මහා පරාක්‍රමබාහු හට දරුවන් නොවීය. එහෙත් ඔහු ජීවත්ව සිටියදීම සිය සොහොයුරියගේ පුත් කුමරෙකු රජකම සඳහා පුරුදු පුහුණු කරන ලදී. පරාක්‍රමබාහුගේ බිසව වූ පාණ්ඩ්‍ය වංශික ජයරාම් ලීලාවතීගේ සොහොයුරියගේ පුතෙකු වූ ඔහු “මදුරප්පෙරුමාල්” විය. මහා පරාක්‍රමබාහුගෙන් පසු ඔහු රාජ්‍යත්වයට පත්වූයේ දෙවැනි විජයබාහු යන නමිනි.   
මහා පරාක්‍රමබාහුට පසුව ද්‍රවිඩ බලවේග විසින් ඔහු සිහසුනට පත් කළද රට පුරා කලබල ඇතිවිය. ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසකරු සඳහන් කරන්නේ ඇතැම් රාජද්‍රෝහී ඇමැතිවරු රටෙහි කලබල ඇති කරවන ලද නමුත් විජයා- යාන් – තැන් – නාවක් නමැත්තෙක් එම කලහකාරීන් මැඩපවත්වා රජුට තම සිංහාසනය ආරක්ෂා කර දෙන ලද බවය. එහෙත් මදුරප්පෙරුමාල්ගේ රාජ්‍ය කාලය එක් වසරකට සීමා කරමින් මහින්ද නම් සෙනවියෙකු රජු මරාදමා සිහසුන ලබාගනී.   

දිවා ගුහාව තුළ ඇති නිශ්ශංක මල්ල රජුගේ රුව හා සෙල්ලිපිය


මෙම මහින්ද සෙනවියා අන් කවරෙකුවත් නොව මහා පරාක්‍රමබාහු රජුගේ හිටපු සෙන්පතියා වූ කොහොම්බල්කුළු මඤ්ජු වේ. පැරකුම් යුගයේදී රුහුණේ වැසියන් දහස් ගණනක් උල් සිටුවා මරා දමා පුලුස්සන ලද්දේ මෙම සෙනවියාය. ගාල්ලේ වලල්ලාවිට කෝරළයේ බෙම්තොට ග්‍රාමයේ ගලපාත විහාරයේ පර්වත ලිපියට අනුව මහා පරාක්‍රමබාහුගේ රාජ්‍ය අධිපති වූ කොහොම්බල්කුළු මිහිඳු විසින් කරන ලද ඉඩම් සහ වහලුන් ප්‍රදානය කිරීමක් සඳහන් වෙයි. ඒ මෙම සෙන්පතියාය.   


ඇතැම් වංසකතාකරුවන් මොහු හඳුන්වා ඇත්තේ “කුලිංගකුල මිහිඳු” වශයෙනි. එය සපුරා වැරදිසහගතය. “කුලිංග කුලය” සිංහල කුලයකි. ශ්‍රී මහා බෝධිය සමග එහි ආරක්ෂකයින් වූ මහ දුරයින් කුලිංග කුලීකයෝ වෙත්. අනුරාධපුර විහාරගම් නවයේ පදිංචි කරවන ලද පවුල් 225 ක පිරිස ඔවුහුය. සිංහල බෝධි වංශයට අනුව බෝධියට වතාවක් කිරීම සඳහා බ්‍රාහ්මණ කුල අටක් මෙරටට පැමිණියහ. එයින් එක කොටසක් කුලිංගයෝය. මොවුන්ගේ වංශ වින්නතිය වන්නේ නීල කොබෙයියාය. එහෙත් සුළු බෝධි වංශික ලියුවන් කුලිංග යන්න විල්ලි දුරා ලෙසට වෙනස් කර ඇත. විල්ලි යන්න වල්ලුවන් යන ද්‍රවිඩ වචනය සිංහලට විල්ලි ලෙස යොදාගෙන ඇත. 

 
කෙසේ වුවද කොහොම්බල්කුළු මිහිඳුගේ රාජ්‍යත්වය පස් දිනකට සීමා කරමින් සිංහල බලවේගය ඔහු මරා දමා කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රාජ්‍යත්වයට පත් කරන ලදී. මහා විජේබාහු රජුගේ බෑනණුවන් වූද, දෙවැනි ගජබා රජුගේ යුවරජු වශයෙන් මාතුල දනව්ව නොහොත් මාතලේ පාලකයා වූද කාලිංග පරාක්‍රමබාහු හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රාජ්‍යත්වයට පත්විය. මහා පරාක්‍රමබාහුගේ දෙමළ සේනා විසින් දේපොළ කොල්ල කෑම නිසා සිංහලයෝ අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටියහ. නිශ්ශංකමල්ල රජු ඔවුනට සහන සලසන ලද ආකාරය රුවන්වැලි මහසෑ අසළ මාර්ගයෙහි ඔහු විසින් පිහිටුවන ලද සෙල්ලිපියක මෙසේ සඳහන් කර ඇත.   


“……… ඔකාවස් රාජ පරපුරෙන් ආ කාලිංග චක්‍රවර්ති රාජ වංශයට තිලකායමානවැ සිංහපුරයෙහි සංජාත වූ නිශ්ශංකමල්ල කාලිංග පරාක්‍රමබාහු රජ්පා වහන්සේ ස්ව වංශයට පරම්පරායාන ලංකාද්වීපයෙහි එක්සේසත් කොට මහා පරාක්‍රමබාහු වහන්සේ පූර්ව රාජ චාරිත්‍ර ඉක්මැ කළ අති දඩ අවිනයෙන් පීඩිතව දිළිඳුන්ව ගොස් සොරකම් කොට ජීවත්වන බොහෝ ජනයා ජීවිතාශා හැර සොරකම් කරන්නේ ධනාශාවෙන් වේදැයි රන් රිදී මසුරන් මුතු මැණික් වස්ත්‍රාභරණ වූ උන් උන් කැමති වස්තු හා සර ගම්බිම්දී අභය දී සොරකම් හරවා සෙසු බොහෝ ජනයාද ඒ ඒ දුක්ඛයෙන් ගලවා…”   


මෙහි සඳහන් වන්නේ තමා ඔකාවස් පරපුරට අයත් බවයි. එසේම ලංකාව තම වංශයට ප්‍රවේණි බවයි. එනම් කපිලවස්තු පුර ශුද්ධෝදන පරපුරට මෙරට අයත් බවය. කාලිංග චක්‍රවර්ති යනු කාලිංග දේශය ජයගෙන එහි පාලකයන් වූ පරපුර යන්නය. උත්තර භාරතයේ බිංදුසාර යුගයේදී කාලිංගය ඔහුට යටත් රාජ්‍යයක් විය. එහෙත් අශෝක යුගයේදී කාලිංග මෞර්ය පාලනයෙන් නිදහස් වීමට උත්සාහ දැරීම නිසා ධර්මාශෝක රජුට නැවත සටන් කොට එය යටත් කරගැනීමට සිදුවිය. ශුද්ධෝදන රජුගේ රාජ්‍ය ලාංඡනය නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපිවල සඳහන් කරන්නේ ඔහුගේ ඥාති සබඳතාව තහවුරු කිරීමක් වශයෙනි.   


නිශ්ශංකමල්ල රජු සිය සතුරන් වූ චෝල සහ පාණ්ඩ්‍ය දේශයන්වලට සිය චතුරංගනී සේනාව සමඟ ගොස් යුද නොකරම එම රටවල් යටත් කර ගනිමින් එම රටවල්වලින් කප්පම් ලබා ගනිමින් ඒවා මෙරට වැසියන්ගේ සුබසිද්ධිය සඳහා යොදවන ලදී. දඹුලු සෙල්ලිපියේ සඳහන් කර ඇත්තේ පාණ්ඩ්‍ය දේශය දෙවරක් ආක්‍රමණය කරන ලද බවය. එසේම මෙම රජු රාමේශ්වරම්හි සිය නමින් දේවාලයක් ඉදිකර දී ඇත. ලංකාවේ තුන් නිකායේ භික්‍ෂූන් සමගි කරවන ලද අතර අලජ්ජි භික්‍ෂුහු ශාසනයෙන් නෙරපා හරින ලදහ. මහා පරාක්‍රමබාහු රජු විසින් සිය පාලන කාලයේදී අභයගිරිය විශාල ලෙස පීඩනයට පත් කර තිබුණි. නිශ්ශංකමල්ල රජු විසින් එම වෙහෙර නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.   


රාජ කුලය වර්ධනය කර ශක්තිමත් කිරීම සඳහා නිශ්සංකමල්ල රජතුමා සිය පුත් වීරබාහු කුමරුට කාලිංග දේශයෙන් සමකුල රාජ කුමාරියක් ගෙන්වා විවාහ කර දීමද සූර්ය වංශික සහ චන්ද්‍ර වංශික කන්‍යාවන් මෙරටට ගෙන්වා දීමද සිදු කළ බව පොළොන්නරුව සෙල්ලිපියෙහි සඳහන් කර ඇත. බෝධිය වඩා මෙරටට පැමිණි පිරිස් සූර්ය වංශය ලෙසද, දළදාව මෙරටට දෙනා පිරිස් චන්ද්‍ර වංශය ලෙසද වංශ කතාවල සඳහන් වෙයි.   


පොළොන්නරුව හැටදාගේ සෙල්ලිපිය මගින් ඔහු චෝල හා පාණ්ඩ්‍ය දේශ ජයග්‍රහණය සැමරීම සඳහා නිශ්ශංක ලතා මණ්ඩපය, හැටදාගෙ සහ නිශ්ශංක දළදා මැදුර කරවන ලද බව සඳහන් කරයි. මෙම සෙල්ලිපිය මගින් රජුගේ මව්පියන් පිළිබඳ විස්තර කර ඇත්තේ මෙසේය.   


“වීර නිශ්ශංකමල්ල ශ්‍රීමත් අනන් උතුම් ගුණ ගණෙන් හිමි ඔකාවස් රජ පරපුරරෙහි වූ ආකාශචාරී කාලිංග චක්‍රවර්තීන් වහන්සේ කුලේනා ශ්‍රී ජයශෝපස රාජයාණන් වහන්සේ නිසා පාබ්බතී මහා දේවීන් වහන්සෙ කුසෙන් කාලිංග රට සිංහපුරයෙහි ජාත වූ සිරිසඟබෝ වීර රාජ නිශ්ශංකමල්ල කාලිංග චක්‍රවර්තීන් වහන්සේ…”   


සිය හමුදා බලය ශක්තිමත් කිරීම සඳහා දෙමළ අගම්පඩි හමුදා වෙනුවට කාම්බෝජ භටයන් මෙරටට ගෙන්වා බඳවාගෙන සිය හමුදා ශක්තීන් වැඩිකරන ලදී. දිවයිනේ සරත දිග් භාගයෙහි සංචාරය කරමින් සතුරු බලවේග මෙල්ල කරමින් මහජනයා සඳහා දාන ශාලා ඇති කරන ලද අතර මෞර්ය අධිරාජ්‍යයේ රජවරුන් මෙන් ශක්තිමත් චරපුරුෂ සේවයක්ද ඇතිකරන ලදී. රටේ ආර්ථික සුබසිද්ධිය සඳහා වැව් අමුණු ඉදි කිරීම හා ඒවා ප්‍රතිසංස්කරණය කිරීමද වාරි ජලමාර්ග මෙන්ම ප්‍රවාහන ජලමාර්ග ඇති කිරීමද සිදුකෙළේය.   
පාණ්ඩ්‍ය ආක්‍රමණය ජයගැනීම සමරනු වස් ඔහු විසින් “පාණ්ඩි විජයකුලම්” වැව සාදවන ලදී. වර්තමානයේදී එම වැවේ නම ගල්මැටියාන වැව වේ. මහා පරාක්‍රමබාහු යුගයේදී විනාශ වී ගිය පොළොන්නරුව රජ මාළිගය නැවත ඉදි කිරීම, කාලිංග පුරවරය මෙන්ම කාලිංග ඇළ මොහුගේ විස්මිත නිර්මාණයක් වෙත්. අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑයට නොදෙවැනි ලෙසට පොළොන්නරුවේ රන්කොත් වෙහෙර ඉදිකොට ඒ වටා සංඝාරාමයක්ද ඉදිකරන ලදී.   


මෙම රජුගේ ඉතාම වැදගත් කාර්යයක් ලෙස සැළකිය හැක්කේ ශ්‍රීපාදය කඳු මත බුදු සිරිපතුළ සහ ඒ හා බැඳි සියළු ධන නිධන් සොළීන් ඇතුළු විදේශී්‍ය ආක්‍රමණිකයින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඔහු විසින් සිදුකරන ලද කාර්යභාරයයි. මැණික් ගලක් මත බුදු සිරිපතුල තැබූ අතර එය මිල කළ නොහැකි තරම් වූ නිල් මැණිකක්විය. එම පූජ්‍ය වස්තුව අරබයා රජවරු විසින් පූජා කරන ලද වස්තු සම්භාරයක් ආවරණය කොට වසා දමා නව සිරිපතුල් යුගලක් ගලෙහි කෙටවීම එතුමා විසින් සිදු කරන ලදී.   


ආර්.එල්. බ්‍රෝහියර් මහතා සිය Seeing Ceylon කෘතියේ සිං/ප බ්‍රෝහියර් දුටු ලංකාව (අභය හේවාවසම්) මෙසේ සඳහන් කර ඇත.   


“වඩා ප්‍රචලිත පුරාවෘත්තියකට අනුව නියම සිරිපදලස තබා ඇත්තේ මැණික් ගලක් මතය… අද අපට පෙනෙන්නට තිබෙන සිරිපා ලාංඡනය මළුවට වන්දනා ගමනක යෙදුණු කීර්ති ශ්‍රී නිශ්ශංක රජු විසින් ගලේ කොටවන ලද්දක් බව විශ්වාස කරනු ලැබේ.   


“….. ලංකාවේ පැරණි ඉතිහාසය පිළිබඳ වංශ කතාව වූ මහා වංශයේ කීර්ති ශ්‍රී නිශ්ශංක රජු පිළිබඳ සඳහන් කරමින් සැදැහැයෙන් පිරුණු රජු තම සිව්රඟ සෙනඟ සමග සමනොළ නැග වන්දනාමාන කළේය.” යනුවෙන් සඳහන් වෙයි.   


ජනප්‍රවාදයේ එන අන්දමට මේ වන්දනා ගමන සිහිවීම සඳහා රජු තම ඔටුන්න ඇතුළු රාජ්‍ය භාණ්ඩ මේ කඳු බෑවුමේ පිහිටි විසල් ගල් ගුහාවක නිදන් කළ බව කියැවේ. ඇතැමුන්ගේ ඇදහීම අනුව රජතුමා තම රාජකීය භාණ්ඩ නිදන් කළ නිශ්ශංකගල ලෙන මෙයයි. තවත් සමහරු අදහස් කරනු​යේ නිශ්ශංගල ලෙන පිහිටා ඇත්තේ සමන්ත කූඨ පර්වතය මුදුනට ආසන්නව බවයි.”   


රාජාවලිය කතුවරයාද මෙම පුවත සඳහන් කර ඇත. ඒ මෙසේය.   


“……. දළදා ගෙන කාලිංගයෙන් ආ කීර්ති ශ්‍රී නිශ්ශංක රජු පොළොන්නරුව වෙහෙර කරවා දළදා ගෙය සැට පයින් කරවා එහි වටදාගෙය කරවා සෙනඟ සමගින් සමනළට ගොස් බුදුන් සිරිපා වැඳ ලක්දිවට තමා නමින් ලකුණු ආරම්භ කරවා…”   


භගවා ලෙන හෙවත් දිවා ගුහාව බුදුරජුන් සහ පන්සියයක් රහතන් වහන්සේලා වැඩ සිටි ලෙනය. එය සිරිපා මළුවට මීටර් 300 ක් පහළට වන්නට පිහිටා ඇත. නිශ්ශංකමල්ල රජු සිය සිව්රඟ සෙනඟ සමඟ ගොස් සෑහෙන කාලයක් ගතකොට සිරිපා මළුව ප්‍රතිසංස්කරණය කරන ලද්දේ මෙම ලෙනෙහි සිටිමින් බව පැහැදිලි වෙයි.   


රජු විසින් එහි සෙල්ලිපියක් මෙන්ම තම පිළිරුවද කොටවා ඇත. ඉන්පසු එය “නිශ්සංගල ලෙන” ලෙස හඳුන්වන ලද බව පැහැදිලි වෙයි. මෙම ලෙනද සෙල්ලිපිය මෙන්ම රජුගේ රූපයද මෑතකදී සොයාගෙන ඇත. (අංක 1 රූපය බලන්න) එම නිසා සැබෑ නිර්මාණකරුවා කවරෙක්ද යන්න පැහැදිලි වී ඇත.   

අඩි 4 අඟල් 6 ක් දික් වූද අඩි 2 අඟල් 4 ක් පළල් වූද ශෛලමය සිරිපතුල් යුගලකි. බුදුරදුන් සිය වම් සිරිපතුළ තබන ලද සහ එම යුගයේ කැටයම්කරුවන් විසින් නිරූපණය කරන ලද මාණික්‍යමය සිරිපතුල සංරක්ෂණය වී ඇත. බුදුන්ගේ එක් පාදයක පාද ලාංඡනය පමණක් තබන ලද්දේ මැණික් ගලේ ප්‍රමාණය මත එය කැටයම් කරනලද නිසා බව පැහැදිලිය.   
නිශ්ශංකමල්ල රජතුමා සහ සිරිපා රත්නපුර – එරන්ත මාර්ගයේ ශ්‍රීපාද කන්දට නැගි බවත් ආපසු පැමිණීම අඹගමුව – ගම්පොළ හරහා සැළව හා අරනායක පැරණි මාර්ගයෙන් පැමිණි බවටත් සාධක ඇත. නිශ්ශංකමල්ල රජු සමනොළ වෙත ගොස් ආපසු එන ගමනේදී මායා රට දුර්ගය ඔස්සේ රම විාහරයට අවුත් එහි දෙමහල් පිළිම ගෙයක් කරවා එයට කෙත්වතු ආදිය පුදන ලද බව අරම තුඩපතේ සඳහන් වේයැයි විද්වත්හු පවසති.   


සතර කෝරළයේ වර්තමාන අරනායක නගරයට ආසන්නව අරම රජමහා විහාරය පිහිටා ඇත. පුරාණයේදී මෙම විහාරය හඳුන්වා ඇත්තේ “මලිවා අරම” යනුවෙනි. අනුරාධපුර යුගයේදී “සැල්හෝගම” ලෙස හඳුන්වා ඇත්තේ සැඩ හොය හෙවත් සැළහොය අසළ ඇති “සැළව” ග්‍රාමයයි. පැරණි ශ්‍රීපාද ගමන් මඟ යෙදී තිබුණේ මෙම ගම හරහාය. අරම විහාරයේ වැඩසිටි එම විහාරයේ විහාරාධිපති හිමියන් විසින් මෙම ලියුම්කරුට පිටපත් කර දෙන ලද අරම තුඩපතේ විස්තරවලට අනුව වළගම්බා රජු විසින් මෙම විහාරයෙහි තුන්බෝ පිළිමගෙයක් කරවන ලද බව සඳහන් කර ඇත්තේ මෙසේය.   


“බු.ව. 1132 ශාක්‍ය කුල කමනීය රාජහංසයාය මාන වූ ශ්‍රී සංඝබෝ ශ්‍රී වළගම්බාහු මහ රජ්ජුරුවන් රාජ්‍යයට පැමිණි දෙවැන්නෙහි උදයගිරි උම්මිල්ල ලංකාධිපති අධිකාරි සේනාධිපති අමාත්‍යයන් සමග ශ්‍රී පාදයට ගොස් පැමිණ අරම තුන්බෝ පිළිම ගෙයක් කරවා….”   


නිශ්ශංකමල්ල රජතුමා සමනොල වැඳ අපසු එන ගමනේදී අරම විහාරයෙහි දෙමහල් පිළිම ගෙයක් සාදවන ලද බව මෙහි සඳහන් නොවේ. පිටපත් කිරීමේදී එය අත්හැරී හෝ අත්හැර ඇතැයි සිතිය හැක. නිශ්ශංකමල්ල රජතුමා සිය ගල්පොත සෙල්ලිපිය මගින් අවධාරණයෙන් ප්‍රකාශ කර සිටින්නේ ලංකා රාජ්‍යය බුදු සසුනට හිමි බවත් එය කිසිවිටෙකත් අබෞද්ධ චෝල, පාණ්ඩ්‍ය සහ කේරළ ආදී රජවරුන්ට නොදිය යුතු බවත්ය. ලංකා රාජ්‍යය සෑම විටම ක්‍ෂ්ත්‍රීය පවුල්වල රජදරුවන්ට පමණක් ලබාදිය යුතු අතර එවැන්නෙද නොසිටි විටකදී එවැනි රජෙකු මියගිය විටෙක ඔහු පැළඳි පාවහන් යුගල එනම් මිරිවැඩි සඟළ හෝ සිහසුනෙහි තබා ඇමැතිවරු විසින් රාජ්‍යය ගෙනයා යුතු බවය. ගල්පොත සෙල්ලිපියේ කොටසක් මෙසේය;   


“……. අරාජකව නොවිසිය යුත්තේය. එහෙයින් මහරජතන්පත්වැ සිටියවුන් නැති තැනෙක. යුවරජව සිටියවුන් හෝ උනුදු නැතහොත් රාජ කුමාරවරුන් හෝ උනුදු නැතහොත් බිසෝවරුන්ගේ ආඥායෙහි පැවත රක්ෂා කටයුතු. උනුදු නැතහොත් මහරජුන් පයැලු වහන් මාත්‍රයකුදු (මිරිවැඩි සඟලක්) රජතන්හි (සිහසුන්) තබා රාජ්‍ය රැක්කයුතු….”   
නිශ්ශංකමල්ල රජුගෙන් පසු ඔහුගේ පුත් වීරබාහු රාජ්‍යත්වයට පත්විය. එහෙත් රාජ්‍යත්වය එක් දිනකට සීමා විය. ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසකරු එය විස්තර කරන්නේ මෙසේය;   


“වීරබාහු රජ වූ වහාම ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියෙන් අතිශයින් භයානක වූත් උණුසුම්වූත් දේශපාලන වාතාවරණයක ලකුණු පහළ වෙයි…”   


මහා පරාක්‍රමබාහුගේ කින්නි නම් සෙනවියෙකු විසින් එක රැයින් වීරබාහු මරණයට පත්කර වික්‍රමබාහු නම් කුමාරයෙකු රාජ්‍යත්වයට පත් කරන ලදී. ඔහුගේ රාජ්‍ය කාලයද මාස තුනකට සීමා කරමින් නිශ්ශංකමල්ල රජු සොහොයුරියගේ පුතෙකු වූ “වෝඩගංගදේව” කුමරු රාජ්‍යත්වයට පත් කරන ලද්දේ සිංහල බලවේගය විසිනි.   


නැවත වරක් කින්නි සෙනවියා විසින් ඔහු මරා මහ පැරකුම්බා රජුගේ බිසව වූ ජයරාම් ලීලාවතී රාජ්‍යත්වයට පත් කරන ලදී. ඒ අනුව වෝඩගංඟ දේවගේ රාජ්‍ය කාලය නව මසකට සීමා විය. ලීලාවතීයගේ රාජ්‍ය කාලය වසර තුනක් බව රාජාවලිය සනාථ කරයි. මෙයින් පසු සිංහල බලවේගය විසින් ඔක්කාක පරපුරේ කෙනෙකු රාජ්‍යත්වයට පත් කළ බව රාජාවලිය සඳහන් කරන්නේ මෙසේය.   


“පසුව ඔක්කාක වංශයෙන් ආ රජෙක් නව අවුරුද්දක් රාජ්‍යය කළේය.”   


මොහු අනෙකෙකු නොව නිශ්ශංකමල්ල රජුගේ බාල සොයුරු සහස්සමල්ලයන්ය. සිංහලයින් විසින් කිත්ති සෙනවියා බලයෙන් පහ කරන ලද නිසා ජයරාම් ලීලාවතියගේ පාලනයද අර්බුදයට පත් වූ ආකාරය ලංකා විශ්වවිද්‍යාල ඉතිහාස ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේය;   


“…….සිහසුනට ඈ ඉදිරිපත් කළ හිමිකම් මුල සිටම මතභේදයට ලක්වී තිබිණ. ලීලාවතී බිසවට අනතුරුව රජ පැමිණි සහස්සමල්ලගේ ලේඛනයක දැක්වෙන අන්දමට දිවයිනේ පැවති අරාජක තත්ත්වය ගැන අප්‍රසාදයට පත්වූ ඇමැතිවරු ලංකාවේ රජකම බාරගන්නා ලෙස කාලිංගයේ සහස්සමල්ලට ආරාධනය කළහ. සහස්සමල්ල දිවයිනට ගොඩ බසින්නට පෙර එවකට බලයේ සිටි කණ්ඩායම නෙරපා හැරීම සඳහා යථෝක්ත ඇමැතිවරුන් දෙවසරක කාලයක් තියුණු අරගලයක යෙදී සිටි බව දැක්වෙයි. නිසැකවම මෙකී දෙවසරක අරගලය පැවතුණේ ඇතැමුන් ස්වකීය පාලකයා ලෙස නොපිළිගත් ලීලාවතී බිසව​ගේ රාජ්‍ය කාලයේදීය….”   


සහස්සමල්ල මෙරටට ගෙන්වා ගැනීමට මූලිකයන් වූ ඇමැතිවරුන් දෙදෙනෙකු හට ගෞරව නාමයන් පිරිනමන ලද ආකාරය සඳහන් මෙම රජුගේ සෙල්ලිපියක් පොළොන්නරුව රන්කොත් වෙහෙර අසළ පිහිටුවා ඇත. එහි සඳහන පහත සඳහන් පරිදි වේ.   


“ශ්‍රීමත් සහස්සමල්ල සිංහලපති… සිරිමත් ඔකාවස් පරපුරෙහි මුළු සක්වල එක්සත් කළ කාලිංග චක්‍රවර්ති පරම්පරායාත ශ්‍රී ගෝප රාජ්‍යයන් වහන්සේ උරෙහිදා ලෝක මහා දේවීන් වහන්සේ කුසින් සිංහපුරයෙහි ප්‍රසූත වූ අසමසහායෙන් සහාස්සමල් යැයි විරිඳු ලද සිරිසඟබෝ කාලිංග විජයබාහු රජ්‍යා වහන්සේ පළමු ලංකායෙහි රජසිරි පැමිණ සිටි නිශ්ශංකමල්ල නම් බැනුන් වහන්සේ ස්වර්ගස්ථ වූ පසු…. ලොලුපැලෑකුළු දූන්තැටි අබෝනාවන්… තමන්ට සර්වමිත්‍ර ලොලුපැලෑකුළු බූදල්නාවන් හා එක්ව… තම තමාගේ ආධිපත්‍ය පතා විස්නකරන දුර්මන්ත්‍රීන් දෙහවුරුද්දකින් සාධා බුද්ධ වර්ෂ එක්දහස් සත්සිය තෙසාළිස් හවුරුදු තුන්මස් සත්විසි දවසක් ගිය තැන බිනෙරපුර දොළොස් මස් ලත් බදාදා අභිෂේක කරවූ මේ අනන්‍ය සාධාරණ දස්කමට තමන් වහන්සේට පළමුවැන්නෙහි සෙනවි රන්පට බන්දවා අග්‍ර මන්ත්‍රී කොට සිටුවා මෙවැනි දරුවන් ලද ඔවුන්ට වැඩි සත්කාර කළමනාවේ දැයි මොවුන් මෑණියන්ට ලංකාතිලක මහාදේව යැයි නම් දී බඩැ රන්පට බන්දවා….”

   
මෙහි සඳහන් ලොලුපැලෑකුළු දුන්තැටි ආබෝතාවන් යනු නිශ්ශංකමල්ල රජුගේ සේනාපති වූ දේව සෙනවි හෙවත් අයෙස්මන්ත සෙනවියා වේ. පරාක්‍රමබාහු කාලයේදී සිදුවූ කුල දූෂණය නිසා මිශ්‍ර වූ පවුල් නැවත අමිශ්‍ර කොට රාජ කුලය වර්ධනය කිරීම සඳහා නිශ්ශංකමල්ල රජු විසින් “රාජකුල වඩ්ඩන” නම් තනතුරක් ඔහු වෙත ප්‍රදානය කරන ලදී. මෙම සෙනවියා විසින් රාජකුල වඩ්ඩන නමින් විහාරයක්ද කරවන ලද බව වංශ කතාකරුවන් සඳහන් කරයි. “ධර්මාධිකරණ ශාස්ත්‍රය” නමින් ග්‍රන්ථයක් රචනා කරන ලද්දේද මොහු විසිනි. මෙම සෙනවියා කඳවුරු කුලයට අයත් බව වංශ කතාකරුවන් සඳහන් කරයි.   


සිංහල රජවරු විසින් උසස් නිලධරයන් හට ගෞරව නාම පිරිනැමීමේදී අදාළ විරුද නාමය ලියන ලද රනින් කළ නළල් පටයක් හිසෙහි පැලඳවීම සිරිත විය. කාන්තා පක්‍ෂය සඳහා එම පටිය බඩෙහි බැඳීම කරන ලදී. මෙසේ රන් නළල් පටියෙන් පිදුම් ලද අයෙස්මන්ත සෙනවියාගේ පරම්පරාවෙන් පැවත එන්නෝ “රන්පටි දේවගේ” යන පෙළපත් නාමය භාවිතා කරත්. ලංකාතිලක මහාදේවිගේ පරපුරෙන් පැවත එන්නන් “තිලක දේවගේ” යන පෙළපත් නාමය භාවිත කරත්. ලොලුපැලෑකුළු යන්න ග්‍රාම නාමයකි.   


“ආබෝනාවන්” යන්න බෝධිය වඩා ආ යන අර්ථ ගැන්වේ. අළුත්නුවර උපුල්වන් දේවාලය කරවීමේදී දෙවි අරුව නෙලීම සඳහා අබෝනාවන් කෙනෙකු සහභාගී වූ ආකාරය මෙසේ සඳහන් වෙයි.   


“දෙව් රජ රූප යටතේ බලා සිටි ගිරි වසා ආබෝ අරක්මේනාව යයි යන තැනැත්තා ඉස්සෝධා නාවා පිරිවට හඳවා මඟුල් වෙස් ගන්වා රන් පොරවක් අතට දී….”   


ගිරි වංශයේ ආබෝනා නම්වූ ආරක්ෂක හමුදා ප්‍රධානියා යන්න එහි අර්ථයයි. ගිරි වංශය, කඳවුරු කුලය සහ කන්දයෝ යන්න එකම කුලයකි. සහාසමල්ලයන්ට පසු “එළලූ ආබෝ” නම් සෙනවි විසින් රාජ්‍යය ගෙන නිශ්ශංකමල්ලයන්ගේ බිසව වූ කළ්‍යාණවතී රාජ්‍යයත්වයට පත් කළ බව රාජාවලිය සඳහන් කරයි. සෙල්ලිපිවල සඳහන් වන්නේ “අබාසලමෙවන් කල්‍යාණවතී” යනුවෙනි. ඇය මහා විජේබාහුගේ දියණියයි.   


රාජාවලිය මෙන්ම පූජාවලිය කතුවරයා සඳහන් කරන්නේ කල්‍යාණවතිය වසර හයක් රාජ්‍ය කළ බවය. එහෙත් ඇය විසින් පිහිටුවන ලද මිණිපේ පුවරු ලිපියට අනුව ඇය කුදුස් වසරක් රාජ්‍ය කළ බව පැහැදිලි වෙයි. එසේම එහි සඳහන් ඓතිහාසික තොරතුරුවලට අනුව ඇගේ අටවැනි රාජ්‍ය වර්ෂයෙහි දෙමළ සේනාව අවුත් අයේෂ්මන්ත සෙනවියා මරා දමන ලද බව සඳහන් කර ඇත.   


“…… සිරිලක්හි අගතැන්පත් අබාසලමෙවන් කල්‍යාණවතී ස්වාමීන් වහන්සේට අටවැන්නේ දෙමළ මහසෙන් මෙලකට බැස ආති නැමති ඇමැතියන් නසා මුළු ලක්හි පැළඹෙන සන්ද සිරිකතට උවින්දුවන් විසිකනට බඩනුවන් පළකෙදට හිරුනුවන් සොමිලෙසට සිසුනුවන් මලෙහි කුල තිලකායමාන මහ පින්සර භාම සේනාධිරාජයෝ තමන්ට යුධයට ආ නොයෙක් දෙමළ, සිංහල මාරහට පුවූ සිංහල යොබළන්ගේ අසි සංඝට්ටණයෙන් ජනිත වූ ගිනිපුපුරු නිකරයෙන් නිතර වූ නොයෙක් සිය ගණන් යුධයෙහි ජය ලදින්….”   


බුදුරදුන් මහියංගනයට වැඩ කපිලවස්තුපුර සිය ඥාතීන් පදිංචි කළ මුල්ම පෙදෙස මිණිපේ විය. මිණිපේ හෙවත් මණිමේඛලා රටෙහි අග නගරය ගංදෙණිය ලෙසට හැඳින්වේ. මෙහි පාලකයා භාම සෙනවි විය. අනිකංග ප්‍රමුඛ දෙමළ සේනාවන් සමග සටන් සිය ගණනක් කර ජයග්‍රහණය කරන ලද අතර අයෙස්මන්ත හෙවත් ආති සෙනවි මෙවැනි සටනකදී ද්‍රවිඩයන් අතින් ජීවිතක්ෂයට පත්විය.   


“මලෙවිකුල” යනු “මණිමේඛලා රටෙහි සිටි” යන අර්ථ ගනී. මෙම පෙදෙස දැඩි ආරක්ෂිත කලාපයක් විය. පොළොන්නරුව සතුරන් අතට පත් වුවද මෙම පෙදෙස සරුසාර මෙන්ම සිංහලයාට ආරක්ෂිත පෙදෙසක් විය. බුදුන්ගේ ඥාතීන් මෙහි පදිංචි කරවන ලද අතර ඔවුන් විසින් කෘෂිකාර්මික අතින් සශ්‍රීක කරන ලද අතර මහසෙන් යුගයේදී මිණිපේ ඇළ කප්පවන ලද ලෙස සැලකේ. එය වැදගත් වාරි ව්‍යාපාරයක් විය. ඌව – වෙල්ලස්ස ඉංග්‍රීසීන් අතින් විනාශයට පත්වන තෙක්ම මෙම පෙදෙස සශ්‍රීකව පැවති බව පැහැදිලිය.   
මින්පසු රාජ්‍යයත්වයට පත්වූයේ කල්‍යාණවතී බිසවගේ පුත් “ධර්මාශෝක දේව” කුමරුය. වංසකතාකරුවන් පවසන්නේ තුන්මස් වයසැති කුමරු සිංහාසනයෙහි තබා වසර හයක් රාජ්‍යය පවත්වාගෙන ගිය බවය. රාජාවලිය කතුවරයා සඳහන් කරන්නේ කුමරුගේ වයස පස් මසක් බවය. එහි සඳහන් මෙසේය;   


“….පසුව ධර්මාශෝක නම් දරු වූ කුමරුවක් පස් මස පිරි උන් රට තබා සාවුරුද්දක් රාජ්‍යය කෙළේය. පසුව ඇනියඟ නම් රජ දඹදිවින් බලසෙන් ගෙන අවුත් ලක්දිවට ගොඩබැස පොළොන්නරුව ගෙන තමාගේ පුතුන් ලවා ධර්මාශෝක කුමාරයා එල්ලවා සෙනවි රජු මරා තමා පහළොස් දවසක් රාජ්‍යය කෙළේය. පසුව මනකම් සෙනවි ඔහු මරා පෙර රජ කළ ලීලාවතී බිසව ලවා සාවුරුද්දක් රාජ්‍යය කෙළේය….”   


නිශ්ශංකමල්ල රජු මියගොස් වසර 23 කට පසුව ඔහුගේ බිස වූ කල්‍යාණවතී හට තුන්මසක දරුවකු සිටීමත් ඔහු සිහසුනේ තබා රාජ්‍යත්වයට පත් කළ බවත් වසර හයක් කුඩා දරුවෙකු රාජ්‍ය කළ බවත් වංසකතාකරුවන් සහ රාජාවලිය සඳහන් කිරීම හාස්‍යජනක මෙන්ම පාඨකයා අතිශයින්ම නොමඟ යැවීමකි. වංස කතාකරුවන් තුන්මසක් ලෙසටද රාජාවලිය කතුවරයා පස් මසක් ලෙසටද මෙම කුමරු හැඳින්වුවද රාජාවලියේ (ර) පිටපතේ සඳහන් කර ඇත්තේ “උන් රට ලබවා” යනුවෙනි. එනම් ධර්මාශෝක කුමරු රට ලබාගෙන සාවුරුද්දක් රජ කළ බවය.   


මෙයින් පැහැදිලි වන්නේ නිශ්ශංකමල්ලයන්ගේ පුත් වීරබාහු රාජ්‍යත්වයට පත්ව එක් දිනකින් ඝාතනය කරන ලද නිසා රජුගේ දෙවැනි බිසවු කල්‍යාණවතීගේ දරු ධර්මාශෝක ළදරුවා රහසිගතව ඇති දැඩි කොට නියම වයසේදී රාජ්‍යත්වයට පත් කරන ලද බවය. වංසකතාකරුවන් ධර්මාශෝක කුමරු තුන්මස් වයසැති බිලිඳෙකු සිහසුනට පත්කොට රාජ්‍යත්යට ගෙන ගිය බව සඳහන් කළද මෙම රජු විසින් නිකුත් කරන ලද කාසි වර්ග කීපයක්ම පසු කාලයේදී හමුව ඇත. තුන් මස් බිලි​ඳෙක් තමන්ගේ නමින් කාසි නිකුත් කරන ලද්දේ කෙසේද යන වග උගත් පාඨකයින් විචාරශීලීව කල්පනා කළ යුතුව ඇත.   

කෑගල්ලේ ඒජන්තවරයා වශයෙන් අයිවර්ස් මහතා කටයුතු කරන කාලයේදී බෙලිගල කැණීම් කටයුතු සිදුකරන ලදී. එහිදී සහාස්සමල්ල, ලීලාවතී සහ ධර්මාශෝක දේවගේ යන රජවරුන්ට අයත් කාසි 37 ක් හමුවී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පඬුවස්නුවර මාළිගයට දකුණින් පිහිටි පිළිම ගෙයක් හෑරීමේදී පැරණි කාසි විශාල තොගයක් හමුවී ඇත. එම කාසි අතර ධර්මාශෝක දේව රජුට අයත් අළුක්කාලේ මසු 108 ක් හමුවී ඇත. මෙතෙක් මේ වර්ගයේ කාසි ඉතා දුර්ලභ විය.   


මෙයට පෙර ධර්මාශෝක කුමරුගේ කාසි හමුව ඇත්තේ එකක් පමණි. එය දැනට අභයගිරි කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ධර්මාශෝක කුමරුගේ කාසිවල ඔහුගේ නම සඳහන් කර ඇත්තේ “ධර්මාශෝක දේවගේ” යන නමිනි. වෝඩගංග රජු විසින් ගෝකණ්ණයෙහි පිහිටුවා ඇති සෙල්ලිපියක ඔහුගේ නම සඳහන් කර ඇත්තේ “වෝඩගංග දේව” යන නමිනි.   


එම සෙල්ලිපියෙහි ලංකාව හඳුන්වා ඇත්තේ “අජෛයියාම් ලංකා” වශයෙනි. එනම් කිසිවෙකුට සටන් කර යටත් කරගත නොහැකි ලංකාව යනුවෙනි. පෘතුගීසීන් හා ලන්දේසීන්ට යටත් කරගත නොහැකි වූ ලංකාව ඉංග්‍රීසීන් යටත් කරගත්තේ ලන්දේසීන් උඩරටට ගෙන හා වහලුන් වූ මලබාර්වරු සහ ඉංග්‍රීසි හමුදාව සහ පහත රට මුදලිවරුන්ගේ ලැස්කිරිඤ්ඤ හේවායින් විසින් සිංහලයාගේ ගේ දොර ගින්නෙන් හා බයිනෙත්තුවෙන් විනාශ කර දැමීමෙනි. එය සටනක් නොවේ.   


රාජාවලිය සඳහන් කරන පරිදි ධර්මාශෝක කුමරු එල්ලවා; සෙනවි රජු මරා පොළොන්නරුවේ රජ වූ අනිකංග රජ මරා දමන ලද්දේ මනකම් නමැති සෙනවියෙකි. රාජාවලිය කතුවරයා උත්සාහ දරා ඇත්තේ ධර්මාශෝක ළදරුවෙකු බවත් රාජ්‍යය විචාලේ සේනාධිපතිවරයා බවත් හුවා දැක්වීමටය. “සෙනවි රජු” ලෙස ඔහු සඳහන් කරන ලද්දේ එබැවිනි. මනකම් නමින් හඳුන්වන ලද ද්‍රවිඩ සෙනවියා පූජාවලියෙහි සඳහන් කර ඇත්තේ “මානැක්කා” යන නමිනි. මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් මෙම ඇමැතියා පිළිබඳව කරන සඳහන මෙසේය;   


“ලීලාවතිය නමට තබාගෙන චමුනක්ක එක් වර්ෂයක් රට ආණ්ඩු කෙළේය. ලෝකිස්සර රාජ්‍යය පැහැර ගත්තේ ඔහු අතිනි.”   


(ලංකාශිලාලේඛන සංග්‍රහය – 2502 උඳුවප් 15. පි – 59)   


ජයරාම් ලීලාවතිය දෙවැනි වරට රජකම් කෙළේ එක් වසරකි. පූජාවලිය එය එක් වසරක් බව සඳහන් කර ඇත. රාජාවලියේද (ග) සහ (ව) පිටපත්වල සඳහන් වන්නේද එක් වසරක් බවය. එහෙත් රාජාවලියේ සෙසු පිටපත්වල “හවුරුද්ද” යන්න “හාවුරුද්දක්”’ ලෙස සඳහන් කර ඇත.   


මනකම් හෙවත් මානැක්කා රාජ්‍යත්වයෙන් පහකර “ලෝකේශ්වර” නමැති ද්‍රවිඩයෙකු පස් මසක් රාජ්‍යය කළ බව රාජාවලිය කතුවරයා සඳහන් කරන්නේ මෙසේය;   


“ලෝකේශ්වර රජ පරදෙසින් දෙමළ පිරිස් ගෙන කඳවුරු බැඳ පස් මසක් රාජ්‍යය කෙළේය. පසුව ලීලාවතී බිසව සාර මසක් රාජ්ජය කෙළේය.”   


රාජාවලිය කතුවරයා උත්සාහ දරා ඇත්තේ ජයරාම් ලීලාවතිය තුන් වැනි වරටත් රජකළ බව හුවා දැක්වීමටය. එහෙත් රාජාවලියේ සෙසු පිටපත්වල සඳහන් වන්නේ ලීලාවතී නොව “කල්‍යාණවතී” යන්නය. රාජාවලියේ (ස), (හ), (ර) යන පිටපත්වල “කල්‍යාණවර්තතී” ලෙසද, (බ) පිටපතේ “කැලණිවර්තක” ලෙසද, (ක) පිටපතේ “කල්‍යාණවර්තතී” යනුවෙන්ද සඳහන් වෙයි.   


මිණිපේ පුවරු ලිපියට අනුව කල්‍යාණවතිය තුදුස් අවුරුද්දක් රජකම් කර ඇත. එසේනම් එම පුවරු ලිපිය ඇයගේ නව වන වර්ෂයෙහි පිහිටුවන ලද්දේ වෙයි. ඉන් ඉක්බිති සතර වසරක් ඇය රාජ්‍යය කළ යුතුය. එම නිසා මෙහි සඳහන් “හාර මසක්” යන්න හාර අවුරුද්දක් සේ ගණන් ගත යුතුය.   


මෙයින් පසු පාණ්ඩ්‍ය ආක්‍රමණයක් සිදුවන අතර “පරාක්‍රම පණ්ඩු” රාජ්‍යත්වයට පත්විය. ඉන්පසු මලල සෙනඟ විසි දහසක් සමඟ මෙරට ආක්‍රමණය කළ කාලිංග මාඝයන්ට මෙරට යටත් කරගැනීමට හැකිවිය. මෙම ආක්‍රමණිකයා කාලිංග වංශිකයැයි වංශ කතාකරුවන් සඳහන් කළද ඔහු මලලයෙකු හෝ ජාවකයෙකු යැයි ඇතැම් විචාරකයින් අනුමාන කරයි. බොහෝ විට සොළියෙකු වීමටද ඉඩ ඇත. රාජාවලිය කරන සඳහන මෙසේය;   


“කලිඟු රජ විසිදහසක් මල්ලව සෙනඟ ගෙන ලක්දිවට ගොඩ බැස කඳයුරු බැඳ පොළොන්නරු නුවර ගෙන පඬි රජු අල්ලා ඇස් උදුරා ලෝක ශාසනය නසා රුවන්වැලි දාගොබ බිඳුවා සෙසු දාගොප් බිඳුවා… ලක්දිව කුලවාසීන් උතුන් කරවා කීර්ති පවත්වා ජාතිභේද කරවා කුලදරුවන් දිළිඳු කරවා සිරිලක මිථ්‍යාදෘෂ්ටි කරවා සිල්වත් අය අල්වා ධන විකාරයට පමුණුවා ලංකාව ගිනිගත් ගෙයක් සේ පමුණුවා ගම ගම දෙමළුන් බඳුවා බලහත්කාරයෙන් එකුන් විසි අවුරුද්දක් රාජ්‍යය කෙළේය…”   


එම්.කේ. ජයසේන   
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය   

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s