ජීවිත 113ක් දැයට අහිමි කරමින් පිටකොටුව අධිබලැති බෝම්බය පිපිරී දැනට වසර 32 කි. ඒ බිහිසුණු පිපිරීම සිදුවූයේ 1987 අප්‍රේල් 21 වැනිදාය.   


එසේම මිනිස් ජීවිත 300කට වැඩි ගණනක් අහිමිකරමින් පසුගිය පාස්කු ඉරිදා බෝම්බ වැලක් පුපුරා ගියේ පිටකොටුවේ බෝම්බය පිපිරූ දිනයේමය. ඒ 2019 අප්‍රේල් 21 දාය.   


රටේ අගනගරය වූ කොළඹ පිටකොටුව රටේ ප්‍රබල ආර්ථික මධ්‍යස්ථානයකි. කඩිගුලක් මෙන් ජනගහනය බහුල ස්ථානයකි. එදිනෙදා රාජකාරි නිමවී තම නිවෙස්වලට යන ජනතාව ඇතුළුව දහස් සංඛ්‍යාත පිරිසක් පිටකොටුවට රැස්වීම සාමාන්‍ය දෙයකි.   


1987 අප්‍රේල් 21 වැනිදාත් වෙනදා මෙන්ම පිටකොටුවේ සාමාන්‍ය ජනතාව රැස්ව සිටියහ.   


අනතුරක් පිළිබඳ සේයාවක්වත් අහළක නොවීය. වේලාව සවස 4.30 පසුවූවා පමණි. කන් බිහිරි කරවන හඬක් නැගෙමින් සියල්ල උඩු යටිකුරු කර මුළු කොළඹම දෙදුරුම් කන්නට විය. ක්ෂණිකව සියල්ල නිහඬ විය. ඒ අවට සිටි පිරිසට සිදුවූයේ කුමක්ද? සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකි විය.   


ඒ මහා ශබ්දය නැගුණේ කොළඹ පිටකොටුව බස් නැවතුම්පළ පර්යන්තයේ පුපුරුවා හරින ලද බෝම්බ ප්‍රහාරයකිනි. පණ බේරා ගැනීමට හිස්ලුලූ අත දුවයන පිරිස පන්දහසකට අධිකය.   


පිටකොටුව බෝගහ හන්දිය අසළ සුප්‍රකට පලතුරු බීම සාප්පුවක් වූයේ සිය රට පලතුරු බීම වෙළඳසලය. අප්‍රේල් 21 වැනිදා සවස 4 ට පමණ සියරට බීම සාප්පුව ළඟ රාජකාරියේ යෙදී සිටි පිටකොටුවේ පොලිස් රාළහාමිලා දෙදෙනෙක් තම සේවා මුරය නිමවා නැවත තම බැරැක්ක වෙත යාමට සූදානම් වූයේ පිටකොටුව පොලිසියේ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයෙන්ය.   


ජීප් රථයෙන් ගිනිඅවි අතැතිව එම ස්ථානයේ රාජකාරියට අනුයුක්ත කොට සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනා තම සේවා මුරයට සූදානම් වූයේ කිසිදු සුවිශේෂත්වයක් නැතුවය.   
සියරට අලෙවිහලට මඳක් ඈතින් වූයේ සුදු පැහැති එස්කොට් වර්ගයේ රථයකි. එහි බොනට්ටුව විවෘත කරගෙන තරුණයන් දෙදෙනෙක් යම් අලුත්වැඩියා කටයුත්තක නියැළෙමින් සිටියහ.   


ටී ෂර්ට් හැඳි තවත් තරුණයන් දෙදෙනෙකු එහි පසුපස ආසනයේ සිට නොසන්සුන් ලෙස වටපිට බලමින් යම් කටයුත්තක නියැළෙනු දුටු පොලිස් නිලධාරීහු ෆෝඩ් රථය අසළට ගොස් වාහන තදබදයක් ඇතිවන බැවින් වාහනය ඉදිරියට ගන්නා ලෙස නියෝග කළහ.   


ෆෝඩ් කාරයේ සිටි තරුණයන් හතරදෙනා වහා රථය සියරට බීම සාප්පුව වෙත තල්ලු කරගෙන එන්නට වූහ. තල්ලු කරගෙන එන රථය ගැන කිසිවෙකු විශේෂත්වයක් දුටුවේ නැත. එහෙත් මේ සිව්දෙනෙකු විසින් තල්ලු කරගෙන එන්නේ එතැනින් ඔබමොබ යන සියයකට අධික පිරිසකගේ මරණ වරෙන්තුව බව කිසිවකුවත් මොහොතකටවත් සිතන්නට නැතුවාවන්නට ඇත.   


සියරට බීම සාප්පුව අසළට වාහනය තල්ලු කරගෙන ආ සැණින් වාහනය කලින් නවතා තැබූ තැන යමක් අමතක වී ආවාක් මෙන් තරුණ පිරිස නැවත ඒ කරා ගමන් කරන්නට වූයේ කිසිදු විශේෂත්වයක් නැතුවය.   


වාහනයේ රියැදුරු අසුනේ සිටි තරුණයා සිටියේ කිටි කිටියේ ස්ටියරින් වීල් එක අල්ලාගෙනය.   


ෆෝඩ් රථය අසල පළාතම දුමෙන් වසා දමමින් තරුණයා රථය පණගන්වන්ට වූයේ කාස රෝගියෙකු මෙනි. රියැදුරු අසුණේ වූ තරුණයා තමන්ට යම් විධානයක් ලැබුණාක් මෙන් එතෙක් දෙපසකට කර තිබූ වයර් දෙකක් එක්කොට ඇඹරුවේ ආවේස වූවෙකු ලෙසය. ගතවූයේ තත්ත්පර ගණනකි. රියැදුරු අසුනේ සිටි තරුණයා වාහනය වටකොටගෙන සිටි පිරිස අතරින් කාටත් හොරා සැඟව ගියේය.   


එවකට පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වූයේ සුනිල් මලිගස්පේ මහතාය. හමුදා ඔත්තු සේවාවේ උපදෙස් මත පිටකොටුවේ ආරක්ෂාවට ඔහු යොදා සිටි පොලිස් බළඇණි ගණන 4 කි. සියරට බීම සාප්පුව ළඟ නතර කර ඇති ෆෝඩ් රථය ගැන ස්ථානාධිපති මලිගස්පේට දැනගන්නට ලැබෙන්නේ පැරණි නගරශාලාව අසළ සිට තම පොලිස් කණ්ඩායම්වලට උපදෙස් දෙමින් සිටියදීය.   


තම ජීප් රිය බෝගහ හන්දිය දෙසට අඟලකුදු යා නොහැකි ලෙස පාර පුරා ජනකායක් වූ බැවින් පොලිස් පරීක්ෂකවරයා තම ජීප් රථයෙන් බැස්සේ පොලිස් පරීක්ෂක ශ්‍රීලාල් උපේන්ද්‍ර සහ උප පොලිස් පරීක්ෂක නෙවිල් ඇන්ටනි සමගය.   


ගතවූයේ තත්පර ගණනකි. සියරට බීම සාප්පුවේ බිත්ති ඔරලෝසුව පස්වරු 4.30 ට කම්පනයෙන් නවතිද්දී මුළු පළාතම දෙවනත් කරමින් ෆෝර්ඩ් කාරයේ වූ බෝම්බය පුපුරා ගියේ සිය ගණනකගේ ජීවිත අහිමි කරමිනි. එය කොළඹ පිපුරූ එවැනි වර්ගයේ පළමු බෝම්බය විය. පසුව හෙළිවූයේ බෝම්බයේ බර කිලෝ හැටක් පමණ වූ බවය.   
පිටකොටුව මහා බෝගහේ කොළ හැළී තිබිණි. බස් නැවතුම්පළේ එක් කොටසක් ගිනිගෙනය. පෙර පැවති පරිසරය ඒ අවට නැත. එය අමු සොහොන් පිට්ටනියක් බවට පත්ව ඇත.   
මළ සිරුරු සහ තුවාලකරුවන් සෑම තැනය. ඔවුන්ගේ සිරුරු තෙරපී කැළතී විසිරී ඇත. බස් නැවතුම්පළේ විවේකාගාරයේ කෙටි නින්දකට වැටුණු මගීහු සදාකාලික නින්දට වැටී සිටියහ.   


කඩසාප්පු තිබූ තැන් සොයාගන්නවත් නැත. පිඟන් සංස්ථාවේ අලෙවිසැලේ භාණ්ඩ රාශියක් කුඩුපට්ටම් වී විසිරී තිබිණි. ලොතරැයි අලෙවිසල් කිහිපයක්ද සුන්බුන් අතර විය. බස් නැවතුම්පළේ බැංකු ගොඩනැගිල්ල ඇතුළත ද මෙම පිපිරීම නිසා විනාශ වී ගොස් තිබිණි. පිපිරීමේ කම්පනය නිසා බැංකු ගොඩනැගිල්ල ඇතුළත එකම සුන්බුන් ගොඩකි.   
ජනෙල්වල වීදුරු පිපිරී විදුරු කටුවලින් බැංකු කාර්යාල මහලේ බිම වැසී තිබුණි. ඒ මත කඩාවැටුණු යකඩ ගොඩවල්ය.   


බෝම්බය පිපිරීමේ කම්පනයෙන් බස් නැවතුම්පළ ඇතුළත ගොඩනැගිලිවල ජනෙල් දොරවල් බොහොමයක්ද විනාශ වී ගොසිනි. පිපිරීමෙන් විනාශ වූ වාහනවල කැබලි වහළවලට උඩින් ගොස් මධ්‍යම ගමනාගමන මණ්ඩලය ඇතුළත බිමට වැටී තිබෙනු දක්නට ලැබිණි.   


බෝධියේ එක්පසෙක මස් කැබලි, ඇට කැබලි ගොඩකි, ඒ බෝම්බයෙන් මිය ගිය අයගේය. අත් කැබලි පා කැබලි හා අතුනුබහන් ද ඒ අතර විය.   


මිට්ෂුයි සමාගම විසින් තනා නිමකරන ලද බෝධිය අසළ පිහිටි කල්‍යාණි මහල් ගොඩනැගිල්ලේ වීදුරු දොර ජනෙල් බොහොමයක් කැඩී බිඳී විනාශ වී ගොසිනි. ඒ අවට යාබදව පිහිටි බොහොමයක් ගොඩනැගිලිවලින් දුම් දමමින් තිබිණි.   


මෑණිවරුන්ගේ, පියවරුන්ගේ තරුණ තරුණියන්ගේ සිරුරු හඳුනාගත නොහැකි සේ කැබලි වී තැන තැනය.   


දහස් ගණන් අවශේෂ ජනයා එහි සිටියේ කඳුළෙන් බොඳ වූ දෙනෙත් ඇතිවය. අයෙක් හඬා වැලපුණි. තවකෙක් හදේ නැගෙන ශෝකය කඳුළු බවට හරවා දියකර හැරියේය. ශෝකයත් කඳුළත් නොනැගූ කෙනෙකු නොසිටි බව නම් විශ්වාසය. ස්වභාව ධර්මය පවා කම්පා වන බවට සැක නැත. එදින පස්වරුවේ හිටි හැටියේම මහවැසි ඇද හැලීම ද එයට කදිම නිදසුනක් විය. එයින් ලේ බිඳු සේදුණ ද ශෝකය නම් සෝදා නොගියේය.   


අනේ මගේ දුව, මගේ පුතා, මගේ සැමියා, මගේ බිරිඳ, මගේ අම්මා, තාත්තා යනුවෙන් අඳෝනා ද නිරතුරු දෝංකාර නැගිණ.   


මොහොතකදී මළ සිරුරු 100 ක් පමණ ගොඩ ගැසුණේ පොල් ගෙඩි ගොඩ ගසන්නාක් මෙනි. මළසිරුරු පේළියට සිමෙන්ති පොළොව මත තබා තිබිණි. එයින් නික්මෙන්නා වූ ලේ ගඳත්, පිළිස්සුණු ගඳත් එකට එකතු වී පරිසරය පුරා හමා යයි.   


පිපිරීමෙන් අනතුරුව තරුණයෝ විශාල පිරිසක් වහා මෙම ස්ථානයට ඇදී ආහ. ඉන් බොහෝදෙනා කොටුවේ පදික වෙළෙඳාමේ නිරතවූ අයය. ඔවුහු අතමිට සරු අයද නොවූහ. දුප්පතුන්ගේ හිත හොඳ බවට කියන කතා සත්‍ය බව ඉන් පසක් කෙරිණි. පාරේ වාහන නවත්වා ලේ වැගිරෙමින් සිහිසුන් වූ තුවාලකරුවන් ඒවාට නංවා රෝහලට පිටත්කර හැරියේ ඒ තරුණ පිරිසය.   


ගිනි නිවන භටයන් ද, ගිලන් රථද පැමිණියේ ඉන් පසුවය. ඒ වන විටත් මිනිසුන් විශාල වැඩ කොටසක් ඉටු කර තිබිණි. සිය ගණනක් දෙනා මෙසේ මරා දමා තිබුණේ ඉතා අමානුෂික ලෙසිනි. සමහරු හඬා වැටෙමින් විරූපීව තිබූ මළසිරුරු දෙස බොහෝ වෙලා බලා සිටියේ ඒ තමන් සොයන අයම දැයි දැඩි කුතුහලයෙනි.   


රෝහල් මෘත ශරීරාගාරයේත් තුවාලකරුවන් සිටින වාට්ටුවලත් තමන්ගේ අය සොයා යන්නට ඔවුහු වෙහෙසුණහ.   


මෘත ශරීරාගාරවලට ඇතුළු වූ පිරිස් සිය ජීවිතයේ දුටු වඩාත්ම සිත සසල කළ දර්ශනය මෙය විය. ඇතැම් අය තත්ත්පර ගණනක් එකතැන ගල්ගැසී සිටියහ. බලාසිටිය නොහැකි තැන ඇතැම්හු ආපසු හැරී එළියට ගියහ. වැඩිදෙනෙක් හිත හදාගෙන මළ සිරුරු අසළට ගියහ.   


මෘත ශරීරාගාරයේ පිටත එළිමහනේ ඉදිකළ තාවකාලික කූඩාරමක එක දිගට ඒ මළ සිරුරු අතුරා තිබිණි. පිළිස්සී, ඉදිමී, විකෘතිව තිබූ මළ කඳන් වලින් ඇතැම් සිරුරුවල සියලු අවයවයන් නොවීය.   


බොහොමයක් සිරුරු හඳුනාගත නොහැකි තත්ත්වයකය. ඇතැම් සිරුරු අසළ මළගිය තැනැත්තා මිය යන විට හැඳ සිටි ඇඳුම් කැබලි, පාවහන් ආදිය තබා තිබුණි. ඇතැම් අය එම මළසිරුරු අතර අතුරුදන් වූ තමන්ගේ ඥාතීන් ඇත්දැයි සෙවූහ.   


බොහෝ දෙනෙක් මෘත ශරීරාගාරයෙන් පිටවුණේ වනේ වන හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා යැයි ප්‍රාර්ථනා කරමිනි.   


මෙම බෝම්බ පිපිරීමෙන් අතුරුදන්වූ ගැහැණු පිරිමි ළමා ළපටි ගණනාවක් ගැනම පොලිස් මූලස්ථානයට වාර්තා විය. මේ පිළිබඳව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමක දී ඔහු කියා තිබුණේ මෙසේ අතුරුදන් වී ඇති අය බෝම්බය පුපුරා ගිය අවස්ථාවේ දී ඒ අසළම සිටි අය විය හැකි බවයි.   


මෙම බෝම්බයේ විශාලත්වයක් එයට යොදා තිබූ ජෙලග්නයිට් ප්‍රමාණයත් අනුව අසල සිටි අය දූවිලි බවට පත්වීමට හෝ ගින්නට අසුවී අළුවී යන්නට ඇතැයි සඳහන්ය.   
යුද හමුදාවේ බෝම්බ විශේෂඥයෙකුගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු පවසා තිබෙන්නේත් ඒ අසළම සිටි බො​හෝ දෙනෙකු සුනුවිසුනු වී යන්නට ඇති බවයි. කී දෙනෙකු එලෙස මිය යන්නට ඇත්ද යන්න කීමට අපහසු නමුත් දහ පහළොස් දෙනෙකු හෝ ඊට වැඩිදෙනෙකු එසේ මිය යන්නට ඇතැයි සැක කෙරේ.   


මේ සිදුවීමෙන් පසු පැය 24 ක් පමණ කාලයක් තුළ දී කොළඹ මධ්‍යම ලේ බැංකුවට පුද්ගලයන් 1183 දෙනෙකු ලේ පරිත්‍යාග කර ඇත. ඒ මෙම බෝම්බයෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලේ පරිත්‍යාග කරන්නැයි මධ්‍යම ලේ බැංකුව කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි. මේ අතර පිට පළාත්වල ලේ බැංකුවලට ද මෙම තුවාලකරුවන් වෙනුවෙන් විශාල පිරිසක් ලේ පරිත්‍යාග කර තිබේ.   


මියගිය හා තුවාල ලද අයගේ යැපෙන්නන් හට වන්දි මුදල් ගෙවීමට එකළ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති රෝගීන් බැලීමට ද එවකට සිටි අගමැති ආර්. ප්‍රේමදාස, සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රංජිත් අතපත්තු, කොළඹ පුරපති සිරිසේන කුරේ ඇතුළු පිරිසක් පිටත්ව ගොස් තිබිණි.   


මියගිය අයගේ අවසන් කටයුතු සඳහා එක් අයෙකුට රුපියල් 2500 මුදලක් ලබාදීමට කටයුතු කර තිබිණි.   


ජීවිත හානිවලට අමතරව මේ සිදුවීමෙන් පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පළෙහි නතර කොට තිබූ දුර බැහැර පළාත්වලට යන මගීන් පුරවාගත් පෞද්ගලික බස්රථ 11 ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබිණි. ඒ හැරුණු කොට බස් නැවතුම්පළත් පිටකොටුව බෝධියත් අතර මාර්ගයේ නතර කොට තිබූ වාහන රැසක් විනාශ විය.   


ලංකා බැංකු ශාඛාව ඇතුළුව එම ගොඩනැගිල්ලෙහි වූ සියලුම කඩසාප්පු විනාශ වී තිබිණි. ඒවායේ සේවය කළ පිරිස් ද මිය ගොස් ඇත.   


මෙම පිපිරවීම කර ඇත්තේ ඊරෝස් ත්‍රස්තවාදී සංවිධානය බව ජනමාධ්‍ය මගින් නිවේදනය විය. එල්ටීටීඊ යට සහය දක්වමින් ඊරෝස් සංවිධානය විසින් මෙය සිදුකර ඇති බව ද සඳහන් විය.   


පිපිරී ගිය මෙම බෝම්බය කාල බෝම්බයක් වන අතර එය කිලෝ 60ක් පමණ බරකින් සමන්විත වූ බවද පැවසේ.   


මේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට දෙමළ ජාතික තරුණයන් දෙදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ මේ දෙදෙනා ඇඳිරි නීතිය පවතින අතරතුර මීගමුව බලා යාමට උත්සාහ කර ඇති අතර ඒ පිළිබඳව සැකසිතී ටැක්සි රියැදුරෙකු විසින් ඔවුන් දෙදෙනා අල්ලා පොලිසියට භාර දී තිබිණි.   


මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය 160 දෙනෙකුගෙන් ප්‍ර්‍රශ්න කර තිබූ අතර මොවුන්ගෙන් වැඩි දෙනෙකුට හැඳුනුම්පත් පවා තිබී නැත.   


මොවුන්ගෙන් වැඩි පිරිසක් දමිළ තරුණයන් වූ අතර මේ පිරිස කොළඹ නගරයේ ඇතැම් හෝටල්වල සහ කඩකාමරවල නිවෙස්වල නවාතැන්ගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.   


බෝම්බ ප්‍රහාරයට ලක්වූ දින දෙමළ වෙළෙඳසල් පස්වරු 4 ට පමණ වන විට වසා දමා ඇති බවත් බොහොමයක් ආයතනවල දෙමළ සේවකයන් එදින වරුවක් නිවාඩු දමා ගොස් ඇති බවත් ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණ පවත්වන්නට රහස් පොලිසියට සිදුවූ බවත් පැවසේ.   


අවසානයේ මෙම ප්‍රහාරය ගැන කරුණු සොයා බැලූ පොලිසියට දැනගත හැකිවූයේ බෝම්බය රැගෙන පැමිණි තරුණයන් හතරදෙනා කොටහේන බෝඩිමක නවාතැන්ගෙන සිටි බවය. බෝම්බය ඇට වූ ​​ෙෆා්ඩ් එස්කෝට් රථය මේ තරුණයන් පදවාගෙන පැමිණ ඇත්තේ මඩකළපුවේ සිට බව ද අනාවරණය විය.   


එදින බස් නැවතුම්පළේ සිටි සියලුම මගීන් තම තමන්ගේ නිවෙස්වලට යැවීම සඳහා හැකි සෑම පියවරක්ම ගත් බවත් හදිසියේම පැනවූ ඇඳිරි නීතිය පවා නොතකා අවසන් මගියා දක්වා පිටත්කර යවන තෙක් සියලුම සේවක මහත්වරු දැඩි උනන්දුවකින් යුතුව කටයුතු කළ බවත් සඳහන්ය.   


ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග බෝම්බ පිපිරීමෙන් පසු සිදුවූ විනාශය දැකබලා ගැනීම සඳහා දස දහස් සංඛ්‍යාත පිරිසක් පිටකොටුවට ඇදී එන්නට වූහ. වැල නොකැඩී එන දහස් සංඛ්‍යාත පිරිස හැසිරවීම සඳහා සිය ගණනක් පොලිස් භටයෝ රැකවලෙහි නිරතව සිටියහ. 

 
මෙම මහා ඛේදවාචකයෙන් කම්පාවට පත්කරමින් දෝ එදිනම ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පිටකොටුව හරහා ගලා ගිය මහා රුධිර ගංගාව ද සේදී ගියේය. බෝම්බ පිපිරවීමට සිදුවූ අවට ප්‍රදේශය ලණු ඇද වෙන්කර තිබිණි.   


බෝම්බ පිපිරුණු තැන හෑරී තිබූ අඩි 3 ක පමණ වළද පරීක්ෂණ කටයුතුවලින් පසු කොන්ක්‍රීට් කැබලි දමා වසා ඇත. මීට වසර 32 කට පෙර සිදුවූ මෙම ප්‍රහාරය පිළිබඳ බොහෝදෙනා අදටත් කතා කරති. තර්ක විතර්ක කරති. ත්‍රස්තවාදයටත් ත්‍රස්තවාදීන්ටත් ශාප කරති.   


ජනමාධ්‍ය වාර්තා ඇසුරින්   
සටහන ධනු විජේරත්න   

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s