අනුරාධපුරයේ ඇති මේ නිර්මාණය බැලීමට යන සෑම වාරයක්ම පාසාම ඇති වන අධිෂ්ඨානයේ සතුටේ නිමාවක් නෑ

දශක දෙකකට අධික කාලයක් පුරාවට වරින් වර බලන්නට යන මේ ගල් පාලම සියවස් ගණනාවක් කොතරම් ඉපැරණි වුවද විනාශ කරන්න කොතරම් උත්සාහ දරා තිබුණද සියදහස් දෙපා එගොඩ මෙගොඩ කල අදටත් ඉතිරිව ඇති විභූතිය අනාගතයට ලබා දෙනුයේ අසමසම නොසැලෙන පණිවිඩයකි.

දෙස් විදෙස් පුරා විද්‍යාඥයන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ ශ්‍රී ලාංකේය උරුම ලොවට කියා පෑ අපූරු ඓතිහාසික නිර්මාණයක් ලෙස පිළිගැනෙන මිහින්තලේ මහකනදරාව ගල් පාලම දැන් වසර කිහිපයක සිට කැලයට යටවෙමින් පවතී.   

මහකනදරාව ප්‍රදේශවාසීන් පවසන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල නිසා මේ ඓතිහාසික නිර්මාණය කැලයට යටවෙන්නට ඉඩ හැර තිබෙන බවයි.   


මිහින්තලේ මහකනදරාව වැවට නුදුරින් කනදරාඔය හරහා පුරාණයේ ඉදිකර තිබෙන ​ෙමම ගල් පාලම දිගින් අඩි 78 ක් වන අතර පළල අඩි  අට හමාරක් පමණ වේ. එය ශක්තිමත් කළුගල් කණු මත ගල්පුවරු අතුරා ඉදි කර ඇත්තේ එදා   රජ දවස විසූ අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණාත්මක හැකියාව මැනවින් පිළිබිඹු කරමිනි.   


පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ක්‍රි.ව. 276-303 සමයේ රජ කළ මහ​ෙසන් මහ රජු විසින් මහකනදරාව වැව ඉදි කරන ලද කාලය තුළ මෙම ගල් පාලම කනදරාඔය හරහා ඉදි කර තිබෙන බවට විශ්වාස කෙරෙන බවයි. එමෙන්ම අතීතයේ දී අනුරාධපුරයේ සිට දිවෙන උතුරු මාර්ගය මේ පාලම හරහා වැටී තිබෙන්නට ඇතැයි යන විශ්වාසයක් ද පවතින බව මෙම ගල් පාලම අසල සවිකර තිබෙන පුවරුවක සඳහන් වේ.   


අනුරාධපුර පුරවරයේ ඇළ හා ඔය මාර්ග හරහා පෙර රජ දවස ඉදි කළ ගල් පාලම් කිහිපයක නෂ්ටාවශේෂ අදත් දක්නට ඉතිරිව ඇතත් ඒ හැම එකකටම වඩා පෙර රජ දවස ඉදිකළ තත්ත්වයෙන්ම තවමත් පැවතීම මෙම ගල් පාලමේ තිබෙන විශේෂත්වයකි.   


බොහෝ කාලයක් කැලයට යට වී පැවැති මෙම ඓතිහාසික උරුමය එක් දහස් නවසිය අනූව දශකයේ අගභාගයේදී මහකනදරාව ප්‍ර​ෙද්ශවාසීන්ගේ ද සහාය ඇතිව එළි පෙහෙළි කොට ලක්වාසීන්ගේ පමණක් නොව ලෝකවාසීන්ගේද අවධානයට යොමුකරවීමට මූලිකත්වය ගනු ලැබුවේ රජරට විශ්වවිද්‍යාලයේ ආරම්භක උපකුලපති මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මහතාණන් විසිනි.  


ඉතිහාසය පිළිබඳව පුළුල් දැනුමක් ඇති බුද්ධිමතෙකු ලෙස පිළිගැනෙන මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීරයන් මේ ඓතිහාසික උරුමය ගැන කරන ලද හෙළිදරව්වෙන් පසු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එතෙක් නිසි අවධානයකට යොමු නොවී තිබුණු මේ ගල් පාලම සංරක්ෂණය කිරීමට හා ඒ අවට කැලෑව එළි පෙහෙළි කර පවත්වාගෙන යාමට පියවර ගනු ලැබීය.   


ඉන් පසු දසකයකට වැඩි කාලයක් මෙම ගල් පාලම හා ඒ අවට ප්‍ර​ෙද්ශය එළි පෙහෙළිව තබා ගනිමින් පැමිණෙන දෙස්විදෙස් සංචාරකයින්ට එය දැක බලා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන විශ්වවිද්‍යාල සිසුන්ට හා පුරාවිද්‍යාඥයින්ටත් ඉඩ ප්‍රස්ථාව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබා දී ති​බිණි.   


මේ පෞරාණික උරුමය රැක බලා ගැනීමටත් ඒ අවට ප්‍ර​ෙද්ශය එළි පෙහෙළි කර තබා ගැනීමටත් රැකවල්කරුවකු ද එදා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් යොදවා තිබුණි. මෙම ගල් පාලම ආසන්නයේම පදිංචිකරුවකු වූ ඔහුට ඒ සඳහා එදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මාසිකව දීමනාවක් ද ගෙවා තිබුණි.   


නමුත් 2012 වර්ෂයේදී එම රැකවල්කරු ඉවත් කොට ඒ වෙනුවට වෙනත් අයකුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යොදවා තිබුණද ඔහුගෙන් එම රාජකාරිය නිසි ලෙස ඉටුවී නොතිබිණි.  


ඊට හේතු වූ කාරණා දැන ගන්නට නැතත් 2012 සිට මෙම ඓතිහාසික උරුමය යළිත් වනගත වන්නට පටන් ගැනිණි. මේ නිසා අද වන විට මෙම ගල් පාලම ළඟට යන මාර්ගය ද කැලයට යට වී අඩි පාරක් පමණක් ඉතිරි වී තිබේ.   


වසර පහළොවකට ආසන්න කාලයක් මේ ජාතික උරුමය රැක බලා ගෙන ඒ අවට ප්‍රදේශය එළි පෙහෙළි කරගෙන රැකවල්කරු ලෙස කටයුතු කළ මහකනදරාව දකුණු ඉවුර යාය එකේ පදිංචි ඩබ්ලිව්.ජී. සීමන් මහතා කියා සිටියේ තමා කලක් බොහෝ උනන්දුවෙන් රැක බලා ගත් මේ ගල් පාලම කැලයට යට වෙන්නට ඉඩ හැර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇස් කන් වසාගෙන සිටීම ගැන තමන්ට ඇති වන්නේ දුකක් හා කලකිරීමක් බවයි.  


එදා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරද්දී මෙම ගල් පාලම ගැන ආරංචි වී පැමිණි මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මහතා තමන් සමග ගොස් කැලයට යට වී තිබුණු ගල් පාලම සොයා ගෙන තමන් ලවාම කැලෑව එළිපෙ​ෙහළි කරගෙන පුවත් පත්වල හා රූපවාහිනී ආයතනවල මාධ්‍යවේදීන් කැඳවාගෙන විත් මේ ඓතිහාසික උරුමය ගැන ලංකාව දැනුම්වත් කළ ආකාරය විස්තර කළ සීමන් මහතා මෙහි රැකවල් කරු ලෙස තමන් පත් කරන ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දන්වා රුපියල් හයසීයක මාසික දීමනාවක් ලබාදීමට ද සැලැස්වූයේ හිටපු උප කුලපතිවරයා බව සඳහන් කළේය.   


එදා සිට 2012 වසර දක්වා තමන් දීමනාව ගැන පමණක් නොසිතා මේ ජාතික උරුමය රැකගැනීම සඳහා උනන්දු වී කටයුතු කළ බවත්, එම සමයේ දෙස් විදෙස් සංචාරකයින් බොහෝ පිරිසක් සැම දිනකම පාහේ මෙම ගල් පාලම දැක බලා ගැනිමට පැමිණි බවද සීමන් මහතා පැවසීය.   

මේ වටිනා ස්ථානය දවසින් දවස කැලයට යට වෙන ආකාරය බලාගෙන දුක් වෙනවා හැරෙන්නට වයෝවෘද්ධ තමන්ට දැන් එදා මෙන් කැලෑව එළි පෙහෙළි කර සුද්ධපවිත්‍ර කිරීමට හයි හත්තියක් නැතැයි සීමන් මහතා පැවසුවේ මහත් කනගාටුවෙනි.   


ප්‍රදේශයේ තරුණයකු වන සුජීව කුමාර මහතා පැවසුවේ මේ ඓතිහාසික උරුමය තවදුරටත් කැලයට යට වී විනාශ වෙන්නට ඉඩ නොහැර එය සංරක්ෂණය කිරීම කඩිනමින් පියවර ගැනීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම බවයි.   


මහකනදරාවේ පෞරාණික ගල්පාලම කැලයට යටවෙන්නට ඉඩ හැර බලා සිටින්නේ කවර හේතුවක් නිසා දැයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.ජේ.බී. දිසානායක මහතාගෙන් දුරකථනය ඔස්සේ අප කළ විමසීමේදී තමා ඒ ගැන නොදන්නා බව ඔහු පැවසීය.   


එම ප්‍රදේශය භාරව කටයුතු කරන පුරා විද්‍යා නිලධාරීන්ගෙන් මේ ගැන විමසීමක් කර ඒ පිළිබඳව සොයා බලන බවද හෙතෙම පැවසීය. 


සටහන හා ඡායාරූප
අතුල බණ්ඩාර

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s