වර්ෂ 1973 දී ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය , ගැබිනි මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලනු පිණිස ඔවුන්ට ත්‍රිපෝෂ ලබා දීම අරඹන ලද්දේ ‘කෙයාර්’ නැමති ඇමෙරිකානු ස්වේච්ඡා සංවිධානයේ අනුග්‍රහයෙනි. මෑත කාලයේ දී දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් වැඩිහිටියන්ගේ වැඩි අවධානයක් යොමු වන විට ත්‍රිපෝෂ වලට සමාන නොයෙකුත් ආහාර මිශ්‍රණ වෙළෙඳපොළට එක් විය . රජයේ මෙන්ම එම ව්‍යාපාරිකයන්ගේ ද අරමුණ යහපත් වුවද පෝෂණයේ නාමයෙන් මව්වරුන්ට සහ දරුවන්ට ලබාදී ඇත්තේත්, මේ වනවිට ලබාදෙමින් සිටින්නේත් ශරීර සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය පිරි පැකට් සහ පෙට්ටි බව කණගාටුවෙන් වුවද සදහන් කළ යුතුව තිබේ. ඉහින් බහින රෝගයක් නැති අත්තලා මුත්තලා සිටි පරපුරු වල වත්මන් පුරුක් උදේ පටන් හැන්දෑ වන තෙක් රජයේ සහ පෞද්ගලික රෝහල් වල පෝලිම් ගැහෙන්නට මෙබදු නව “ආහාර”ප්‍රබල හේතුවක් වී ඇති බවට සැකයක් නැත.


ත්‍රිපෝෂ වල අන්තර් ගත සංඝටක මෙසේය: ඉරිගු 66% , සෝයා 30%, යොදය සහිත කිරිපිටි 3%, පෙර සැකසූ විටමින් 0.1%, පෙර සැකසු ඛනිජ 0.9%, ත්‍රිපෝෂ වලට සමාන වානිජ නිෂ්පාදන වල අන්තර්ගත ප්‍රධාන සංඝටක වන්නේ තිරිගු, සෝයා, මුං ඇට, සහල්, කැල්සියම්, විටමින් සී සහ විටමින් බී12 ය.
ත්‍රිපෝෂ වැඩසටහනේ ආරම්භක අදියරයේදී පටන්ම බෙදා හරිනු ලැබ ඇත්තේ සෞඛ්‍යයට අහිතකර දෑ බව ත්‍රිපෝෂ වැඩසටහන පිළිබඳව ලියැවුනු වාර්ථාවලින් පැහැදිලිවේ.
අන්තර්ජාතික සංවර්ධන කටයුතු පිළිබඳ ඇමරිකානු ඒජන්සියේ පෝෂණ අංශයේ විද්‍යාත්මක පර්යේෂණ නිලධාරී වෛද්‍ය අර්වින් හොන්ස්ටයින් විසින් 1986 දී ත්‍රිපෝෂ වැඩසටහන සම්බන්ධයෙන් ලියන ලද වාර්ථාවකට අනුව ත්‍රිපෝෂ වශයෙන් මුල් අදියරයේදී නිකුත් කර ඇත්තේ තිරිගු ,සෝයා මිශ්‍රණයකි (WSB). ඇමෙරිකාවෙන් 
ආධාර ලෙස රාත්තල් 50 මිටි වශයෙන් ලැබුණු WSB ග්‍රෑම් 750 පැකට් ලෙස අසුරා බෙදා හරින ලදී. 
1974 දී මේ මිශ්‍රණයෙන් 20% ක ප්‍රමාණයකට සෝගම් ආදේශ කෙරිණි.ඇඹරූ සෝගම් කුඩු විස්කෝතු කර්මාන්ත ශාලාවකට යවා එහිදී මේද සමග මිශ්‍රකොට විස්කෝතු බවට පෙරලා එම විස්කෝතු කුඩුකොට ත්‍රිපෝෂ වලට එක් කෙරිණි . පසු කලෙක සෝයා තිරිගු මිශ්‍රණය වෙනුවට ඇමෙරිකා ප්‍රදානයක් වශයෙන් ලැබුණු ක්ෂනික ඉරිගු සෝයා කිරි (Cron soy milk) ආදේශ කෙරිණි.
අවසානයේ සෝගම් ඉවත් කර සෝයා ඉරිගු මිශ්‍රණයක් හදුන්වා දෙන ලදී. මේ ද්‍රව්‍ය අතරින් තිරිගු, සෝයා, ඉරිගු යන සියල්ල ශරීර සෞඛ්‍යයට හිතකර ඒවා නොවේ.තිරිගු සහ සෝයා පිළිබඳව අපි මින් පෙර රිවිර පුවත්පතෙන් කරුණු අනාවරණය කළෙමු. 
ඉරිගු නිසා කුඩා බඩවැල්වල පිහිටි 
ඉතා කුඩා බූව වැනි නෙරුම් වලට (අවරි) හානි වෙයි.
අතේ ඇගිලිවලට සමාන පෙනුමක් ඇති මෙම අංග විටමින් බී, සී, කැල්සියම්, යකඩ, අයඩීන්, බෝරොන්, මැග්නීසියම්, මැංගනීස්, තඹ, සින්ක් වැනි බොහෝ විටමින් හා ඛණිජ අවශෝෂණයට ආධාර වේ. කුඩා බඩවැලට සිදුවන එම හානිය නිසා පෝෂ්‍ය කොටස් සිරුරට එකතු වීමට බාධා එල්ල වේ.
එසේම ඉරිගු වල ඇති ලෙක්ටීන් (ප්‍රෝටීන් විශේෂයකි) සිරුරේ සෛලවලට එක්වීම නිසා එම සෛල දෙගුණ වීමක් සිදුවේ. එනම් තවත් එබදු සෛලයක් නිෂ්පාදනය වේ. 
මෙසේ සෛල වර්ධනය වීම ස්ථුල භාවයට හේතුවන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. 
ඉරිගු ආහාරයට ගන්නා ගවයින් ස්ථුල භාවයට පත් වන බවත් ඔවුන්ගෙ මාංස පේශිවල මේදය තැන්පත් වන බවත් ඔවුහු පැහැදිලිව වටහා ගත හැකි සරල නිදසුනක් ලෙස දක්වති.
එසේම (ඇතැම්) ලෙක්ටීන් නිසා නියුරෝන විනාශ වන බවද පර්යේෂකයන් අනාවරණය කර ගෙන තිබේ. ඒ නිසා ඉරිගු ආහාරයට ගැනීම ස්නායු දුබලතාවලට හේතු විය හැකිය. 
ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා මේ වන විට අපේ රටේ වගා කරන ඉරිගු ද භාවිත කෙරේ. 
අපේ බඩ ඉරිගු වගාව පිලිබද ඉතා නරක ආරංචි 2 ක් අප වෙත විශ්වාස කටයුතු මාර්ග වලින් ලැබී ඇත. පළමු වැන්න නම් බඩ ඉරිගු කරල් ගිරවුන් වැනි සතුන් ගෙන් බේරා ගැනීමට පහසු ක්‍රමවේදයක් වශයෙන් ඉරිගු මල් වලට කාබොෆියුරාන් නැමති වස වර්ගය යොදන බවට ලැබුණු ආරංචියයි.
කාබොෆියුරාන් යෙදූ පසු අස්වැන්න නෙළන තෙක් කිසිදු සතෙකු ගෙන් ඉරිගු කරලට හානියක් සිදු නොවන්නේලු! පොල්පිතිගම ප්‍රදේශයේ පැවති සාහිත්‍ය හමුවකට පැමිණි ගොවීන් මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත්, එම සභාවේ ප්‍රදේශයේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධරයා, ප්‍රාදේශීය ලේකම්වරයා, ගොවි සංවිධාන නිලධරයන් ආදි පිරිසක් ද සිටිය බවත්, ගොවින් පැවසු එම අත්දැකීම අසත්‍යක් යැයි කිසිවකු නොකී බවත්, ප්‍රවීණ ලේඛක දයා දිසානායක මහතා අප සමග පැවසීය.
නම හෙලිදරව් කිරිමට අකමැති පශු වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධරයකු පැවසූ පරිදී 2011, 2012, 2013 යන වසර වලදී පශු පර්යේෂණ මධ්‍යස්ථානය මගින් කරන ලද පර්යේෂණවලදී ඉරිගු කරල් වල ස්වභාවිකවම හට ගන්නා ඇෆ්ලාටොක්සින් නැමති විෂ සහිත දිලීරය (කළු පුස්) ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති මට්ටමට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගත බව හෙලිවී තිබේ. නමුත් එම ආයතනය ඒ පිලිබඳ අවසන් වාර්ථාවක් නිකුත් කර නැත.
අපට වාර්ථා වන අන්දමට පර්යේෂණය සදහා යොදාගත් ඉරිගු නියැදි 200 න් 30% ක පමණ ප්‍රමාණයක ඇෆ්ලාටොක්සින් තිබී ඇති නමුත් ඒ හෙතුවෙන් කිසිදු තැනක ඉරිගු තොග විනාශ කරන ලද බව වර්තා වී නැත. 2014 පෙබරවාරියේ දී විදුලි පංකාවක් කඩාවැටීමෙන් දුවිලි එකතු වූ බව පවසමින් කිලෝ ග්‍රෑම් 4000 ක් පමණ විනාශ කරන්නට යෙදුන නමුත් එය පිලිගත නොහැකි හේතුවක් බවට ත්‍රිපෝෂ කම්හලේ සේවකයන් විරෝධතා දක්වා තිබුණි.
සමබර පෝෂණ සංයෝග නිෂ්පාදනය කරන එක්තරා ආයතනයක් අමුද්‍රව්‍ය කෘමීන් ගෙන් ආරක්ෂා කිරීමට ඉසින කෘමි නාශකයක් මිනිසුනට අහිතකර නිසා ඒවා ඉසූ පසු සේවකයන්ට දින 21 ක නිවාඩුවක් ලබා දෙන බව ඉතා විශ්වාස කටයුතු මාර්ගයකින් අපට දැනගන්නට ලැබුණි මේවා ආහාරයට ගන්නා දරුවන්ගේ අනාගතයට වගකියන්නෝ කවරහුද ?
සෝයා වලද ශරීර සෞඛ්‍යයට අහිතකර දෑ බොහෝය. සෝයා පිළිබඳව පසුගිය ‘රිවිර’ කලාපයේ පළවු ලිපියෙන් එහි අහිතකර පල පිලිබඳ බොහෝ තොරතුරු සදහන් කළෙමු. 
ඉතා කෙටියෙන් සදහන් කරන්නෙ නම් සෝයා නිසා පිළිකා, ළදරු රෝග, වකුගඩු ආබාධ, ආසාත්මිකතා, මන්දපෝෂණය, ජීර්ණ අපහසුතා, ප්‍රතිශක්තිකරණ දුබලතා, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අක්‍රමවත් වීම, මොලයේ හා ස්නායු පද්ධතියේ දුර්වලතා, ප්‍රජනන ගැටළු, ගැබිනි සමය හා ප්‍රසූතිය අනතුරු දායක වීම, වදභාවය වැනි සෞඛ්‍ය ගැටලු ගනනාවක් උද්ගත වන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත.සෝයා ආහාරයට ගත් මව්වරුන්ගේ දරුවන්ට ලිංගික හා ප්‍රජනන ගැටලු ඇති වීම ඉතා අභාග්‍ය සම්පන්න සිදුවීමකී. 
ත්‍රිපෝෂ වැඩසටහන නිසා මෙරට සෝයා බෝංචි වගාව ආරම්භ විය. මේ වන විට අක්කර සිය දහස් ගණනක සෝයා බෝංචි වගා කෙරේ, ඒ සදහා භාවිතා කරන පලිබෝධ නාශක අතර පිලිකා කාරක රසායනික වර්ගද තිබේ.
ඇතැම් පෝෂණ මිශ්‍රණවල අන්තර්ගත තිරිගු පිටි ඉතා උග්‍ර විසකි. මේ පිළිබඳ ලිපියක් 2015 ජුලි මස 19 වන දින ඉරිදා ‘රිවිර’ පුවත් පතෙහි පළ කෙරිණි. ඔබේ අවධානය පිනිස කරුණු කිහිපයක් පමණක් මෙහිදී ඉදිරිපත් කරමු.
තිරිගු පිටි නිසා දියවැඩියාව, හෘද රෝග, ස්ථුලභාවය, ආතරයිටීස්, ආහාර අසාත්මිකතා, අසහනය, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග හට ගනී. තිරිගු පිටි වලින් සිරුරට එකතු වන සල්ෆියුරික් අම්ලය නිසා බිද වැටෙන ‘පී.එච්’ අගය සමනය කිරීමට ගන්නා උත්සාහයේ දී සිරුරේ අම්ල ඇල්කයින සමතුලිතතාව බිද වැටේ. ප්‍රතිශක්තිකරණය හා සෛල සෞඛ්‍ය පිරිහේ. 
බඩවැල්වල තුවාල ඇති වේ. බඩවැල් වල නිරෝගිභාවයට හානි වේ. පරළු පාන් පෙති දෙකකින් රුධිරයට එකතු වන සීනි ප්‍රමාණය සීනී හැදි 6කින් එකතු වන ප්‍රමාණය ට වඩා වැඩිය.
“අපි රාස්සයෝ වෙලා, ලෝකේ තියන භයානකම විෂ වර්ගය හැදුවොත්, අපිට ලැබෙන්නේ මේ කාලේ අපි කන තිරිගු” ඇමරිකා ජාතික හෘද රෝග විශේෂඥ වෛද්‍ය විලියම් ඩේවිස් පවසයි.
එසේම මෙම පෝෂණ මිශ්‍රණ වලට එකතු කරනු ලබන පෙර සැකසු විටමින් හා ඛණිජ වල ප්‍රමිතිය පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුව තිබේ. ඊට හේතුව ඇතැම් සමාගම් සත්ව ආහාර සදහා නිර්දේශිත ප්‍රමිතිවලට අනුව විටමින් හා ඛණිජ නිෂ්පාදනය කරන බව හෙළිදරව් වීමයි. 
ඇමරිකා ආහාර හා ඖෂධ අධිකාරියේ නිර්දේශය වන්නේ එසේ සතුන්ට නිර්දේශිත ඇතැම් සංඝටක 1% ප්‍රමාණයක් වත් අන්තර්ගතව ඇතැයි හෙළිවුවහොත් එම තොගයම විනාශ කල යුතු බවයි. 
එනිසා මිනිසාට නුසුදුසු විටමින් හා ඛනිජ දුප්පත් රටවලට විකිණීමේ කූට ව්‍යාපාරය බලාපොරොත්තු විය යුතුය.
ත්‍රිපෝෂ වැඩසටහන හදුන්වා දුන් සමයේ ඊට දායකත්වය දුන් විදේශීය උගතුන් සෝයා නිසා සිරුරට සිදුවන හානිය දැන සිටි බව, පෙර සදහන් කෙරුන වෛද්‍ය හොන්ස්ටයින් ගේ ත්‍රිපෝෂ වාර්ථාවෙන් පැහැදිලි වේ.
“ඉහල උෂ්ණත්වයකට රත් කිරිමේ දී සෝයා වල සහ වෙනත් තෙල් ඇට හා මාංස භෝගවල ඇති ප්‍රෝටීන අවශෝෂණය ට බාධා කරන රසායනික සාධක ක්‍රියා විරහිත වන බව ” ඔහු සදහන් කර තිබේ. මෙය අසත්‍යකි. ඔහු මේ වාර්ථාව සකස් කර ඇත්තේ 1996 දීය. අධික උෂ්ණත්වයකට නතු කිරීම මගින් සෝයා වල ඇති පෝෂණ කොටස් අවෂෝශණයට බාධා කරන සංඝටකවලින් (lrypsin inhibitors ) කොටසක් පමණක් ඉවත් වන බව වෛද්‍ය ජෝෂප් රැකීස් හෙළිදරව් කළේ 1985 දී ය. ඇමෙරිකාවේ අන්තර්ජාතික සංවර්ධන ඒජන්සියේ පෝෂණ විද්‍යා අංශයේ ප්‍රධනියා වු වෛද්‍ය හොන්ස්ටයින් මේ බව නොදැන සිටියා යැයි පිළි ගැනීමට අසීරුය.
එසේම ඉහල උෂ්ණත්වයකට බදුන් කිරීම නිසා සෝයාවල අන්තර්ගත පෝෂ්‍ය ගුණය විශාල ලෙස අඩු වන බවද වෛද්‍ය රැකීස් පෙන්වාදී ඇත. එම නිසා ඇමරිකාවේ උගතුන් ත්‍රිපෝෂ වැඩසටහන මෙරට හදුන්වා දුන්නේ අනාගත පරපුර රෝගීන් කිරීමේ අරමුණින් දැයි සොයා බැලිය යුතුව තිබේ.
අවුරුදු 42ක් මුළුල්ලේ පෝෂණයේ නාමයෙන් අපේ දරුවන්ට කවා ඇත්තේත් අද කවන්නේත් වස බව පැහැදිලිය. ත්‍රිපෝෂ බෙදා හැරීම නිසා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු බව වෛද්‍ය කේ.ඩී.ආර්.ආර්. සිල්වාගේ ප්‍රධානත්වයෙන් 2008 වසරේදී ශ්‍රී ලංකාවේ එතෙක් (මෙතෙක්) කෙරුණු විශාලතම ත්‍රිපෝෂ සමීක්ෂණය මගින් පෙන්වා දී තිබුණි. එහි සදහන්ව ඇත්තේ ත්‍රිපෝෂ බෙදා හැරීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති වීම නිසා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු බවයි.එහෙත් සත්‍ය එයද නොඑසේනම් නිසි පෝෂණයකින් තොර සෞඛ්‍යයට අහිතකර දෑ දරුවන්ට හා මව්වරුන්ට දීම ද යන්න පිලිබඳ පුළුල් සොයා බැලීමක් කළ යුතුව තිබේ.
අප මේ සාකච්ඡාවට බදුන් කර ඇත්තේ මතභේදයට තුඩු දෙන මාතෘකාවකි. ත්‍රිපෝෂ වල පවතින දේ පිළිබඳව අපි නව මානයක සිට කරුණු හෙළි කර ඇත්තෙමු. ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය ප්‍රතිකර්ම ගැනීම බලධාරින්ගේ වගකීමකි. එය හෙට නොව අද කළයුත්තක් බවද මතක් කිරිමට කැමැත්තෙමු.
ත්‍රිපෝෂ පමණක් නොව ඒ සමානව වෙළද නාම යටතේ තිබෙන සමබර පෝෂණය ගැන කියැවෙන සංයෝග සම්බන්ධයෙන්ද මේ ප්‍රශ්නාර්ථයම පවතී. මෙය බරපතල තත්ත්වයකි. ජාතියේ දුවා දරුවන් වෙනුවෙන් මේ පිලිබඳ සොයා බැලීම කාගේ කාගේත් වගකීමක් නොවන්නේද?

නාරද කරුණාතිලක 

(රිවිර 2015 අගොස්තු මස 30 වැනි දා ඉරිදා)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s