නාඩම්කාරයෝ හරහා එළිබහින භික්ෂු නාඩගම
නාඩගම්කාරයෝ නාටකය මේ දිනවල ජනප්‍රිය මාතෘකාවකි. විශේෂයෙන් ජාතිය හා ශාසනය සම්බන්ධයෙන් නාඩගම්කාරයෝ හරහා එළිදක්වන ප්‍රකාශ පිළිබඳ විරෝධයක් ද එල්ල වෙමින් තිබේ. අපි ද ඒ කෙරෙහි සාවධාන වීමු. එල්ලවන විරෝධතාවන්ගේ සත්‍යතාවක් නැතිවා ම නො වේ. ඒ පිළිබඳ ව පසු ව කතා කරමු. මේ ලියමන නාඩගම්කාරයෝ හි භික්ෂු නාඩගම පිළිබඳ ව ය.
මහණකම, චීවරය හා භික්ෂු චරිතය මෑතභාගයේ ටෙලිනාට්‍යවල අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ. ඒ පිළිබඳ ව විචක්ෂණශීලී වීම අවශ්‍යය ම ය. මන්දයත්, ඒ චරිත හරහා එළිදක්වන ‘ව්‍යාජ පැවිද්ද’ ජන විඤ්ඤාණය කෙරෙහි සූක්ෂ්ම හා ප්‍රබල බලපෑමක් කරමින් පැවැතීම යි.
නාඩගම්කාරයෝ හි “භික්ෂු නාඩගම” හරහා අද වන විට මහණකම ද නාඩගමක් බවට පත් කොට තිබේ. තාලපුට සූත්‍රයට අනුව රඟ මැද, නෘත්‍ය මැද රාගය, ද්වේෂය, මෝහය වැපිරීම පහාස නිරයෙහි වැටීමට හේතුවකි. සබ මැද රැඟීම භික්ෂුවට කොහෙත් ම කැප නො වන අතර, භික්ෂූත්වය රඟ මැදට ගෙන ඒම ද කොහෙත් ම නො කළ යුත්තකි. ඕනෑ ම අයෙකුට කඩෙන් මිල දී ගෙන හෝ ඉල්වා ගෙන චීවරයක් දැරිය හැකි නම්, එසේ ම සිවුර දරාගෙන මහණකම පිළිබඳ රංගනයක යෙදිය හැකි නම් මහණකමක් හා ශාසන සම්ප්‍රදායයක් අවශ්‍යය නො වේ. මේවා පිළිබඳ ව ශාසනභාරධාරීන් මුනිවත රැකීම උභතෝකෝටිකයකි.
මේ භික්ෂු චරිතවලට පණ පොවන්නන්ට හා රඟන නලුවන්ට පැවිද්ද, මහණකම තබා සරණාගමනයවත් තිබේ දැ යි යන්න ගැටලුවකි. එවන් වාතාවරණයක් මත අර්හත් ධජය දරාගෙන රඟපෑමට මේ නලුබට්ටන්ට අවසර දුන්නේ කවුද? බුද්ධප්‍රඥප්තියවත් නො දැන රඟපෑමට චීවරය දරමින් රැස් කරගන්නා අකුශලයට ඔවුනට පහාස නිරය ප්‍රමාණවත් වේ ද?
මෙවැනි විසූකදස්සනයන්ගේ ඇලීම සාමණේර දසසීලයෙන් පවා ප්‍රතික්ෂේප කර ඇති විනය කරුණකි. භික්ෂුව තමන්වහන්සේගේ ගෝචර සීමාව අවබෝධ කරගත යුතු ය. චතුසම්පජඤ්ඤය නැති නිසා දෝ භික්ෂූන් වහන්සේලා ද නාඩගම්කාරයෝ බලා හුරේ දමනු පෙනේ. එහි භික්ෂු නාඩගම බලා මහණකම නම් ඒ යයි කියති. නමුත්, බුදුරජාණන් වහන්සේගේ විනය ශික්ෂාවක් පෙන්වා දුන් විට ඊට විරෝධය පාති. භික්ෂුවකගේ ශාසනානුලෝමික නො වන වරදක දී සැදැහැති ගිහියෙකු ඒ වරද පෙන්වා දුන් විට “තෝ බුදුහාමුදුරුවෝ ද…? තෝ මහානායක හාමුදුරුවෝ ද….? තෝ අපේ ලොකු හාමුදුරුවෝ ද….? ගිහියෝ ගිහිකම නො කර එනවා හාමුදුරුවො හදන්න….! අපිට බණකියන්නේ, තෝ සිවුරක් දාගනින්කෝ; තෝ ම මේ මහණකම කරපියකෝ; අපි යන්නම්….!” යනාදීන් කියමින් සිවුරු උස්සාගෙන ගිහීන්ට ආක්‍රෝෂ පරිභව කරන දුසිල්වත් මහණුන් කොතෙකුත් දැක ඇත්තෙමු. එබඳු සිද්ධි සමාජය විසින් මහාසඞ්ඝයා වහන්සේගේ උජුපටිපන්නභාවය යයි අර්ථ දක්වනු ද පෙනේ. අඳෝ මැ යි! අද ඒ උජුපටිපන්න ය කියන මහාසඞ්ඝයා ම පැවිද්දක් තියා තිසරණයවත් නැති තක්කඩි රැළක් අර්හත් ධජය දරාගෙන නටන මෙවැනි නාඩගම් අවිවාදිත ව පැවිද්දේ පරමාදර්ශය කොටගැනීම අතිශය අපුල දනවන්නකි. එබැවින් නාඩගම්කාරයෝ මහණකම් කරනවා ද; නැත්නම් මහණකම් කරන්නෝ නාඩගම් නටනවා ද යන්න නුවණින් කල්පනා කළ යුත්තකි.
sorry.com ලියුම්කරු විසිනි.
