මුල්ලේරියාව සංග්‍රාමය( 4 වන පරිච්ඡේදය. “සටන”)

The Battle ————————————————————

පෙර ප්රවේශයන් හිදී සටනේ අවි ආයුධ, උපක්‍රම සහ සේනා සංවිධානය ගැන සාකච්ඡා කලෙමු. මෙවර සෘජුවම අප සටනට ප්රවේශ වන අතර “සංග්‍රාම සැලසුම “(battle plan ) ඊට සමාන්තරව විමසන්නේ සටනේ සිද්ධි වින්‍යාසය සමග යමින් වඩා පහසු තේරුම් ගැනීමක් සදහාය. මෙය මුල්ලේරියාව සටන ගැන සර්ව සම්පූර්ණ සටහනක් නොවේ. එහෙත් එය ගැන මූලික පදනම් සටහනක් වෙයි. පාඨකයන් මෙය කියවීමට පෙර ධාරණය කර ගත යුතු කරුණූ කීපයකි. අ) යුධයක උපක්‍රම ( tactics )සහ උපායමාර්ගය (strategy )අතර වෙනස සහ සහසම්බන්ධනය. ආ) මුල්ලේරියාව වෙල් යායේදී සිදු වූ සටන ඒ ආශ්‍රිතව සහ සමස්ත මෙහෙයුම තුල වූ යුධ ක්‍රියාදාමය තුල එක් සටනකි. ඇ) විවිධ මූලාශ්‍ර සහ තර්කවේද මත අපට ලැබුන දත්ත සහ බලකොටු ස්ථාන දැනට විවිධය. එහෙත් මිලිටරි කෝණයෙන් මුල්ලේරියාවේ ස්ථානීයව වූ සටන අපට පැහැදිලිය.මුල්ලේරියාව සටන ආරම්භ වන්නේ පරංගි හෙවත් ප්රතිකාලුන් ඇතුලු කෝට්ටේ සේනාව සීතාවක දක්වා ආක්‍රමණය කිරීමට උත්සාහ ගත් අවස්ථාවකයමායාදුන්නේ සහ ටිකිරි කුමරු ගේ සීතාවක පාලනය තිබෙන තාක් සිංහලය හෙවත් ඔවුන්ට Ceilão යටත් කරගැනීමට නොහැකි වනවා පමණක් නොව තම පැවැත්මත් නැති වනු ඇතැයි තේරුම් ගත් පරංගිහූ සීතාවක ආක්‍රමණය කිරීමට තීරණය කරන ලද්දේ. ” ආරක්ෂාවට හොදම දෙය පහරදීම යි”යන ප්‍රත්‍යය ට අනුවය . එය ප්‍රහාරක ප්රවේශයකි (an offensive approach ). එවකට මෙරට පෘතුගීසි කපිතන් ජෙනරල් වූ ජෝර්ජ් දි මෙනේසස් ගේ සැලසුමකි.මුල්ලේරියාව සටන සිදුවූ දිනය 1562 අගෝස්තු 23 හෝ ඊට ට පසු දිනයක් ලෙස පිලිගැනේ. එහෙත් රාජාවලියට අනුව 1581 වසරේ ද ,පෘතුගීසි වාර්තා අනුව 1559 මැයි මසට පසු එම වසරේම බවත් සටහන් වේ. උක්ත ප්‍රදේශය නිරිත දිග මෝසම් සමයේ දැඩි වර්ෂාපතනය ට හසුවන නිසා මෙය නිරිතදිග මෝසමට පසු අගෝස්තු වැනි කැලණි ගංගාවේ ජල ප්‍රවාහය සැඩ පහරින් අඩු කාලයක සිදු වූ බව පැහැදිලිය. එවන් නිගමනයකට මා එන්නේ මන්දැයි ඉදිරියට ඔබට වැටහෙනු ඇත.

මෙහෙයුම ——————–



කොලඹ කොටුවෙන් ඇරඹෙන මෙහෙයුම කෝට්ටේ සහ ලස්කිරිඤඤ බලඇණි සමග එකතු වෙමින් වරාගොඩ ඔස්සේ නැගෙනහිර දෙසට ඉදිරියට ඇදෙයි. මේ හමුදාව කැලණි ගංගාව ට අනුරූපව ගග ඉහත්තාව ට ඇදෙන්නේ මෙහෙයුමේ පලවන පියවර ලෙස මාපිටිගම බලකොටුව යටත් කරගෙන,දෙවැනුව එතැන් සිට සීතාවක මධ්‍යයේ ඇති ගුරුබැවුල හෙවත් පසුව හංවැල්ල වූ බලකොටුව ඉලක්ක කරගනිමින් බව පෙනේ. දෙවන අදියර සදහා පරංගි සේනාව ගග දිගේ සහ ගොඩබිමින් මෙහෙය විය යුතු නම් මාපිටිගමෙන් එන ප්‍රතිරෝධය නිෂ්ක්‍රීය කල යුතුය. ඉනික්බිති ව දෙවන පියවර අසාර්ථක වුවත් පලවෙනි පියවරේදී මාපිටිගම අල්ලා ගත හොත් අනාගතයේදී එය සිතාවක ට නැවත නැවතත් පහර දීමට ඉදිරි පෙල බලකොටුවක් සහ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කල හැකිය. (A forward Base and a launching pad for future offensives ) . මෙය උපායමාර්ගිකව නිරවද්‍ය සැලසුමකි. මේ සදහා පරංගි හමුදාව කැලණි ගග දිගේ යාත්‍රා වලින්ද, ගගේ දකුණු ඉවුරට සමාන්තරව ගොඩ බිමින්ද මෙහෙය විය. මෙය කෙටි කලක් තුල වේගයෙන් කල යුතු මෙහෙයුමක් ලෙස සැලසුම් කරන්නට ඇත. කෙසේ මුත් මාපිටිගම ඉලක්කය ට ලගා වීමට පෙර අඹතලේ සහ කඩුවෙල ආදී සීතාවක ප්‍රධාන බලකොටු කීපයක් සහ මාඒදණ්ඩ වැනි මුරපොලවල් අතට ගත යුතු විය.පරංගී සේනාව නිත්‍ය සෙබලුන් සහ Casados සහ Topazes ස්වේච්ඡා සෙබලුන් 1000 -1600. අතර වූ බව පෙනේ. ලස්කිරිඤඤ සේනාව 2000 – 3000 අතර වූ බව පෙනේ. එමෙන් කාපිරි ජාවක සහ පරංගිකරණය වූ ඉන්දියානු වැනි වහලුන් හෝ කුලී භටයින් ද ඇතුලත්ව 4000 පමණ හමුදාවක් සමස්ත මෙහෙයුමට එක්ව සිටියහ. මෙතසස් ට අනුව 7000 ක් පමණ විය.පරංගි සේනාව ජෝර්ජ් දි මෙනේසස් යටතේ වූ අතර කපිතන් බල්තසාර් ගේඩ්ස් දි සූසා, දියෝගු දි මෙලෝ,දොන් ෆ්රැන්සිස්කො දි මෙලෝ, සිමාඕ දි බ්රීටෝ,අයිරස් දි සල්දානා ,සිමන් දි මෙලෝ ,නූනෝ පෙරෙයිරා, ලසාදෝ අන්තෝනියෝ,ඩයස් දි ලොම්බා, අන්දෝ දි ෆොන්සේකා,මැනුඑලෝ ලොරෙන්සෝ සහ ගැස්පාර්රෝ ගුවේටස් ආදී සෙනෙවියන් ද ඒ ඒ සේනාංක බාරව සිටියෝය. කෝට්ටේ සේනාව දොන් ජුවන් ධර්මපාල රජුගේ ඥාති සහ සෙනෙවි සෙබ්බපෙරුමාල් හෙවත් තම්මිට සූරිය බණ්ඩාර යටතේ විය.මීට පෙර අවස්ථාවකදී මායාදුන්නේ ට එරෙහිව පෘතුගීසි + කෝට්ටේ ප්‍රහාරයෙන් සීතාවක අල්ලා ගත් අතර මායාදුන්නේ ට කලුගගේ දකුණු ඉවුරේ වූ බටුගෙදර තම මුලස්ථානය කරගෙන වසර 3 ක් සිටීමට සිදු විය. එවැනිම ප්‍රහාරයක් කිරීම පරංගීන් ගේ අදහස වන්නට ඇත. මෝදර සිට දියත් කල බෝට්ටු භටයින්, සහ ද්‍රව්‍ය (logistics ) පටවා ගෙන රක්ගහවත්ත මුර පොල පසුකරමින් ඉදිරියට එන ලද අතර මෙම සමහරක් යාත්‍රා සන්නාහ සන්නද්ධ වූ අතර ඒවායේ Berco සැහැල්ලු ක්ෂේත්‍ර කාලතුවක්කු සවිකර තිබුණි. රට තුලට ගංගා ඔස්සේ ගමන් ගත් මෙවන් යාත්‍රා හබල් ගෑම මගින් සහ සමහර අවස්ථාවල රුවල් මගින් ක්‍රියාත්මක විය.මෙහෙයුමේ මුල් අවස්ථාවේ සීතාවක දේශසීමාව උල්ලංඝනය කර පරංගි හමුදාව පහර දෙමින් වේගයෙන් ඉදිරියට එන අතර සීතාවක භටයෝ සීතාවක තුල ට පසු බසිති.

පලවෙනි සටන ————————-

පසුව දා පරංගී ඉලක්කය වන්නේ සීතාවක සහ පරංගි කෝට්ටේ (කොලඹ) අතර දේශසීමාවේ වූ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයකි. මෙය දැව කදන් පවුරක් යුතු stockade ආකාරයේ බලකොටුවක් බව පෙනේ .අලුයම ජාමයේම පරංගීන් මෙයට හදිසියේ raid එකක් කර එහි සිටී සීතාවක සෙබලුන් 300 මරා දමයි . (Sitawakan were taken by the surprise ) ඉතිරි සෙබලුන් හේවාගම දෙසට පසු බසී. ඉනික්බිතිව සිදු වෙමින් යන්නේ ඉදිරියට එන පරංගීන් සහ පසුබසින සීතාවක භටයින් අතර ජංගම යුද්ධයකි. (Mobile war )සීතාවක සේනාවක් මෙහෙයුම වලකනු පිණිස හේවාගම ආශ්‍රිතව අඹතලේ බලකොටුව ඇතුලු ආරක්ෂක තීරූවක සිටින බවට පරංගීන් ට තොරතුරු ලැබෙන අතර උදෑසනම ඔවුනට පහර දීම සඳහා රැයෙහිම එදෙසට සේනාව ගමනේ යොදවයි. ඉදිරියට ඇදෙන පරංගීන් ගැන රාජසිංහ ට තොරතුරු ලැබෙන අතර වික්‍රමසිංහ මුදලි යටතේ සේනාවක් හේවාගම අඹතලේ රැකවල් ලා සිටින භටයන්ගේ සහයට යවයි. එහෙත් පරංගි ගිනි බලය සහ උපක්‍රම හමුවේ එම හේවාගම ආරක්ෂක තීරුව (defence line ) හෝ බලකොටුව බිදී යන අතර සීතාවක භටයෝ 200 ක් පමණ මිය යති. මෙහිදී වික්‍රමසිංහ ඒකනායක මුදලි තුවාල ලබයි. (අඹතලේ බලකොටුව සහ ආරක්ෂක තීරුවේ සීතාවක භටයින් 4000 ක පමණ පිරිසක් සිටී බව සමහර සටහන් වල දැක්වේ. )මේ අන්තර්කාලය රාජසිංහ රජුට තම සේනාවන් රැස් කර ගැනීමට සහ පරංගීන් පරාජය කිරීමට අවශ්‍ය සැලසුමකට අවස්ථාව සපයයි. එහිදි රාජසිංහයෝ ” තම සතුරා තමාට සටන් කිරීමට වඩා සුදුසු භූමියකට එන තෙක් සිට පහර දී පරාජය කිරීම “යන උපාය මාර්ගය භාවිතා කිරීමට තීරණය කල බව පෙනේ..
සීතාවක රාජසිංහයන්ගේ යුධ විශේෂඥ බව එයයි.

දෙවන හෙවත් මහා සටන ——————————————

හේවාගම -මුල්ලේරියාව යුධ ක්ෂේත්‍රය ට එන තෙක් භූමියේ අණ දීම සීතාවක සේනාධිපති වික්‍රමසිංහ මුදලි යටතේ විය. (මුදලි හෙවත් Mudlier according to Europeans. යනු මහනුවර රාජධානියේ දිසාවේ තනතුරට සමාන වේ ). ඒ තීරණාත්මක අවස්ථාවේ සිට සීතාවක රාජසිංහ අණදීම බාර ගනී. මුල්ලේරියාව ක්ෂේත්‍රයේදී සීතාවක හමුදාව, විශේෂ බලකා පලිහක්කාරයන් 1000 ට වැඩි පිරිසක් ඇතුලුව වික්‍රමසිංහ විජේසුන්දර සහ ජයසුන්දර සේනාංකයන්ද , ස්වේච්ඡා සිවිල් භටයින් ද (people’s militia ) සහිතව 3000 – 4000 අතර පිරිසක් වන්නට ඇත. පසුපසින් පහර දුන් (a decoy tactic ) පිරිසද පලිහක්කාරයෝ සේනාංකයට අයත් වූ බලඝණයක්ද, එසේ නැත්නම් වෙනම ඉලංගම් විශේෂ බලකායක් ද යන්න පැහැදිලි නැතත් එය කොරතොට කුරුප්පු ආරච්චිගේ විශේෂ සෙබල කණ්ඩායම ක් (a special unit )බව පැහැදිලිය . එසේම ප්‍රධාන සටන මුල්ලේරියාවේ සිදු වුවත් එයට ආශ්‍රිත මෙහෙයුම් සමස්තය තුල සක්‍රීය සෙබලුන් 6000 කට ආසන්න පිරිසක් සිටියා විය හැකිය. මන්ද, මුල්ලේරියාවේදී සීතාවක හමුදාව ආරච්චි වරුන් 18 දෙනෙකුද ඇතුළත් අණ දෙන නිලධාරීන් 40 දෙනෙකු යටතේ විය .සියලු සේනාංක තුල ගොනුව සිටී ස්වේච්ඡා සිවිල් භටයින් මුල්ලේරියාව අවට කඩුවෙල, කොරතොට හෝකන්දර ආදී ගම්වල ජනයා විය. මුල්ලේරියාව ජයග්‍රහණයට පසු “අභීතව හේවා කම් කල හෙයින් ” මේ ගම්මාන සියල්ල හේවාගම් කෝරලය ලෙස රාජසිංහයෝ නම් කරන ලදි. මෙම සේනාව ආරච්චිවරුන් යටතේ විය. එමෙන්ම සමස්ථ සේනාව තුල සබරගමුව, හත්, තුන් සහ හතර කෝරල, සහ ඌව ආදී සෙසු දිසා වල සොල්දාදුවන් සිටිය බව පෙනී යයි.. රාජසිංහයෝ ආකර්ෂණීය නායකයෙක් විය (charismatic leader ) .තම සෙබලුන් සමගම සිටීම, තමනුත් යුධ බිමටම ගොස් සටන් කිරීම, සොල්දාදුවන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය සම්පත් ආම්පන්න අප්‍රමාදව ලබා දීම සහ දක්ෂයන් ට තෑගි බෝග ඇතුලු තනතුරු දීම නොවලහා කරන ලදි. දෙවනුව යුද්ධයක් රජෙකුට තනියම කල හැක්කක් නොව එය නිලධාරීන් සහ සොල්දාදුවන් ගේද දක්ෂතාව සහ කැපවීමකි. එහෙත් යුද්ධයක් දිග් විජය කල හැක්කේ බලය සහ උපායමාර්ගය, ධූරාවලියේ ඉහලම සිටින තනි නායකයෙකු වටා ධ්‍රැවීයකරණය වුවහොත් පමණකි. හැනිබල්, ස්පාටකස් සහ නැපෝලියන් ට සේ තමාව කිසි විටක අතැර නොයන සහ විනයෙන්ද මොරාලයෙන්ද අත්‍යන්ත හමුදාවක් රාජසිංහයෝ වටා විය. ඉහත කී පරිදි සීතාවක ඉදිරි පෙල බලකොටු යටත් කරගත් පරංගි සහ කොට්ටේ සේනාවෝ මුල්ලේරියා වෙල ආශ්‍රිතව කදවුරු බැද ගෙන පසු දින සටනට ලැස්ති වෙති. නමුත්, උදෑසන හිරු එලිය වැටෙන්නට හෝරාවකට පෙර අදුර සහ වෙල පුරා වැතිර ඇති මීදුම ආවරණයට ගෙන් රාජසිංහ සමග මැද කණ්ඩායම ඔවුන්ට ප්‍රබල ප්‍රහාරය ක් කරමින් සටනට මුල පුරයි. රාජාවලිය මෙසේ පවසයි. .” වික්‍රමසිංහ මුදලින් බිදී ගිය හැටි රාජසිංහ රජු දැකලා වම – දකුණු පලිහක්කාරයන් හා දෙබාගේ ඇතුන් හා කොරතොට ආරච්චිවරුන් ලගට කැදවා හෝකන්දර රදා -දොලහ හේවායින් ගෙන්වා ඉලංගම් වල පලිහක්කාරයන් දහසකුත් දී පස්ස පොරතුවට පැන කොටන් ද ඇරලා රාජසිංහ පෙරමුණ ඉස්සර පාරෙන් ගොස් මුල්ලේරියා වෙල මැද හිටිනා කල ප්‍රතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ.” එනම් වික්‍රමසිංහ මුදලි යටතේ ඉතිරිව සිටි හමුදා පිරිසට පලිහක්කාරයන් සහ ඇතුන් ද දී පරංගී සේනාවේ පසුපස භාගය ට යවා, ගස් කදන් වලින් හිරකර පරංගීන් ට පසු බැසීමට හෝ flanking කිරීමට ඇති වාසිය නැති කර දැමීමේ flanking maneuver එකකි. මේ සේනාවට හෝකන්දර ගම් වලින් සිවිල් සේනාව (militiamen )ද යවා ඇත. ඉන්පසු සිදුවූ දෙය එහිම . “පස්ස පොරත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතීය, වීරසුන්දර බාගෙන් එරාවණයා පලිසකුත් දම්වැලකුත් ගතීය. රාජසිංහ අසු පිටට නැගී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර ප්රතිකාලුන් මැදට පැනලා.. පලිහක්කාරයෝ ප්රතිකානොන් ට ඇතුන්ගේ වල්ගා වල එල්ලී කෙටුවාහ. තුවක්කු වලින් ගසා ප්රතිකානෝ පලිහක්කාරයන් මැරුවාහ.පස්ස පොරත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට. ..”ලෙස හදුන්වන කොරතොට කුරුප්පු ආරච්චිගේ කණ්ඩායම ඉරු නැගෙන්නට පෙර කලුවරේම සතුරා කදවුරු ලා සිටින භූමියට පසු පසින් කා වැදුනාද ?එසේ නැත්නම් අලුයම බිම් මට්ටමින් ඇති මීදුමට මුවා වී කා වැදුනාද ?එම කාවැදීම (infiltration ) වගුරු ඔස්සේ කලාද එසේ නැත්නම් ගග හරහා amphibious ලෙස කරාද යන්න නොදනිමු. කෙසේ හෝ ඔවුන් කරන කොමාන්ඩෝ ආකාරයේ හදිසි ප්‍රහාරය පරංගීන් මහත් අපහසුතාවයට පත් කරන අතර තුර රාජසිංහ රජු ප්‍රමුඛ යුධ ඇතුන් සහ පලිහක්කාරයෝ හදිසි ප්‍රහාරයක් මගින් සතුරු ඉදිරි පෙල කඩාගෙන පරංගි සේනාව මැදට පහර දීමයි.ඉහත විස්තරය අනුව පරංගීන් ට පලවෙනි (සහ සමහර විටදෙවැනි) වෙඩි වැට තබා නැවත තුවක්කු පුරවා ගැනීමටත් පෙර සීතාවක පෙරමුණු බල ඇණිය සතුරාට ආසන්නව උරෙනුර ගැටෙන සටනක් (melee ) කල බවයි. පරංගීන් කොතෙක් තුෂ්ණිභූතව සහ අසංවිධානාත්මක වී ගියේද යත් රාජාවලිය ට අමතරව ක්වේරෝස් සහ දී කූතෝ ගේ සටහන් වලින්ද පෙනෙයි . .ඉදිරිපස පරංගි පෙරමුණ කඩාගෙන සතුරු සේනාංකය සිටි භූමියට මෙහෙය වූ යුධ ඇතුන් බලඝණයේ සංයුතිය ගැන පැහැදිලි සටහනක් දැනට නැතත් සිංහල සේනාවල පුරාණ සම්ප්‍රදායක් වූ 1: 6: 80 භාවිතා කලේද හෝ වෙනත් සංයුතියක් භාවිතා කලේද යන්න ට වඩා මෙහිදී යුධ ඇතුන් , අශ්වාරෝහකයෝ සහ පලිහක්කාරයෝ ඒකාබද්ධ කර විශේෂ සංයුතිය ක් භාවිතා කල බව උපකල්පනය කල හැක . එය නූතනයේ Armered personal carrier (APC) භාවිතා කර සතුරු පෙරමුණක් බිදීම (breaching ) මගින් සෙසු සේනාවට සතුරා වෙතට වේගවත් විහිදුමක් ( rapid deployment )කිරීමට සමානය. ඉන්පසු රාජාවලිය මෙසේ කියයි. “රාජසිංහ රජු අසුට නැගි විහිදුවා සේනාව වටකර දුවමින් රණ යුධ ගිනි කෙල කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සද , මුල්ලේරියා වෙල මැද ලේ වතුර කොට ප්‍රතිකාල් සේනාවට අඩියක් වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දහස් හයසීයක් ප්‍රතිකානුන් හා කෝට්ටේ සේනාවෙන් කීප දෙනෙකුත් කොටා වැටුනාහ..”!රාජසිංහ “ගෝපාල ” නම් තම යුධ අසු පිට අසිපත ලෙලවමින් සටන් භූමිය තුලම ගැවසෙන්නේ ස්වකීය සේනාවට පසු බැසීමට නොදී ඔවුන් මෙහෙයවමින් සහ උද්යෝගිමත් කරමිනි. මේ අතර ඔහු සතුරන්ට කෙටීම කලත් එක තැනක නැවතී සටන් කිරීමට නොහැකි වන්නේ සේනාවිධායක ලෙස සටන් බිමේ තුනින් තැනට යාමට සහ අණ දීමට සිදු වන බැවිනි. යුධ කෙලිය අතර එය කෙතරම් අනතුරුදායක දැයි අමුතුවෙන් කිව යුතු නැත.


දක්ෂ අශ්වාරෝහකයෙකු වු එතුමන් රණ පිටිය තුල අසු මෙහෙයවන්නේ විදුලිය මෙන් යයි වංශ කතා කරුවෝ සහ ජනප්‍රවාදයේ පවසති.රාජසිංහ ට වම් පසින් වූ සහායක සේනාව (ජයසුන්දර හෝ වීරසුන්දර රෙජිමේන්තුව ) ,ඒතෙක් බටහිර දෙසින් හූමිය අල්ලා ගෙන සිටින (hold on ) වික්‍රමසිංහ මුදලි ගේ සේනාව දෙසට යවන්නේ flanking maneuver මගින් සතුරු සේනාවට එදෙසින්ද පසු බැසීමට නොහැකි වන පරිදි සිර කරමිනි. මෙය සේනා අතර සන්ධාරණය සහ සතුරු ප්‍රතිප්‍රහාරයක් ප්රේරණයට තීරණාත්මක විය. ( link up and buffer )දැන් දකුණින් රාජසිංහ සහ ජයසුන්දර හෝ වීරසුන්දර සේනාංකයන්ද , බටහිරින් වික්‍රමසිංහ සේනාංකය සහ එකතු වූ සේනාංකය+ පලිහක්කාරයන් ද, උතුරින් කැලණි ගංගාවෙන්ද මායිම් වූ සීමිත බිම් කඩක පරංගි සේනාව සිර වී සිටි. කිසිදු දෙසකට ඔවුන්ට පසු බැසීමට නොහැක. අන්තිමයා දක්වා සටන් කරන සමූලඝාතනය වීමේ උගුලට ඔවුන් හසුවී ඇත. (Enviloped and driven into a so- called total annihilation scenario ) මේ සටනේදී සීතාවක හමුදාව ද ගිනි අවි භාවිතා කර තිබේ. “සීතාවක යුධ උපාය වූයේ සතුරා ගේ භූමියටම පැන ඉතා සුලු වේලාවක් තුල සතුරා විනාශ කිරීමය “..අද මෙන් ස්වයංක්‍රීය ගිනි අවි හෝ පතුරම් අවි නොතිබුණු එකල එවන් ලග ලගම කරන වේගවත් ප්‍රහාරයකදී කැපෙන සහ අනින අවි භාවිතා කිරීමට සිදුවේ. (A close quarters battle ). එවකට වූ matchlock කොටන තුවක්කු නැවත නැවත පුරවා භාවිතයට වෙලා ගතවේ. එහෙත් ක්ෂේත්‍ර පහර දීම් සදහා ස්ථානීයව හෝ ජංගමව කොඩිතුවක්කු සහ අත් තුවක්කු භාවිත කල බව පෙනේ. රාජාවලියේ “මීදුම වැනි වෙඩි දුම”යන්නෙන් දෙපාර්ශ්වය විසින් බහුලව ගිනි අවි භාවිතා කර ඇති බල ප්‍රත්‍යක්ෂ වෙයි. සීතාවක හමුදාව ට කොටුවූ පරංගීන් ට සහයට වෙඩි ප්‍රහාර (support fire ) සහ සැපයුම් (logistics ) කැලණි ගගේ තිබූ පෘතුගීසි යාත්‍රා වලින් ලැබුණද රාජසිංහ ඒවාටද පහර දුනි. කඩු පොරෝ පහරින් කැපී සහ ආකිබස් සහ කාලතුවක්කු ප්‍රහාරවලට ලක්ව මියෙන හෝ තුවාල ලබන දෙපාර්ශ්වයේ ම පිරිස අතර අති බහුතරය පරංගීන් විය. ලේ වැගිරීම කෙතරම් දරුණු වූවාද යත් මුල්ලේරියාව වගුරු බීමේ වතුර ලෙයින් රතු පාටට හැරුනු බව පැවසේ. එය සැබෑවක් යයි අමුතුවෙන් පැවසීය යුත්තක් නොවේ. “යුධ ඇතුන් භාවිතා කිරීම නිසා තමන් පැරදුන බව ” කූතෝ සහ ක්වේරෝස් සටහන් කරයි. බලාපොරොත්තු සුන් වූ පරංගින් කොඩි ගස් වලින් පවා ඇතුන්ගේ නලලට ඇන්න බවත් ඔවුන් සටහන් කරති. මුල්ලේරියාවේ දී රාජසිංහයන්ට ජයග්‍රහණය ලැබීමට යුධ ඇතුන් වැදගත් විය.සටනේ පරාජය සමග තම්මිට සූරිය බණ්ඩාර තම කෝට්ටේ සේනාව සමග පලා යති. සටන අවසානයේ පරංගීන් කීප දෙනෙකු (ඩයස් සහ පිරිස) අතැර දමා තිබූ පොකුරු මුණිස්සම් කාලතුවක්කුවක් පත්තු කර බේරී පැනගොස් තිබේ. තවත් තැනක සටහන් වන්නේ ගගේ නවතා තිබූ බෝට්ටු වලට නැගී පණ බේරාගෙන යාමට ඉතිරි වූ පරංගි සහ කෝට්ටේ පිරිසට සහ තුවාලකරුවන් ට සීතාවක සේනාව මානුෂිකව ඉඩ දුන් බවයි. මෙම සටනේදී පරංගි නිලධාරීන් බොහෝ දෙනෙකු මිය යයි. මෙනේසස් පණ බේරාගෙන තිබේ. රාජාවලියට අනුව පරංගීන්ම පමණක් 1600 කී. කොට්ටේ සහ ලස්කිරිඤඤයන් ද ඇතුලුව 2000 විය හැක. සීතාවක සොල්දාදුවන් කොතෙක් මිය ගියාද යන්න ගැන දැනට කිසිදු මූලාශ්‍රයක් නැති සෙයකි.

ජයග්‍රහණය ———————–

යුධ ජයග්‍රහණය ඉහලින් සැමරුණි. පරංගීන් කදවුරු ලා සිටි තැනක සීතාවක සේනාවෝ තම කොඩි සිටවූ අතර එය කොඩිගහවත්ත විය. අද කොටිකාවත්ත ලෙස හදුන්වන්නේ එම ප්රදේශයයි. සීතාවක බල සීමාව කොලඹට 12 km ආසන්නයේ ඇති බියගම දක්වා ගෙන එන්නේ බියගම ආශ්‍රිතව බලකොටුව තව ශක්තිමත් කරමිනි. . මුල්ලේරියාව මිලිටරි ජයග්‍රහණයක් පමණක් නොව දේශපාලන ජයග්‍රහණයක් ද විය. මුල්ලේරියාවේ බිහිසුණු පරාජයෙන් පසු පරංගීන් 1565 දී කොට්ටේ අතහැර දමා කොලඹට පසු බසින අතර මිලිටරි සහ දේශපාලන බලය වර්ධනය කරගන්නා සීතාවක තම එතිහාසික මහා යුධ මෙහෙයුම පරංගී හදවත තුලට ම යවන යවුල් පහරක් සේ වර්ෂ 1587 ජුනි සිට 1588 පෙබරවාරි අතර කොලඹ කොටුව ට එල්ල කරන්නේ ලංකා භූමියෙන් පරංගි උවදුර සදහටම අතුගා දැමීමට පෙරමුණට එමිනි.. පරංගී, කෝට්ටේ සහ මහනුවර එකට එකතු වී පහර දුන්නත් ඒ සියල්ලම එක මිටකට ගෙන පරාජය කිරීමට තරම් රාජසිංහයෝ ගේ මිලිටරි විශේෂඥ බව අනභිභවනීය විය.අමාවක රැයක කැලණි මිටියාවතේ සරණ ඔබ, ගගට බර කුඹුක් සෙවනක ගෝපාල අසුට දිය පොවමින් සිටින දිදුලන සන්නාහයෙන් සැරසුන ප්‍රෝඞ පුරුෂයෙකු දුටුව හොත් සටන ගැන ඔහුගෙන් අසන්න.

කීර්ති හේවාගොඩ 25 -05- 2020

ආශ්‍රිත ග්‍රන්ථ. (Bibliography )
1- .Fatalida de Historias”.Ribeiro joao (1685). The historic tragedy of the island of Ceilao. Translated by P.E. Pieris.
2- ලංකාවේ පෘතුගීසි යුගය. පෝල් පීරිස්. පරිවර්තනය අභය හේවාවසම්. 20083- රාජාවලිය. ඒ ටී සුරවීර. 1997.
4- සීතාවක සටන- පරණවිතාන රෝහිණී. 1999.5- සැවුල් සන්දේශය. අලගියවන්න මුකවෙටි.
6- කොන්ස්තන්තීනු හටන.
7- සීතාවක රාජධානියේ උන්නතියේ ද අවනතතියේද සමහර අංශ පිළිබඳව විමර්ශනය ක්. .රිසීමන් අමරසිංහ. ( 1998)
8- Kandy fights the Portuguese. C.Gaston Perera.
9- Historia da India. Decada xiii .Antonio Bocarro.
10- මන්දාරම් පුවත. සංස්කරණය. ලබුගම ලංකානන්ද හිමි.
11- The Temporal and Spiritual Conquest of Ceylon. Queiros Fernan. Also the works of Wimalananda Thennakoon, Fr. Perniola, P E P Deraniyagala were used in this article.

සැලකිය යුතුයි. .–චිත්‍ර සහ අනන්‍ය සටහන් නෛතිකව කතෘ අයිතිය ට යටත්ය. සටහන share කිරීම ගැටලුවක් නැත. Free to share in social media as the original post . However, for other uses, the keynotes and sketches are strictly protected by copyright
උපුටාගත්තේ >> Keerthi.Hewagoda ගේ මුහුණු පොතෙන්ය. https://www.facebook.com/Keerthi.Hewagoda

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s