බිත්තර ගැසීම සහ බෝම්බ ගැසීම
යොහාවා නමැති දෙවියන් ඊජිප්තු වැසියන්ගේ වහලුන් වශයෙන් සිටි ඊශ්‍රායල් නමැති ජනවර්ගය ගලවාගත් ගත් විස්තරය, යුදෙව් බයිබලයේ අඩංගු වේ. පසු කලෙක පැසිපික් සාගරයේ සිදුවූ වහල් වෙළෙදාමේ ප්‍රධානීන්, ඊශ්‍රායල් වෙළෙන්දෝ වූහ. ක්‍රිස්තියානි රෝම අධිරාජ්‍යය ගොඩනැංවීමටත් වහලුන්ගෙන් විශාල සේවයක් සිදුවුණි. මේ වහලුන් නිදහස් වූයේ ස්පාටකස් වැන්නන් නිසාය යන්න අලි බොරුවකි. ස්පාටකස් කතාන්දරය ලෝකයේ ප්‍රචාරය කිරීමට මූලික වූයේ කාල් මාක්ස්ය. කාර්මික විප්ලවය සිදුවූ එංගලන්තයේ විසූ කාල් මාක්ස්, පංති අරගලයකින් වහල් සමාජය වෙනස්වී ධනපති සමාජය බිහිවූ බව කීමට ස්පාටකස් කතාව ආධාර කරගත්තේය. මෙවැනි කතා තවත් තිබේ. ඊසොප් ග්‍රීසියේ රාජ සභාවේ කතාන්දර කියමින් විසූ වහලෙකු යැයි ලංකාවේ එක්තරා මහාචාර්යවරයෙකු සඳහන් කර තිබේ. පංති අරගලය නිසා වහලුන් ශ්‍රමය අලෙවි කරන නිර්ධනයින් බවට පත්වූයේය යන්න මාක්ස් ගෙතූ කතාවකි. මාක්ස්වාදය අදහන්ට වූ හැම දෙනාම ඒ ප්‍රබන්ධය අදහන්නෝ වූහ. ‘නිර්ධනයින්, තමන්ව සූරාකන ධනපති පංතිය පෙරළා ලෝකය පාලනය කිරීමේ බලය අල්ලා ගනු ඇත’ යන්න මාක්ස්ගේ අදහසකි.
මාක්ස්, පංති සමාජ ඉතිහාසය පැහැදිලි කරමින් ‘අධිරාජ්‍යය’ නමැති ප්‍රසිද්ධ පොත රචනා කළේය. ඔහුගේ කාලයේ ඔහු ජීවත්වූ බි්‍රතාන්‍යය, හිරු නොබසින අධිරාජ්‍යය නමින් ලෝකයේ ප්‍රසිද්ධ වී තිබුණි. ඒ කාලයේ ලංකාවේ වාමාංශිකයෝ ‘අධිරාජ්‍යය භංගවේවා කියමින් පෙළපාළි ගියහ. ‘අදිරදේ බිඳ හෙලව්’ යන සටන් පාඨය ‘සමසමාජ ගීයේ’ අන්තර්ගතව තිබුණි. ‘අධිරාජ්‍යයට මරණය ජනතාවට විමුක්තිය’ යන්න මුල් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සටන් පාඨයකි.
දැන් හිරු නොබසින අධිරාජ්‍යයක් නැත. එහි වැටීම සිදුවූයේ නිර්ධනයින් නිසා නොවේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව ලෝක බලවතා වූයේය. ඇමරිකානු අධිරාජ්‍යය ගැන නිරතුරුව කතාකරන පිරිසක් ලංකාවේ සිටිති. ඔවුන් අතර මාක්ස්වාදින් කැපී පෙනේ. ලංකාව ඇමරිකාවට ගොදුරුවන බව ඔවුහු කාලයක සිට කියති. ලංකාව ගිලගන්නා චීන අධිරාජ්‍යයක් ගැන කියන්නන් පිරිසක්ද සිටිති. මෙවැනි කතා කියන සියල්ලෝම ඩිජිටල් සංස්කෘතියට ගොදුරුවී සිටිති. ඇමරිකානු ඩිජිටල් සමාගම් ඩිජිටල් සංස්කෘතියේ පුරෝගාමියෝ වෙති. දැන් චීන ඩිජිටල් සමාගම් ඇමරිකානු සමාගම් සමග තරග කරමින් ලෝකය ඔවුන්ගේ ග්‍රහණයට පත්කර ගැනීමට වෙහෙසෙති. ඇමරිකාවේ පේස්බුක් වටස්අප් සමඟ, චීන ටික්ටොක් තරග කිරීම සුළු නිදසුනකි. ඩිජිටල් බලවතුන්ට මනුෂ්‍යයින්ගේ මොළය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ හැකියාව තිබේ. එනිසා ඔවුන්ගෙන් රටවැසියන් සහ සංස්කෘතිය රැක ගැනීමට ඇතැම් රටවල පාලකයෝ වෙහෙසෙති. ඉන්දියාව නිදසුනකි. ලංකාවේ පාලකයින් ඔවුන්ට උපදෙස් දෙන පුරෝහිතයන්ගෙන් ඩිජිටල් සංස්කෘතියෙන් රටවැසියන් සහ සංස්කෘතිය බේරා ගැනීමට උපකාර පැතුවහොත් සිදුවන විනාශය වචනයෙන් පැහැදිලි කළ නොහැක. අවුරුදු දහස් ගණනක් තිස්සේ සිංහලයින් පොහොර නිපදවාගත් පිළිවෙල ගැන නොසොයා කාබනික පොහොර ප්‍රශ්නයක් ඇතිකිරීම නිදසුනකි. නිර්ධනයින් කවුරුන්දැයි 1971 අප්‍රේල් කැරැල්ලට සහභාගි වී සිරගෙවල සිටි සමහර තරුණයින් ප්‍රශ්න කරන්නට ගත් හැටි අපි හොඳකාරව දනිමු. අප්‍රේල් කැරැල්ලේ නායකයින් අතර නිර්ධන පංතිය නියෝජනය කරන එකම පුද්ගලයෙක් හෝ නොසිටියේය. හලාවත බස් නැවතුම් පොළේ ටොපි විකුණා දරු පවුල නඩත්තු කළ, සිරගතව සිටි කමල්ගේ කතාව ඊට නිදසුනකි. ඔහු නිර්ධන පංතිය සම්බන්ධයෙන් නායකයින්ට සිරගෙදරදී අභියෝග කළේය. “සහෝදරවරු බොරු නිර්ධන පංති කතා කියන්ඩ එපා. මං ඔය සහෝදරවරු සේරටම වඩා දිළින්දෙක්. ඒත් මට කිසියම් ධනයක් තියෙනව. මට දරුපවුලක් ඉන්නව. ඔවුන්ව ගොඩනැගීමේ අනාගත බලාපොරොත්තු මට තියෙනව” ඔහු කීවේය. එකම දිනයක එකම වේලාවක ලංකාවේ සියලුම පොලිස් ස්ථානවලට පහරදීම රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා ජවිපෙ භාවිත කළ එක් උපක්‍රමයකි. ඔවුහු, මේ සඳහා අත් බෝම්බ නිපදවීමට සහෝදරවරුන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කළහ. පක්ෂයේ හා නායකයන්ගේ බලය සඳහා ඔව්හු නොයෙක් උපක්‍රම භාවිතා කළහ. සිවුරු පොරවන්නට පුරුදුවීම නිදසුනකි. ඒ ඉතිහාසය ගැන සිතන විට, පසුගිය දිනක ජවිපෙ නායක අනුර දිසානායක නොසිටි ඔහුගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම ඉතාම සුළු සිද්ධියකි. නමුත් ජවිපෙ නායකයෝ එය බරපතල සිද්ධියක් වශයෙන් සංවාදයට ලක් කළහ. බිත්තර ගැසීම, ක්‍රිස්තියානි ආගම පැතිරීමට පෙර එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකම සශ්‍රීකත්වය උදෙසා සිදුකළ උත්සවයක අංගයකි. ක්‍රිස්තියානින්, එයද සලකා ඇත්තේ පැගන් (මිසදිටු) සිරිතක් වශයෙනි. කල්ගතවීමේදී ඇතැම් බිස්කුවරු බිත්තර ගැසීමේ ‘පැගන්’ සිරිත ක්‍රිස්තියානි ආගමට අවශෝෂණය කරගනිමින් ‘ඊස්ටර්’ කාලයට බිත්තර විසිකිරීමේ සිරිතක් ඇරඹූහ. එංගලන්තයේ බිත්තර විසිකරන්නන්ගේ (එග් ත්‍රෝවින්) සංගම් පවතී. ප්‍රසිද්ධ පුද්ගලයින්ට කුණු බිත්තර ගැසීම දේශපාලන සිරිතක් බවට පත්වීමත් යුරෝපයෙන් ඇරඹි සිරිතකි
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s