එක රටයි එක නීතියයි එක හාමුදුරුවො යි සිංහළ බෞද්ධ රාජ්‍යය ට සිංහළ රටට සිංහළ නීතිය ලැබේවිද නැවත සුමේධ වීරවර්ධන කාදිනල් ගේ අතකොලු ලෙස රෝම ලන්දේසි නීතිය ම හරහා සිංහළයන්ට අවනීතිය ම ගෙන ඒවිද?
එක රටක් එක නීතියක් ගැන වාර්තා කරන්න ජනාධිපතිතුමා කමිටුවක් පත් කරල. මා හිතන්නෙ එය ඉතා වැදගත් තීරණයක්. කමිටුවේ සභාපති ලෙස පූජ්‍ය ඥානසාර හිමියන් පත් කරලා. මා උන්වහන්සේ සමග කතාබහ කර ඇති බවක් මට මතක නැහැ. ඒත් උන්වහන්සේගේ දෙසුම් මා අහල තියෙනවා. ඒ සෑම දෙයක් ගැන ම මා එකඟ නොවන්න පුළුවන්. උන්වහන්සෙ විවිධ කාලවල සම්බන්ධකම් පැවැත් වූ අය ගැනත් මට තියෙන්නෙ සුහද හැඟීමක් නො වෙයි. එහෙත් මා හිතනවා ඔය කමිටුවේ සභාපති ධුරයට පත් කළ යුත්තේ භික්‍ෂූන් වහන්සේ නමක් බවත් ඒ සඳහා සුදුසු ම උන්වහන්සේ කියාත්.
සමහරු කියන්න පුළුවන් උන්වහන්සේ අධිකරණයෙන් දඬුවම් ලබා ඇති බව. මට මතක හැටියට ඒ උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන්. උසාවිය කියන්නෙ පවත්නා නීතිය අනුව විනිශ්චය දෙන ආයතනය. උසාවිය ගැන මටත් අත්දැකීම් තියෙනවා. කම්කරු උසාවියේ සිට ශ්‍රෙෂ්ඨාධිකරණය දක්වා මා නඩු කියල තියෙනවා. උසාවිය ගැන මා කිසිවක් කියන්නෙ නැහැ. උසාවියට ගරු කරන්න ඕන. ඒ වගේ ම උසාවිය එයට එන්නන්ටත් ගරු කරන්න ඕන. උසාවියට අපහාස කරනවා කියන එක සංකීර්ණ දෙයක්. අනෙක් හැම එකක මෙන් ම එහි ඇති වාස්තවිකත්වයක් නැහැ. උසාවියෙ තීන්දුත් විවිධ කරුණු මත රඳා පවතිනවා.
ඥානසාර හාමුදුරුවන් එක්නැලිගොඩගේ විවාහක බිරිඳට උසාවියේ දී යමක් කීමෙන් උසාවියට අපහාස වුණා කියල තීරණය වූ බවයි මගේ මතකය. එක්නැලිගොඩ අතුරුදහන් වීම නිසයි ඔහුගෙ විවාහක බිරිඳට යම් තැනක් ලැබුනෙ. එක්නැලිගොඩ අතුරුදහන් නූණ නම් ඔහුගේ විවාහක බිරිඳට කිනම් තැනක් ලැබෙන්න තිබුණ ද කියන එක අහන්න ඕන ඇගෙන්මයි. කොහොමත් ඒ සිද්ධිය නිසා උසාවියට වූ අපහාසය ගැන මා වැඩි දුර කියන්න යන්නෙ නැහැ. මගෙන් උසාවියට අපහාසයක් වෙන්න බැරි නැහැ. මෙරට ක්‍රියාත්මක වන්නෙ ඉංගිරිසි නීතිය මුසු වූ රෝම ලන්දේසි නීතිය. එය සිංහල ජාතිකත්වයට පක්‍ෂපාත නැහැ. ඒ කියන්නෙ නීතිය අපක්‍ෂපාත කියන එක නො වෙයි. අර පරණ එක්නැලිගොඩ නිලමෙ ගැනත් මට මතක් වෙනවා. ඒ නිලමෙ සිංහලේ නිදහස් සටනට විරුද්ධ වූ අයෙක්.
කමිටුවේ සාමාජිකයන් අතරින් මා දන්නෙ තව එක්කෙනයි. ඒ සුමේධ වීරවර්ධන. ඔහු ඇසූ පිරූ තැන් ඇත්තෙක්. මා හිතන්නේ ඔහු නීතිඥයෙක් නූණත් විවිධ නීතිවල පසුබිමේ ඇති දර්ශනය දන්නවා කියා. නීතිය රෝම වැසියන්ගෙ නිපදවීමක් නො වෙයි. ලන්දේසින් මෙරටට එන්න බොහෝ කලකට පෙරත් මෙරට නීතියක් තිබුණා. අපේ සිරිත් ලේනා කියා නිලයක් තිබුණා. එය අද කියන විධියට නම් නීතිපති ධුරය. නීතියෙ පදනම සංස්කෘතිය හා සිරිත් විර්ත්.