ජාන මංකොල්ලය

ජෛව මංකොල්ලය ( bio piracy) , ඡාන කොල්ලය ( gene piracy) ගැන විමසීමේදී අපේ මනසට එන්නේ ඖෂධ වටිනාකමක් ඇති ශාක විශේෂ වල ජාන සහ ඇල්කොලොයිඩ සාර ඇති ශාක කොටස් හෝ මුලු ශාකය පිටින්ම ඒ ශාකයේ මුල් බිමෙන් ( native area) ඉවතට ගෙනයෑම , එයින් විවිධ ඖෂධ හෝ රසායනික නිපදවීම, පේටන්ට් ලබා ගැනීම, එවා අධික මිලකට විකිණීම ආදිය ගැනය.

එහෙත් අද මෙහි සටහන් කිරිමට යන්නේ ඊට වඩා භයානක ජෛව කොල්ලයක් මුසු අපරාධයක් ගැනය. ඒ මානව ඡාන කොල්ලයයි ..

නූතන තාක්ෂණික ප්‍රවර්ධනය GNR Concept මත පදනම්ව ඈති බව මා කලින් ලියා ඇත. එනම් Genetics, Nanotechnology and Robotics හෙවත් ඡාන ඉංජිනේරු, නැනෝ තාක්ෂණය සහ රෝබෝ තාක්ෂණය යි.

මේ GNR ප්‍රථම අධියර හෙවත් උපස්ථරය වූ NBC සහ E- AI ( Nuclear, biological and chemical) සහ Electronics / Artificial intelligence මත GNR ප්‍රවර්ධනය කරයි.

මානව විශේෂයේ ජාන එනම් මානව ගෙනෝමය ( human genome) පර්යේෂකයන් පූර්ණව අධ්යනය කර ඇත. ඒ ඒ ප්‍රවේණික රෝග හෝ Covid වැනි වෛරස හෝ බැක්ටීරියා වලට මනුෂ්‍ය ශරීරය දක්වන ප්‍රතික්‍රියාව මත තැනෙන ප්‍රති දේහ සහ සෙසු ජෛව රසායනික සංයෝග මොවුන් ගේ පර්යේෂණයට ලක්වේ.

නූතන මානවයා හෙවත් හෝමෝ සාපියන්ස් ( විද්‍යාත්මක නාමකරණයේ යුතු ලතින් උච්චාරණය අනූව) පරිණාමය වී ඇත්තේ තම ශරීර සමස්ථිතිය නීවර්තන දේශගුණියකට ( tropical climate) අනුකූලව ය. උදාහරණයක් ලෙස ඔහු ගේ පරිවෘතීය ක්‍රියා වඩා හොදින් යාමනය වන්නේ නීවර්තන උණුසුම් පරිසරය තුලය. තම පුර්වජයන් වූ හොමිනිනයන් මෙන් රෝම වලින් ශරීරය වැසී නැත. (1) . දෙවනුව, අද බටහිර රටවල සහ බොහෝ රටවල ජනතාව තම පරම්පරා ගණනාවක් තූල වසූරිය, පෝලියෝ, ලාදුරු ආදියට එරෙහිව එන්නත්කරණය ( vaccination) කරගෙන ඈති බැවින් ඔවුන්ගෙන් මානව ව්ශේෂයේ නොඉඳුල් ඡාන හෙවත් නොහික්ත ඡාන ලබා ගැනීමට නොහැකිය .(2) . යටත් විජිත කරණය නිසා සහ සංක්‍රමණික රටා අනුව අද ලෝකයේ නොමුහුන් ජන කොටසක් සොයා ගැනීම ද උගහටය. නමුත් ඇත.(3)

ඉහත (1) සහ (2) සහ ( 3) සාධක දෙස බැලූ විට අපට පෙනී යන්නේ නොහික්ත ජාන ලබා ගැනීමට නම් ” නිවර්තන කලාපීය දේශයන්හි නූතන මානවයාගෙන් දුරස්ථව මහා වනාන්තර හෝ කාන්තාර තුල හෝ හුදකලා දුපත් වල සිටින මුල් වැසියන් ( indigenous people) හෙවත් හුදකලා ගෝත්‍රික වැසියන් ( isolated tribes) ගේ ශරිර වලින් ලබා ගත යුතුය.

අවශ්‍ය හෝ අනවශ්‍ය මානව කාණ්ඩ තෝරා ගැනීම, අභිජනනය හෝ වද කර දැමීම සියවස් ගණනාවක සිට පැවැත එන කණගාටුදායක යථාර්ථයකි. උදාහරණයක් ලෙස ඉංගිරිසි සුද්දා යටත් වැසියන් ව සැලකුවේ පශු සම්පතක් ලෙසිනි. 1505 මෙරටට බැසි පරංගියා කීවේ තම යටත් විජිත තුල රෝමානු කතෝලික ආගම මෙන්ම පෘතුගීසි ලෙය ද තහවරු කල යුතු බවයි. එය පරංගි භාෂිතයේ ( Portuguese doctrine) කොටසක් විය. එනිසා යටත් විජිත වල ගැහැණු ( මල්වර දැරිවියන් ද ඇතුළුව) පරංගීන්ට විවාහ කොටැ බෞතීස්ම කොට Topazes පරපුරක් සාදන ලදි. ඒ ඩාවීන් සහ වොලස්ගේ පරිණාමවාදය සහ මෙන්ඩල් ගේ ප්රවේණිවාදය ඒමට බොහෝ කලකට පෙරය.

යළිත් අපි මුල් මාතෘකාව ට එමු.. අර කී නොහික්ත හෙවත් නොමුහුන් හෝ විකරණයට ලක් නොවූ මානව ජාන සෝයා බටහිර විද්‍යාඥයෝ නීවර්තන රටවල් පිරීමට පටන් ගත්තේ දශක ගණනාවකට ප්‍රථමව ය.
වෛද්‍ය කණ්ඩායම්, පරිසරවේදීන් , ජෛව පර්යේෂකයන් , කිතුණු පාදිලියන් ,NGO කාරයන් ලෙස සහ කොටින්ම බෞද්ධ චීවරය දමා භික්ෂූන් ලෙසද සංවේදී භූමි තුලට කා වැදුනි. එසේ කරන්නේ ආවරණයක් හෙවත් coverup නොමැතිව ආවොත් බලධරයන් සහ ජනයාගේ සැකයට හසු වන බැවිනි.

දෙවනුව මේ සදහා ඔවුන් කාන්තාවන් ( තරුණ සුද්දියන්) භාවිතා කලේ වඩා මිත්‍ර ලීලාවෙන් වැඩේට බැසීමටත් , ඊටත් වඩා මුල් වැසි ගම්මානයේ සරු පිරිමින්, විශේෂයෙන්ම ගෝත්‍රික නායකයා සමග ලිංගිකව එක් වී ශුක්‍ර තරල එකතු කරගෙන සහ දරු ගැබක් ඇති කරගෙන එම පටක හෝ ජෛව සාම්පලය ඉවතට ගෙන යෑමට වේ . මෙවැනි සිද්ධි බොහෝමයක් වාර්ථා වී ඇත.

වර්ෂ 1991 දී උතුරු ඇමරිකානු සහ යුරෝපීය විද්‍යාඥයෝ ජාලයක් ලෝකය පුරා විසිරී ඇති ජන කොටස් වල රුධිරය, පටක සහ හිසකෙස් එකතු කිරීමේ වැඩ පිලිවෙලක් ක්රියාවේ යෙදවූ අතර එය HGDP හෙවත් Human genome diversity project නම් විය.

මොවුන්ගේ මේ ක්‍රියාවලිය වර්ෂ 1995 පෙබරවාරි මස තුලදී කැනඩාවේ ඇමරිකාවේ සහ බ්‍රසීලය පෙරු ආදී රටවල මුල් වැසියන්ගේ විරෝධයට ලක්විය. එහෙත් අප්‍රිකාවේ ඉන්දියාවේ හෝ ඉන්දුනීසියාවේ ආදී රටවල එයට විරුද්ධව කිසිවක් නොවීය. කෙසේවෙතත් 80 දශකය අග හෝ ඊට පසු සුදු කාන්තාවක් ලංකාවේ වැදි ගම්මානයක ජීවත් වූ බවත් ඇය පසුව ගැබ් දරා රටින් පිටව ගිය බවත් පුවතක් කලකට පෙර අසන්නට ලුබුනකි . HGDP ට මුල් වැසියන් එරෙහි වූයේ එය” opens the door for potential widespread abuse of human genetic material for scientific, commercial or military purposes ” ලෙස පවසමිනි.

Out of Africa හෙවත් අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වූ නූතන මානව හෙවත් හෝමෝ සාපියන්ස් කාණ්ඩ වලින් දැනට ඉතිරිව සිටින නොහික්ත පිරිසක් ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශ්‍රිතව ජිවත් වේ. එම ජනයා රකිනු සදහා ඉන්දියානු රජය විසින් එම දූපත් කීපයක් සහ සාගර කලාපය කිසිවෙකුට ඇතුලු වීමට නොහැකි තහනම් කලාපයක් කර ඇත.

ඕනෑම පුද්ගලයකුගේ භෞතික මානව විද්‍යා පසුබිම ඇතුලු ප්‍රවේණික කිටුව බොහෝ දුරට ඔහු හෝ ඇයගේ රුධිර පටකය සහ එහි Rh සාධක වලින්ද , මයිටකොන්ඩ්රීය ප්‍රවේණික ද්‍රව්‍ය අධ්‍යනය සහ පෙලවැල සටහන් ( genealogical lineage) සෙසු සාධක කීපයකින්ද දැන ගත හැකිය. දෙවනුව එම පුද්ගලයාගේ වෛද්‍ය ඉතිහාසය ( medical history)වලින් බොහෝ දේ කිව හැකිය. වර්තමානයේ මේ දත්ත සියල්ල කොම්පියුටර හරහා ජාල ගතව පවති. කොටින්ම ඔබ ලදරුවෙකු ලෙස ලංකාවේ දී ලබා ගත් එන්නත් මොනවාද? එන්නත් කලේ කවදාද ? යන්න දියුණු රටක ඔබේ පෞද්ගලික වෛද්‍යවරයා ට ඔබෙන් නොඅසා දැනගත හැකිය.

( මතු සම්බන්ධයි.)

කීර්ති හේවාගොඩ
2021/05

යන්නෙ කොහෙද මල්ලෙ පොල් හා කිඹුල්වත් – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

යන්නෙ කොහෙද මල්ලෙ පොල් හා කිඹුල්වත

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ ඉතා වැදගත් ප්‍රකාශයක් කර තිබුණා. මා එය දැක්කේ එක්තරා වෙබ් අඩවියක. ඒ ප්‍රකාශයේ අදහස මගේ වචනවලින් නොකියා අදාළ කොටස වෙබ් අඩඩවියෙන් ම උපුටා දක්වන්නේ මහාචාර්යතුමාට අසාධාරණයක් නොවීම සඳහා. මා හිතනවා වෙබ් අඩවිය මහාචාර්යතුමාට අසාධාරණයක් කර නැහැ කියා. අදාළ කොටස මෙසේයි.

“මේ වනවිට ලොව පුරා ම සීඝ්‍රයෙන් පැතිරීගෙන යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බලපෑම් එලලවී තිබෙනවා. ඒ අනුව තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යවන දෙමාපියන්ගෙන් දිගින් දිගට ම ඉල්ලීම් ගලාගෙන එනවා මතුව තිබෙන ආර්ථික ගැටලු මත පාසල්වල මාසික ගාස්තු ගෙවාගැනීමට අපහසු නිසා රාජ්‍ය පාසල් පද්ධතියට එම දරුවන් ඇතුළත්කර ගැනීමට අවස්ථාව ලබා දෙන්නට කියා. මෙහිදී මතුවන ගැටලුව තමයි ඒ දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ම උසස් පෙළ දක්වා හදාරනු ලබන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්. නමුත් රජයේ පාසල්වල ඉංග්‍රිසි මාධ්‍ය පාසල් තිබෙන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක්. ඒවායිනුත් ‘හර’ විෂයයන් පමණයි උගන්වන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙයට ස්ථිරසාර විසඳුමක් ලබාදිය යුතු බව. ඒ අනුව අධ්‍යාපන විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරලා තිබෙනවා මෙම ගැටලුව විසඳීම සම්බන්ධ ව නිර්දේශ ඉදිරිපත් කිරීමට. ඒ අනුව කොළඹ ආශ්‍රිත කරගෙන මෙන් ම සෑම පළාතක ම එවැනි පාසලක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. එම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම එවැනි ඉංග්‍රිසි මාධ්‍ය පාසල් ලබා දිමට කටයුතු කරන්නට පුළුවන් වේවි.ජාතික පාසල් 1,000 වැඩසටහන, ත්‍රෛභාෂා පාසල් වැඩසටහනට සමගාමී ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබේවි.” යනුවෙන් පවසා සිටියේය.”

මා මහාචාර්ය කපිල පෙරේරා මෙන් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. ඒ නිසා ද කෙහෙ ද ඉහත සඳහන් පාඨය මට තේරුණේ නැහැ. කපිල පෙරේරා මොරටුව විශ්වවිද්‍යාලයේ කාර්මික ඉංජිනේරු අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්, හිටපු පීඨාධිපතිවරයෙක්, හිටපු උපකුලපතිවරයෙක්. ඔහුගේ ජීවදත්ත අනුව ඔහු පාණදුරේ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙක්.ඔහු මොරටුවෙන් උපාධි ලබාගෙන ඇත්තේ 1986 දී. ඔහු උපාධිය ලබා ගෙන තියෙන්නෙ මට වඩා අවුරුදු දහනවයකට පසුව. දළ වශයෙන් ඔහු මට වඩා අවුරුදු විස්සක් පමණ වයසින් බාල ඇති. ඔහුගේ දේශපාලනය ගැනත් තොරතුරු තියෙනවා. අවශ්‍ය වුවහොත් ඒ ඉදිරිපත් කරන්නම්. කපිල පෙරේරා පාසලේ දී ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් බවයි මා හිතන්නෙ. වැරදි නම් නිවැරදි කරන්න. මට කපිල පෙරේරා හමු වී නැහැ. ඔහුගේ ගරු ඇමතිතුමා නම් හමු වී තියෙනව.

ඉහත කී පාඨයෙන් කියන්නේ මෙවැන්නක්. කොවිඩ් නිසා ආර්ථික ගැටළු ඇති වී තියෙනවා. එය ජාත්‍යන්තර පාසල්වලට තම දරුවන් යවන දෙමව්පියන්ටත් බලපාල. ඔවුන්ට පාසල් ගාස්තු ගෙවන්න අපහසු වෙලා. ඒ නිසා ඔවුන් ඉල්ලා තිබෙනවා තම දරුවන් රජයේ පාසල්වලට ඇතුල් කරන්න අවස්ථාව දෙන්න කියා. නමුත් රජයේ පාසල්වල ඉංගිරිසි මාධ්‍ය පාසල් ඇත්තේ සුළු සංඛ්‍යාවක්. එහිත් ඊනියා හර විෂය පමණයි උගන්වන්නේ. මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්න ඕන. ඒ පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන විශේෂඥයන්ගේ කමිටුවක් පත් කර තියෙනවා. ඒ වන තෙක් මගේ මහළු වියේ දී වුවත් තේරුම් ගන්න පුළුවන් වුණා. ජ වි පෙ හා වෙනත් මාක්ස්වාදී පශ්චාත් මාක්ස්වාදී තරුණයන් කියන අන්දමට මැන්ටලයක් වූ මටත් තේරුම් ගන්න පුළුවන් වුණා. එහෙත් එතනින් එහාට නම් තේරුණේ නැහැ.

විශේෂඥයන්ගේ කමිටුව තවම කිසිවක් නිර්දේශ කර නැති බවයි පෙනෙන්නෙ. එහෙත් මට තේරෙණ විධියට කමිටුවේ අවධානය යොමු වෙලා තියෙනවා දිවයිනේ සෑම පළාතක ම එවැනි පාසලක් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇති කිරීමේ හැකියාව ගැන. මේ එවැනි පාසලක් කියන්නෙ මොකක් ද කියල නම් මට තේරුම් ගන්න බැරි වුණා. එහෙත් ඊළඟ වාක්‍යයෙන් එවැනි පාසල් හඳුන්වල තිබුණ. ව්‍යාපෘතිය සාර්ථක වුණොත් එවැනි ඉංග්‍රීසි මාධ්‍ය පාසල් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම ලබා දෙන්න පුළුවන් වේවි කියා තිබුණා.

ප්රශ්නය ජාත්‍යන්තර පාසල්වලට දරුවන් යවන දෙමවුපියන්ට පාසල් ගාස්තු ගෙවීමට අපහසු වීම. දෙමවුපියන්ගෙ විසඳුම තම දරුවන් රජයේ පාසල්වලට ඇතුල් කිරීමට අවස්ථාව ලබා දීම. අමාත්‍යාංශයේ “බලාපොරොත්තුව” විශේෂඥයන් තවම නිර්දේශයක් කර නැතත් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම ඉංගිරිසි මාධ්‍ය පාසල් ලබා දීම. මට නම් මේ තර්කය තේරෙන්නෙ නැහැ. ජාත්‍යන්තර පාසල්වලට දරුවන් යවන දෙමවුපියන්ට පාසල් ගාස්තු ගෙවීමට අපහසු බැවින් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම ඉංගිරිසි මාධ්‍ය පාසල් ලබා දෙන්නෙ අහවල් දේකට ද? ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන නොගත් ගැමියන් නම් මෙවැනි දේට කියා ඇත්තෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියල.

කාට හරි අවශ්‍යතාවක් තියෙනව නම් ඉංගිරිසි මාධ්‍ය පාසල් ලංකාවෙ හැම ප්‍රදේශයක ම ඇති කරන්න ඒක යුක්ති යුක්ත කරන්න වෙන විධියකට තර්ක කරන්න. ප්‍රස්තුතය වෙනස් කරල තර්ක කරන්න. එහෙම තර්ක ඉදිරිපත් කළොත් අපි ඒව සලකා බලමු. දැනට අර දෙමවුපියන්ට සහනයක් දෙන ක්‍රමයක් ගැන කල්පනා කරන්න. රජයේත් නොවන ජාත්‍යන්තරත් නොවන පාසලුත් ලංකාවෙ තියෙන බවත් කල්පනාවට ගන්න. ඒ සමහර පාසල්වලත් ඉංගිරිසි මාධ්‍යයෙනුත් ඉගැන්වෙනවා. අර දෙමවුපියන්ට ජාත්‍යන්තර පාසල්වලට දරුවන් ඇතුල් කරන්න සිදු වුණේ ඇයි ද කියාත් කල්පනා කරන්න. ලේකම්තුමා පුළුවන් නම් කල්පනා කරන්න පුළුවන් අය බිහි කර ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ගැන කල්පනා කරන්න. අර විශේෂඥ කමිටුවට කල්පනා කරන්න පුළුවන් ද කියල අහන්නෙ නිකමට ම නො වෙයි.

සිංහල භාෂාව කියන එක ලංකාවෙන් තුරන් කරොත් සිංහල ජාතියක් කියන එක ලංකාවට නැති…සිංහලයාට රටකුත් නැති වෙනවා ..අපේ ජාතිය බිහිවෙලා තියෙන්නෙ අපේ භාෂාව මතයි

සිංහල කියලා ජාතියක් ලෝකේ ඉතුරු වෙලා තියෙන්නෙ සිංහල භාෂාව නිසා පමණයි …සිංහල භාෂාව රැක ගනිල්ලා !!විශ්වයට යැව්ව යානාවෙ වාදනය වන දෙවැනි භාෂාව සිංහල !!!❤️

අපිට අවුරුදු දහතුනක් ඉගෙනගෙනත් ඉංග්‍රීසි බෑ .😜..ඉංග්‍රීසීන් මොළේට යන්නේ නැහැ මව් භාෂාවෙන් තමයි අධ්‍යාපනය හොඳටම වදින්නේ …ජපානය computer පවා බූට් වෙන්න තියෙන්නෙ ජැපනීස් වලින්…මව් භාෂාව මරා දාන්න හොඳ බුද්ධිමත් පියවරක් මෝඩ තකතීරු තීරණයක් ..ඉංග්‍රීසි භාෂාව විෂයක් විදිහට එක වසරේ ඉඳන් ඉගැන්නුව නම් හරි නේ …අපේ අය හිතන් ඉන්නේ ඉංග්‍රීසි එයාලට පුළුවන් කියලා පිටරටවල ජනාධිපතිලා පවා ඉංග්‍රීසියෙන් සාකච්ඡාවක්වත් කරන්නේ නැහැ මව් භාෂාවෙන් කරන්නේ භාෂා පරිවර්තක වරු යොදා ගන්නවා මොකද වැරදි අදහස් ගියොත් ගිවිසුම් එහෙම වෙනස් වෙන හින්දා…දැනුම ලබාගන්න ලබා ගන්න ඉන්ග්‍රීසි වතුර වගේ පුළුවන් වෙන්න ඕනෙ නැහැ ..වෙනත් විෂයයන් වල දැනුම ලබාගන්න ඉංග්‍රීසි යම් මට්ටමකට තිබුනහම ඇති…මව් භාෂාව මරන්න යන්නේ ඇයි ?කිසිම රටක ජාතියක කරන්නෙ නැති වැඩක් කරන්න යන්නේ …ඔය උනාට හෙළ ජාතික අභිමානය තමයි නටන්නෙ..
එක වසරේ ඉඳන් සුද්දොන්ගෙ සුද්දන්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තා නං වන්නේ ඉංග්‍රීසි පුළුවන් වෙනවා …අපි ඉගෙන ගන්නෙ සුද්දො තරම් බැරි අයගෙන් …සිංහලෙන් හිතලා සිංහලෙන් කතා කරන අයට ඉංග්‍රීසි වලින් විෂය වදින්නෙ නැහැ ….උගන්නන්නෙ සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරන අය…මව් භාෂාව මරණ තකතීරු තීරණයක්
ඔන්න එක වසරේ ඉඳන් සුද්දන්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තා නං අඩුගානේ වතුර වගේ ඉංග්‍රීසි පුළුවන් වෙනවා ..😜😂.අපි ඉගෙන ගන්නෙ සුද්දො තරම් බැරි අයගෙන් …සිංහලෙන් හිතලා සිංහලෙන් කතා කරන අයට ඉංග්‍රීසි වලින් විෂය වදින්නෙ නැහැ ….උගන්නන්නෙ සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරන අය…මව් භාෂාව මරණ තකතීරු තීරණයක්…

.සිංහල භාෂාව කියන එක ලංකාවෙන් තුරන් කරොත් සිංහල ජාතියක් කියන එක ලංකාවට නැති…සිංහලයාට රටකුත් නැති වෙනවා ..අපේ ජාතිය බිහිවෙලා තියෙන්නෙ අපේ භාෂාව මතයි ..ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තා කියලා රට ජාතිය ගැන හැඟීමක් නැති එක නෙමෙයි …ඒක නෙමෙයි නෙවෙයි මේ කියන්නේ භාෂාව රැක ගන්න ඕන කොහෙවත් තමන්ගේ මව් භාෂාවෙන් නැතුව උගන්නන්නෙ නෑ අපිට වැඩිය දියුණු රටවල් තියෙනවා ඒ රටවල ඉංග්‍රීසියෙන් උගන්වන්නේ නෑ තමන්ගේ මව් භාෂාවෙන් උගන්වන්නෙ පොඩ්ඩක් හොයලා බලන්න ..මව් භාෂාවෙන් හිතන එක ගැන මනෝ මනෝ විද්‍යාත්මකවත් පහදන්න පුළුවන් මට ඒ ගැන ලොකු දැනුමක් නැහැ ඒ ගැන හොයල කියවන්න…එක වසරේ ඉඳන් උගන්වන එක නෙවෙයි කරන්න ඕන ඉංග්‍රීසි උගන්වන ක්‍රමයයි වෙනස් කරන්න ඕන

සිංහල වචන වල බලයක් තියෙනවා ඒ බලයට මුළු මුළු ලෝකෙම බලවතුන් බයයි …ඉතින් ඒකට අපේ අයත් බයකරගෙන…සිංහලයිනි නැගිටිව් අඩුගානේ භාෂාවවත් බේරාගනිමු !


සමන් රත්නායක

බටහිර දැණුමෙන් ආධිපත්‍ය යෙන් සිංහළ දැණුම යටපත් කිරීම

කාලිංගය (කලිඟු රට) පිළිබඳව ලංකාවේ ඉතිහාසය ලියූවන් අතර එකඟතාවක් නැත. ඉන්දියාවේ ඉතිහාසකරුවෝ එය ඩැකෑන් වෙරළ සමීපයේ පිහිටා තිබූ රටක් බව කීහ. මහාවංශයට අනුව සිංහල රජ පරපුර බිහිකළ සිංහයාගේ බිසව සුප්පාදේවී කාලිංග කුමාරිකාවකි. සිංහල ඉතිහාස කතාවලින් කියවෙන හැටියට එය ප්‍රබල බෞද්ධ රටක් වශයෙන් කීර්තිය දැරීය. බ්‍රාහ්මණාගම ඇදහූ රජවරු මෙහි රාජ්‍ය බලය අත්පත්කර ගත්හ. එවිට රට පාලනය කළ ගුහාශිව රජුගේ දියණිය (හේමමාලී කුමරිය) සහ බෑණා (දන්ත කුමරුන්) දන්තපුර නුවර වැඩ විසූ බුදුන්ගේ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙන නැවක නැගී සිංහල දේශයේ ඔවුන්ගේ ඥාතීන් වෙත පැමිණියහ. දන්ත, අශෝක අධිරාජයා යුවරාජයෙකු වශයෙන් කටයුතු කළ අවන්ති රටේ කුමාරයෙකු බව පාලි දාඨාවංශයේ සඳහන් වේ. අශෝක අධිරාජයා ධර්මයට පිටුපා හැසිරුණ කාලිංගයට පහර දුන්නේය. එවිට ඇතිවූ බිහිසුණු යුද්ධය හේතුවෙන් අති විශාල ජීවිත හානියක් සිදුවිය.

යුද්ධයේදී මරාදැමුණු, මරණයට පත්වූ, සිරකරුවන්වූ සහ විපතට පත්වූ මනුෂ්‍ය ජීවිත ගැන මෙනෙහි කරන්ට ගත් අශෝක රජතුමාට බලවත් කම්පාවක් හා කනස්සල්ලක් ඇතිවිය. එතුමා කාලිංග පර්වතයේ පිහිටුවා ඇති ලිපියේ මේ සියලු විස්තර සඳහන්කර තිබේ. රජතුමා එමගින් තමන් පිළිපදින්නට තීරණය කළ, සියලුම රටවැසියන්ට තෘප්තිමත්ව ජීවත්වීමට මග පාදන ධර්ම මාර්ගයක් සඳහන් කරයි. දෙමව්පියන්ට කීකරුවීම, වැඩිහිටියන්ට ගරුකිරීම, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකීම, හිංසනයෙන් තොරව ජීවත්වීම ආදී කරුණු ගණනාවක් ඊට අයත් වේ. ලංකාවේ සමහර දේශපාලනඥයන් අවුරුද්දක් පාසා වන්දනාවේ යන පුරි දේවාලය පැරණි දන්ත පුරයේ දළදා මාලිගාවේ පාදම මත්තෙහි ඉදිකරන ලද්දකි. වර්තමානයේ එහි ඇති ශිව ලිංගය අශෝක ස්ථම්භයක් කඩා සකස් කරගන්නා ලද්දකි.

ඉන්දියාවේ ඉතිහාසය ලියූ යුරෝපා ජාතිකයින් අශෝක රජු කාලිංගය යටත් කිරීම ගැන නොයෙක් සාවද්‍ය මත ප්‍රකාශ කර තිබේ. සූක්ෂ්ම ක්‍රමවලට අශෝක අධිරාජයාට නිගරු කිරීම ඔවුන්ගේ සම්ප්‍රදායකි. ඊට ප්‍රධාන හේතුව එතුමා බෞද්ධයෙකු වීමයි. අශෝක අධිරාජයා යුරෝපයේ විසූ රාජ්‍ය පාලකයන් සමග තුලනය කිරීම ඔවුන් එතුමාට නිගරු කිරීමට භාවිත කරන උපායකි. ඒ ඇතැමුන් අශෝක අධිරාජයා හඳුන්වන්නේ ‘ඉන්දියාවේ කොන්ස්ටන්ටයින්’ වශයෙනි. කොන්ස්ටන්ටයින් රෝමයේ විසූ රජෙකි. ඔහු ක්‍රිස්තියානි අධිරාජ්‍යයක් ගොඩනැගුවේය. ඔහුගේ ජීවිත කතාව ලියූවන් සඳහන්කර ඇති ලෙසට යුදෙව් බයිබලයේ සඳහන් වන ලෝකය මැවූ දෙවියන් වහන්සේගේ උපකාරය කොන්ස්ටන්ටයින්ට ලැබුණි. සිංහාසනය ලබාගැනීම සඳහා යුද්ධය ඇරඹීමට පෙරදින රාත්‍රියේ ඔහුට දෘශ්‍යමාන වූ දෙවියෝ කුරුසය සලකුණු කළ කඩුවක් ප්‍රදානය කළහ.

ඉන්පසු කොන්ස්ටන්ටයින්ගේ පාර්ශ්වයේ සෙබළු ඔවුන්ගේ කඩුවල ඒ කුරුස ලකුණ සලකුණුකර ගත්හ. කුරුස ලකුණේ බලයෙන් සටන් බිමට ගිය සේනාව ඉතා පහසුවෙන් ජයග්‍රහණය කළේය. කොන්ස්ටන්ටයින්ව ආදර්ශයට ගත් ස්පාඤ්ඤය, පෘතුගාලය, ඕලන්දය, බිතාන්‍යය, ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කය ආදී රටවල් කුරුසය පෙරමුණෙහි තබාගෙන රටවල් යටත් කරන්නට ගියහ. ඒ හැමෝම ජයග්‍රහණය කළහ. ජර්මානුවන් අනුගමනය කළේ ඊට වෙනස් මගකි. ඔවුහු නොපිටට කැරකෙන ස්වස්ථික ලාංඡනයක් ධජය කරගෙන කුරුසය පෙරටුකරගෙන සිටි යුරෝපීය රටවල් සමග යුද්ධ කළේය. ඒ යුද්ධයෙන් ජර්මනිය පරාජය විය. කලක් ඇමරිකාවේ බොස්ටන්හි පාස්ටර්වරයෙකුව සිටි ජේම්ස් කරෝල් (James Carrol) දීර්ඝ කාලයක් මුළුල්ලේ කළ ගවේෂණයකින් පසු, 2001 වසරේ කොන්ස්ටන්ටයින්ගේ කඩුව (Constantine’s Sword: The church and the Jews) මැයෙන් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළේය.

ඒ කතාව ඇසුරින් ඇමරිකාවේ චිත්‍රපටයක් නිපදවා තිබේ. කොන්ස්ටන්ටයින්ගේ කඩුව ග්‍රන්ථයට ඇමරිකානු සමාජයේ කිසියම් ආගමික සංවාදයක් ඇති කිරීමට හැකිවිය. ඊට හේතුව පැරණි කතෝලික හා ක්‍රිස්තියානි ආගම් සහ යාඥා ආගම් අතර මතභේද පැවතීමයි. කරෝල් පැහැදිලි කරන ලෙසට, රෝම සිංහාසනය හිමිකරගත් කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානි සහ යුදෙව් දේවගැතිවරුන් රැස්කර සම්මේලනයක් පැවැත්වීය. එය ප්‍රසිද්ධ වී ඇත්තේ ‘නිසියා කවුන්සලය’ නමිනි. නිදහස ලැබුණු මුල් කාලයේ ලංකාවේ පාර්ලිමේන්තුව කවුන්සලයක් වශයෙන් ප්‍රසිද්ධ වී තිබුණි. ලංකාවේ ඉහළම උසාවිය වූයේත් එංගලන්තයේ ‘ප්‍රිවි කවුන්සිලයයි’. කැරොල් පෙන්වා දෙන ලෙසට, නිසියා කවුන්සිලය යනු, යුදෙව්වන් සහ ක්‍රිස්තියානින් අතර පැවැති සංවාදයකි.

දෙවියන් සහ දේවපුත්‍රයා පිළිබඳ තීරණයක් ගැනීම ඊට සහභාගිවූවන්ගේ ප්‍රධාන කටයුත්ත වූයේය. යුදෙව්වන් සහ ක්‍රිස්තු භක්තිකයන් අතර පැවති ප්‍රධාන මතභේදය මෙය බව ඔහු කියයි. ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් වන්නේ කැරොල්ගේ අදහස නොවේ. ඊට අනුව යේසුස් වහන්සේට කුරුසියේ තබා ඇනගැසීම යුදෙව් රබ්බිවරුන්ගේ තීරණයකි. නිසියා සම්මේලනයට සහභාගිවූවෝ, ‘අරියස්’ සහ ‘අනෙන්සිස්’ දේවගැතිවරුන් දෙදෙනා යටතේ කොටස් දෙකකට බෙදී සිටියහ. දෙවියන් වහන්සේ සහ යේසුස් වහන්සේ දෙදෙනෙකි කියමින් අරියස් තර්ක ඉදිරිපත් කළේය.

දෙදෙනාම එක් අයෙකැයි අනෙන්සිස් තර්ක කළේය. ඇමරිකාවේ බිහිවූ නව ක්‍රිස්තියානි ‘සෙක්ට’ බොහෝමයක් අදටත් කියන්නේ දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ එකම කෙනෙකු බවයි. රටවල් යටත් කළ යුරෝපීයයෝ ඒ රටවල් යුදෙව් ක්‍රිස්තියානි ආගමික ආධිපත්‍යය යටතට පත්කළහ. මේ නිසා ලොවපුරා ක්‍රිස්තියානි ආධිපත්‍යයක් ඇතිවිය. චීන විප්ලවය මෙහෙයවූ මාඕ සේතුං ඒ ආධිපත්‍යයෙන් චීනය ගලවා ගත්තේය. බ්‍රිතාන්‍යයන්ගෙන් රට භාරගත් ලංකාවේ දේශපාලනඥයෝ පැවැති ආගමික ආධිපත්‍යය ආරක්ෂා කරමින් තහවුරු කළහ.

“නුඹේ දෙවි ස්වාමින් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි” යැයි දස පනතේ සඳහන් වේ.

ප්‍රතිවාදියා පමණක් නොව ප්‍රතිවාද නොඉවසීමත් යුදෙව් ක්‍රිස්තියානි අධිපතිවාදයේ අංගයකි.

ලංකාවේ කොවිඩ් 19 පැතිරයාම එය තේරුම් ගැනීමට හොඳ අවස්ථාවකි.
කොවිඩ් පළමුවෙනි රැල්ල නැගෙද්දී ආයුර්වේද වෛද්‍යවරු ඊට ප්‍රතිකාර සෙවීමට යුහුසුලු වූහ. ධම්මික පැණියත් එහි ප්‍රතිඵලයකි. එවැනි තවත් වෙද පිරිස් වෙති. ප්‍රසිද්ධ නොවූ, දේශීය ඖෂධ ආධාරයෙන් ප්‍රතිශක්තිකරණය හෝ සුවය හෝ ලැබූ රටවැසියෝ දහස් ගණනක් සිටිති. තවමත් රට වැසියන් වැඩි පිරිසක් කොවිඩ්වලින් ආරක්ෂා වී සිටින්නේ දේශීය ඖෂධවලින් මිස එන්නතක් ලබාගෙන නොවේ. නමුත් තුන්වැනි රැල්ල එනවිට ආයුර්වේද හා පාරම්පරික වෛද්‍යවරුන් දුර්වල කිරීමට සෞඛ්‍ය බලධරයන්ට හැකිවී තිබිණි. ධම්මික පැණිය නුසුදුසු යැයි තීරණය කිරීම නිදසුනකි.

‘ලොක්ඩවුන්’ කිරීම තවත් නිදසුනකි. දෙවන ලෝක යුද්ධය අවසන් වූ තැන් සිටම හදිසියේ ඇතිවන ආපදාවනට මුහුණදීමට ඇමරිකාවේ වැසියෝ පුරුදු වී සිටිති. මාසයකට දෙකකට ප්‍රමාණවත් ආහාර පාන නිවසේ රැස්කරගෙන සිටීම ඔවුන් බොහෝම දෙනෙකුගේ සාමාන්‍ය සිරිතයි. ලංකාවේ සිරිත එය නොවේ. රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට නිවෙස්වල ආහාර ගබඩා හදා ගැනීමට නොහැක. ඔවුන්ට විහාරස්ථාන නඩත්තු කිරීමට සිදුවේ. බෙදාහදා ගැනීම ඔවුන්ගේ සිරිතකි. කුසගින්නේ සිටින පුද්ගලයෙකු පැමිණිවිට තමන්ගේ බත්පත එම තැනැත්තාට දීමට තරම් කාරුණික පුද්ගලයෝ සිංහල සමාජයේ සිටිති.

ඇමරිකාවේ සිරගෙවල්වල පැවැති ලොක්ඩවුන් ක්‍රියාවලිය ඉන්දියාව ලංකාව වැනි රටවල් ක්‍රියාවට නංවන්නේ කොවිඩ් වසංගතයත් සමගිනි. මෙයින් කරන එක ක්‍රියාවක් වන්නේ, පුද්ගලයන් තමන් වසන නිවාසවලට සිරකිරීමයි. කොවිඩ් පැතිරෙන මුල් සමයේ මුළු රටම ලොක්ඩවුන් කරන්නැයි ඇතැම් සෞඛ්‍ය බලධරයෝ රජයෙන් ඉල්ලූහ. රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොමැති විට, කොවිඩ් ව්‍යාප්තිය ‘ලොක්ඩවුන්’ නීතිය ක්‍රියාත්මක නොකළ රජයේ වරදක් බව විරුද්ධ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් චෝදනා එල්ල විය. රජය රටම ‘ලොක්ඩවුන්’ කළ අතර කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් සිදුවිය. එවිට ඇතැම් සෞඛ්‍ය බලධරයෝ දින තුනක ‘ලොක්ඩවුන්’ කිරීමක් රටට අවශ්‍ය බව කීහ. එහෙත් කොවිඩ් පැතිරීමේ අඩුවක් නොවීය.

එනිසා දින හතක් රට ‘ලොක්ඩවුන්’ කරන්නැයි ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති. එයත් යම් තරමකට ක්‍රියාත්මක වේ. නමුත් කොඩිඩ් පැතිරීමේ අඩුවක් නැත. පසුගිය දිනක රූපවාහිනී නාළිකා මගින් අදහස් දැක්වූ බටහිර වෛද්‍යවරයෙක්, දින විසි එකක් රට ‘ලොක්ඩවුන්’ කිරීම, කොවිඩ් පාලනයට මග බව කීවේය. එයිනුත් කොවිඩ් වැළැක්වීමට නොහැකිවුණොත් අවුරුද්දක්ම රට ‘ලොක්ඩවුන්’ කරන්නැයි ඉල්ලීම් මොවුන්ගෙන් රජයට ඉදිරිපත් වනු ඇත.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සතිඅග අරුණ

පාදඩ ධනවත්තු

මාක්ස්වාදී සාහිත්‍යයෙහි ලංකාවේ කියැවෙන ආකාරයට සංකල්පයක් වන්නේ ලුම්පන් ප්‍රොලිටේරියට් යන්නයි. එය සාමාන්‍යයෙන් පාදඩ කම්කරු පංතිය ලෙස පරිවර්තනය කෙරෙනවා. රනිල්දාසලාට හා කෙකරගාමීන්ට නම් එය පාදඩ නිර්ධන පංතිය විය හැකීයි. මෙහි පාදඩ යන්නට පහත් නැත්නම් අසංවිධිත යන ආකාරයෙන් තේරුම් දෙන්න පුළුවන්. මාක්ස්වාදී සමාජවාදීන් විසින් සංවිධානය කෙරෙන කම්කරුවන් සහ වෙනත් කම්කරුවන් ඉන්නවා. එදිනෙදා කුලියක් කරගෙන ඉන්න ආයතනයක රැකියාවක් නොකරන කම්කරුවන් ඉන්නවා. ඔවුන් සංවිධානය කෙරී නැහැ. ඔවුන් පාදඩ ද කියා මා දන්නේ නැහැ.

එහෙත් මෙරට තබා ලොවේ කොහේවත් පාදඩ තියා සංවිධිත කම්කරු පංතියක්වත් නැහැ. කම්කරුවන් හිටියට කම්කරු පංතියක් නැහැ. කම්කරු පංතියක් නැති වුවත් පාදඩ නිර්ධනයන් සමහර විට රනිල්දාසලා හා කෙකරගාමීන් සමග ඇති. ඒ කුමක් වුවත් අද මෙරට සමාජය පාදඩ සමාජයක් බවට පත්වෙලා. ඔය තරම් අත්‍යවශ්‍ය සේවවාවන් තිබීමෙන් මෙන් ම පෙන්වන්නේ සමාජයේ පාදඩකරණයයි.

මෙරට කාර්මික නිෂ්පාදනයෙහි යෙදුණු ධනපතියන් ඇති වුණේ නැහැ. ගම්පෙරළියෙහි පියල් කොග්ගල සිට කොළඹ ආවේ සේවවාවන් සැපයීමටයි. මට මතක හැටියට හෝටලයකට යම් යම් ද්‍රව්‍ය සැපයීම ඔහුගේ කාර්යය වුණා. ඉංගිරිසින්ටත් අවශ්‍ය වූයේ වැවිලි ආර්ථිකයක් ඇති කිරීමයි. ඒ කාර්මික නිෂ්පාදන නොවෙයි. වැවිලිවලට අමතර ව පතල් කැණීම් කෙරුණා. ඒ හැරෙන්න අරක්කු පෙරුවා. ඒ සමග රේන්දය ගත් අය ඇති වුණා. කොළඹ වරාය මිළ දී ගැනීම හා විකිණීමේ (බයින් ඇන්ඩ් සෙලින්) හදවත වුණා. එහි වැඩ කළ කම්කරුවන් අතින් කාර්මික නිෂ්පාදනයක් වුණෙ නැහැ. එහෙත් මෙරට මාක්ස්වාදීන් විප්ලව කරන්න බැලුවේ වරාය කම්කරුවන් හා වතු කම්කරුවන් අල්ලා ගෙන. ඉස්සර නම් බස් සමාගම් සේවකයන් ද අල්ල ගෙන. බස් ජනසතු කළාට පස්සෙ ටික කලකින් විප්ලවය බස් ගැමුණු අතට ගියා.

ලෙනින්ටත් කාර්මික කම්කරුවන් හිටියේ නැහැ. කාර්මික කම්කරුවන් හිටිය බටහිර රටවල විප්ලව ඇතිවුණෙත් නැහැ. අද ලෙනින්වත් මාඕවත් කස්ත්‍රෝවත් නැහැ. මා හිතන විධියට මාක්ස්වාදය තරම් බංකොළොත් ප්‍රවාදයක් ලෝකයේ බිහි වී නැහැ. අද වමක් නැහැ. වමාලත් නැති වේගන යනවා. ඒත් සමහරුන් තමන් මාක්ස්වාදීන් කියා ගනිමින් ස්වයං වින්දනයක යෙදෙනවා. පැරණි මාක්ස්වාදීන් ගැන කම්කරුවන් හා රට ම දැන හිටියා. අද ඉන්න මාක්ස්වාදීන් ගැන ඔවුන්ගෙ ගෙවල්වල අයවත් දන්නෙ නැහැ.

මට කියන්න ඕන වුණෙ එක්තරා ආකාරයකට මෙරට ඇති වුණෙ පාදඩ ධනපතියන් පිරිසක් බව. මාක්ස්වාදයේ පාදඩ ධනපති පංතියක් ගැන කියැවෙන්නේ නැහැ. පංතිය කොහොම වෙතත් මෙරට බොහොමයක් ඉන්නේ පාදඩ ධනපතියන්. ඔවුන් සේවා සපයනවා. ක්‍ෂුද්‍ර මූල්‍ය පමණක් නොව මකේක්‍ෂ මූල්‍ය ආයතන වූ බැංකු ද කරන්නේ සේවා සැපයීමක්. ඔවුන් කරන්නේ අවශ්‍ය මූල්‍ය සම්පත් සැපයීම. ඒ මූල්‍ය සම්පත් ලබා ගෙන කාර්මික නිෂ්පාදන ආරම්භ කරන්නන් විරලයි. ඔවුන් වරාය හරහා මිළ දී ගැනීම් හා විකිණීම් කරනවා. රථවාහන ගෙන්වා විකුණන ධනපතියන් හා මහරගම නිමි ඇඳුම් වෙළඳම් කරන්නන් අතර සංකල්පීය වෙනසක් නැහැ. සේවා සැපයීම් සූදු කෙළීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වෙනත් සැපයීමක් වෙන්න පුළුවන්. බොහෝ විට මේ ධනපතියන් දේශපාලනඥයන් සමග ඩීල් දානවා. ඩීල් දේශපාලනය හා පාදඩ ධනපතියන් එකට බැඳිලා.

අද තවත් පාදඩ ධනවතුන් පිරිසක් ඇති වෙලා. මේ ධනවතුන් කරන්නෙත් එක්තරා ආකාරයකට සේවා සැපයීමක් ඒ සේවාව රූප ලාවන්‍යය වෙන්න පුළුවන්, උපකාරක පංති පැවැත්වීම වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ජනමාධ්‍ය ආශ්‍රිත වෙන්න පුළුවන්, අපි වින්දන සේවාව කියමු. වෙනත් සේවවාවක් වෙන්න පුළුවන්. සමහරුන්ට අර වින්දනය වදයක් වෙන්නත් පුළුවන්. ඒත් වින්දනය එසේ නොවන විශාල පිරිසක් මේ පාදඩ සමාජයේ ඉන්නවා. ඔවුන්ට ඒ වින්දනය අත්‍යවශ්‍ය සේවයක්.

පියල්ගේ මව අමාරුවෙන් ජීවත් වූ අයෙක්. ලංකාවේ පාදඩ ධනපතියන්ගේ දෙමව්පියන් බොහෝ විට ආච්චිලා සීයලා ගම්වල සාමාන්‍ය මිනිසුන්. ඒ පාදඩ ධනපතියන්ගේ ආරම්භය. පාදඩ ධනපතියන් ඉංගිරිසින් සමග සම්බන්ධකම් ඇති කරගෙන ඔවුන්ගේ යටත්විජිත ආර්ථිකයට යම් ආකාරයකින් ඇමුණුනු අය. දැන් ඉන්න පාදඩ ධනවතුන් දශක තුන හතරක කාලයක ඇති වූ අය. ඊනියා විවෘත ආර්ථිකයෙන් පසු බිහි වූ අය. අද රටේ රූප ලාවන්‍ය කරන තැනක් ඊනියා සැලොනයක් නැති නගරයක් නොවෙයි ගමක් හොයා ගන්න පුළුවන් ද?

පාදඩ ධනපතියන්ට යම් කම්කරුවන් පිරිසක් අවශ්‍යයි. අවශ්‍ය නම් සේවකයන් කියමු. එහෙත් පාදඩ ධනවතුන්ට එවැනි සේවකයන් පිරිසක් අවශ්‍ය නැහැ. රූප ලාවන්‍යය විකුණන්න හරි කලාව විකුණන්න හරි උපකාරක පංතියක් කරගෙන යන්න හරි අඩ හෙළුවෙන් දුවන්න හරි එතරම් සේවකයන් අවශ්‍ය නැහැ. පාදඩ ධනවතුන්ගේ පැටිකිරිය හෙව්වොත් පේන කාරණය තමයි ඔවුන් බොහෝ විට පාදඩ ධනපතියන්ටත් වඩා අමාරු පසුබිමකින් මතු වූ අය බව. සමහරු සිංහල සමාජයට අවශෝෂණය වෙලත් එතරම් කාලයක් නැහැ. පාදඩ ධනපතියන්ට වඩා පාදඩ ධනවතුන් සමාජයේ නමක් ඇති කරගෙන තියෙනවා. පාදඩ ධනවතුන් ගැන සමාජය දන්නවා. ඒ නිසා ඔවුන් තරු හෝටලයක උපන්දින උත්සවයක් පැවැත්තුවත් ප්‍රසිද්ධිය ලැබෙනවා. මා කියන්නේ නැහැ විසාලා මහා නුවර මොන මගුල් ද කියල. උපන් දිනය පැන්නොත් අවුරුද්දක් බලන් ඉන්න වෙනවා. එන අවුරුද්දෙත් කොවිඩ් තිබුණොත් වයිරසයේ වෙනත් විකෘතියක් ආවොත්. වෙනත් ප්‍රභේදයක් ඇති වුණෙත්.

මේ පාදඩ ධනවතුන් ද කසිකබල් මාක්ස්වාදයට අහුවෙන්නෙ නැහැ. ඔවුන් ළඟ එතරම් සේවකයන් නැහැ. ඒත් පදඩ ධනවතුන්ටත් දේශපාලන සම්බන්ධකම් තියෙනවා. ඒ තමයි මෙරට පාදඩ දේශපාලනය. සමාජය ම පාදඩ වෙලා තියෙන විට පාදඩ ධනවතුන් ගැන විතරක් කතා කරන්නෙ ඇයි ද කියල දැන ගන්න ම ඕන නම් ජනමාධ්‍යවේදියකුගෙන් අහන්න.

මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

සසුනේ පැවැත්ම පර්යාප්ති මූලකද, නැතහොත් ප්‍රතිපත්ති මුලිකද

සසුනේ පැවැත්ම පර්යාප්ති මූලකද, නැතහොත් ප්‍රතිපත්ති මුලිකද ?

☑️සසුනේ පැවැත්ම පර්යාප්ති මූලකද, නැතහොත් ප්‍රතිපත්ති මූලකදයන්න පිළිබඳව එදා මහාවිහාරික භික්ෂුන් වහන්සේලා අතර මතභේදයක් හට ගැනුණි.
මනෝරථ පුරණි අටුවාවට අනුව මෙම සාකච්ඡාව ඇතිවූයේ “පාංශුකූලික” හා “ධර්ම කථික” යන භික්ෂුන් වහන්සේල්ලා දෙපක්ෂය අතය. එහිදී පාංශුකූලිකයෝ ශාසනය ප්‍රතිපත්ති මූලක යයිද, ධර්මකථිකයින් පර්යාප්ති මූලක යැයිද තර්ක කළහ .
☑️භික්ෂුන්ගේ මනා පැවැත්ම ඇතිතාක් කල් ලෝකය රහතුන්ගෙන් නොනැසි වන්නේයැයි “ප්‍රතිපත්තිවාදී පාංශුකූලිකයන්” තර්ක කළ අතර,
☑️”සූත්‍රාන්තය (පර්යාප්තිය) රැකෙන කල්හි ප්‍රතිපත්තිය ආරක්ෂවේ” යෑයි පර්යාප්තවාදී ධර්ම කථිකයෝ පෙන්වා දුන්හ.
☑️මේ වාදයෙන් පර්යාප්තිවාදීහු ජය ගත්හ. විදර්ශකයන් දහස් ගණනක් සිටියත්, පර්යාප්තිය නැති වුවහොත් කිසිවෙකුටත් නියම ප්‍රතිෂ්ඨාවක් ඇතිවිය නොහැකි බව අවසානයේ ප්‍රතිපත්තිවාදීහු ද පිළිගත්හ.
☑️ඒ බැවින්ම පර්යාප්ති වාදීහු වැඩි වශයෙන් ග්‍රන්ථධූරදාරිනයෝ වූහ. උන්වහන්සේලා ග්‍රාම වාසයට පුරුදු වූ ධර්ම කථිකයෝ වූහ.
ඔවුන් ත්‍රිපිටකය, හා අටුවා ආදිය කටපාඩම් කිරීමට නිතර වෙහසුනහ. උන්වහන්සේලා පර්යාප්තිය අගය කළා පමණක් නොව, එහි ආරක්ෂාව හා දියුණුව ගැනද අවධානය යොමු කළහ.

☑️මේ නිසාම බැමිණිටියාසාය පැවති වකවානුවේදී, පර්යාප්තියේ අනාගතය ගැන භාරදුර ලෙස සිතන්නට චූහ.මේ අනුව ත්‍රිපිටකය කට පාඩමින් රැකගෙන ආ භික්ෂුන් නැතිව ගියහොත් බුද්ධ ශාසනයට මහත් පාඩුවක් වන බව කල්පනා කළ පරියාප්තිවාදී භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකය පොත්වල ලියා තැබීම ද කළේය .

සාමන්ත ඒකනායක මහතා

නැව ගිලුනත් බෑන් චූන් – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

නැව ගිලුනත් බෑන් චූන්

අද රටේ ඇත්තේ නැව ගිලුනත් බෑන් චූන් දේශපාලනයක්. ගිනිගත් නැව ගැන වග කිව යුත්තේ කවු ද? ඒ නැවට එන්න දුන්නේ ආණ්ඩුව ද? නැවට එන්න දීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණ ද? නැව ගිනි ගත්තේ කෙසේ ද? ගිනි ගැනීම ආරම්භ වුණේ ලංකාවේ මුහුදු සීමාවේ ද? නැත්නම් ඒ සීමාවට පැමිණීමට පෙර ද? අද පරිසර විනාශය ගැන හැමෝ ම වගේ කතා කරනවා. ඒ සියල්ලට වග කියන්න ඕන ආණ්ඩුව ද? ගෝඨාභය ද? මා අහගෙන හිටියා ගෝඨාභය රාජපක්‍ෂ කියනවා විශේෂඥයන් ආණ්ඩුවට කියන්න ඕන කියල නැව ඇද ගෙන යනව ද (ගිලෙන්න කලින් සිදුවීමක්) එහෙම නැත්නම් මොකක්ද කරන්නෙ කියන එක. ආණ්ඩුව කරන ලොකුම වරද තමයි මෙරට විශේෂඥයන් ඉන්නව කියා හිතීම. ඒ කොහොම වුනත් කාදිනල්තුමාත් සටනට බැහැල. කාදිනල්තුමා දැන් කලක සිට දේශපාලනයක නිරත වෙලා ඉන්නෙ. නැව ගිලුන එක ගැන ආණ්ඩුවට පහර දීල චූන් වීම තමයි නැව ගිලුනත් බෑන් චූන් කියල කියන්නෙ.

ඒ අතර කාබනික පොහොර කතාවක් ඇවිල්ල. මේ කතා පිටුපස තියෙන්නෙ 2024 ජනාධිපතිවරණය. අපේ රටට අද වෙන විට ගේන ශාඛ සත්ව විශේෂ ගැන පරීක්‍ෂාවක් කෙරෙන්නෙ නැහැ. එක්සත් ජනපදවලට ඕස්ත්‍රේලියාවට ශාඛ වර්ග නෙවෙයි අපේ දේශීය ප්‍රතිකාරයක්වත් ගෙනි යන්න ඉස්සෙල්ල පරීක්‍ෂණ රාශියකට ඉදිරිපත් කරන්න ඕන. ඒ පරීක්‍ෂණත් බටහිර විද්‍යා පරීක්‍ෂණ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. කාබනික පොහොර ගෙන්නන්න ඉස්සෙල්ල බටහිර ක්‍රමයට හරි පරීක්‍ෂා කරනවා නම් හොඳයි. ඒත් මේ අද කාබනික පොහොර ගැන කෑ ගහන අය රසායනික පොහොර ගැන එතරම් දෙයක් කළේ නැහැ. ගුණදාස අමරසේකර නම් රජරට වකුගඩු රෝගය සුදු ද කළු ද කියලවත් නොදැන චන්න ජයසුමනගෙ පොතට පෙරවදනක් ලිවුව. සමහරදාට ගුණදාස අමරසේකර, ගුනදාස අමරසේකර කියලත් අත්සන් කරනවා. න ණ භේදය සලකන්නෙ නැතිව ඇති.

ඒත් මට දැන ගන්න ඕන ඔය කාබනික පොහොර ගෙන්නන්න යනවද කියල. ජනමාධ්‍යයෙ සඳහන් වෙන්නෙ ජනමාධ්‍යවේදීන් අහුල ගන්න දැනුම් කෑලි. කාබනික පොහොර හා ජීව පොහොර අතර වෙනසක් තියෙනවා. හෙළ ගොවිකමේ අනාදිමත් කාලයක ඉඳල ජීව පොහොර යොදා ගන්නෙ. වෙනත් රටවලත් එවැනි දේ යොදා ගන්නවා. උදාහරණයක් ලෙස ඩෙල්ටා රටෙත් (ඉන්දියාවෙ) ජීව පොහොර යොදා ගන්නවා.

මේ සියල්ල ගැන විස්තරාත්මක ව ලියන්න ඕන. ඒත් මේ කොවිඩ්, නැව, සංචරණ සීමා සහ තවත් එවැනි දේ ගැන ආණ්ඩුවට බැන වදිමින් චූන් වෙන අතර බටහිර ලෝකයත් චූන් දේශපාලනයක යෙදිල. අපටත් ඒ ගැන එතරම් දෙයක් ලියන්න වෙන්නෙ නැහැ. සංචරණ නීති ගැන කල්පනා කරන විට හිතෙනවා මේ රටේ මෙතරම් අත්‍යවශ්‍ය සේවා තියෙනවා ද කියල. මා හිතන් හිටියෙ අවශ්‍ය සේවා ටිකක් පමණයි තියෙන්නෙ. අත්‍යවශ්‍ය සේවා කියන්නෙ ජලය විදුලිය සැපයීම, කුණු කසල සුද්ද කිරීම වගේ දේ. කලකට පෙර නගරවල වැසිකිළි සුද්ද පවිත්‍ර කරන්න පිරිසක් හිටිය. ඒ අය නම් කළෙ අත්‍යවශ්‍ය ම සේවයක්. ඒත් ඔවුන්ට බයිසිකලයක්වත් තිබුණෙ නැහැ. තිබුණ නම් අර පොලීසියේ පාට පාට රවුම් කෑලි (ස්ටිකර්) අලව ගන්න අවස්ථාව ලැබෙනවා.

බටහිර ලෝකය අපට විරුද්ධ ව වැඩ කරන්නෙ ඇල්ෆා රටේ (එංගලන්තයෙ) වුවමනාවට. තවම ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජනපදවලට කැනඩාවට ග්‍රීක අකුරු දීල නැහැ. අපි එක්සත් ජනපදවලට (ඇමරිකාවට) ගැමා රට කියමු. ලෝක සෞඛ්‍ය සංවිධානයට ගැමා අමතක වෙලා කෙලින් ම ඩෙල්ටා අකුරට ගිහින්. ඩෙල්ටා ළඟට තියෙන්නෙ එප්සිලොන් නැත්නම් එප්සයිලොන්. ඒක කියන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපි ඊළඟ අකුරට ගිහින් කැනඩාවට සීටා කියමු. ග්‍රීක අකුරු විසිහතර ඉවර වුණාට පස්සෙ ඕන නම් ඇල්ෆා ඇල්ෆා රට ආදී වශයෙන් කියන්න පුළුවන්. ගැමා හා සීටා රටවල් අපට විරුද්ධව යෝජනා සම්මත කර ගෙන .

ගැමා සම්මත කර ගත් යෝජනාව අනුව උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ නිජභූමිි. ඒ පළාත් දෙක ඒකාබද්ධ කරන්න ඕනලු. ඒ පළාත් ඓතිහාසික ව පීඩනයට පත් කෙරුණු ප්‍රදේශ කියලත් කියනවා. ගැමා යෝජනාවට අනුව කොටි සංවිධානය දෙමළ නිදහස් සංවිධානයක්. ඒ කොටි සංවිධානය තවමත් ගැමා රටේ තහනම් සංවිධානයක් ලෙස නම් කෙරී තිබිය දී. මේ අතර සීටා රටේ ප්‍රධාන ප්‍රාන්තයක් යෝජනාවක් සම්මත කර ගෙන ලංකාවේ දෙමළ ජනයා සමුලඝාතනය කළ බව කියමින්.

අපේ ඉංගිරිසියෙන් ලියන අය ද ඇතුළත් ව ඇතැම් ජාතිකවාදීන්ට අනුව මේ රටවල්, ඇල්ෆා රට ද ඇතුළුව, මෙවැනි යෝජනා සම්මත කර ගන්නේ දෙමළ විසුරුණු ජනයාගේ බලපෑම මත. මේ තරම් පට්ටපල් බොරුවක් බටහිර භෞතික විිද්‍යාවෙවත් නැහැ. ඔය වියුක්ත බලපෑමක් ගැන කියන්නෙ. ගැමා රටේ දෙමළ විසිරුණු ජනයාට කළ හැකි බලපෑම කුමක් ද? මේ දෙමළ විසිරුණු ජනතාවගේ බලපෑමක් ඇතැයි කියන කතාව ඒ රටවල ඉන්න සිංහලයන්ට කරන නිග්‍රහයක්. මෙයින් කියන්නේ ඇල්ෆා, ගැමා. සීටා රටවල ඉන්න සිිංහලයන් වැඩකට නැති පිරිසක් බවයි. ඒ සිංහලයන්ට අදාළ ආණ්ඩුවලට බලපෑමක් කිරීමට නොහැකි බවයි. ඒ සිංහලයන් තම රට වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් ඉදිරිපත් නොවන බවයි.

ඒ රටවල සිංහලයන් රට වෙනුවෙන් හා ජාතිය වෙනුවෙන් වැඩ කරනවා. ඔවුන් හොඳින් කරුණු ඉදිරිපත් කරනවා. එහෙත් අදාළ රටවල් නෑසු කණින් ඉන්නවා. ඔය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන මුසා බව ඒ රටවල් නෙදන්නවා නො වෙයි. ඇල්ෆා රටේ නේස්බි සාමිවරයා පසුගිය දා සාමි මන්ත්‍රී මණ්ඩලයේ කතාවක් කරමින් ගෑෂ් වාර්තා හංගන්නේ ඇයි ද යන ප්‍රශ්නය නැගුවා. ඒ වාර්තාවල සඳහන් වෙනවා ඝාතනය වූ දෙමළ ජනයා හත්දාහක් පමණ වන බව.

මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. අප අභියෝග කරනවා ඇල්ෆා රටට 1983න් පසු ලංකාව ගැන ඇති වාර්තා හෙළිදරවු කරන ලෙස. එකල තිබුණේ ජේ ආර්ගේ ආණ්ඩුවක්. දෙමළ කොටි සංවිධානය මෙහෙයවූයේ ඇල්ෆා රටයි. නන්දිකඩාල් කලපුවෙන් පසු ඇල්ෆා ගැමා සීටා රටවලට විඳදරා ගන්න බැරි පරාජයක් අත් වුණා. අද ඔවුන්ට තවත් ප්‍රශ්න තියෙනවා. ලංකාව හා චීනය අතර සුහදතාව, වරාය නගරය, එම් සී සී ගිවිසුම අවලංගු කිරීම. ඒ අතර ඒ රටවලට සිංහල බෞද්ධයන්ට ඇති විරෝධයත් තියෙනවා.

ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධයන්ගෙන් පලිගන්න. එය දහනවවැනි සියවසේ මුල දක්වා දිව යන්නක්. 1817-18 නම් ඉංගිරිසින් සිංහලයන් ඝාතනය කළේ ඉතාමත් අමානුෂික ආකාරයකට. 1848, 1917 ඉංගිරිසින්ගේ පලිගැනීම්වලට තවත් සාධක. ඊනියා දෙමළ විසිරුණු ජනයාත් ඇල්ෆා හා සීටා රටවල නිර්මාණයක්. එකී සංවිධාන පවත්වාගෙන යනු ලබන්නේ ඇල්ෆා හා සීටා රටවලින්. ඇතැම් අය, විශේෂයෙන් අබෞද්ධ අය ලියන්නේ ඒ ක්‍රිස්තියානි රටවල් නොදන්නා කමට දෙමළ විසිරුණු ජනයාගේ බලපෑමට හසුවෙලා කියලා. මෙයත් ක්‍රිස්තියානි නූතනත්වය සිංහල බෞද්ධයන්ට එරෙහිව කරන තවත් මෙහෙයුමක්.

මේ රටවල් අපේ රණවිරුවන්ට තහංචි පනවනවා. ඒ රණවිරුවන්ට විවිධ රටවලට යන්න බැහැ. මේ නන්දිකඩාල් පරාජය විඳ දරා ගන්න බැරුව කරන දේ. ඔය රටවල් ලංකාව වැනි කුඩා රටකට පරාජය වුණා. ඔවුන් කොටි සංවිධානය යොදා ගනිමින් කළ මෙහෙයුම පරාද වුණා. ඊනියා දෙමළ සමූලඝාතනයක් වුණා නම් එකල හමුදාපති සරත් ෆොන්සේකා ඒ සියල්ලට ම වග කියන්න ඕන. එහෙත් ඔහුට අර රණවිරුවන්ට ඇති තහංචි නැතිවා පමණක් නොව 2010 දී ජනාධිපති අපේක්‍ෂක ලෙස ද ඉදිරිපත් කෙරුණා. ඔහුට විරුද්ධ ව ගැමා රටේ ප්‍රාන්තයක තිබූ නඩුවක් අස් කර ගත්තා. ඔහු හමුදාව ජයග්‍රහණය කරා මෙහෙය වූ බව ඇත්ත. එහෙත් ඔහු සුදු කොඩි පාවා දීම ද කළා.

ඇල්ෆා ගැමා සීටා යනු තොත්ත බබාලා නො වෙයි. ඒ අකුරු තුන සීටා ඇල්ෆා ගැමා කියන පිළිවෙළින් ලිවුවෙත් සැග් කියා කියවන්න පුළුවන් ද? මා දන්නේ නැහැ. ඒ කුමක් වෙතත් මෙතන තියෙන්නේ සිග් සැග් කතාවක්. අපට ගිනිගත් නැව ගැනත් වෙනත් විධියකට හිතන්න වෙන්නෙ වරාය නගරය අසල එය සිදු වීම නිසා ම පමණක් නො වෙයි. වරාය නගරයට විරුද්ධ ධනදාසලා පමණක් නො වෙයි.

බටහිරයන් නොවන අපි – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

බටහිරයන් නොවන අපි

මා විද්‍යාඥයකුවත් විශේෂඥයකුවත් නො වෙයි. මා හිතන්නේ ලංකාවේ විද්‍යාඥයන්වත් විශේෂඥයන්වත් නැති බවයි. බොහෝ දෙනා දෙවැනි කරුණ සමග එකඟ වන්නේ නැති බවත් පළමු කරුණ සමග එකඟ වන බවත් මා දන්නවා. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව පැමිණි අයකු බව සඳහන් කළ විට එක්තරා අයකු මුහුණු පොතේ කියා සිටියේ මා විද්‍යාව නොදන්නා බවයි. මෙරට ඉන්න දන්ත වෛද්‍යවරයකු වූ අශෝක අමරතුංග, කැනඩාවේ චන්ද්‍රසිරි ධර්මවර්ධන ආදීන්ට අනුව මා බොරුකාරයන්ට උපකාර කරන මිථ්‍යා මත වපුරවන තැනැත්තෙක්. කැනඩාවේ ම ඉන්න බෝධි ධනපාල නමැත්තකුට අනුව සසෙක්ස් විශ්වවිද්‍යාලය මුග්ධයකු වූ මා ඉක්මණින් විශ්වවිද්‍යාලයෙන් පිටත් කිරීම සඳහා අඩු කාලයකින් ආචාර්ය උපාධියක් දී එවනු ලැබූවෙක්. විදුසර පුවත්පත ඒ සියල්ල පිළිගෙන මගේ ලිපි පළකිරීම නවතා දැමුවා.

එහෙත් ඉන්පසුවත් මෙරට විද්‍යාඥයන් බිහිවන පාටක් නැහැ. ජනමාධ්‍යවල පෙනී සිටින විශේෂඥයන් කොවිඩ් 19 ගැන කියන්නේ සාමාන්‍ය දැනුමෙන් මිස ඊනියා විශේෂඥ දැනුමකින් නො වෙයි. මා ඔවුන් ගැන කතා කිරීමට වෙනුවට අද මා ගැන ටිකක් කියනවා. මට විද්‍යාඥයකු, නිශ්චිත ව ම කිවුවොත් බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු (Theoretical Physicist) වීමට අවශ්‍ය වුණේ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලයේ. ඒ අවුරුදු හැටකට එහා. මා සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයට පෙනී සිටියේ 1960 දෙසැම්බරයේ.

මට බටහිර වෙද මහතකු තබා ඉංජිනේරුවකුවත් වීමේ අවශ්‍යතාව තිබුණේ නැහැ. එකල තිබූ ක්‍රමය අනුව මා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටියේ භෞතීය විද්‍යා අංශයෙන්. එකල සමහරුන් තම හැකියාව කැමැත්ත ආදිය අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙර ම ඉංජිනේරු හරි භෞතීය විද්‍යා පාඨමාලා හරි තෝරා ගත්තා. ඉංජිනේරු පීඨය තෝරා ගත් අයගෙනුත් සමහරු භෞතීය විද්‍යා පාඨමාලා සඳහා නම් කෙරුණා. එකල විශ්වවිද්‍යාලයේ ප්‍රවාදාත්මක හරි ගණිතමය හරි භෞතික විද්‍යා පාඨමාලාවක් තිබුණේ නැහැ. එබැවින් මා ගණිතය පාඨමාලාව තෝරා ගත්තා. එහි සියයට පනහක් පමණ තිබුණේ ව්‍යවහාරික ගණිතය අවශ්‍ය නම් ගණිතමය භෞතික විද්‍යාව කියා කියන්න පුළුවන්.

මා සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගියේ විශ්වවේදය (Cosmology) හැදෑරීමට. එහි අලුතෙන් තාරකා විද්‍යා මධ්‍යස්ථානයක් (Astronomy Centre) පටන් ගෙන තිබුණා. විශ්වවේදය ගැන උසස් ගණයේ පර්යේෂණ කළ මහාචාර්ය විලියම් මැක්රේ ද එහි සිටියා. ඔහු ඉතා විශිෂ්ඨ විද්‍යාඥයෙක්. මා ඔහුගේ උපදේශකත්වය යටතේ ආචාර්ය උපාධියක් සඳහා පර්යේෂණ පටන් ගත්තා. ඔහු මට පළමු දවසේ ම මා කළ යුතු අධ්‍යයනය කුමක් දැයි කිවුවා. ඒ ගුරුත්වජ කාච හා ක්වේසාර පිළිබඳවයි. එයට සාධාරණ සාපේක්‍ෂතාවාදය අවශ්‍යයයි. මහාචාර්ය මැක්රේ මගෙන් සාධාරණ සාපේක්‍ෂතාවාදය ගැන ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ලංකා විශ්වවිද්‍යාලයේ එකල සාධාරණ සාපේක්‍ෂතාවාදය ඉගැන්නුවේ නැතත් මා තනිව ඒ හදාරා තිබුණා. මේ 1969 ජනවාරියේ.

මා පරයේෂණ කටයුතු හොඳින් කරගෙන ගියා. මහාචාර්ය මැක්රේ දුන් ගැටළුවට අමතර ව මා තවත් ගැටළුවක් ද විසඳන්න පටන් ගත්තා. ඒ භ්‍රමණය වන වස්තුවක් වටා අංශු චලනය වීම සම්බන්ධ ව. එහෙත් කලක් යන විට මට වැටහුණා මට විද්‍යාඥයකු වීමට නොහැකි බව. ඒ 1970 මුල. මට ආපහු ලංකාවට යෑමට අවශ්‍ය වුණා. මහාචාර්ය මැක්රේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සනාතන සභාවේ විශේෂ අවසරයක් ගෙන අවුරුදු එකහමාරකින් ආචාර්ය උපාධි නිබන්ධය ඉදිරිපත් කිරීමට ඉඩ දුන්නා. 1970 සැප්තැම්බරයේ මා ආපසු ලංකාවට ආවා. මගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ මාතෘකාව තාරකා භෞතිකයේ සාපේක්‍ෂතාවාදී ගුරුත්වජ ආචරණ (Relativistic Gravitational Effects in Astrophysics ) යන්නයි. මා ගුරුත්වාකර්ෂණ බලය පට්ටපල් බොරුවක් කී විට සාමාන්‍ය පෙළ විද්‍යාව සමත් අයත් මට හිනහවෙනවා.

අවුරුදු පනගකට පසුවත් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ අඩුම කාලයකින් ආචාර්ය උපාධිය ලබා ගැනීම පිළිබඳ වාර්තාව මා සතුයි. මා ලංකාවට පැමිණි පසුත් සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ඇරයුම් කෙරුණා මහාචාර්ය මැක්රේ විශ්‍රාම යෑමෙන් පසු ඒ පුරප්පාඩුව පිර වූ මහාචාර්ය මාටින් රීස්ගේ පර්යේෂක සගයකු (Research Fellow) ලෙස කටයුතු කරන්න එන්න කියා. විද්‍යාඥයකු වීමට නොහැකි මා ඇරයුම ප්‍රතික්‍ෂෙප කළා. මහාචාර්ය රීස් සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් පසු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තනතුරු කිහිපයක් දැරුවා. ඔහු 1995 දී රාජකීය තාරකා විද්‍යාඥයා (Astronomer Royal) ලෙස පත් කෙරුණා. 2005 සිට 2010 දක්වා ලන්ඩනයේ රාජකීය සංගමයේ (Royal Society) සභාපති ධුරය ද දැරුවා.

මා නේචර් සඟරාවේ ද ඇතුළුව පර්යේෂණ පත්‍රිකා කිහිපයක් පළ කර තියෙනවා. මගේ නිල විෂය වනුයේ තාරකා විද්‍යාවේ විශ්වවේදය, සාපේක්‍ෂතාවාදය, ක්වොන්ටම් භෞතිකය, න්‍යාය (Logic) , විද්‍යාවේ දර්ශනය, ඥානවිභාගය යි. සාහිත්‍යය, ඉතිහාසය, දේශපාලනය ආදිය නිල නොවන විෂය. මා ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනකුගේ පශ්චාත් උපාධි නිබන්ධන උපදේශකවරයකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ දී තමයි මට වැටහුණේ (කතාවක් ගොතා ගැනීමට හැකි වූයේ) මට විද්‍යාඥයකු වීමට නොහැකි ඇයි කියා. එය සංස්කෘතික වෙනසක්. සිංහල බෞද්ධ සංස්කෘතියේ බටහිර විද්‍යාඥයන් විශේෂඥයන් බිහි වන්නේ නැහැ. අපේ චින්තනයේ ඒ සඳහා අවශ්‍ය ගුණාංග නැහැ. එයින් කියන්නේ අපේ චින්තනයේ අඩුවක් නො වෙයි. අපට බටහිර විද්‍යාව ඉගෙන ගන්න පුළුවන්. පරිධියේ පර්යේෂණත් කරන්න පුළුවන්. එහෙත් මධ්‍යයේ හරඹ කරන්න බැහැ. මෙරට බටහිර විද්‍යාඥයන් විශේෂඥයන් කියන අයට මා මේ කියන කතාව සම්මජාතියේ තොරෙන්නේ නැහැ. දැනුම් පද්ධති අතර වෙනස, එක් දැනුම් පද්ධතියක දැනුමක් වෙනත් දැනුම් පද්ධතියකට අවශෝෂණය කිරීම, අනුකරණය කිරීම ආදී දේට ඔවුන් සවන් දීමටවත් කැමති නැහැ. කොවිඩ් ගැන ඔවුන් කියන්නේ අතනින් මෙතනින් අහුලා ගන්නා දැනුම් කෑලි. අපටත් ඒ දැනුම් කෑලි අහුල ගන්න පුළුවන්. මෙහි කෑලි යන්න යෙදා ගැනෙන්නේ තරුණයන් යෙදා ගන්නා අරුතින් නො වෙයි.

මා අමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකයෙක්. කලක් ලන්ඩනයේ රාජකීය තාරකා විද්‍යා සංගමයේ අධි සාමාජිකයකු ව සිටියා (Fellow of the Royal Astronomical Society) . එකල අවශ්‍ය නම් නමේ අගට FRAS කියා යොදන්න පුළුවන් කම තිබුණා. පසු කලෙක විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙ වැටුප් ඉතා අඩු මට්ටමක තිබූ බැවින් මට සාමාජික ගාස්තු ගෙවීමට නොහැකි වීම නිසා ඒ අධිසාමාජිකත්වය අත්හැරියා. එහෙත් මා තවමත් ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ සාමාජිකයෙක් (International Astronomical Union – IAU).

මා තවමත් බටහිර විද්‍යාව ගැන උනන්දුයි. මා විරුද්ධ වන්නේ එහි ආධිපත්‍යයටයි. තවමත් මා ඉඳහිට පර්යේෂණ කරනවා. ඒත් ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් ව. මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද තම උපාධි නිබන්ධන සඳහා පර්යේෂණ කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් ව. ඒ නිබන්ධ ගැන ඇතැම් පරීක්‍ෂකවරුන් සතුටු වූයේ නැතත් උපාධිය ලබා දීමට අකමැති වුණේ නැහැ. අප කළ පර්යේෂණ අතර ගණිතයේ සත්‍යය කියා එකක් නැති බව, විශ්වය මහා පිපුරුමක් නිසා ඇති වූවක් නොව අග්ගඤ්ඤ සූත්‍රයෙහි දැක්වෙන පරිදිි හැකිළෙන දිග හැරෙන එකක් බව, ක්වොන්ටම් භෞතිකයේ අංශු කිහිප තැනක පැවතිය හැකි බව, ඊනියා විශ්වවේදී නියතය නියතයක් නොවන බව, ශක්ති සංස්ථිතියට අවකාශය ද ඇතුළත් විය යුතු බව, ඇරිස්ටෝටලීය න්‍යායේ අඩුව ආදිය වෙනවා. මේ දිනවල මා කළු කුහර අධ්‍යයනය කරනවා. මා හිතන්නේ කළු කුහරවලට පෘෂ්ඨ ඇති බව පමණක් නොව ඒ පෘෂ්ඨවල අධි පීඩනය නිසා ද්‍රව්‍ය පිට කළ හැකි බව. එහෙත් බටහිරයන්ගේ සංස්කෘතියේ ඒ අදහස්වලට එතරම් පිළිගැනීමක් නැහැ. අමරතුංගලා ඊනියා බෞද්ධයන් වුවත් ඔවුන්ටත් ඒ අදහස් දිරව ගන්න බැහැ.

මා දන්නවා මා දන්නා ඉටිගෙඩියක් නැති බව (ඒ වාක්‍යය ඇරිස්ටෝටල්ට අනුව විශ්ලේෂණය කරන්න පුළුවන් ද). මා විද්‍යාඥයකුවත් විශේෂඥයකුවත් තබා මෙරට මට්ටම් අනුව දක්‍ෂයකුවත් නො වෙයි. මෙරට විශ්වවිද්‍යාලත් ජනමාධ්‍යත් ඒ බව දන්නවා. අවුරුදු විසි පහේදී ආචාර්ය උපාධියක් පිටරට විශ්වවිද්‍යාලයකින් ලබා ගත් නමුත් මෙරට විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු වීමට හැකි වූයේ අවුරුදු හැටේ දී. අවුරුදු තිහෙන් තිස්පහෙන් මෙරට මහාචාර්යවරුන් වූ අය ඉන්නවා. මා සම්මානිත මහාචාර්යවරයකු (Professor Emeritus) නො වෙයි. මෙරට සම්මානිත මහාචාර්යවරු රාශියක් ඉන්නවා. ඒ අතර සහාය මහාචාර්යවරුන් ව සිටි අයත් ඉන්නවා. විශ්වවිද්‍යාල දන්නවා මා ඒ ගෞරවයට නුසුදුසු බව. මෙරට ජනමාධ්‍යවේදීන් කිසි දිනෙක මගෙන් තාරකා විද්‍යාව ගැන කිසිවක් අසා නැහැ. ඔවුන් දන්නවා එවැනි ප්‍රශ්න අසන්න මට වඩා සුදුස්සන් මෙරට ඉන්න බව.

මා මගේ නුසුදුසු බව දන්නවා. මා විද්‍යාඥයකු විශේෂඥයකු නොවන බව ජනමාධ්‍ය දන්නවා. ඒ ගැන මගේ ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නයක් වී ඇත්තේ ජනමාධ්‍යවේදීන් විද්‍යාඥයන් විශේෂඥයන් ලෙස හඳුන්වන අය දැනුම් කෑලි අහුලන්නන් පමණක් වීමයි. මා ඒ බව කියන්නේ ඊර්ෂ්‍යාවකින් නො වෙයි. ඔවුන් බටහිර විද්‍යාවේ මධ්‍යයේ දක්වා ඇති දස්කම් මොනවා ද?

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීම මගින් ඔබතුමාගේ සද්භාවය අහෝසි වේ – කිසිසේත්ම ඊට ඉඩ නොදෙන ලෙස ඉල්ලීම.

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්්‍යාලය,
කොළඔ.

ගරු ජනාධිපතිතුමනි,

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීම මගින් ඔබතුමාගේ සද්භාවය අහෝසි වේ – කිසිසේත්ම ඊට ඉඩ නොදෙන ලෙස ඉල්ලීම.

ආනයනික කෘෂි රසායන සඳහා සීමාවක් පැනවීමට ඔබතුමා විසින් ගනුලැබූ තීන්දුව ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් උපාය මාර්ගික තීන්දුවකි. වස විෂ නැති ගොවිතැන් ප්‍රචලිත කිරීම මගින් මහජන සෞඛ්‍ය ප්‍රශ්නයට විසදුම් සෙවීම සඳහා ඔබතුමා විසින් ගනු ලබන උත්සාහය ඉතා සද්භාවයෙන් යුතුව කෙරෙන දෙයක් බවද අපි තරයේ විශ්වාස කරමු. නමුත් ඇත්ත වශයෙන්ම එම තීන්දුව හුදු මහජන සෞඛ්‍ය හෝ කෘෂි නිෂ්පාදන පද්ධතිය අරක්ෂා කිරීම යන මතු පිටින් පෙනෙන අරමුණු ඉක්මවා යන දේශපාලන ආර්ථික පෙරළියක ආරම්භයකි. එනම් හරිත විප්ලවය නම් වූ ක්‍රියාවලිය හරහා ලෝකය පුරා ආහාර නිෂ්පාදන පද්ධතීන් පරාධීනත්වයට නතු කිරීමේ මහා දේශපාලන ආර්ථික කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ගනු ලබන ආරම්භක පියවරකි.

හරිත විප්ලවය යනු යටත් විජිත සමයේදී සිදුකළ ආකාරයට භූමිය කොල්ලකමින් ස්වදේශික ජනයා ශ්‍රම වහල්භාවයේ ගිල්වමින් පවත්වාගෙන යනු ලැබූ නිෂ්පාදන පද්ධතිය නිදහස ලබාදීමෙන් පසු තවදුරටත් වඩා ප්‍රතිඵලදායක ලෙස පවත්වාගෙන යෑම සඳහා යොදාගත් වඩා දියුණු සහ විද්‍යාවේ නාමයෙන් අලෙවිකරනු ලැබූ සංකල්පයකි. එහිදී කෘෂී රසායනික ද්‍රව්‍ය, බීජ සහ නව තාක්ෂණය යන යෙදවුම් මුල්කරගෙන වෙළෙඳපොළ, තාක්ෂණය සහ නීතිය යොදා ගනිමින් මහා සමාගම්වල ගෝලීය ඒකාධිකාරයක් ගොඩනගනු ලබයි. ඒ තුළ ගොවියා සහ මහා සමාගම් අතර වැඩවසම් සබඳතාවයක් ගොඩෙනැගෙන අතර සමස්ථ නිෂ්පාදන පද්ධතිය බාහිර යෙදවුම් මත යැපෙන පරාධීන තත්වයකට පත්කෙරේ. ලෝකයේ ආහාර නිෂ්පාදන තොගයෙන් 75% කුඩා ගොවීන් විසින් නිපදවන තත්වයක් යටතේ මහා සමාගම් විසින් ලෝක ආහාර වෙළෙඳපොළ හසුරුවනු ලබන්නේ ඒ ආකාරයට ය. ඒ අනුව ඔබතුමා විසින් ගනුලැබූ තීන්දුව නිවැරදිව විග්‍රහ කිරීමේදී එය අප රටේ නිෂ්පාදන පද්ධතිය පරාධීනත්වයෙන් ගලවා ගැනීමේ විප්ලවයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.

ඒ නිසා ඊට එරෙහිව ප්‍රතිවිප්ලවයක් දියත් වන බවට අපට නම් කිසිදු සැකයක් නැත. එහිදී ගෝලීය මහා සමාගම් විසින් නඩත්තු කරන විදුවතුන් යැයි හදුන්වාගන්නා යම් නිලධාරීන් ප්‍රතිවිප්ලවයේ ඉදිරිපෙල සටන්කරුවන් බවට පත්වනු ඇත. ඔවුන්ගේ මූලික සටන් උපාය මාර්ගය තුළ සටන් උපක්‍්‍රම දෙකක් හඳුනාගත හැක. පළමු වැන්න ඔබතුමාගේ සද්භාවය ප්‍රශ්න කිරීමය. දෙවැන්න ඔබතුමා විසින් ගනුලැබූ තීන්දුව තාක්ෂණිකව නිවැරදි නොවන බව සහ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවට ප්‍රභල මතවාදයක් තහවුරු කිරීමය. ඊනියා ප්‍රතිවිප්ලවවාදීන් එම උපක්‍රම දෙකම ඉතා සාර්ථකව යොදාගන්නා බව අප විසින් නිරීක්ෂණය කරනු ලබයි.
ඔබතුමාගේ සද්භාවය අභියෝගයට ලක්කිරීම සඳහා යොදාගත හැකි ඉතා දියුණු ප්‍රවේශයක් වන්නේ ඔබතුමාගේ තීන්දුව ඉහත සඳහන් කළ දේශපාලන ආර්ථික උපායමාර්ගය මත පදනම් වන්නක් නොව එය යම් ජාවාරම්කාරයින් පිරිසකට වෙළෙඳපොළක් බිහිකිරීම සඳහා කරනු ලබන සුක්ෂම මෙහෙයුමක් බව තහවුරු කිරීමය. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය සඳහා ආණ්ඩුව විසින් ඉඩ ලබාදුනහොත් ප්‍රතිවිප්ලවකාරයින්ට වාසි සහගත ලෙස ඔවුන්ගේ මතවාදය තහවුරු වේ. විශේෂයෙන්ම ඊලඟ කන්නය සඳහා රසායනික පොහොර තොග ප්‍රමාණවත් වන බවට ආණ්ඩුවේ පාර්ශ්ව විසින් තර්ක ඉදිරිපත් කරන අතර කාබනික පොහොර ආනයනය සඳහා කිසිදු විද්වත් සංවාදයකින් තොරව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම මගින් සතුරාගේ මතවාදයන් වඩාත් හොදින් තහවුරු වේ.

ඔබතුමාගේ තීන්දුවට සතුරු බලවේග වල දෙවන උපක්‍්‍රමය වන රසායනික පොහොර තහනම නිසා බරපතළ අස්වනු අඩුවීමක් සිදුවිය හැකිය යන මතවාදය විසින් ඕනෑම ආණ්ඩුවක් දෙවරක් සිතා බැලීමට පොළඹවන බවට සැකයක් නැත. ඒ නිසා ඊට තාක්ෂණිකව දැඩි ප්‍රහාරයක් එල්ල කළ යුතුය. නමුත් ජනමාධ්‍ය මගින් එම යුතුකම ඉටු කරන බවක් පෙනෙන්නේ නැත. යම් ව්‍යාජ විද්වතුන් අස්වැන්න 60% අඩුවිය හැකි බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව මත ප්‍රකාශ කරන්නේ එසේ ඔවුන්ට පාළුගෙයි වළං බිදීමට හැකි වී ඇති නිසාය. එහිදී රසායනික ද්‍රව්‍යය මගින් මරාදමා ඇති පස පුනර්ජනනය කිරීම සඳහා ගත විය හැකි වසර 2 -3 කාලය තුළ යම් අස්වනු අඩුවීමක් සිදුවිය හැක. ඊට මුහුණ දීමෙන් තොරව එනම් ශල්‍යකර්මයකින් තොරව පිළිකාව සුවකළ නොහැකි බව පමා වී හෝ පිළිගැනීමට සිදුවේ. ලෝකයේ බෝහෝ රටවල විශේෂයෙන්ම ඉන්දියාවේ “ශුන්‍ය පිරිවැය” වගාක්‍්‍රම මගින් එසේ කෙටිකාලීනව සුළු වශයෙන් අඩුවිය හැකි අස්වැන්න පසුව තිබුණු මට්ටමටත් වඩා වැඩි වන බව ඔප්පු වී ඇත. ඊට අමරතව කාබනික හෙවත් ස්වභාවික ගොවිතැන් ක්‍රම යොදාගැනීමේදී ඒක බෝගවගාව වෙනුවට බෝග විවිධත්වය දිරිමත් වන බැවින් සමස්ථ ආහාර තොගයේ වැඩිවීමක් සිදුවේ. ඒ අනුව රසායනික පොහොර තහනම සමග ආහාර සංස්කෘතියද වෙනස් කර ගැනීමට බලකෙරේ. එය ඉතා හොඳ දෙයකි.

ඒ අනුව පෙනීයන්නේ විශේෂයෙන්ම සතුරු ප්‍රතිප්‍රහාරවලට මුහුණදීම සඳහා හදිසි සහ අහඹු තීන්දු ගැනීම වෙනුවට විධිමත් උපායමාර්ගික ප්‍රවේශයකට අනුව කටයුතු කිරීමට සිදුවන බවය.

අප සංවිධානය විසින් ඊට අදාළව දොළොස් වැදැරූම් උපායමාර්ගික ප්‍රවේශයක් ඔබතුමා වෙත ඉදිරිපත් කර ඇත. ක්‍රියාකාරකම්, වැඩසටහන් හෝ පරිපාලන යන්ත්‍රණ සහ ක්‍රමවේද ප්‍රතිඵලදායක වන්නේ උපාය මාර්ගික ප්‍රවේශය නිවැරදි සහ ප්‍රතිඵලදායක වන්නේනම් පමණි. උපාය මාර්ගික ප්‍රවේශය වැරදිනම් එතැනින් පහළ සියල්ල නිෂ්ඵල හෙවත් සතුරාට වාසි සහගත ලෙස අසාර්ථක වනු ඇත.

විශේෂයෙන්ම මහජනයා හෝ විද්වතුන් සමග නිසි සංවාදයකින් තොරව හදිසි අවශ්‍යතාවයක් ලෙස අමාත්‍ය මණ්ඩල ප්‍රත්‍රිකාවක් ඉදිරිපත් කොට කාබනික පොහොර ආනයනය සඳහා අවසර ගැනීමට උත්සාහ කිරීම තුළ උපාය මාර්ගික ප්‍රවේශයේ දුප්පත්කම පැහැදිලි වේ. ඒ නිසා පළමුවෙන්ම කාබනික පොහොර වර්ග කිසිවක් ආනයනයට ඉඩ නොදෙන බව ස්ථිරසාරව ප්‍රකාශකිරීම ඉතා වැදගත් වේ. අඩුතරමින් අමාත්‍යමණ්ඩල පත්‍රිකාව පිළිබඳ තීන්දුව කල්දැමීම මගින් සද්භාවය පෙන්වීම ඉතා වැදගත් වේ. එසේ නොමැතිනම් එතැන් පටන් ආරම්භ වන්නේ ඔබතුමා විසින් ගනුලැබූ වටිනා ඓතිහාසික තීන්දුවට පහර දී බිම දැමීමේ ක්‍රියාවලිය බව අපට නම් කිසිදු සැකයක් නැත. විශේෂයෙන්ම ආනයනික ජෛව කාබනික පොහොර වල අඩංගු වන ක්ෂද්‍ර ජීවීන් නිසා අත්විය හැකි ජෛව අපදාව මගින් දිර්ඝ කාලීනව කෘෂි නිෂ්පාදන පද්ධතියට සිදුවිය හැකි හානිය සිතා ගැනීමටවත් නොහැක. එවැනි තත්වයකදී ඔබතුමාගේ කිර්තිනාමයට සිදුවන හානිය මගින් අනාගතයේදී අවසන් කිරීම සඳහා අප විසින් දෑස් දල්වාගෙන බලා සිටින මහා පරිවර්ථනයන්ට බලවත් අගතියක් සිදුවනු ඇත.

දෙවනුව සඳහන් කළ යුත්තේ ප්‍රයෝගිකව හෝ තාක්ෂණිකව මේ නිශ්චිත මොහොතේ කාබනික පොහොර ආනයනයට ඉඩදීම කිසිසේත්ම සාධාරණිකරණය කළ නොහැකි බවය. දැනටමත් අප රටේ විද්වතුන් විසින් සොයාගත් ජෛව පොහොර මහා පරිමානයෙන් නිෂ්පාදනය කෙරෙන තත්වයක් තුළ පළමුව කළ යුත්තේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා සහය ලබාදීමය. දෙවනුව කොම්පොස්ට් පොහොර යන දේශියව ගොවිපොළ ආශ්‍රිතව පවතින කෘෂි අපද්‍රව්‍යය වලින් නිපදවිය යුතු දෙයක් මිස වෙනත් ස්ථානයක නිපදවා අනයනය කොට මධ්‍යගතව බොදාහැරිය යුතු දෙයක් නොවේ. නාගරික අපද්‍රව්‍ය වලින් මහා පරිමානයෙන් නිපදවන පොහොර පවා ප්‍රදේශය ආශ්‍රිතව බොදා හැරීම වඩා තර්කානු කූල වේ. ඒ අනුව ජාතික සංවිධාන ලෙස අප ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ කාබනික පොහොර ආනයනයට කිසිසේතම ඉඩ ලබා නොදෙන ලෙස සහ අප විසින් ඉදිරිපත් කළ 12 වැදැරුම් උපාය මාර්ගික ප්‍රවේශය පිළිබදව දැඩි අවධානය යොමුකරන ලෙසය.
තෙරුවන් සරණයි

ආචාර්ය ගුණදාස අමරසේකර
කැදවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2021.05.30

නූතනත්වය නිසා නැතිවුණු ආධ්‍යාත්මික ගුණය හා වයිරස ප්‍රභේද මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

නූතනත්වය ගැන බොහෝ බටහිරයන් ලියා තියෙනවා. මෙරට පඬි නැට්ටන් ද ඒ සමහරක් පුනරුච්චාරණය කර තියෙනවා. මා ලියන්නේ බටහිර කතා නොවෙයි. බටහිර නූතනත්වය මට දැනෙන හැටියි. ඒ මගේ ඊනියා කියවීමක් නො වෙයි. මා පඬි නැට්ටන් මෙන් කියවන්නේ නැහැ. බටහිරයන් නූතනත්වය කියන දේ ම නූණත් මා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයක් ගැන කියනවා. ඒ ගැන නැවතත් ටිකක් කතා කරන්න ඕන.

එයට හේතුව කොවිඩ් 19 යැයි කීම පුදුමයක් වෙන්න බැහැ. අද එන්නත ගැන ලොකු උනන්දුවක් තියෙනවා. මෙරට නිලධාරීන්ගේ දක්‍ෂතාව නිසා ජනතාව පොරකකා එන්නත ලබා ගන්නවා. එන්නත ලබා ගන්න. ඒ අතර මේ ටිකත් හිතන්න. කොවිඩ් 19 ගැන බිය වන්න එපා. එහෙත් කොවිඩ් 19 ඉක්මණින් ලෝකයෙන් තුරන් වේය කියා හිතන්නත් එපා. කොවිඩ් 19 පාලනය කෙරී ඇතැයි සිතූ ඕස්ත්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ හා වියට්නාමයේ නැවතත් කොවිඩ් පැතිර යනවා.

වියට්නාමයේ සාම්ප්‍රදායික ක්‍රම ද අනුගමනය කෙරුණා. ඔවුන්ට නවත ම කොවිඩ් 19 ව්‍යාප්තිය නැත්නම් රැල්ල නවත්තන්න ද පුළුවන් වේවි කියා ප්‍රාර්ථනය කරනවා. වියට්නාමයෙහි අලුත් ම වයිරස ප්‍රභේදයක්, දෙමුහුන් ප්‍රභේදයක් ඇතැයි කියනවා. කොවිඩ් 19 වයිරසයේ තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය එහි ප්‍රභේද ඇති වීම. මේ ඇතැම් ප්‍රභේද ඊනියා විකෘතීන්. වියට්නාමයේ අලුත් ම දෙමුහුන් ප්‍රභේදය වාතය ඇසුරෙන් පැතිර යනවා කියනවා. මා අහන්නේ නැහැ තිස්ස විතාරණ ඒ ගැන මොකද කියන්නෙ කියා. ඇහුවත් ඔහුට බටහිර පොතක් පතක් බලන්නෙ නැතිව කිසිවක් කියන්න බැහැ.

එන්නත අවුරුදු පතා ලබා ගන්න ඕන කියා කියනවා. එය නම් තරමක ප්‍රශ්නයක් වුණත් සැලසුමක් ඇතිව කෙරුණොත් කරදරයක් වෙන එකක් නැහැ. එහෙත් එක්තරා බටහිර විද්‍යාඥයෙක් තරමක වෙනස් කතාවක් කියනවා. ඒඩ්ස් වයිරසය හඳුනාගැනීම වෙනුවෙන් 2008 දී නොබෙල් ත්‍යාගය දිනාගත් ප්‍රංශ වයිරස්වේදියකු වූ ලු මොන්ටැනියර් (Luc Montagnier – නමේ උච්චාරණය නිවැරදි ද කියා මා දන්නේ නැහැ) පසුගිය දා පියරි බානේරියස් (Pierre Barnérias) සමග කරන ලද සාකච්ඡාවක දී කියා සිටියේ එන්නත නිසා අලුත් වයිරස ප්‍රභේද ඇති වන බවයි. ඔහු කියා සිටියේ බටහිර විද්‍යාඥයන් ප්‍රතිදේහ පරායත්ත වර්ධනය (antibody dependent enhancement) යනුවෙන් කියැවෙන මේ සංසිද්ධිය දන්නා බවයි. ඔහුට අනුව එන්නතට ඔරොත්තු දිය හැකි ප්‍රභේද වයිරසය විසින් තැනෙනවා.

මොන්ටැනියර් මින් පෙර සයන්ස් සඟරාව සමග 2010 දී කරන ලද සාකච්ඡාවක දී හෝමියෝපති වෙදකම වෙනුවෙන් පෙනී සිටියා. ඔහුගේ කතාවෙන් ඊට කලින් 1988 දි යක් බෙන්විනිස්ට් (Jacques Benveniste) නේචර් සඟරාවේ පළ කළ පත්‍රිකාවක් පිළිබඳ මතකය අවදි කළා. බෙන්විනිස්ට කියා සිටියේ ඉතාමත් තණුක ද්‍රාවනයක වුවත් දිය වූ අණුවේ ස්මරණයක් (මතකයක්) තිබිය හැකි බවයි.

එහෙත් ඇලොපති හෙවත් බටහිර වෙද මහත්තුරු එයට විරුද්ධ වුණා. ඔවුන් එය නොපිළිගත්තා පමණක් නොව නේචර් සඟරාවට එම ලිපිය අස්කරන ලෙසට බලපෑම් කළා. අවසානයේ දී නේචර් සංස්කාරක මැඩොක්ස්ගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු කමිටුවක් මගින් එම පත්‍රිකාව අස්කිරීමට තීරණය කෙරුණා. මේ කතාව එකල මා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ට කිවුවා. ඇතැමුන්ට ඒ බව මතක ඇති. බටහිර විද්‍යාවේ පොලීසියක් තියෙනවා. එය බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවෙන් පිටත ඇති වන අදහස් මර්දනය කිරීමට කටයුතු කරනවා. ජී එල් පීරිස් හා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මා ජාතික චින්තනය උගන්වන බව කිවුවේ මෙවැනි දේ සඳහන් කිරීමට. බෙන්විනිස්ට් කී දෙය තවත් නොබෙල් ත්‍යාගලාභියකු වූ ජෝසෆ්සන් පිළිගත්තා. ජෝසෆ්සන් නමින් පරිපථ සන්ධි නම් කෙරී තියෙනවා.

ඔය කතා එකල කොළඹ ශාස්ත්‍ර පීඨයේ හා නීති පීඨයේ කඩු කිණිසි රැගෙන විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සැරිසැරූ සුවාදින ත්‍රස්තවාදීන් හා ජ වි පෙ ත්‍රස්තවාදීන් දන්නේ නැහැ. ඔවුන් සිතන්නේ විද්‍යාවට කෙරෙන එවැනි පහරදීම් නිසා රට ගොඩ ගැනීමට බැරි තත්වයකට යන බවයි. ඒ මොකක් වුණත් බටහිර විද්‍යාවේ විකල්ප දැනුම්වලට තැනක් නැහැ. ඇලොපති වෙද මහත්තුරු තම අධිකාරිය යොදා හෝමියෝපති පමණක් නොව වෙනත් වෛද්‍ය දැනුම් පද්ධති ද මකා දැමීමට කටයුතු කරනවා. මේ කතා ගැන පසුව ඉඩ ලැබෙන පරිදි සාකචඡා කරමු.

අපට දැනට වැදගත් වන්නේ මොන්ටැනියර් කරන ප්‍රකාශයයි. අර එන්නත නිසා වයිරස් ප්‍රභේද බිහි වීමයි. අප තවමත් කරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පසුපස යමින් හුදු භෞතික කරුණු මත පමණක් යැපීමයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඇරඹුණේ පහළොස්වැනි සියවසේ ඉතාලියේ පිරෙන්ට්සි නගරය ආශ්‍රිත ව. එ නගරයට ඉංගිරිසින් කියන්නේ ෆ්ලොරන්ස් කියායි. ගාල්ලට ගෝල් කියනවා වගේ. පිරෙන්ට්සි නගරයේ තමයි අලුත් චිත්‍ර හා ප්‍රතිමා කලාවක් නිර්මාණය වුණේ. එය වර්ධනය වී පෞද්ගලිකත්වය බිහි වුණා. මා මේ ගැන ලියා තියෙනවා.

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය රඳා පවතින් යුදෙවු වියුක්ත චින්තනය, ග්‍රීක ස්වසිද්ධිමය දැනුම හා ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය (වෙන් කිරීම) ආශ්‍රිතවයි. යුදෙවු හා ග්‍රීක දැනුම අවුරුදු දෙදහසකට වඩා පැරණි වුවත් ඒ එකතු කර පෞද්ගලිකත්වය නැත්නම් වෙන්කිරීම ද ඇතිව අලුත් චින්තනයක් ගොඩ නැගුණේ ඉතාලියේ දකුණු දිශාවේ. මේ අලුත් චින්තනයෙන් ආධ්‍යාත්මික සංරචකය නැත්නම් කොටස පළවා හැරුණා. ඒ චින්තනය මත තමයි යටත්විජිතවාදය ධනවාදය මෙන් ම බටහිර විද්‍යාව ද ගොඩ නගුණේ. අද ඒ චින්තනය, ධනපති ක්‍රමය වගේ ම බටහිර විද්‍යාව ප්‍රමුඛ බටහිර දැනුම ද කඩා වැටෙමින් පවතිනවා. පාප් වහන්සේ එකල බලවත් රටවල් වූ ස්පාඤ්ඤයට හා පෘතුගාලයට ලෝකය බෙදා දුන්නේ අලුත් චින්තනය නිසා තම බලතල ද අහිමි වන බව නොදැන.

අපි එන්නත විදගමු. හෝමියෝපති, ආයුර්වේද, සිංහල පාරම්පරික හා වෙනත් වෛද්‍ය ක්‍රම ද යොදා ගනිමු. ඒ අතර නැවතත් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙමු. කොවිඩ් කෙසේ ඇති වුණත් එය අවසානයේ දී පරාජය කළ හැක්කේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය නිසා නැති වුණු ආධ්‍යාත්මික ගුණය නැවත ඇති කර ගැනීමෙන්. පහුගිය අවුරුදු පන්සීයක පමණ කාලයක බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අධාර්මික ජීවන රටාව වෙනස් කිරීමට කොවිඩ් 19 අපට බල කරනවා.