ඉන්දියාවෙ විදේශ අමාත්‍යාංශ කාර්යාලය තියෙන්නෙ කොළඹ ද? එහෙම අහන්න වෙන්නෙ ඉන්දියාවෙ විදේශ ඇමතිතුමා හා ඒ අමාත්‍යංශයෙ වෙනත් නිලධාරීන් කොළඹ දි නිතර දැක ගන්න පුළුවන් හින්ද. පහුගිය දවස්වල ඇමතිතුමා ඇවිල්ල අපට අර කොවිඩ් එන්නත දෙන්න පොරොන්දු වුණා. කීය ගාණෙද දන්නෙ නැහැ. කොහොමටත් ඒක අර ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලෙ නිෂ්පාදනය කළා කියන එක. ඒක ෆයිසර් තරම් සාර්ථක නැහැ කියනවා. ෆයිසර් සාර්ථක වුණාට ඇති වැඩේ මොකක් ද? අපට ඒක ගබඩා කරන්න තැනින් තැනට ගෙන යන්න පහසුකම් නැහැ.

ඉතින් අපට කළමනාකරණය පුළුවන් ඔක්ස්ෆඩ් එන්නත ඉන්දියාවෙ නිෂ්පාදනය කරන්න ඉඩ දීල. ඒක හොඳයි. නැති බැරි ජාතීන්ටත් මොකක් හරී තියෙන්න එපාය. දැන් කිසිම පඬියකු පඬි පෝතකයකු පඬි නැට්ටකු කියන්නෙ නැහැ එන්නත ලබා ගෙන කොවිඩ් 19 රෝගීන් අතර සති දෙකක් ගිහින් එන්න කියල. පැනියට තමයි ඒ වගේ කොන්දේසි දාන්නෙ. මොනව කරන්න ද? ආධිපත්‍යයෙ තරම. අර නිවට කරණැවෑමියා දැක්ක ම එළුවත් හොම්බ දික් කරනවා.

අපේ නිවටකම ඇති කෙරුවෙ මුල දි අපේ පාසල්. මෙරට පාසල්වල මූලික කටයුත්තක් වූයේ ජනතාව දීනයක් කරන එක. මා දැක්කා ඊයේ බටහිර වෙද මහතෙක් කියල තියෙනව පැනිය සාමාන්‍ය දැනීමක් ඇති අයකු ප්‍රතික්‍ෂෙප කරනව කියල. ඒ පඬි නැට්ටට කියන්න ඕන මට නම් ඔහුගෙ සාමාන්‍ය දැනීම නැහැ කියල. පඬි නැට්ටගෙ සාමාන්‍ය දැනීම දීල තියෙන්නෙ ප්‍රධාන වශයෙන් ම ඉංගිරිසින්. සාමාන්‍ය දැනීම මොන තරම් සාමාන්‍ය (General) ද කියල අපි පස්සෙ කතා කරමු. සාමාන්‍ය දැනුමත් සාපේක්‍ෂ බව පඬි නැට්ටට කියල දෙන්න බැහැ. පඬි නැට්ටගෙ සාමාන්‍ය දැනීමෙන් එවැන්නක් ලබා ගන්න බැහැ.

අපි නැවතත් ඉන්දීය විදේශ ඇමතිගෙ කොළඹ ගමන ගැන කතා කරමු. ඔහු ඇවිත් තියෙන්නෙ මොකට ද කියල අපට දැන ගන්න විධියක් නැහැ. ඒ එන්නත ලබා දෙන බව කීමට ද? එන්නත ලබා දීමේ දී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බව කීමට ද? ඉන්දියාවට එන්නත් කීයක් අවශ්‍ය ද කියල අපි දන්නෙ නැහැ. කීයක් අවශ්‍ය වුණත් අපටත් කීයක් හරි ලැබෙයි. පඬි නැට්ටකු අහන්නෙ නැද්ද ඉන්දියාවෙ කොවිඩ් 19 සඳහා ආයුර්වේද ප්‍රතිකාර නැද්ද කියල. විදේශ ඇමතිගෙනුත් ඒක අහන්න තිබුණ. බුදුදහම නැති කර ගත්ත ඉන්දියාවට චතුර්වේදය නැති කර ගන්න එක අමාරු වැඩක් නො වෙයි.

පඬි නැට්ටන් කියන්න පුළුවන් ඉන්දියාවෙ ලංකාවෙ වගේ මෝඩයන් නැහැ කියල. ලංකාවෙ මෝඩයන් ඉන්න හින්ද වෙන්න ඇති බුදුදහම ආරක්‍ෂා කර ගත්තෙ. ඒ කොහොම වුණත් කොවිඩ් 19 සඳහා ඉන්දියාව අපට ආයුර්වේද බෙහෙත් ටිකකුත් එවනවා ද? ඕන නම් සිද්ධ බෙහෙතුත් යුනානි බෙහෙත් තියෙනව නම් ඒවත් එවන්න පුළුවන්. අප එක දෙවියකුගෙ මිනිසුන් නො වෙයි.

ඉන්දීය විදේශ ඇමති කියල තිබුණ පළාත් සභා තවත් ශක්තිමත් කරන්න ඕන කියල. ඒ අහවල් දේකට ද? අනෙක් අතට අප ඔය ඊනියා දෙමළ ප්‍රශ්නය විසඳලා ඉවරයි. විසඳලා ඉවර නොවුණත් ඉන්දියාවට තියෙන අයිතිය මොකක් ද අපේ ප්‍රශ්නවලට ඇඟලි ගහන්න. සම්බන්ධන් හා සුමන්තිරන් ගිහින් මෙරට ඉන්දීය මහා කොමසාරිස් නිවසෙ, ඒ කියන්නෙ කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට තියෙන ඉන්දීය නිවසෙ පදිංචි වුණත් අපට කමක් නැහැ. ඔවුන්ගෙ මානසික ප්‍රශ්නවලට විසඳුම් ලෙස ඉන්දියාවට මැදිහත් වෙන්න කියන්න බැහැ.

අද තියෙන්නෙ ඔය වෙල්ලාල නායකයන්ගෙ මානසික ප්‍රශ්නයක් විතරයි. එක් පැත්තකින් නන්දිකඩාල් කලපුවෙ දි ඔය ඊනියා ප්‍රශ්නය විසඳුවා. විසඳන්න තවත් ප්‍රශ්නයක් නැහැ. අනෙක් පැත්තෙන් ඒ දවස්වල ඉන්දියාව මැදිහත් වෙලා විසඳුව ප්‍රශ්නෙ මොකක් ද? දුන්න විසඳුම මොකක් ද? පළාත් සභා ද? ඒව නැතිව පළාත් ක්‍රියාත්මකයි. ඊනියා සාකච්ඡාවලින් ලබා ගත් ප්‍රතිඵලයක් තියෙනවා ද? බටහිරින් හා ඉන්දියාවෙන් ආධාර ලැබූ, සිංහල විරෝධී දෙමළ ජාතිවාදයට තිබුණෙ එක ම එක විසඳුමයි. ඒ හමුදා විසඳුමක්. පරද්දන්න බැහැ කිව්ව දෙමළ ත්‍රස්තවාදය අපේ රණවිරුවන් පරාද කළා. ජාතික හෙළ උරුමයේ පුරෝගාමී රටවැසි පෙරමුණ හමුදා මෙහෙයුම්වලට විරුද්ධව මංගලත් එක්ක ප්‍රචාරක කටයුතුවල යෙදුණ. අපට පුළුවන් වුණා ඔවුන්ගෙ මතවාදය පරාජය කරන්න. අද කැනඩාව හා එංගලන්තය තමයි දෙමළ ජාතිවාදය නඩත්තු කරන්නෙ. ඔවුන් තාමත් ඊනියා සමූලඝාතන ගැන කතා කරනවා. ආණ්ඩුව ඒ ප්‍රශ්නයට හරියට මුහුණ දෙන්නෙ නැහැ. ඒකට හේතුව ඊනියා උගතුන්ගෙ කසිකබල් ගිවිසුම් මතවාද. ඉන්දියාවට පුළුවන්කම තිබුණ නන්දිකඩාල් ජයග්‍රාහක දවසෙ ම ලංකාවට ඇවිත් 13+ අදහස් ආණ්ඩුවට බලකර කියන්න.

අනෙක් අතට අද ඉන්දු ලංකා ගිවිසුම වලංගු නැහැ. ගිවිසුමක් වලංගු වෙන්න නම් පාර්ශ්ව දෙක ගිවිසුමේ කරුණු ඉටු කරන්න ඕන. ඉන්දියාව තමන් පොරොන්දු වූ දේ ඉටු කළා ද? ඔවුන් කොටි සංවිධානය නිරායුධ කළා ද? ඉන්දියාව කොටි සංවිධානය නිරායුධ කළේ නැහැ. තමන්ගෙ පැත්තෙන් ඉටුවිය යුතු කරුණු ඉටු නොකළ ඉන්දියාව ජේ ආර් පොරොන්දු වෙච්ච දේවල් ඉටු කරන්න කියල අපට බල කරන්නෙ කොහොමද? ඔය එන්තත් ටිකක් දීල පළාත් සභාවලට තව තවත් බලතල අරන් දෙන්න ඉන්දියාව හිතනව නම් අපට කියන්න තියෙන්නෙ එකයි. මේ කෞටිල්‍ය යුගය නොවන බව පමණයි.

අර නැගෙනහිර පර්යන්ත කතාව සාකච්ඡා වුණෙ නැහැ කියල හිතන්න බැහැ. ඒ ගැන නම් පුවත්පත් නිවේදනයක මා දැක්කෙ නැහැ. මා විශ්වාස කරන්නෙ නැහැ ආණ්ඩුව ඔය මොන පර්යන්තයක්වත් ඉන්දියාවට හරි චීනයට හරි වෙන කාටවත් හරි විකුණාවි කියා. රනිල්දාසලා, යටත්විජිතලා, කෙකරගාමීන් හා තවත් අය කියවන්නෙ තමන් කළ දේ හරි තමන්ගෙ හිතළු හරි පමණයි. ආණ්ඩුවට එක යෝජනාවක් කරන්නම්. ඔය පර්යන්තය ගැන මොකක් හරි ගිවිසුමක් එකඟතාවක් ඉන්දියාව සමග තියෙන්න ඕන. ඒක අත්සන් කරන්න ඉස්සෙල්ල පාර්ලිමේන්තුවටයි ජනතාවටයි ඉදිරිපත් කරන්න. අපි වගන්තියෙන් වගන්තිය ගෙන ඒක සාකච්ඡා කරමු. අත්සන් කරනවා ද නැද්ද කියල පස්සෙ තීරණය කරමු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s