වැල, වරකා යන ජනප්‍රිය වචන වලින් හැදින්වෙන ඉදුණු කොස්‌ රස ගුණ පලතුරක්‌ වුව ද පැසුණු කොස්‌ තැම්බුම ආහාරයට ගැනීම සදහා පොල් අවශ්‍යවේ. කොස්‌ ආහාරයට ගැනීමේ දී සුදු පොල් හැටියටත්, සම්බල හැටියටත් පොල් මූලික අවශ්‍යතාවක්‌ වේ. කොස්‌ මැල්ලුමට මෙන්ම කිරිකොස්‌ මාළුවටත්, කොස්‌ ඇට වලින් හදා ගන්නා කළු පොල් මාළුවටත් පොල් අනිවාර්ය අවශ්‍යතාවක්‌වේ. ගැට පොළොස්‌ මාලුව සදහා ද පොල් කිරි නැතිවම බැරි බව රහසක්‌ නොවේ. කොස්‌ රස ගුණ ආහාරයක්‌ මෙන්ම ඖෂධයක්‌ ද වන අතර මේරූ කොස්‌ ලී ගෙවල් සෑදීමේ දී අවශ්‍ය වන යටලී, බාල්ක, පරාල, රීප්ප, උළුවහු, දොර ජනෙල් ආදිය සැකසීම සදහා ද යොදා ගැනේ. ලක්‌ වැසියන් හොදින් දන්නා දිගු කල් පවතින දැව වර්ගය මේරූ කොස්‌ ලීයයි. කොස්‌ ලී ගෙවල් වල භාවිතයට ගන්නා ඇද, පුටු, මේස, අල්මාරි, පෙට්‌ටගම් සදහා ද යොදා ගැනේ. හොදින් මේරූ පොල් ගසේ ලීය ද විශේෂයෙන් පරාල සදහා යොදා ගනිති. පොල් ලෙල්ලේ කොහු වලින් ලණු, ලණු පැදුරු, පාපිසි හා නිවාස අතු ගාන මුස්‌න ද සකසා ගන්නා බව නොදන්නා කෙනෙක්‌ නැත. කොහු කෙදි ලබා ගැනීමෙන් පසු ඉවත් කරන කොහුබත් පවා පසේ තෙතමනය රැක ගැනීම සදහාත් පස සරු කිරීම සදහාත් යොදා ගැනේ. පොල් අතු වියා වහළ සෙවිළි කිරීම සදහා යොදා ගන්නා අතර ගොක්‌ කොළ සැරසිලි සදහාත්, තොවිල් – පවිල් තටු ආදිය සදහාත් යොදා ගන්නා බව නොදන්නා කෙනෙක්‌ නැත. පුන්කලස්‌ සදහා නැතිවම බැරි පොල් මල සුන්දර දසුනක්‌ ලබා දෙන්නකි. කොස්‌ කොළ එළුවන් ඇති කිරීම සදහා නැතිවම බැරි සත්ත්ව ආහාරයක්‌ වී තිබේ. මදුළු ගෙන ඉවත දමන කොස්‌ ඉරි සහිත කොටස්‌ ගවයන්ගේ ප්‍රියතම ආහාරයක්‌ වේ. දකුණේ දෙවුන්දර පටන් යාපනේ පේදුරු තුඩුව දක්‌වා මුළු ලංකාවේ හැම ගෙවත්තක්‌ම සරු කරන පොල් ගසත්, කොස්‌ ගසත් සිංහල දෙමළ මුස්‌ලිම් භේදයකින් තොරව හැමටම එකසේ පිහිටවේ. වැඩදායකවේ. ඉදුණු කොස්‌ පලතුරක්‌ වන අතර ලපටි පොල් ගෙඩි වෑවර හා කුරුම්බා වශයෙන් පානයක්‌ ලෙසත්, ආහාරයක්‌ ලෙසත් ප්‍රයෝජනයට ගන්නා බව නොදන්නා කෙනෙක්‌ නැත. සිංහල, දෙමළ, මුස්‌ලිම් ලක්‌වැසි සියල්ලන්ගේ ජීවිතයේ නැතිවම බැරි ගස්‌ වන්නේ කොස්‌, පොල් ගස්‌ය.


කොස්‌ ගැන ලියන මේ ලිපිය ආරම්භයේදීම පොල් ගස ගැන ද සදහන් කළේ මේ ගස්‌ දෙවර්ගය එකිනෙකින් වෙන් කළ නොහැකි ලෙස ජන ජීවිතයට සම්බන්ධ වී ඇති හෙයිනි. ලක්‌වැසියන්ගේ ජීවන රටාවේ දී කොස්‌ ඇටයේ පටන් කොස්‌ ලීය දක්‌වා කොස්‌ ඵලදාවත්, කොස්‌ දැවත් එකිනෙකින් වෙන් කළ හැකි නොවේ. හොදට ඉර එළිය ලැබෙන සරු පස සහිත බිමක වැවෙන කොස්‌ ගසේ ඵලදාව පැළ සිටුවා වසර පහක්‌ ගත වන විට ලබා ගත හැකි බව ද සත්‍යයකි. පැසුණු කොස්‌ ගෙඩිවල මදුලු කොස්‌ තැම්බුම ලෙසත්, කිරිකොස්‌ ලෙසත්, කොස්‌ මැල්ලුම ලෙසත් ආහාරයට ගන්නා අතර කොස්‌ ඇට කළු පොල් මාලුව ලෙස සකසා ගැනේ. කොස්‌ ඇට වැලි මිශ්‍ර සියුම් වියළි පස්‌ සමග කලවම් කර ගොඩ ගසා තැබීමෙන් මාස කීපයක්‌ ගත වූ පසු වැලි කොස්‌ ඇට ලෙස ආහාරයට ගැනේ. අපේ ළමා වියේ හා ගැටවර වියේ අපි වෙලේ වැඩට ගියේ බත් සමග වැලි කොස්‌ ඇට තැම්බුම ආහාරයට ගෙනය. වැලි කොස්‌ ඇට තම්බන්නට පෙර දින හැන්දෑවේ පින්නේ දැමීමෙන් කොස්‌ ඇට වල ගුණාත්මක භාවය වැඩිවේ. එය හොදින් දන්නා අපේ අම්මලා වැලි කොස්‌ ඇට මිදුලේ පින්නේ දමා පසුදා හෝ දෙවැනිදා තම්බන්නට ගන්නේ පොතු ගැල වූ කොස්‌ ඇට ලා කොළ පාට වූ පසුය. ලා කොළ පාටට හැරුණු වැලි කොස්‌ ඇට වල මාංශජනක ධාතු (ප්‍රොටීන) තිබෙන බව ගම්බද මවුවරු හොදින් දනිති. ගැට පොළොස්‌ මාලුවද ලේ වඩන කෑමක්‌ බව ගැමි ජනයාගේ විශ්වාසයයි. ජල ගැලීම් හා නියග නිසා වී ගොවිතැන පාලු වුවත්, වැස්‌සෙන් හෝ පෑවිල්ලෙන් කොස්‌ ඵලදාවට එතරම් බලපෑමක්‌ ඇති නොවන හෙයින් බත් නැති දාට ගැමි ජනතාවට පිහිට වන්නේ කොස්‌ තැම්බුම හා කොස්‌ ඇට තැම්බුමයි. කොස්‌ අධිකව ලැබෙන කොස්‌ වාරයේ දී කොස්‌ මදුළු තම්බා වේලා අටු කොස්‌ ලෙස තබා ගන්නේ ආහාර හිග අවස්‌ථාවල දී ප්‍රයෝජනයට ගැනීම සදහාය. ඵල දරන කොස්‌ ගස්‌ කීපයක්‌ සහ පොල් ගස්‌ කීපයක්‌ තිබෙන ගම්බද ජනතාවට සහල් මිල ඉහළ ගියත්, ගොවිතැන් පාලු වී අස්‌වැන්න හිග වුවත් බඩගින්නේ ඉන්නට සිදු නොවේ.


කොස්‌ ජනතාවගේ රෝ දුක්‌ නසන ඖෂධයක්‌ බව ද ගැමි ජනතාවට රහසක්‌ නොවේ. මළ බද්ධයට හොදම ආහාරය කොස්‌ තම්බා කෑමට ගැනීමයි. කොස්‌ ගෙඩි හැදෙන්නට කලින් හට ගන්නා පනා මල් තැම්බූ වතුර ළමා රෝග ගණනාවක්‌ සදහා ප්‍රත්‍යක්‌ෂ ඖෂධයකි. කොස්‌ ගසේ පොත්තත් සමග ඇති රතු පාට කුඩ කල්කයක්‌ සේ සකසා ළමා ළපටින්ගේ රත ගාය සුව කිරීම සදහා යොදා ගැනේ. ගම්බද වැඩිහිටි ජනතාව ඉදුණු කොස්‌ කොළ නැටි තම්බා ඖෂධීය පානයක්‌ ලෙස සකසා ගන්නේ දියවැඩියා රෝගයට ප්‍රත්‍යක්‌ෂ ඖෂධයක්‌ ලෙසිනි. මන්දපෝෂණය නිසා ළමයින්ට හැදෙන මාන්දම් රෝගයට පිළියමක්‌ ලෙසින් දරුවන්ට එළු කිරි බොන්නට දෙන්නේ කොස්‌කොළ වල රස ගුණ එළු කිරි වලට එක්‌ වී ඇති බව ගැමි ජනතාවගේ විශ්වාසයක්‌ වන හෙයිනි. ගැමි ජන ජීවිතයේ දී කොස්‌ ලීයට සම කළ හැකි ලීයක්‌ නැත. මේ ලිපිය ලියන හැත්තෑ හත් වැනි වියේ පසුවන මා ඉපදී හැදී වැඩුණු ගමේ ඥතීන් මහ ගෙදර ලෙස හදුන්වන නිවස මගේ සීයා විවාහ වන්නටත් පෙර තැනූ ගෙයයි. මගේ පියා මිය යන විට වයස අනූවකි. ඔහු මිය ගොස්‌ දැනට අවුරුදු විසි අටක්‌ වේ. මගේ පියා සීයාගේ දෙවැනි විවාහයේ දරුවෙකි. මගේ සීයා දෙවැනි විවාහය කර ගෙන ඇත්තේ උන්දැගේ පළමු බිරිද (අපේ මහ ආච්චි) මිය ගොස්‌ දස වසරකට පසුවය. මා මේ විස්‌තරය ලිව්වේ අදටත් හොද තත්ත්වයෙන් පවතින අපේ මහ ගෙදර අවුරුදු එකසිය හතළිහකට වැඩි බව පෙන්වා දීම සදහාය. අපේ මහ ගෙදර ගමේ පන්සලටත් වඩා පැරණි ගෘහයකි. අපේ නිවසේ කොස්‌ යටලී, බාල්ක හා දොර, ජනෙල්, උළුවහු මෙතෙක්‌ කල් හොදින් පැවැතුණේ මේරූ කොස්‌ වලින් ඒවා සැකසූ හෙයිනි. අපේ මහ ගෙදර අල්මාරි, පෙට්‌ටගම් හා වියන් ඇදත් ගේ තරම් පැරැණි වේ. ඒ ගෘහ භාණ්‌ඩ ද අද දක්‌වා හොදින් පවතින්නේ මේරූ කොස්‌ ලීයෙන් කළ නිසාය. ගෙයි කුස්‌සියේ හිරමනයේ දැව කොටසත්, වංගෙඩියත් කොස්‌ ලී ම වේ. පැරණි ගැමි වාහනය වූ කරත්තයේ රෝද වල යකඩ පට්‌ටම් හැර ගරාදිත්, රෝද රවුමත්, බෝන් ලීයත්, කරත්ත තට්‌ටුවත් යන සියල්ලම සැදුණේ කොස්‌ ලී වලිනි. ගමේ සිල්ලර කඩේ බක්‌කිවල පටන් රාක්‌ක දක්‌වා සියල්ල සැකසෙන්නේ ගැමියන් හොදින් දන්නා කොස්‌ ලීයෙනි. ගමේ පන්සලේ ධර්මාසනය ද සැකැසෙන්නේ හොදින් මේරූ, ඔප දැමූ කොස්‌ ලීයෙනි. ලක්‌ වැසි ගැමි ජනතාවගේ කප්රුක කොස්‌ ගස වේ.
රට පුරා පොදු මහජනතාවගේ කප්රුක බවට පත් වී ඇති කොස්‌ ගස සෑම වර්ගයකම බලවතුන්ට අමතක වී ඇත. ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයට අයත් ගසක්‌ වූ තල් ගස ගැන තරම්වත් සැලකිල්ලක්‌ ලංකාවේ බලවතුන්ගෙන් කොස්‌ ගසට ලැබී නැත. තේ සංවර්ධන මණ්‌ඩලයක්‌, රබර් සංවර්ධන මණ්‌ඩලයක්‌ හා පොල් සංවර්ධන මණ්‌ඩලයක්‌ මෙන්ම තල් සංවර්ධන මණ්‌ඩලයක්‌ ද ඇතත් කොස්‌ සංවර්ධන මණ්‌ඩලයක්‌ පිහිටුවන්නට රටේ බලවතුන් යොමු නොවන්නේ කොස්‌ ඇටයේ පටන් වැල වරකා දක්‌වා වන කොස්‌ ඵලදාව ජන ජීවිතයට කෙතරම් වැදගත් වුවත් රස ගුණ කොස්‌ ආහාර කිසිවක්‌ දේශපාලන බලවතුන්ට හෝ නිලධාරී බලවතුන්ට කිසිදු වැදගැම්මකට නැති හෙයිනි. බලවතුන්ගේ මේසයට කොස්‌ ආහාර ගැනෙන්නේ නැති තරම්ය. මෑතක සිට සංචාරක හෝටල් වලට කිරි කොස්‌ මාලුව එක්‌ වී ඇතත් බලවතුන්ගේ කෑමමේස වලට කොස්‌ ඇට ව්‍යංජනය (කලු පොල් මාලුව) හෝ කොස්‌ තැම්බුම්, කොස්‌ මැල්ලුම්, ගැට පොළොස්‌ මාලුව හෝ කිරි කොස්‌ එකතු වන්නේ නැත. බලවතුන් කොස්‌ දෙස බලන්නේ අගහිගකම් වලින් පෙළෙන දුප්පත් ගැමියන්ගේ මෝඩ කෑමක්‌ය යන ආකල්පයෙනි. බලවතුන්ට වටින්නේ කොස්‌ ලී පමණකි. වන සම්පත් වනසමින් දැව කොල්ලයේ යෙදෙන දේශපාලුවන් ගමේ ජනතාවගේ බත් ගස වන කොස්‌ ගස දෙස බලන්නේ කොස්‌ ලී ජාවාරම් කර ගන්නා අදහසින් වීම මහා ඛේදවාචකයකි. කොස්‌ ගස පිළිබද දේශපාලුවන්ගේ ආකල්පය ජනහිතකාමී, ජීව හිතවාදී, සොබා පරිසරවාදී කොස්‌ වගා කරුවන් මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයක්‌ වී තිබේ. ඉන්දියාව හා මැලේසියාව වැනි රටවල පවා කොස්‌ වල රස ගුණ අගය පිළිබද පර්යේෂණ සිදු වෙද්දී ලංකාවේ කොස්‌ වල රස ගුණ ගැන හෝ රාජසිංහ පැණි වරකා වැනි වඩා උසස්‌ කොස්‌ වර්ග බෝ කර ගැනීම ගැන හෝ කිසිදු පර්යේෂණයක්‌ සිදු නොවීම ජාතික වූ ඛේදවාචකයකි. 
කොස්‌ ගස ලක්‌ වැසි ජනතාවගේ කප්රුක වන නිසාත්, ගමේ පරිසරය සුරැකෙන ප්‍රධානම ගස, කොස්‌ ගස වන නිසාත් සොබා පරිසරය සුරැකීම ප්‍රධාන අරමුණ කර ගත් මේ ලිපිය ලියන මම වර්ෂය පුරා ඵල දරන රාජසිංහ පැණි වරකා කොස්‌ පැළ අසූ දෙදාහක්‌ රට පුරා ගැමි හා අර්ධ නාගරික ජනතාව අතර බෙදා දුන්නෙමි. ශ්‍රී ලංකා භූමියෙන් සියයට හැත්තෑවක්‌ තරම් ප්‍රමාණයක්‌ තවමත් ගම්බද ප්‍රදේශ වන නිසාත්, තවත් සියයට විස්‌සක්‌ පමණ අර්ධ නාගරික ප්‍රදේශ වන නිසාත් රටේ සොබා පරිසරය රැක ගැනීම සදහා ලොකු ගෙවල් නොසාදා කුඩා ගෙවල් හා ලොකු ගෙවතු සකසා ගන්නා ආකාරය අනගාරිකව රට පුරා පැවැත්වූ දේශන හය දාහකට වැඩි ගණනක දී පහදා දුන් මේ ලිපිය ලියන මම දේශන පැවැත් වූ ස්‌ථාන වලින් දහසකට වැඩි සංඛ්‍යාවක දී (ගම් හා අර්ධ නාගරික ප්‍රදේශ වලදී) කොස්‌ පැළ බෙදා දුන්නෙමි. මා කොස්‌ පැළ ලබා නොදුන්නේ පාසල් වලදී හා හමුදා කදවුරු වලදී පැවැත්වූ දේශන වලදීත්, නගරවල වෘත්තීය සමිති ආදියේ දී කළ දේශන වලදීත් පමණි. දෙදහසක්‌ පමණ වූ පාසල් වල පැවැත්වූ දේශන වලදී කොස්‌ පැළ බෙදා නොදුන්නද ගැමි හා අර්ධ නාගරික ප්‍රදේශ වල දහම් පාසල් වල පැවැත් වූ දේශන රාශියක දී මම රාජසිංහ පැණි වරකා පැළ බෙදා දුන්නෙමි. කොස්‌ පැළ බෙදා දීමේදී පානදුරෙන් බිහි වූ “කොස්‌ මාමා” නමින් ප්‍රකට වූ ආතර් වී. දියෙස්‌ මහතා ද මට ආදර්ශයක්‌ විය. ආතර් වී. දියෙස්‌ මහතා රට පුරා දස ලක්‌ෂ ගණන් කොස්‌ ඇට බෙදා දුන් අතර වඩා ඉදිරි ක්‍රියා මාර්ගයක්‌ අනුගමනය කළ මම මනාව සැකසූ බදුන් වල රෝපණය කළ කොස්‌ පැළ ලක්‌ෂයකට කිට්‌ටු සංඛ්‍යාවක්‌ (අසූ දෙදාහක්‌) බෙදා දුන්නෙමි. කැලණි රජ මහා විහාර දහම් පාසලේ පැවැත් වූ දේශනයෙන් පසු මා බෙදා දුන් කොස්‌ පැළ දහස ගෞරවාන්විතව දොතින් පිළිගත් සිසුන් කොස්‌ පැළ ගෙන ගියේ පූජනීය වස්‌තුවක්‌ ගෙන යන අයුරිනි.
ගම්බද සිංහල ජනතාව අතර ජනප්‍රිය කියමනක්‌ වන්නේ කොස්‌ ගෙඩියක්‌ තම්බා කා, අඹ ගසක මුල පෑගුණත් ආහාරයට ගත් කොස්‌ සියල්ල දිරවන බවයි. ඒ ජනප්‍රිය සිංහල ගැමි කියමනට උසස්‌ ආගමික අර්ථයක්‌ ද එක්‌ කරමින් මා මගේ හැම දේශනයක දීම කියා සිටියේ අනුබුදු මිහිදු මාහිමියන් විසින් දේවානම්පියතිස්‌ස රජුගේ බුද්ධිය පරීක්‌ෂා කරමින් කළ ඒ ඓතිහාසික බුද්ධි පරීක්‌ෂණයත් සමග මිහිදු මාහිමියන් සිහිපත් වන්නට සෑම ගෙදරකම ගේ ඉදිරියෙන්ම අඹ ගසක්‌ සිටුවා ගත යුතු බවයි. කොස්‌ ගසට හෙණ වැදුණත් අඹ ගසට හෙණ නොවදින නිසා කොස්‌ ගස ළගින්ම අඹ ගසක්‌ ද වවා ගැනීමේ වැදගත්කම ද මම මගේ දේශනවලදී පහදා දුන්නෙමි. ලක්‌වැසි ජනතාවගේ පෝෂණ ඌණතා දුරු කරන කොස්‌ ඵලදාව ලබා ගැනීම සදහා සෑම ගෙවත්තකම කොස්‌ වවා ගත යුතු බවත්, අනුබුදු මිහිදු හිමියන්ගෙන් ඇරඹුණු ජනහිතකාමී, ජීව හිතවාදී, විශ්වාන්තරවාදී උතුම් සංස්‌කෘතිය සිහි වීම සදහා ලංකාවේ හැම පළාතකම වැවෙන හොදම පලතුරු ගස්‌ වර්ගය වන අඹ ගස්‌ ද වවා ගත යුතු බවත් නැවත නැවතත් කියා දුන් මම සුන්දර ශ්‍රී ලංකාව ලොවටම ආදර්ශවත් උද්‍යාන දේශයක්‌ කරන්නට හැම ගෙවත්තක්‌ ම උද්‍යානයක්‌ බවට පත් කළ යුතු බවත් අවධාරණය කළෙමි.කොස්‌, පොල් හා අඹ ගස්‌ වලින් ලක්‌වැසි ජන ජීවිතය සරු වේවා! සොබා පරිසරය සුරක්‌ෂිත වේවා!! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!!

මාලේවන ධම්මවිජය හිමි (ගිහි කල අනගාරික ධර්මසේකර තුමා)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s