලයෙ ලංකාවට ආයෝජකයන් කී දෙනකු ඇවිත් තියෙනවා ද? ආයෝජන කීයක් ඇති වෙලා තියෙනවා ද? මෙරට දළ ජාතික නිෂ්පාදනය කොපමණ වැඩි වෙලා තියෙනවා ද? රැකියා කීයක් ඇති වුණා ද? ඇඟලුම් කර්මාන්ත නම් ටිකක් ඇති වුණා. ඇඟලුම් කර්මාන්තය ලෝකෙ රටවල් බොහොමයක තියෙනවා. බංග්ලාදේශයෙත් මියන්මාහිත් තියෙනවා.

ලංකාවෙ දේශීය ආයෝජකයන් නැද්ද? දේශීය ආයෝජකයන් වැඩි අවදානමක් ගන්න සූදානම් නැද්ද? අපි හෝටල් ඇති කළා. ඒත් හෝටල් පවත්වා ගෙන යෑම අද ප්‍රශ්නයක් වෙලා. අද හෝටල් නිරෝධායතන බවට පත්වෙලා. මා ව්‍යාපාරිකයකු නොවෙයි. මට මේ හුඟක් දේ නොතේරෙනවා වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලෙ කොටස් හා ව්‍යාපාර වස්තු ගණන් හදනවට වැඩි දෙයක් මා ව්‍යාපාර ගැන දන්නෙ නැහැ. එදා ඒ ගණන් හදන්න බැරි වෙච්ච අය අද දක්‍ෂ ව්‍යාපාරිකයන් වෙලා. මොන එහෙකට ගණන් හදනව ද කියල කාට හරි අහන්න පුළුවන්. මා කොටස් වෙළෙඳපොළ හීනෙන්වත් දැකල නැහැ. මට කිසිම ව්‍යාපාරයක කිසිම කොටසක් නැහැ.

ගණන් කියන කොට මට තාරකා විද්‍යාව මතක් වුණා. මා ඒක ටිකක් ඉගෙන ගෙන තියෙනවා. ඒක මතක් වුණෙ කොවිඩ් එක්ක. මට තියෙන ලෙඩක් තමයි එකක් එක්ක තවත් දේවල් මතක් වෙන එක. සමහරුන්ට කිසිම සම්බන්ධයක් නැහැ කියල හිතෙන දේවල සම්බන්ධකම් දකින්න පුළුවන්. කොවිඩ් හා තාරකා විද්‍යාව අතර තියෙන සම්බන්ධය මොකක් ද? අද බටහිර වෙදකම ගැන මොනව හරි දන්න අය, රෝගියකුගෙ උණ බලන්න දන්න අය ඇතුළු ව, කියන දෙයක් තමයි පීසීආර් වාර්තා පිළිගන්න බැහැ කියන එක. හරියට පීසීආර් වාර්තාවලින් රෝගීන් හඳුනගන්න පුළුවන් වගේ තමයි කතාව ගෙනි යන්නෙ.

කොහොම වුණත් අපේ ප්‍රශ්නය ආයෝජකයන් ගැන. ආයෝජන මණ්ඩලයට හිතපු තරම් ආයෝජකයන් ආවෙ නැහැ. ජේ ආර්ටවත් ප්‍රේමදාසටවත් ගාමිණිටවත් ඇතුළත්මුදලිටවත් රොනීටවත් ආයෝජකයන් ගෙන එන්න බැරි වුණා. ඉන් පස්සෙ චන්ද්‍රිකාගෙ කාලෙත් ආවෙ නැහැ. මහින්දගෙ කාලෙ රනිල්ගෙ යහපාලන කාලෙ ආවෙ නැහැ. එම්සීසී නම් ඉදිරිපත් වුණා. මහින්දගෙ කාලෙ හම්බන්තොට වරාය ආව. ප්‍රශ්නය පෙරදිගින් හරි අපරදිගින් හරි ආයෝජකයන් ගෙන්වා ගැනීම. ආයෝජකයන් ආවෙ නැත්තෙ ඇයි? එන්නෙ නැත්තෙ ඇයි? ආයෝජකයන් නැතිව සංවර්ධනය වෙන්නෙ කෙහොම ද? සිංගප්පූරුවක් වෙන්නෙ කොහොම ද? ඩුබායි වෙන්නෙ කොහොම ද? ඒ රටවල නැති අපේ රටේ ඇති දේ මොනවා ද? ඒ රටවල ඇති අපේ රටේ නැති දේ මොනවා ද?

නන්දිකඩාල් එංගලන්තයේ පරාජයක් – මහ අඇදුරු නලින් ද සිල්වා මහතා

නන්දිකඩාල් එංගලන්තයේ පරාජයක්

අද මැයි 19 වැනි දා. අදින් අවුරුදු දොළහකට ඉහත නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් ඝාතනය කෙරුණා. කලින් දවසෙ අපේ වීරෝදාර හමුදාව අනභිබවනීය යැයි කී කොටි ත්‍රස්තවාදය පරාජය කරල තිබුණ. නන්දිකඩාල් ජයග්‍රහණය ඉතිහාසයේ ගැමුණු වලගම්බා විජයබා ආදී ජයග්‍රහණ සමග ලියැවෙන්නක්. ඉන්පසු සීතාවක රාජසිංහ, විමලධර්මසූරිය, හයවැනි පරාක්‍රමබාහු ආදීන් ගැන අප කියනවා. සිංහලයන් යුද්ධයෙහි දක්‍ෂයන්. අවුරුදු දහස් ගණනක් තිස්සේ විවිධ භාරතීය ආක්‍රමණ හමුවේ නිදහස රැක ගැනීම ම සුලුපටු කාර්යයක් නො වෙයි. අවුරුදු කිහිපයක් සොළීන්ට යටත් ව තිබුණ ද එය ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වුණා. සිංහලේ හතුරන්ට යුදවාදීන් වූ අප නම් කීවේ ප්‍රභාකරන් පරාජය කළ හැකි හා යුතු බව.

1506 දී පෘතුගීසීන් පැමිණීමෙන් පසුවත් 1815 දක්වා ම ලංකාව ම යටත් කර ගැනීමට කිසිවකුටවත් නොහැකි වුණා. (1815 දී සිදු වූයේ සිංහල නායකයන් ගිවිසුමකින් රටේ පාලනය ඉංගිරිසින්ට පවරා දීමක් පමණයි. එහෙත් අපට වඩා ගිවිසුම් ප්‍රයෝජනයට ගැනීමට දන්නා ඉංගිරිසින් එමගින් අප යටත් කර ගත්තා). ඒ අවුරුදු තුන්සීය දහය ලංකාවේ දිර්ඝතම යුද්ධය කළ කාලය හැටියට නම් කරන්න පුළුවන්. එහෙත් හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු ලංකාව එක්සේසත් කිරීමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා සිටි කිසිම සිංහල රජකුට නො හැකි වුණා. දැන් පඬි නැට්ටකු (මැකෝලි නැට්ටකු) අහන්න බැරි නැහැ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහල ද කියා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සම්භවය ආන්ද්‍ර ප්‍රදේශයේ. ඔහු කතා කෙළේ තෙළිඟු. එය අපේ මිනිසුන් දැක්කේ ආන්ද්‍ර දෙමළ හැටියට, එහෙමත් නැත්නම් අන්ඩර දෙමළ හැටියට. නායක්කාර වාංශිකයන් මෙරටට පැමිණ නායක්කාර රාජ්‍යයක් ඇති කෙළේ නැහැ. ඔවුන් සොළී, පාන්ඩ්‍ය, මෞර්ය හරි රාජ වංශයක රාජ්‍යයක් ඇති කෙළේ නැහැ. භාරතයේ තිබුණේ වාංශික රාජ්‍යය. දෙමළවත් තෙළිඟුවත් මලයාලම්වත් හින්දිවත් හින්දුවත් රාජ්‍යයක් එහි තිබුණේ නැහැ. එහෙත් ලංකාවේ තිබුණේ සිංහල රාජ්‍යයක්. සිංහල බෞද්ධ රාජ්‍යයක්. එහි විවිධ වාංශිකයන් රජ කළා. ලම්බකර්ණයන් මෞර්යයන් ආදී වශයෙන්. කිනම් වංශයක් රජ කළත් මෙහි තිබුණේ සිංහල රාජ්‍යයක්. නායක්කාර තමයි සිංහලේ රජ කළ අවසන් වංශය.

1815 පෙබරවාරි නවවැනි දා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් පුවත සැලවුණු බ්‍රවුන්රිග් සතුටු කඳුළු හෙළමින් අවුරුදු දෙදහස් තුන්සිය පනස්හතක් පැවති සිංහල නිදහස අවසන් වූ බවක් කියා ඇතැයි පැවසෙනවා. “After a forty day campaign, two thousand three hundred and fifty seven years Sinhala independence was at an end” (The Kandyan Wars: The British army in Ceylon, 1803-1818 : Geoffrey Powell)”. මේ පාඨය උපුටා ගෙන ඇත්තේ කලක් ජර්මනියේ ලංකා තානාපති වූ අටුගොඩ මහතා ලියූ පොතකින්. බ්‍රවුන්රිග් ඒ කතාව කිවුවත් නැතත් ඉංගිරිසින් ද මෙරට අඛණ්ඩ සිංහල රාජ්‍යයක් තිබී ඇති බව පිළිගෙන. ඉන් පසු 1815 අත්සන් කළ සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් ද බ්‍රවුන්රිග් පොරොන්දු වී ඇත්තේ බුද්ධාගම හා දේවාගම (සිංහල බුද්ධාගම) රකින බවටත් සිංහල නීතිය අනුව රට කරවීමටත්. ඉංගිරිසින් වෙනත් ආගමක් රැකීමට හරි වෙනත් නීතියක් ක්‍රියාත්මක කිරීමට හරි කිසිවකුටවත් පොරොන්දු වී නැහැ. ඔය කියන සිංහල නීතිය තමයි පසු කලෙක ඊනියා උඩරට නීතිය බවට ඉංගිරිසි විනිසුරුවන් අතින් නම් කෙරී තියෙන්නෙ.

ඉන්පසු කලෙක 1892 දී ද ඉංගිරිසින් බුද්ධාගමට විශේෂ තැනක් දී ඇති බව 1892 අංක 4 දරණ ආඥාපනතෙන් ද ඔප්පු වෙනවා. “As well the priest as all the ceremonies and processions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations”. මේ අනුව ආණ්ඩුකාරයාගේ බලපත්‍රයක් නැතිව සාදා ඇති වෙනත් ආගමික සිද්ධස්ථාන රැකීමට ඉංගිරිසි ආණ්ඩුව බැඳී නැහැ. මේ ආඥාපනත අදටත් වලංගු වන්නේ 1898 නිරෝධායන ආඥාපනත වලංගු වන ආකාරයටම බව ආණ්ඩුවටත් පොලීසියටත් මතක් කරන්න ඕන.

බ්‍රවන්රිග්ලාට සිංහල රාජ්‍ය කතාව වෙනත් අයට වඩා තේරෙන්න ඕන. ඒ ඔවුන්ගෙ ඉංගිරිසි රාජ්‍යයෙත් 1051 සිට විවිධ වංශ රජ කර ඇති නිසා. 1066 හේස්ටින්ග්ස් සටනින් පසු නෝමන් ජයග්‍රහණයක් ලබන්න ඇති. එහෙත් ඉංගිරිසි රාජ්‍යය පැවතුණා. 1810 දී ලංකාවට පැමිණි බ්‍රවුන්රිග් කෘර පුද්ගලයෙක්. ඩොයිලි ක්‍රියාත්මක වූයේ බ්‍රවන්රිග් යටතේ.

උඩින් මොනවා පොරොන්දු වුණත් ඉංගිරිසින් දිගට ම ක්‍රියා කර ඇත්තේ සිංහල බෞද්ධයන් නොවන්නන්ට රටේ වැදගත් තැනක් හිමි කර දීමට. සිංහල බෞද්ධයනට තමයි අඩු ම සැලකිලි ලැබී ඇත්තේ. ඉංගිරිසින්ට අවශ්‍ය වුණේ පොදුවේ ක්‍රිස්තියානින්ටත් විශේෂයෙන් වෙල්ලාලයන්ටත් ඔවුන්ගෙනුත් කුමාරස්වාමි පොන්නම්බලම් පවුලටත් තැනක් ලබා දීම. ඒ පවුල ලංකාවේ ප්‍රධාන පවුල ලෙස සැලකී තියෙනවා.

ලංකාවේ දෙමළ ජාතිවාදය ඇති කිරීමට මූලික පදනම දමනු ලැබුයේ ලන්දේසීන් විසින්. ඔවුන් දුම්කොළ වගාවට වෙල්ලාලයන් ගෙනාවා. එයට ප්‍රධාන හේතුව වූයේ යාපනයේ පදිංචි සිංහල බහුතරය කුලී වැඩ කිරීමට අකමැති වීම. ඉනුත් පැහැදිලි වන්නේ ලන්දේසීන් එන විටත් යාපනයේ බහුතරය සිංහලයන් බව. ඒ බව පෘතුගීසි ලේඛනවලිනුත් ඔප්පු වෙනවා. සිංහලයන් කුලී වැඩට අකමැති වීම නිසයි පසු කලෙක ඉංගිරිසින් ද තම කෝපි හා තේ වගාවන් සඳහා වත්මන් තමිල්නාඩුවෙන් දෙමළ කම්කරුවන් ගෙනාවෙ. අද අප සියල්ලන් ම පාහේ කුලියට වැඩ කරන පිරිසක් බවට ඉංගිරිසින් විසින් පත් කෙරිල. කුලිය දිනය හරි මාසය හරි අවසානයෙ ලැබෙනවා.

යාපනයට ගෙන ආ වෙල්ලාලයන් අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ආපසු ඉන්දියාවට යෑම වැළැක්වීමට ලන්දේසින් තේසවළාමේ නීතිය පැනවූවා. එමෙන් ම යාපනයේ සිටි සිංහලයන් අඩු කුල ලෙස දෙමළ ජනකොටසට අවශෝෂණය කෙරුණා. තේසවලාමේ මුස්ලිම් නීතියක් වුවත් එහි කුල භේදයක් ඇත්තේ ඒ ඊනියා අඩුකුලවලට ගැලපෙන අයුරින්. වෙල්ලාලයන් මෙරටට ආගන්තුකයන් බව ඔවුන් ආපසු ඉන්දියාවට යෑමට සූදානම් වීමෙන් ම පෙන්නුම් කරනවා. ඉංගිරිසින් වෙල්ලාලයන්ට තව තවත් වරප්‍රසාද දුන්නා. විවිධ හේතු නිසා වෙල්ලාලයන්ට හොඳ අධ්‍යාපනයක් ද ඉංගිරිසි මාධ්‍යයෙන් ලැබුණා. එසේ වුවත් වෙල්ලායන්ට අවශ්‍ය වුණෙ තම නිජබිම වූ මලබාරයට යන්න. ඉංගිරිසින්ට වෙල්ලාලයන් නවතා ගැනීමට දෙවැනි වරටත් තේසවළාමේ නීතිය පනවන්න සිදු වුණා. කෙසේ නමුත් වෙල්ලාලයන් ඉංගිරිසින්ගේ සුරතලුන් බවට පත් වුණා. ඉංගිරිසින් තම බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව දෙමළ වෙල්ලාලයන්ට රටේ වැදගත් යැයි සැලකුණු නිලතල ලබා දුන්නා. වෙල්ලාලයන් රටේ නායකයන් බවට පත් කෙරුණා. කුමාරස්වාමි පොන්නම්බලම් පවුල ඉනුත් ප්‍රධාන වුණා. පොන්නම්බලම් රාමනාදන් මෙරට නිල නොලත් නායකයා බවට පත් කෙරුණා.

1931න් පසු සර්වජන ඡන්දය නිසා වෙල්ලාලයන්ට මේ නායකත්වය රැකගන්න බැරි වුණා. ඔවුන් වෙන ම රාජ්‍යයක් කරා ගියා. ඉංගිරිසින් එයට මුල සිට ම කටයුතු කර තිබුණා. 1947 දි නාගනාදන් දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිිදහස් විය යුතු බව කිවුවා. 1949 දී චෙල්වනායගම් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටෙවුවා. ඉංගිරිසින් ලකුණු කළ පළාත් ඔවුන්ගේ ඊනියා නිජභූමි වුණා. හැත්තෑව දශකයේ ආයුධ සන්නද්ධ දෙමළ තරුණ සංවිධාන ඇති වුණා. එයට ජ වි පෙ පූර්වාදර්ශයක් වුණා. වැඩි කලක් යන්න පෙර ප්‍රභාකරන් අනෙක් කණ්ඩායම් පරදවා දෙමළ ත්‍රස්තවාදී නායකයා වුණා. ප්‍රභාකරන් සිංහලයන්ට මෙන් ම වෙල්ලාලයන්ට ද විරුද්ධ ව සටන් කළා. ඔහු පළමුවෙන් ඝාතනය කෙළේ වෙල්ලාල නායකයන්.

ප්‍රභාකරන් කියන්නෙ ඉංගිරිසින් ඇති කළ දෙමළ ජාතිවාදයෙහි එක් සන්ධිස්ධානයක් පමණයි. ඉන්දියාව ද සිංහලයන්ට විරුද්ධ ව දෙමළ ආයුධ සන්නද්ධ කල්ලිවලට ආධාර කළා. ඉන්දියාවට නේරුගේ කාලයේ සිට ම ලංකාව තම ප්‍රාන්තයක් කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා. මෙරට සමහරුන්ට ද එකල ඉන්දියාවේ ප්‍රාන්තයක් වීමේ අවශ්‍යතාව තිබුණා. එහෙත් ප්‍රභාකරන්ට එවැනි අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔහු රජිව් ගාන්ධි ඝාතනය කිරීමට පසුබව වූයේ නැහැ. ඊට කලින් දෙමළ ත්‍රස්තවාදය වෙනුවෙන් අපට පරිප්පු හෙළා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ ඉන්දියාව ඒ ඝාතනයෙන් පසු ප්‍රභාකරන්ට විරුද්ධ වුණා. එහෙත් දෙමළ ජාතිවාදයටවත් දෙමළ ත්‍රස්තවාදයටවත් විරුද්ධ වුණේ නැහැ. අද නම් කොවිඩ් හමුවේ තමිල්නාඩු නායකයන්ටත් මෙරට දෙමළ ජනයා අමතක වෙලා. ඊයේ පෙරේදා පැවැත් වූ මැතිවරණයෙන් හෙළිවන්නේ එයයි.

එහෙත් ඉන්දියාව පසුව දෙමළ ජාතිවාදය ඇවිළවීමට කටයුතු කරන්න ඉඩ තියෙනවා. කෙසේ වෙතත් එංගලන්තය නම් දෙමළ ජාතිවාදය අත්හැර නැහැ. ඔවුන්ට කිසි දිනෙක නන්දිකඩාල් අමතක වන්නේ නැහැ. ලොව හැම තැන ම ජය කෙහෙළි නැංවූ එංගලන්තයෙ ආධාර ලැබු දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ඉංගිරිසින් කිසි දා සිංහලයන්ට රණවිරුවන්ට සමාව දෙන එකක් නැහැ. ඔවුන් ලැබූ පරාජය ඔවුන්ට විඳ දරා ගන්න බැහැ. අද ඊනියා ඩයස්පෝරාව හෙවත් විසුරුණු දෙමළ ජනයා පවත්වාගෙන යනු ලබන්නේ එංගලන්තය විසින්. ජෙනීවාහි අපට විරුද්ධ ව ගෙනෙන සියලු යෝජනා පිටුපස ඇත්තේ එංගලන්තයයි. එදා මෙන් ම අදත් එංගලන්තය දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනවා. ඉංගිරිසින් නැතිව මෙරට හරි ලෝකයේ වෙනත් තැනක හරි දෙමළ ජාතිවාදයට පැවැත්මක් නැහැ.

අප ඒ බව තේරුම් ගෙන කටයුතු කරන්න ඕන. නන්දිකඩාල් 1815න් අවුරුදු දෙසීයකට පසු එංගලන්තය ලංකාවේ දී ලැබූ පරාජයක්. බ්‍රවුන්රිග්ගේ මුණුබුරන් එය අමතක කරන එකක් නැහැ. දැනට වසර කිහිපයකට පෙර මෙහි පැමිණි එංගලන්ත අගමැති කැමරන් වියරුවෙන් මෙන් නැටූ නාටකය මතක ඇති. සැලැස්මක් ඇති ව එංගලන්තයට මුහුණ දීමට සැරසෙමු. පළමුවෙන් ම බ්‍රවුන්රිග් හා අනෙක් අය කළ අපරාධ සාක්‍ෂි සහිත ව ලැයිස්තුගත කර ඒ වෙනුවෙන් වන්දි ඉල්ලමු.

නන්දිකඩාල් ජයග්‍රහණයට පෙර – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

නන්දිකඩාල් ජයග්‍රහණයට පෙර

අදින් වසර දොළහකට ඉස්සර අපේ රණවිරුවන් කොටි ත්‍රස්තවාදය පරාජය කළා. ඒ ජයග්‍රහණයටත් පියවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඕනෑම ජයග්‍රහණයකට එහෙමයි කියල ඉංගිරිසින් කියල තියෙනවා. මා නම් ජයග්‍රහණයේ බාප්පා කෙනකුවත් නො වෙයි. ඒත් යුදවාදියා කියා වැඩියෙන් ම බැණුම් අහල තියෙන්නෙ මා වෙන්න ඕන. අපේ පරම්පරාව නම් දඹදෙණි කාලෙ මෙහි පැමිණි රාජ්පුත් ඨකුරගෙන් පැවතෙන්නක් තමයි. රාජ්පුත්ල යුද්ධ දක්‍ෂයන්. ඒත් මා නම් පාසලේ කැඩෙට් භටයකුගේ තත්වයෙන් ඉහළට ගිහින් නැහැ.

මා යුද්ධ කරන්නෙ වෙනත් තලයක. ඒ තලයෙ මෙරට එතරම් දක්‍ෂයන් නැහැ. පඬි නැට්ටන් හෙවත් මැකෝලි නැට්ටන්ට ඇති දක්‍ෂකමක් නැහැ. කොහොමත් ඔවුන්ට අන්තර්ජාලය නැත්නම් පැවැත්මක් නැහැ. අර නැවෙන් කටට කිවුව වගේ පඬි නැට්ටන්ට පොතෙන් පිඟානට. ඒක කාලෝ අර්ථයෙන් නො වෙයි. කාලෝ වෛද්‍ය විද්‍යාලයෙ ඉගෙන ගන්න කාලෙ පොත අත්හැරියෙ කෑමට (පිඟානට) යන්න විතරලු. කෑම කා ඉවර වුණු ගමන් නැවත පොතට ගියාලු. එයට කිවුවෙ පොතෙන් පිඟානට පිඟානෙන් පොතට කියල කාලෝ ම තමයි කිවුවෙ. පඬි නැට්ටන් ඔය පොත්පත්වලින් අහුලගන්න යමක් ලියල කියල තමයි කීයක් හරි හම්බ කරන් කන්නෙ.

මතවාදී තලයෙ බටහිරයනුත් හිටිය. ඔවුන් නම් දක්‍ෂයන්. දේශපාලන විශ්ලේෂකයන්, විචාරකයන් ආදී වශයෙන් කියා ගත්තවුනුත් හිටිය. ඔවුන් විවිධ තර්ක ගෙනාවා. දෙමළ ජනයාට මහා අසාධාරණයක් තියෙනව ය, කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකිය, ප්‍රභාකරන් අග්‍රගණ්‍ය යුද විශේෂඥයෙක් ය, බෞද්ධයනට යුද්ධය අකැප ය, යුද්ධයෙන් සාමය ඇති කරන්න බැරිය, යුද්ධය නවත්තල සාම සාකච්ඡාවලට යා යුතු ය ආදී කතා කියවුණා. තම්බයියා බුදුදහම පාවාදීම කියා පොතක් පළ කළා. නම තම්බයියා වුවත් ඔහු බයියකු නොවන බව පැහැදිලි වුණා. තාමත් දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය මොකක් ද කියල එතෙර මෙතෙර කවුරුන්වත් කියල නැහැ. වරක් පාර්ලිමේන්තුවේ දී කුමාර් පොන්නම්බලම් නම් කිවුවෙ දෙමළ ජනයාට තියෙන්නෙ අභිලාෂ කියල. ඔහුගෙ පියා ජී ජී පොන්නම්බලම් නම් එකල රාජනීතිඥයෙක් පමණක් නොවෙයි කැබිනට් ඇමතිවරයෙක් ද වුණා. පියා නම් අභිලාෂය ඉෂ්ඨ කර ගෙන. කුමාර් පොන්නම්බලම්ගෙ පුතා ගජෙන්ද්‍රත් මොනව මොනව හරි කියවනවා. ඒත් මේ දවස්වල කොවිඩ් විශේෂඥයන්ට ඉඩ දීල අයින් වෙලා.

අද කාදිනල්තුමාත් අමතක කළාට ඒ දවස්වල කතෝලික පූජකවරු කොටි ත්‍රස්තවාදීන්ට භාණ්ඩ ප්‍රවාහනයත් කළා. ඒක එතරම් ප්‍රශ්නයක් නො වෙයි. අපි වෙනුවෙන් අපි කියල පාඨයක් නිර්මාණය වෙලා තිබුණත් අපි වෙනුවෙන් අපි ඔක්කොම හිටියෙ නැහැ. අද ජාතික වීරයන් වෙලා ඉන්න සමහරු අනූවෙ දශකයෙ මුළ අප යුදවාදීන් කියල ලක්මිණ පත්තරෙන් අස් කරන්න එකට සංවිධානය වුණා. අපට පත්තරෙන් යන්න වුණා. ඒත් පත්තරේටත් ඒ සමග යන්න වුණා.

ජාතිය මළකඳක් කියල කියපු අය, ඒත් බලයට ඒම සඳහා මළකඳ කර ගහගත්ත අය යුද්දෙට විරුද්ධව පොස්ටර් ඇළවු අය අපට එරෙහි වුණා. සිංහල ජාතිකවාදීන් අතරත් අප සුළුතරයක් වුණා. බටහිරයන් හොඳ උපායක් කල්පනා කළා. එ ජා පක්‍ෂය ප්‍රධාන ආණ්ඩුවකින් රට බෙදන්න ගියොත් ශ්‍රී ල නි ප අනිවාර්යයෙන් විරුද්ධ වන බව දත් ඔවුන් තමන්ට අවශ්‍ය දේ ශ්‍රී ල නි ප ලවා කරවා ගැනීමට උත්සාහ කළා. එකල එංගලන්තයේ සැමියා නැති සොවින් තැවුණු චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ල නි ප නායකත්වය ගැනීමට ආපසු එවීමට තීරණයක් ගැණුනා. සුපුරුදු පරිදි එය ලංකාවෙන් කෙරෙන ඉල්ලීමක් බවට පත් කරන්න කිහිප දෙනකු මෙරට හිටියා.

චන්ද්‍රිකා ආවා. ඇගේ ආගමනය කුමක් සඳහා දැයි තේරුම් ගත් අප ඇයට මුල සිට ම විරුද්ධ වුණා. ඒත් ජනතාවට අවශ්‍ය වුණෙ එ ජා ප ශාපයෙන් ගැලවෙන්න. චන්ද්‍රිකා දකුණ දිනුවා. 1994 මැතිවරණය අර දාහත් අවුරුදු ශාපයෙන් මිදෙන්න යොදා ගන්න ජනතාවට ඕන වුණා. ඒත් අප දැන සිටියා චන්ද්‍රිකා ගැන. මට මතක හැටියට ඇගේ වෛරය කියල චිත්‍රපටයකුත් තිබුණා. අපට අවශ්‍ය වුණෙ චන්ද්‍රිකාට තීරණාත්මක බලයක් නො දෙන්න. ම එ පෙරමුණත් සමග අප එකතු වී වෙන ම තරග කළා. අප තරග කෙළේ ම එ පෙරමුණෙන්. ජේ ආර්ගෙ ක්‍රමය අනුව පක්‍ෂයක නොවන අයකුට වුණත් පක්‍ෂයකින් තරග කරන්න පුළුවන් වුණා.

ජාතිය මළකඳක් කී අය අවමංගල සමග එකතු වී මාතරින් ජාතියේ අවමංගල කටයුතු කරන්න සූදානම් වුණා. පාංශුකූලෙට සූදානම් වුණු අතන මෙතන පනින හාමුදුරුවන් නලියා සමග වැඩ කරනව නම් වෙනත් හාමුදුරු නමකගේ සිවුරු ගලවන බව කිවුවා. ඒත් තාමත් ජාතිය ජීවමානයි. අර හාමුදුූරුවන්ගෙ සිවුරත් ගැලවිල නැහැ.

ඒ මැතිවරණය මෙරට තීරණාත්මක මැතිවරණයක්. එහි ප්‍රතිඵල ලෙස බොහෝ දේ සිදු වුණා. දිනේෂ් ගුණවර්ධන කොළඹින් හා රටෙන් පරාජය කෙරුණා. මට නම් කළුතරින් මනාප පන්දාහක් පමණ ලැබුණා. ධර්මසේකරල බන්දුල ල ඔක්කො ම පරාද වුණා. අප පැරදුණාට චන්ද්‍රිකා දිනුවෙ නැහැ. දිනුවෙ නැත්තෙ චන්ද්‍රකාට පැකේජය දී ගන්න බැරි වුණු නිසා. පැකේජ් පප්පා නමින් පෙනී හිටි අය අවමංගල ආදීන් සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගියා. දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණ රුහුණු රට භික්‍ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය එක් වී කළුතර සිට කතරගමට පා ගමන් කැලණියේ සිට කතරගමට රිය ගමන් පමණක් නොව මුහුදු යාත්‍රා ද ක්‍රියාත්මක කළා. පැකේජය අකුළ ගන්න සිද්ධ වුණා. චන්ද්‍රිකාගේ දේශපාලනයත් අවසන් වුණා. ඒ රනිල් සමග තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා ඊනියා සටන් විරාමයක් ඇති කළාට පස්සෙ.

මහින්ද පෙරට ආවෙ ඊට පස්සෙ. ඒත් ප්‍රභාකරන් පරාජය කරන්න මහින්දට ඉදිරිපත් වෙන්න කල් ගියා. කොහොම නමුත් මහින්ද හමුදාවට දේශපාලන නායකත්වය දුන්න. එකල හමුදාවට දේශපාලන නායකත්වය දිය යුතු බව අප කියන විට පඬි නැට්ටන් හිනහවුණා. අද ඔවුන් විරිත්තනවා.

බොහෝ දෙනා දන්නෙ භූමියෙ කළ සටන් පමණයි. මතවාදී තලය බොහෝ දෙනකුට පේන්නෙ නැහැ. පෙනුනත් දැක්කෙ නැහැ වගේ ඉන්නවා.